ලිංගික සූරාකෑමට ලක්‌වෙන ගාමන්ට්‌ තරුණියන්

"මැලේසියාවේ, මාලදිවයිනේ, සිංගප්පූරුවේ ජුකී මැෂින් ක්‍රියා කරවන්නියන් සඳහා ඇබෑර්තු, නවාතැන්, කෑම බීම, වෛද්‍ය සේවා නොමිලේ. පාස්‌පෝට්‌ එක රැගෙන ඇඳුම් අරගෙන කෙළින්ම රට යන්නට එන්න"

මේ වසර කීපයකට පෙර මෙරට ගුවන්විදුලි හා රූපවාහිනි ජනසන්නිවේදන මාධ්‍ය නිතර ප්‍රචාරය කළ දැන්වීමකි. එහෙත් අපේ වගකිවයුත්තන්ගේ ඇස්‌ මේ ගැන ඇරුණේ නැත. 

ආර්ථික විද්‍යාත්මකව "සෘජු අපනයනාභිමුඛ" සහ ආනයන ආදේශන ලෙස කර්මාන්ත වර්ගීකරණයේ දී ඇඟලුම් කර්මාන්තය මේ එක්‌ කොට්‌ඨාසයක්‌වත් පූර්ණව නියෝජනය කරන්නේ නැහැ. ඇඟලුම් කර්මාන්තයේදී ඊට අවශ්‍ය රෙදි, නූල්, බොත්තම්, ඉලාස්‌ටික්‌ ආදී අටෝ රාශියක්‌ දේ සියල්ල අදාළ "ගාමන්ට්‌" එකට එවීම සිරිතය. ගාමන්ට්‌ එකට දේශීයව මිලදීගත යුතු කිසිදු අමුද්‍රව්‍යයක්‌ නැත. ගාමන්ට්‌ එකත් ඇඟලුම් ඇණවුම්කරුත් සම්බන්ධ කරන පාර්ශ්වය හැඳින්වෙන්නේ "මර්චන්ඩයිසර්" යන නමිනි. බොහෝ දෙනා නොදන්නා කරුණක්‌ නම් මෙරට දොස්‌තරවරු, ඉංජිනේරුවරු මෙන්ම ජනාධිපතිටත් වඩා වැටුපක්‌, වඩා කොමිෂන් මුදලක්‌ මේ "මර්චන්ඩයිසර්" වරු ලබා ගන්නා බවය. මොවුන් ඇතමකුගේ මාසික වැටුපට අමතරව ලබන කොමිස්‌ මුදල ලක්‍ෂ 5 සිට ලක්‍ෂ 15 දක්‌වා වන අවස්‌ථාද ඊට වැඩිවන අවස්‌ථාද බොහෝය. 

පොදුවේ ගත්කල මේ ලිපිය ආරම්භයේ දී සඳහන් කළ වෙළෙඳ දැන්වීම් ගැන මෙරට බලධාරීන්ගේ ඇස්‌ නොහැරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ මෙරට ඇඟලුම් කර්මාන්තයේ "පුහුණු ශ්‍රම බළකාය" බුරුතු පිටින් විදේශගත වීමය. මේ ශ්‍රමිකයන් "රට පැටවීම" සඳහා විදේශීය ජුකී ඇබෑර්තු නමින් මෙරට ජාතික පුවත්පත්වලදී තඩි දැන්වීම් දැකගත හැකි විය. ලෝකයේ ජාතික පුවත්පත් නමින් පත්තර වර්ගයක්‌ ඇත්තේ ලංකාවේ පමණි. මෙහි හිනා යන කාරණය වන්නේ ඒ හැම පුවත්පතක්‌ම තම ප්‍රාග්ධන හිමියාගේ මතවාදයට අවනත වීමය. නාස්‌ ලණුව ඇත්තේ ප්‍රාග්ධන හිමියාගේ අතේය. එහෙත් ශ්‍රී ලංකාව මෙන් දියුණු තත්ත්වයක නැති නොදියුණු මෙන්ම තවමත් සංවර්ධනය වෙමින් පවතින ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය වැනි නොදියුණු රටවල ඇත්තේ වාණිජ පුවත්පත් (Commercial Newspapers) නමැති පත්තර ජාතියකි. අපේ මේ ජාතික පුවත්පත් ගැන මෙතරම් පැටිකිරියක්‌ කිවීමට අවශ්‍ය වූයේ විදේශීය ජුකී ඇබෑර්තු ගැන දැන්වීම් පළකළ මේ පුවත්පතම මීට වසර දෙකකට පමණ පෙර මුල් පිටුවල පළකළ ප්‍රධාන ප්‍රවෘත්තියක්‌ නිසාය.

"ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් දෙලක්‍ෂයකගේ හිඟයක්‌ නිසා ඇඟලුම් කර්මාන්තය අනතුරේ" 

මේ අපේ ජාතික පුවත්පත් වාර්තා කළ ප්‍රවෘත්තියයි. මෙරට ආර්ථිකයේ විදේශ විනිමය සම්පාදනයේ දැවැන්ත රික්‌තයක්‌ පුරවන මේ ඇඟලුම් කර්මාන්තය සහ එහි ජිවනාලිය බදු පොදුජන වහරේ "ජුකී කෑලි" ලෙස අපවාදයට ලක්‌වන මේ ශ්‍රේෂ්ඨ ශ්‍රම බළකාය ගැන එදා මෙදා තුර මෙරට බලධාරීන් කිසිදු ඇගයීමක්‌ කළේ නැත. මේ කර්මාන්තයේ ඇති වටිනාකම හොඳින්ම දත් පුද්ගලයකු නම් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. මංසන්ධි ගානේ ඔර්ලෝසු කණු සිටුවමින් ඇඟලුම් කර්මාන්ත 100 ක වැඩපිළිවෙල සහ 200 වැඩපිළිවෙල ලෙස සංවිධානාත්මකව මේ කර්මාන්තය ක්‍රමිකව දියුණු කිරීමට ඔහු පියවර ගත්තේ ලෝ පුරා Made in Sri Lanka නමින් ඇති ඇඟලුම් ගැන ඇති කීර්ති නාමය නිසා විය යුතුය. මැලේසියාව, ඉන්දියාව, බංග්ලාදේශය අභිබවා තත්ත්ව පාලනයේ දී (Quality Control) ලොව මුල්තැනට එන්නේ ශ්‍රී ලංකාව බව නොකිවමනාය. 

ඇඟලුම් කර්මාන්තයේ බහුතරයක්‌ සේවය කරන්නේ තරුණියන්ය. ඇඟලුම් කර්මාන්තය පොදුවේ විග්‍රහ කර ඇත්තේ තරුණියන්ගේ රජ දහනක්‌ ලෙසය. ඔවුන් මුහුණපාන අතවර මෙරට බොහෝ ජන සන්නිවේදන මාධ්‍ය අනාවරණය නොකරන නිසා බොහෝ දෙනා සිතා සිටින්නේ ඔවුන් සුන්දර දිවියක්‌ ගතකරන බවය. මේ ෙ€දවාචකය ගීත රචකයන්ගේ පෑන් තුඩින් "රෑ වැඩමුරය අවසන් වන කනිසමට ඔබෙ මුව පෙනේ මැලවුන කුසුමක්‌ ලෙසට" සටහන් වූයේ මේ නිසාම විය යුතුය. නමුත් තම වටිනා තරුණ දිවිය ජුකී මැෂිමකට උගස්‌කොට ඇති මේ යුවතියන්ගේ දුක්‌ගැනවිල්ල ගැන ඇසීමට කවුරුත් නැත. ETCA ගිවිසුම අත්සන් කළ දිනක ඉන්දියාවෙන් නුපුහුණු මැෂින් ක්‍රියා කරවන්නියන් නොහොත් "ඉන්දියන් ජුකී කෑල්ලක්‌" රු. 7000/= ක මාසික වැටුපට සේවයට ගත හැකි වනු නිසා අපේ මේ අහිංසක යුවතියන්ට වන්නේ මහ මඟට වැටීමටය. 

ලංකාවේ ප්‍රධාන වශයෙන් "ගාමන්ට්‌" ඇත්තේ කටුනායක සහ බියගමය. ඇඟලුමට කර්මාන්ත යන ශාස්‌ත්‍රීය වචනය නොයොදා පොදුජන වහරේ මේ කර්මාන්තය හැඳින්වෙන ගාමන්ට්‌ යන යෙදුම කාටත් තේරුම් ගැනීමට පහසුය. පසුව කොග්ගල හා වතුපිටිවල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල අක්‍රමවත් ලෙස ව්‍යාප්ත වූවත් මේ කර්මාන්තයේ නියෑලෙන යුවතියන්ගේ ෙ€දවාචකය නම් කොයි කාහටත් උරුම පොදු ධර්මතාවයක්‌ අප කළ සමීක්‍ෂණයකින් තහවුරු වී ඇත.

මේ සුන්දර යුවතියන් ප්‍රධාන වශයෙන් අතවරයට ලක්‌වන්නේ "සුපර්වයිසර්" සහ "ටාගට්‌ ඔෆිසර්ලා" ගෙනි. නිශ්චිත දිනට නියම වේලාවට ඇඟලුම් නිමවා කන්ටේනරයට පැටවූ තරමට "ටාගට්‌ ඔෆිසර්ගේ" මල්ල කරේ ය. "ටාගට්‌" (ඉලක්‌ක නිෂ්පාදිතය) නම්වූ කැරට්‌ අලය පෙන්වා මොවුන් මේ යුවතියන්ට දෙන පොරොන්දු අටෝ රාශියකි. උසස්‌වීම්, දිරි දීමනා, අහවල් සෙක්‌ෂන් එකට දැමීම, මැෂින් සෙක්‌ෂන් එකෙන් ඉවත්කොට කාර්යාලයේ වැඩට ගැනීම මෙන්ම සුපර්වයිසර්වරියක්‌ කිරීම ආදී විවිධ "කැරට්‌ අල" ටාගට්‌ ඔෆිසර්ලා සතුව ඇත. කෙතරම් වැඩ පෙන්නුවද උසස්‌වීම සඳහා තම පහත් තැන්වල ඇඳිවත උනා තබා ටාගට්‌ ඔෆිසර් සමඟ යහන්ගත වීමද අනිවාර්ය අංගයකි. දක්‍ෂකම් නොතිබුණත් යහන්ගත වීමේ ද්‍රවශීලතාවය මත බොහෝ උසස්‌වීම් ලැබීමට හේතු වාසනා විය හැකිය.

මේ ගාමන්ට්‌ නිලධාරීන්ගේ ගොදුරක්‌ බවට පත් නොවූ විට මේ යුවතියන්ට අත්වන ඉරණම අති බිහිසුණුය. කාන්තා අයිතිවාසිකම් ගැන කෑමොර දෙන, නීත්‍යනුකූලව විවාහ වූ සැමියන් පශ්චාත් භාගයට පයින් ගසා එළවා දැමූ කාන්තා මානව හිමිකම් ලොක්‌කියන් කවුරුත් මේ අසරණ තරුණියන්ගේ දුක ඇහැගැහුණු බවක්‌ දක්‌නට නැත. ගොදුර ඩැහැ ගැනීමට නොහැකි වූ තැන පඩි කැපීම, දිරි දීමනා කැපීම මෙන්ම උසස්‌වීම් අත්හිටුවේ. ඩැහැ ගැනීමට නොහැකි වූ ගොදුර පසෙකට විසිවේ. තම ගොදුරු අහිමි වූවාට මේ කාම වැද්දන් තම දඩයම නතර කරන්නේ යෑයි ඔබ සිතුවොත් වැරැදිය. "ගාමන්ට්‌" ක්‌ෂේත්‍රය නිරන්තරයෙන් "නුපුහුණු" තරුණියන් තම කර්මාන්ත ශාලාවට බඳවා ගනී. දුෂ්කර ගම්මානවල සිට එන හය හතර නොදත් මේ යන්තම් අවුරුදු පහළව, දහඅට පිරුණු පිවිතුරු තරුණියන්ට තම බැල්ම හෙළීම මේ කාමාතුරයන්ගේ ඊළඟ පියවරය. ෆේස්‌ බුක්‌ ගියාම ඉන්ටර්නෙට්‌ එකේ සැරිසැරුවාට මේ යුවතියන් සමාජශීලී බවින් ඌනය. පුද්ගල සබඳතා අතින් දුර්වල මේ අහිංසක තරුණියන් කිසිදු ජීවන අත්දැකීමක්‌ නැති පිරිසකි. ඇඟ පතින් ලොකු මහත් වුවත් මේ අහිංසක යුවතියන් ගාමන්ට්‌වල කොළඹ කාක්‌කන්ගේ ගොදුරු බවට පත් අවස්‌ථා බොහෝය. තමන්ට අතවරයක්‌ වූ බවවත් හරිහැටි වටහාගත නොහැකි ලිංගික අධ්‍යාපනයක්‌ නැති මොවුන්ට පිහිටට එන්නේද අතවරය කළ ගාමන්ට්‌ එකේ අයියාම ගෙන එන ටැබ්ලට්‌ය. අයියා කිව්වේ ඔක්‌කාරය, කරකැවිල්ල, හිසරදයට පැනඩෝල් ජාතියක්‌ ගෙනා බව කීවත් එකම කුටියේ නිදා ගන්නා තම හිතවතිය ඒවා හැඳින්වූයේ "ගබ්සා බේත්" ලෙස නිසා යුවතිය තිගැස්‌සී ගිය සේක·

මේ තරුණියන් තම සේවා ආයතනය තුළම අතවරයට ලක්‌වනවා යෑයි වැරැදි මතයක්‌ ඔබ ඇති කරගත යුතු නැත. සමාජය තුළ "ගාමන්ට්‌" යන වදන කියූ සැණින් මතවාදයක්‌ බවට පත්වී ඇත්තේ "ලිංගික රසාස්‌වාදය" උදෙසා සැකසූ කුකුල් කොටුවක්‌ බවය. මේ හේතුව නිසාම මේ ගාමන්ට්‌වල විධායක ශ්‍රේණියේ (Executive Grade) පරිගණක ක්‍රියා කරවන්නියන්, ලේකම්වරියන් මෙන්ම ගිණුම් කටයුතු සඳහා ද තරුණියන් බඳවා ගැනීම මහත් අර්බුදයක්‌ බවට පත්වී තිබේ. මෙවැනි වෘත්තිය වශයෙන් උසස්‌ තනතුරක්‌ දරන තරුණියකගෙන් මීට හේතුව විමසන්නට අප අමතක කළේ නැත.

"කෙල්ලෙක්‌ ගාමන්ට්‌ එකක සෙකටි්‍ර වුණත්, එකවුන්ටන් වුණත්, ජෙනරල් මැනේජර් වුණත් එකයි. කිසිම සමාජ පිළිගැනීමක්‌ නැහැ. ගාමන්ට්‌ වැඩ කරනවා කියපු ගමන් මනමාලයෙක්‌ බලන්න එන්නෙත් නැහැ ඒනිසා තමයි ගොඩක්‌ ගාමන්ට්‌වල ඔෆිස්‌ ෆැක්‌ටරියෙන් අයින් කරල කොළඹ වෙනම තැනක තියෙන්නේ. මේ ගොඩක්‌ ගාමන්ට්‌වල කොළඹ ඔෆිස්‌ එකේ "ගාමන්ට්‌" කියන නමත් අයින් කරල වෙනම නමකින් තමයි ලියාපදිංචි කරල තියෙන්නේ..."

ඇය කියූ කාරණයේ බරපතළකම අපටද වැටහෙන්නට වූයේ ඉන්පසුවය. අද මෙරට හෝටල්, මුද්‍රණාල හෝ ලේත් මැෂිමකවත් වැඩ කරන්නට කොලුවෙක්‌ නැත. සෑම කර්මාන්තයක්‌ම, වෙළෙඳ සැලක්‌ම අර්බුදයකට පත්ව ඇත්තේ ආයතනවල සේවයට තරුණයන් නැති නිසාය. මේ රටේ අවුරුදු 18 ත් 28 ත් අතර තරුණ පිරිස්‌ ත්‍රිරෝද රස්‌සාවට යන්නේ තම රැකියාවට පයින් ගසා "රැකියාව" අලුයම ලූ කෙළ පිඬක්‌ මෙන් විසි කරමිනි. අවුරුදු 30 ට අඩු අයට ත්‍රිරෝද රස්‌සාව තහනම් කරන්නට විවිධ යෝජනා එන්නේද මේ අතරය. අපේ මේ ඇඟලුම් කර්මාන්තයේ නොහොත් "ගාමන්ට්‌" වල තරුණියන් නම් "ත්‍රිරෝද" රස්‌සාවට අත නොතැබීම එක්‌ අතකින් වාසනාවකි. තරුණ ශ්‍රමිකයන් නැතිව මෙරට වැසී යන බොහෝ ව්‍යාපාරිකයන් නඟන ප්‍රධාන චෝදනාව වැඩ කරමින් සිටින කොලුවා පඩියෙන් රුපියල් 50,000 ක්‌ එකතු කරගෙන ෆිනෑන්ස්‌ දමා ත්‍රීවිලයක්‌ ගෙන තම ආයතනය ඉදිරිපිටම තබාගෙන තමන්ට කොකා පෙන්වන බවය.

ඒ. කේ. විතානගේ 

Post a Comment

0 Comments