ලිංගික අපචාර වළකාගත්, අපේ කුලදම් සිරිත්


වසංගතයක්‌ සේ දිනපතාම ලිංගික අපචාර, අපරාධ, අව ක්‍රියා අසන්නට, දකින්ට, කියවන්ට, ලැබීම මහත් අවාසනාවකි. මේවාට වැට බඳින පිළිවෙත්, සංවිධාන, රාජ්‍ය ආයතනද දිනපතා ක්‍රියාත්මක වෙයි. අපට යම් පමණක සහනයක්‌ එයින් ලැබෙන බවද සත්‍යයකි. සමාජයේ ආර්ථික, සමාජික, සංස්‌කෘතික පිරිහීම් නිසා පෙර නොවූ තරම් මේ විපත් බහුල වී ඇත. ළදරුවාගේ සිට මහල්ලා දක්‌වා වයස්‌ භේදයකින් තොරව මෙකී අවදානමට ඔවුන් ලක්‌වෙති. විශේෂයෙන්ම ස්‌ත්‍රී අපරාධයන් වාර්තා වීම වැඩිය. ළදරු ළමා ශුභ සිද්ධිය වෙනුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තරවද සංවිධාන රැසක්‌ මඟින් මේ අවක්‍රියා මැඬලීමට කටයුතු මෙහෙයවයි. අපේ පුqරාණ සිරිත් විරිත් තුළ මෙම දුසිරිත් පහ කිරීමේ ක්‍රමවේදයන් රාශියක්‌ තිබුණි. ඒවායෙන් බොහොමයක්‌ අද වන විට සමාජයෙන්ම බැහැර වී ඇත. එය කනගාටුවට කරුණකි.

වැඩිපුරම දරුවන් නොයෙක්‌ අතවරයන්ට ගොදුරු වන්නේ විවිධ හේතුන් නිසා මානසික විකෘතිතාවයන්ට පත්ව සිටින ස්‌ත්‍රි පුරුෂයින් අතින්ය. වරදට පෙළඹෙන දරුවන් සහ වරදේ බැඳෙන දරුවන් ගැන කෙරෙන පරීක්‌ෂණවලදී මතුවන කරුණු සලකා බලන විට ඔවුන්ගේ නොදන්නාකම, ලිංගික (අධ්‍යාපනයක්‌) දැනුමක්‌ නොතිබීම ඔවුන් වරදෙහි බැඳිමට ප්‍රධාන හේතුවක්‌ වී ඇති බව පෙනේ.

අප රටේ ඕනෑම ප්‍රදේශයක ඇති පැරණි ගම්වල දරුවන් ලිංගික විද්‍යාව ගැන එකල දැනුවත් වූහ. සෘජුව විෂය ඉගැන්වීමක්‌ නොවුණි. භාවිත කළ හෙළ සිරිත් තුළින් ඒ කාර්යය ඉටු විය. බහ තෝරාගෙන පාසලට ඇතුළත් වන වයසේ දරුවන්ට ස්‌ත්‍රි පුරුෂ වෙනස්‌කම මවුපියන්, වැඩිහිටි සොයුරු සොයුරියන් ගෙදර දීම කියා දුන්නේය. නිරතුරුවම ඇඳුම් ඇඳිය යුතු බව, ස්‌ත්‍රි පුරුෂ දරුවන් කිසිවිටකවත් එකට කැසිකිළි වැසිකිළි යැම තහංචි කළේය. වැවේ දිය නෑමේදී මේ වයසේ සිටම දිය රෙද්දක්‌, කලිසම් කොටයක්‌ හෝ කෙටි අමුඩයක්‌ ඇන්ද විය. හෙළුවැල්ලෙන් සිටින විට අනතුරු සිදු වෙනවා යෑයි බියක්‌ ඇති කළේය. මේ නිසාම දරුවන් තුළ "ලැඡ්ජා බය" තදින්ම මුල් බැස ගත්තේය. ලැඡ්ජා, බය යනු විනයයි. හික්‌ම වීමයි. මේ නිසා දරුවා වැරැද්දට නැඹුර නොවීය.

ළදරු ළමා විය ඉක්‌මවා ගැහැනු දරුවන් යෞවනත්වයට පත් වන අවස්‌ථාවේදී පැවැත්වූ "මල්වර සිsරිත" ලිංගික ජීවිතයේ සියලු කාරණා නිවැරැදිව තේරුම් කර දෙන ලද වටිනාම අවස්‌ථාවකි. එම සිරිතේ එක්‌ එක්‌ අංගයන් අධ්‍යයනය කරන විට නූතන ලිංගික අධ්‍යාපනයේ සියලු විෂය කරුණු ඉතා සංයමයෙන් දරුවා තුළ තැන්පත් කරන අයුරු පැහැදිලි වෙයි.

ගැහැනු දරුවන් වැඩිවියට පත් වීම, මල්වර වීම, ගෙට වීම, පිල හොඳ වීම, කොටහළු වීම, කෙටි සළු වීම, ලොකු වීම ආදී නම් කිහිපයකින්ම හැඳින්විය. අපේ කොටු ගම්වල අම්මලා ගැහැනු දරුවකු=ගේ මේ සිදු වීම මංගලකාරියක්‌ සේ සැලකීය. මව එතැන් සිට දරුවා ගැන ඇස්‌ හතරකින් බලාගත යුතු බවත්, දරුවාට සුදුසු විවාහයක්‌ කර දෙන තෙක්‌ම හිස පිට ඒ බරක්‌ පැටවුණා යයි සිතුවාය. පිරිමි දරුවන්ටද දැලි රැවුල ආ පසු වැඩිහිටි තරුණයන් හා ගනුදෙනු හැසිරීම් මාපිය දැනුමැතිව කළ යුතු විය. තනි මතයට, තනි පංගලමේ ගමන් බිමන් තහංචි කෙරුණි.

ගැහැනු දරුවා වැඩිවියට පත් වීම සමඟ පවත්වන මංගල චාරිත්‍ර මඟින් ඇයට අවශ්‍යම ලිංගික, සමාජ, ශරිරික, දැනුම අවධිමත් විධි ක්‍රම මඟින් ලබා දුන්නාය. හින්දු හා දේශීය සංස්‌කෘතික මිශ්‍රණයේ ගති ලක්‌ෂණ ඒ සිරිත් තුළ තිබේ. කිල්ල යනු "කිලිටු" අපිරිසිදු යන අදහසැති වචනයකි. "මල්වර කිල්ල" උපත් (වැදුම්ගේ) කිල්ලට හා මරණ කිල්ලට වඩා නරක යෑයි සම්මතයේ සැලකෙයි. ඒ නිසාම ඒ නරක, දොaස පහවී යන ලෙසකින් නක්‍ෂත්‍රයේ ශුභ හෝරා බලා සියලු කාරියන් කරයි. දරුවාට වගකීමේ තරම එතැන දීම දැනෙයි. රුධිර දැකීමක්‌ සමඟ දරුවාට අන් අය නොපෙනෙන පරිද්දෙන් රෙද්දකින් වසා ගෙනවිත් ගෙට කර ගනී. එසේ කරන විටමද දරුවාට තමා අන් අයට විවෘතව පෙනී සිටීමෙන් යම් අනතුරක්‌ ඇත යන හැඟීම ඇති කරවයි. දෙවනුව දරුවාට ලුණු නොදමා කැකුළු සහලින් බඩ පුරාම කෑහැකි රසවත් කිරිබතක්‌ කෑමට ලැබෙයි. පළමු රුධිර දැක්‌මෙන් ඇති වන චකිතය හා ශාරිරික වෙහෙස ඉන් පහව යයි. හෝමෝන ක්‍රියාවට ප්‍රතිචාර නිවැරැදිව ඉන් ලැබෙයි.

ගෙට කරගත් දරුවාට තමාගේම මව නැතහොත් කුඩා කල සිට තමා වැඩියෙන් ඇසුරු කළ, ආදරය කළ ලේ ඥතීවරියක වූ නැන්දා කෙනකු නැත්නම් තමා හා ප්‍රිය ඇසුර ඇති තමාට පෙර වැඩිවියට පත්ව සිටින මිතුරියක තනි රැකුමට තබයි. මේ අය සිදු වී ඇති ශාරිරික විපර්යාසය ආදරයෙන්, විහිලුවෙන්, ගෞරවයෙන් කියා දෙති. ළමාවිය ඉක්‌ම වූ ඇය දැන් මව් පදවිය දැරීමට සුදුසු වූ තත්ත්වයට පත්ව ඇති බව පහදා දෙයි. එය පිරිමින් හා ඇසුරින් සිදු වන බවත් කියා දෙති. ඒ නිසා පිරිමින් ඇසුරේ සීමාවන් දක්‌වයි. තමා තදින්ම ආදරය කළ අප්පා (පියා), සහෝදරයන් සිටී නම් ඒ අයටවත් දියනා පිරිසිදු වනතුරු බැලීමට තහංචි ඇත්තේද ඒ වගකීමේ තරම හොඳාකාරව තේරුම් ගැනීම පිණිසය. වැඩිහිටි කිසිම පිරිමි කෙනකුගේ ඇඳුම් ආයිත්තම් තමන් නෑදිය යුතු බවද කියා දුන්නේ යම් හෙයකින් පිරිමින්ගේ ජීව ඩිම්බ ඒවායේ තිබී ඇති වන ස්‌පර්ශකින් වත් ගැබ් ගත හැකි බව තේරුම් කරමින්ය. "මංකඩට දිය නාගන්ඩ බහින කොට පිරිමින්ගේ සරම්, තුවා ආදිය දිය රෙද්දට ගන්ට එපා යෑයි" අවවාද දුන්නේද එම නිසාමය. දරුවාට ඉන්පසු මාස්‌පතා මාස්‌ ශුද්ධිය සිදු වන බවත්, එය සාමාන්‍ය පැවතුම් සොබාවයක්‌ බවද පෙන්වා දුන්නාය. යම් හෙයකින් එම ක්‍රියාව නැවතී ඇත්නම් වහාම තම මවට හෝ වගකීම ඇති කාන්තාවකට පවසා අසනීප තත්ත්වයක්‌ දැයි දැනගත යුතු බවද තේරුම් කර දුන්නේ ගැබ් ගැනීම තේරුම් කරන්ටය. මාසික ශුද්ධිය හුරු කිරීමට වැඩිවියට පැමිණිමෙන් පසු ඊළඟට සිදු වන මේ ක්‍රියාවලියද "බැහැණක්‌ වීම" යයි නම් කොට ඒ දිනයද මංගල අවස්‌ථාවක්‌ ලෙස නම් කරන ලදී. ගැහැනු දරුවකු ගෙට වූ අවස්‌ථාවේදීත්, පිරිමි දරුවන්ට දැලි රැවුල මතුවන වයසේදීත් අපේ ගම්වල දෙමාපිය හෝ වැඩිහිටියෝ ඒ දරුවන්ට කතා කියා දෙන විලාශයෙන් වටිනාම ලිංගික ආරක්‌ෂාවන් කියා දෙන සිරිතක්‌ පැවතිණි. තමාගේ "රහසඟ" අයිති තමන්ටම බවත් එය පිරිසිදු කිරීම, අතපත ගෑම මවුපියන්ටවත් මින් මතු අයිති නැති බව කියා දෙති. එසේම කුඩා කල මවුපියන් සෝදා නවා පිරිසිදු කළ කාරිය තමුන්ම, තමන්ට නොහැකි වන අවස්‌ථාව දක්‌වාම කරගත යුතු බව මේ අවස්‌ථාවලදී පැහැදිලි කර දුන්නේය.

ගැහැනු දරුවන්ගේ මල්වර සිරිතේදී නැකත් බලා සියලු අපල උපද්‍රවයන් පහ කරන "සඩංග වීදී" සිරිත, කිලි හැලිය ඉවත් කිරීම, කිරි හරකා බැලීම, කිරි ගස්‌ කැපීම ආදියෙන් තමා තුළ නව ජීවයක්‌ ඇරඹීම සනිටුහන් විය. හතරවරිගයේ නෑයන්ට සංග්‍රහ කිරීමත් තැගී ලැබීමත් තුළ දරුවාගේ ගමන බිමන ගැන ඔවුන් බැල්ම ආරක්‌ෂාව ලැබීය. දරුවාටද ඔවුන්ට මුහුණ දිය නොහැකි වන හැසිරීමකට පෙළඹ වීමක්‌ද සිදු විය. එ පමණක්‌ නොව අපල උපද්‍රව ඇත්නම් ඒ සියල්ල පහ කිරීමට සිදු කළ "කොටහලු මංගල්‍ය" ශාන්ති කර්මය තුළ ලිංගික විද්‍යාව පැහැදිලිවම තේරුම් කෙරිණි. දරුවන් ගැබ් ගැනීම ගැන නවීන බටහිර විද්‍යාවේ වෛද්‍ය රබෙල් පෙන්වා දෙන සිද්ධාන්ත ශාන්ති කර්ම කවි ගායනයකද මෙසේ සඳහන් වෙයි.

"තුන්දින ඇතුළත් රුධිරය දුටු තැන

කම්රස විදිමින් සත හට ලෙඩ දෙන

ඉන්දා සය දින තුළ දරු ඵල දෙන

මින් මතුවට දරුවන් නොම උපදින"

ගැහැනු දරුවන් තනිව මංකඩට දර කැඩිමට යැම නොකළ යුතු බව නොයෙකුත් යක්‌ෂ, භූත සංකල්ප මතු කොට බිය වැද්දුවේද ලිංගික අතවර වැළකීම මුල්කොටගෙනය. අද සමාජය මේ උතුම් චාරිත්‍ර නොයෙකුත් අපහසුකම් හේතු දක්‌වමින් ඈත් කර ඇත. අපේ පෞරාණික සිරිත් රැක ගැනීම තුළින් මල් වැනි අපේ දරුවන්ට ආරක්‌ෂාවක්‌ ලැබේ නම් එය යහපතට හේතුවනු ඇත.

මාමිනියාවේ ඉලංගසිංහ

Post a Comment

0 Comments