* මෙරට එච්. අයි. වී./ ඒඩ්ස් වෛරසය සමඟ ජීවත් වන බවට ඇස්‌තමේන්තු කර ඇති 3600 දෙනාගෙන් මෙතෙක් හඳුනාගෙන නොමැති සියයට 50 ක ප්‍රතිශතය වසර 2020 වන විට හඳුනා ගැනීම.
* එසේ හඳුනානොගත් එච්. අයි. වී/ ඒඩ්ස් වෛරසය සමඟ ජීවත් වන්නන්ගෙන් සියයට 90 ක් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවීම.
* එසේ ප්‍රතිකාර සඳහා යොමු කරවනු ලැබූ සියයට 90 ක ප්‍රතිශතයෙහි ශරීරගත වී ඇති එච්. අයි. වී. වෛරසය ප්‍රතිකාරවලින් අනතුරුව සාමාන්‍ය තත්ත්වයට පත්කර ඔවුන්ට පූර්ණ ආයු කාලයක් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කිරීම.
මේ වසර 2030 වන විට මෙරටින් එච්. අයි. වී/ ඒඩ්ස් රෝගය තුරන් කිරීම ඉලක්‌ක කරගෙන මෙරට එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනෙහි (යූ. එන්. ඒඩ්ස්) කාර්යාලය විසින් සැලසුම් කර ඇති 90% 90%-90% වැඩසටහනෙහි ප්‍රධාන අරමුණුය.
වසර 2030 දී මෙරටින් එච්.අයි.වී./ඒඩ්ස් රෝගය තුරන් කිරීම සඳහා ඉහත කී අරමුණු වසර 2020 වන විට සපුරාලීම එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනෙහි ඉලක්‌කය වී තිබේ.
මෙය සිතූ තරම් පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන්ම මෙරට එච්. අයි. වී./ ඒඩ්ස් පතුරුවන ප්‍රධාන අවදානම් කණ්‌ඩායම් තුන සේ සැළකෙන ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන් හා මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නන් එච්. අයි. වී. වෛරසයට ගොදුරු වී ඇත්දැයි පරීක්‍ෂා කර බලා එම වෛරසයට ගොදුරු වුවන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම මෙහිදී වැදගත් වේ. එම කණ්‌ඩායම්වලට සමාජයෙන් එල්ල වී ඇති කෙණහෙලිකම් හේතුවෙන් ඔවුන්ව එච්. අයි. වී./ ඒඩ්ස් පිළිබඳ රුධිර පරීක්‍ෂාවකට යොමු කරවීමද මහත් වූ අභියෝගයක් වී ඇත.
විශේෂයෙන්ම ඉහත කී අවදානම් කණ්‌ඩායම් තුනෙන් ලිංගික ශ්‍රමිකයන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැඩි වශයෙන් පැල්පත් හා මුඩුක්‌කු ආශ්‍රිතව ජීවත් වීම නිසා ඔවුන් වෙත ළඟා වීමද දුෂ්කර වූ කාර්යයක් වී තිබේ.
ඉහළ යෑයි සම්මත සමාජ තලය තුළ මෙන්ම සාමාන්‍ය මධ්‍යම පාංතික සමාජය තුළද සිටින පිරිමි සමලිංගිකයන්ද හඳුනා ගැනීමද අතිශයින් දුෂ්කර වී ඇත්තේ ඔවුන්ගේ තත්ත්වය සමාජයට හෙළිදරව් නොවීම හේතුවෙනි. අනෙක් අතට මෙරට දිනකට මෙම අවදානම් කණ්‌ඩායම් හරහා සිදුවන අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාකාරකම් සංඛ්‍යාව ලක්‍ෂ ගණනක් බවට ඇස්‌තමේන්තු කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ වසර 2030 වන විට මෙරටින් එච්.අයි.වී./ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ අරමුණින් මෙරට එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන් කාර්යාලය විසින් අත ගසා ඇත්තේ ලෙහෙසි පහසු කාර්යයකට නොවන බව පැහැදිලිsය.
කෙසේ වුවද මෙම දුෂ්කර ඉලක්‌කය ක්‍රමවත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් හරහා සාර්ථක කර ගැනීමට අපේක්‍ෂා කරන බව එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනෙහි මෙරට සිටින නේවාසික නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා පවසයි.
මේ යටතේ මෙරට සමාජය තුළ එච්.අයි.වී. ඒඩ්ස් පතුරුවනු ලබන ප්‍රධානතම අවදානම් කණ්‌ඩායම් තුන වන ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන් හා මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නන් මෙම ජනවාරි මාසයෙන් පසු ඔවුනට එච්. අයි. වී. වෛරසය ශරීරගත වී ඇත්දැයි පරීක්‍ෂා කර බැලීමේ රුධිර පරීක්‍ෂාවකට යොමු කරලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සැලසුම් කර තිබේ.
මේ යටතේ ඉහත කී අවදානම් කණ්‌ඩායම් තුළ සිටින පුනරුත්ථාපනය වූවන් හරහා එම කණ්‌ඩායම් සාමාජිකත්වය එච්. අයි. වී. රුධිර පරීක්‍ෂාවට යොමු කිරීමට කටයුතු යොදෙනු ඇත.
මේ සඳහා එම පුනරුත්ථාපනය වූවන් වෙනම පුහුණු කිරීමටද එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සැලසුම් කර තිබේ.
මෙහිදී වසර 2030 වන විට මෙරටින් එච්.අයි.වී./ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙල යටතේ වසර 2020 වන විට දැනට මෙරට සිටින බවට ඇස්‌තමේන්තු ගත කර ඇති එච්.අයි.වී./ඒඩ්ස් වෛරසය ශරීරගත වූවන් 3600 දෙනාගෙන් සියයට 73 ක් ප්‍රතිකාර හරහා ඔවුනගේ ශරීරගත වී ඇති එච්. අයි. වී. ඒඩ්ස් වෛරසය මර්දනය කරමින් ඔවුනට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්‌ථාව සැලසීම ඉලක්‌කය වී තිබේ.
මෙය සිදුකෙරෙන ආකාරය සරල ලෙස පෙණුනද එය දැඩි පරිශ්‍රමයකින් ජයගත යුතු අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ යටතේ දැනට එච්.අයි.වී./ ඒඩ්ස් වෛරසය සමඟ ජීවත් වන බවට ඇස්‌තමේන්තු කර ඇති 3600 දෙනාගෙන් හඳුනා නොගත් බවට ඇස්‌තමේන්තු කර ඇති 1508 දෙනා හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදුකෙරේ.
මෙය ඉලක්‌කම් සමඟ කරන සටනක් සේ පෙණුනද එය යථාර්ථයක් කර ගැනීම සිදුකළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනෙහි මෙරට සිටින නේවාසික නියෝජිත වෛද්‍ය රණතුංග මහතා පවසයි.
මෙහිදී එච්.අයි.වී./ ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇති ගැබිනි මවුවරුන් හඳුනා ගැනීම එම මවුවරුන්ගෙන් දරුවන්ට වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්‌වීම, පාසල් සිසුන් අතර එච්.අයි.වී./ඒඩ්ස් වෛරසය පැතිරීම වැළැක්‌වීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙµa) හා එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල යන ආයතනවල සහායෙන් ක්‍රියාත්මක කෙරේ.
එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන මෙන්ම ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් මෙම වසර සඳහා ජනතාවට ලබාදුන් ප්‍රධාන පණිවිඩය වූයේ අවදානම් සහගත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදී ඇතිනම් වහාම එච්.අයි.වී./ ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇත්දැයි පරීක්‍ෂා කර බැලීම සඳහා රුධිර පරීක්‍ෂාවකට යොමු වන ලෙසයි. මෙය මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වූ "අදම පරීක්‍ෂා කර ගන්න" (ටෙස්‌ට් ටුඩේ) යන සංකල්පය හා බැඳී පවතී.
මේ වන විට එච්. අයි. වී/ ඒඩ්ස් රෝගය සඳහා වන රුධිර පරීක්‍ෂණය කොළඹ ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහන් සායනය මෙන්ම දිවයින පුරා රජයේ රෝහල් ආශ්‍රිතව පිහිටුවා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් හරහා ඕනෑම අයෙකුට නොමිලයේ සිදුකර ගත හැකිය. මෙහිදී එම රුධිර පරීක්‍ෂාව සිදුකර ගැනීමට පැමිණෙන්නන්ගේ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සියයට සියයක් සුරැකීම සිදුවන බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස වෛද්‍ය රණතුංග මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අනෙක් අතට එම ලිංගාශ්‍රිත රෝග සායනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලයද රුධිර පරීක්‍ෂාව සඳහා පැමිණෙන අයට කෙණෙහිලිකම් සිදු නොකරන ආකාරයට පුහුණු කර ඇති බවද ඔහු කීවේය.
මෙහිදී රුධිරගත සීනි පරීක්‍ෂාව සිදුකරන ආකාරයෙන්ම විශේෂිත යන්ත්‍රයක් හරහා විනාඩි 10 ක් හෝ 15 ක් ඇතුළතදී යමෙකුට එච්. අයි. වී/ ඒඩ්ස් වෛරසය ශරීරගත වීමේ අවදානමක් පවතින්නේද යන්න පරීක්‍ෂා කර බැලිය හැකි රුධිර පරීක්‍ෂාවක්‌ද රජයේ ලිංගාශ්‍රිත රෝග සායනවලට මේ වන විට හඳුන්වා දී තිබේ. "රැපිඩ් ටෙස්‌ට්" යනුවෙන් හැඳින්වෙන මෙම පරීක්‍ෂණය යටතේ එවැනි අවදානමක් යමෙකුට පවතින බවට හඳුනාගනු ලැබුවහොත් මේ තැනැත්තාව තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා දෙවැනි පරීක්‍ෂාවක් සඳහා යොමු කරවනු ලැබේ.
ඇතැම් පුද්ගලයන්ට එච්. අයි. වී./ ඒඩ්ස් වෛරසය ශරීරගත වී තිබුණද ඔවුන් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව අනාවරණය වී තිබීම හේතුවෙන් කිසියම් අවදානම් සහගත ලිංගික ක්‍රියාකාරකමක යෙදුනේ නම් රුධිර පරීක්‍ෂාවක් හරහා එච්.අයි.වී/ ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇත්දැයි තහවුරු කර ගැනීම එම තැනැත්තාට මෙන්ම ඔහු හෝ ඇයව ඇසුරු කරන සමාජයේ සෙසු අයටද යහපතක් වන බව වෛද්‍ය රණතුංග කියා සිටී.
වසර 2020 වන විට මෙතෙක් හඳුනා නොගත් එච්. අයි.වී./ ඒඩ්ස් වෛරසය ශරීරගත වූවන්ගෙන් සියයට 73 ක් ප්‍රතිකාර සඳහා යොමු කර සාමාන්‍ය තත්ත්වයට ගත හැකි වුවහොත් හඳුනා නොගත් එච්. අයි. වී./ ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇති ඉතිරි සියයට 27 හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කර වසර 2030 වන විට මෙරටින් ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ ඉලක්‌කය සාක්‌ෂාත් කර ගත හැකි වනු ඇතැයි වෛද්‍ය රණතුංග වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඒමන්ති මාරඹේ
0 Comments