ආත්‍රයිටිස්‌ වලට සුවිශේෂ කසායක්‌


ප්‍රශ්නය - ඔබ ආයුර්වේද වෛද්‍යවරයෙක්‌ද, නැත්නම් දේශීය වෛද්‍යවරයෙක්‌ ද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය කියන්නේ රාවණා රජු , පුලස්‌ති සෘෂිවරයා පවා පරිහරණය කළ ලාංකික වෛද්‍ය ක්‍රමයක්‌. හැබැයි රාම රාවණා යුද්ධයේදී රාවණ රජු මිය යැමෙන් පසු මෙරට විසූ ඔහුගේ වෙද පරම්පරාව ඉන්දියාවට ගෙන ගිය බවට මතයක්‌ තියෙනවා. මෙය ලංකාවේ විතරක්‌ නොවෙයි, ඉන්දියානු ආයුර්වේදයේ මර්මස්‌ථානය වන එරට කේරළ ප්‍රාන්තයෙත් තිබෙන මතයක්‌. කොහොම වුණත් ලංකාවට ආවේණික තවත් වෛද්‍ය ක්‍රමයක්‌ තිබෙනවා. ඒක තමයි දේශීය සිංහල වෙදකම. මේක විජය රඡ්ජුරුවන්ගෙන් පටන් ගත් සිංහල ජාතියට ආවේණික එකක්‌ ද එහෙමත් නැත්නම් විජය කුමාරයා ලංකාවට එද්දී මේ රටේ ජීවත් වූ යක්‍ෂ නාග වැනි ගෝත්‍රවලට ආවේණික වෙදකමක්‌ද යන්න පැහැදිලි නැහැ. සිංහල වෙදකම කියන්නේ ගහේ පස්‌පංගුව අරගෙන බෙහෙත් හදා ප්‍රතිකාර කිරීමයි. පසු කාලයේදී ශාක සාර ආශ්‍රයෙන් ප්‍රතිකාර කරන මේ සිංහල වෙදකම ආයුර්වේදයේ ශාඛාවක්‌ නොවී වෙනම දියුණු වුණා. මගේ වෙද පරම්පරාව සිංහල වෛද්‍යවරු. මම ඒ වෙදකම කුඩා කාලයේ සිටම ඉගෙන ගත්තා. අද මම කරන්නේ මේ සිංහල වෙදකමත් ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙන ගත්තු සිද්ධ සහ ආයුර්වේද කියන වෛද්‍ය ක්‍රම දෙකක්‌ සංකලනය කරලා හදපු මිශ්‍ර ක්‍රමයක්‌. මේ මිශ්‍ර ක්‍රමය මගින් ආත්‍රයිටිස්‌, අංශභාගය ඇතුළු රෝග කිහිපයකට සාර්ථක ලෙස ප්‍රතිකාර කරන්නට අපට හැකිවෙලා තිබෙනවා.

ප්‍රශ්නය - ඔබේ විෂය ආත්‍රයිටිස්‌ බව දැන ගැනීමට ලැබුණා. මොකක්‌ද මේ ආත්‍රයිටීස්‌.

වෛද්‍ය උදයජීව - මෙහි බාහිර වෛද්‍ය විද්‍යාත්මක පදනම මේ පුවත්පතේ පසුගිය කාලයේදී අවස්‌ථා කිහිපයකදීම සාකච්ඡා වුණා ප්‍රවීණ දේශීය වෛද්‍යවරුන් විසින් ඒවා විස්‌තර කර තිබුණා, දැන් මා ඔබට කියන්නම් ආයුර්වේදයේ ආත්‍රයිටිස්‌ හෙවත් ආම වාතය කියන්නේ කුමක්‌ද කියලා. ආමය ප්‍රධාන කොටගෙන හටගන්නා වාත රෝගයක්‌ හැටියට තමයි ආයුර්වේදයේ ආත්‍රයිටිස්‌ හඳුන්වන්නේ. ශරීරයේ හැම හන්දියක්‌ ගානේම මේ රෝගය හට ගන්නවා. උදරය තුළ තමයි මේ වාතය හටගන්නේ. එහෙම වන්නේ වැරදි ආහාර සහ වැරදි විහරණය නිසයි. මොනවාද මේ වැරදි ආහාර සහ වැරදි විහරණය. වස විස යොදලා හදපු ආහාර ගිල දමලා පුටුවක්‌ උඩට වෙලා පැය 8 ක්‌ ඉඳගෙන ඉඳලා ගෙදර ගිහිනුත් ඇඟපත හොල්ලලා වැඩක්‌ නොකිරීම තමයි ඉහත සඳහන් වැරදි දෙක. අද අපි කන්නෙත් වහ, බොන්නෙත් වහ. අපි කන හාල්වල ග්ලයිෙµdසෙට්‌ එහෙමත් නැත්නම් ආසනික්‌. බොන වතුර පරිසර දූෂණය නිසා ආම්ලික මට්‌ටම් සම්පූර්ණයෙන්ම දූෂණය වුණ වතුර. අපි කන්නේ ක්‍ෂණික ආහාර. එක්‌කෝ නූඩ්ල්ස්‌, එහෙමත් නැත්නම් සුදු පාට පාන්. අපි සොසේජස්‌ කනවා කියන්නේ රස කාරක, වර්ණ කාරක, ඒවා හදන මස්‌වල වර්ණය වෙනස්‌ නොවී තබාගන්න යොදන වෙඩි ලුණු වගේ දේවල් අනුභව කිරීමයි. අද පළතුරු ගහට විතරක්‌ නොවෙයි. ගෙඩිය ගහෙන් කැඩුවට පස්‌සෙත් බෙහෙත් ගහනවා. අද පළතුරු ඉස්‌සර පළතුරු වගේ රස නැහැ. අද අන්නාසි ගෙඩියක ඉස්‌සර අන්නාසි ගෙඩියක තිබුණු සුවඳ තියෙනවද? අපි කරන්නේ මේවා ගිල දමලා ඇඟ මහන්සි වී කරන කිසිදු වැඩක්‌ නොකර ඔහේ ඉන්න එකයි. අන්තිම ප්‍රතිඵලය තමයි ආත්‍රයිටිස්‌. ආම වාතයේම තව කොටසක්‌ තමයි සොරයිසිස්‌. එය චර්ම රෝගයක්‌ වුණාට හැදෙන්නේ ආම වාතය නිසයිs. ආම වාතය සුව වෙනකොට සොරයිසිස්‌ රෝගයත් සුව වෙනවා.

ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වට ආත්‍රයිටිස්‌ හෙවත් ආම වාතය මීට අවුරුදු 5 ට විතර ඉස්‌සරත් තිබුණා නේද? ඒ කාලයේ වස විස යෙදූ ආහාර තිබුණේ නැහැ.

වෛද්‍ය උදයජීව - ඒකට හේතුව ඒ කාලේ හිටපු අය ඉතා මහන්සියෙන් වැඩ කරපු නිසයි. බර ඔසවාගෙන ගමන් කරපු නිසයි. උදාහරණයක්‌ ලෙස මෙයට වසර 50 කට පෙර කුඹුරක්‌ හාපු ගොවියකු සහ අද කුඹුරක්‌ හාන ගොවියකු ගම්මු. අද ඉන්න ගොවියා කරන්නේ රෝද හතරේ ට්‍රැක්‌ටරයට නඟුලක්‌ හයි කරලා ඒකෙන් කුඹුරු හාන එකයි. ඇඟේ මඩ බිංදුවක්‌වත් නොගෑවී කුඹුරු හාන්න ඒ ක්‍රමයට පුළුවන්. හැබැයි මීට අවුරුදු 50 කට ඉස්‌සර හිටපු අය කුඹුරක්‌ හෑවේ හරකුන් දෙදෙනකු වියගසට බැඳලා, ඒaකට තනි දැත්තෙ නඟුලක්‌ හයි කරලා, ඒ ඔක්‌කොමත් එක්‌ක කුඹුරට බැහැලයි. එතකොට ඔහු දණක්‌ මඩේ එරෙනවා. හරක්‌ ඉදිරියට යනකොට දණක්‌ එරුණ මඩේ ඇවිදින්න විශාල වෑයමක්‌ දරන්න ඕනෑ. එක කකුලක්‌ මඩෙන් ඇදලා අරගෙන ආපසු තියන්න විශාල ශක්‌තියක්‌ ඕනෑ. එහෙම කරනකොට දණහිසේ තිබෙන පටක සහ කාටිලේජ ඉරෙනවා. ගැමි ගැහැනුන් කොයි තරම් වැඩ කරනවද? දර පලනවා. කුඹුරුවල වුණත් මඩේ බැහැලා පැළ හිටුවනවා. නැත්නම් ගල්කඳු උඩ බර කර තියාගෙන යනවා. හැබැයි ඒ කාලේ මේ තරම් ආත්‍රයිටිස්‌ තිබුණේ නැහැ. 

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය ගැන තවදුරටත් අප ලබන සතියේ සාකච්ඡා කරනවා. ඒ අතර ඔබ අපට කිව යුතුයි, මේ රෝගය සුවපත් කර ගැනීම සඳහා ගෙදරදීම කළ හැකි ප්‍රතිකාරයක්‌.

වෛද්‍ය උදයජීව - අපේ තිබෙනවා. සුවිශේෂ කසායක්‌ කියලා කසායක්‌. ඒක හදන්නෙ මෙහෙමයි. පාවට්‌ටා, බෙලි, මිදි, තොටිල, පලොල් ඇත්දෙමට, නෙරෙංචි, රසකිඳ කියන බෙහෙත් වර්ග කලං එකයි මංචාඩි 6 බැගින් අරගෙන වතුර පත අට එකට හිඳලා, සීනි, මීපැණි දමලා දවස්‌ හයක්‌ එක දිගට පානය කළ යුතුයි. ඒ අතර ඇල්වතුර නාන්න හොඳ නැහැ. කසාය බොන අතරේ කොහොමටත් නාන්න නරකයි. උණුවතුර තමයි සුදුසු. බලමාළු, තක්‌කාලි, අන්නාසි, බල කරෝල, වැනි උෂ්ණ ආහාර හොඳ නැහැ. නිදි වරන්න නරකයි. මහන්සි නොවී තමන්ගෙ එදිනෙදා වැඩ කරගත්තට කමක්‌ නැහැ. ටිකක්‌ කල්ගිය ආත්‍රයිටිස්‌ පවා මෙයින් සුවපත් වෙනවා. 

ප්‍රශ්නය - ඔබ ආත්‍රයිටිස්‌ රෝගියකු කොපමණ කලකින් සුව කරනවද?

වෛද්‍ය උදයජීව - මාස එකහමාරකින්. හැබැයි මගේ වෑයම වගේම රෝගියාගේ උදව්වත් තිබිය යුතුයි. ඔහු නිසි විදිහට බෙහෙත් බීලා මත්පැන්, දුම්පානය නොකර ඉන්නවා නම් ලෙඩේ ඉක්‌මනට සුව වෙනවා. ඔහු එහෙම නොකළොත් ලෙඩේ සුව කරන්න හරිම අමාරුයි.

නොමිලේ විස්‌තර සඳහා 0372230667, 0718341834 

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න

Post a Comment

0 Comments