වකුගඩුව මිනිස් සිරුරේ විශ්මයජනක අගනා ඉන්ද්‍රියයන්ගෙන් එකකි. මුත්‍රා පෙරීම අතිරික්‌ත ජලය පිටකිරීම, ශරීරයේ රසායනික සංයුතිය සහ විෂබීජ මෙන්ම රුධිර පීඩනය පාලනය කිරීම, අස්‌ථි මනා සුවදායී මට්‌ටමෙන් පවත්වා ගැනීම, රතු රුධිරානු නිෂ්පාදනය, මිනරල් පොටෑසියම්, රුධිර අම්ලය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට අවශ්‍ය බොහෝ දේ පාලනය කිරීම යනාදී ක්‍රියා රැසක්‌ම එමගින් සිදු කෙරේ. එය දීර්ඝකාලීන, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සිරුර ක්‍රියාත්මක කිරීමේලා රුධිර සංසරණයේදී හෘදය මගින් ඉටුකෙරෙන මෙහෙවර තරම් ම වැදගත් කාර්යභාරයකි.
අතීතයේ ශ්‍රී ලංකාවේ නොදක්‌නා ලද අන්දමින් වර්තමානයෙහි මෙම රෝගය බහුලව දක්‌නට ලැබේ. බෙහෙවින්ම වකුගඩු බෙලහීන කිරීමට වුවද සමත් බාහිර වූත් අභ්‍යන්තරික වූත් විවිධ හේතූන් ඇත. අසමතුලිත පරිභෝජන රටාව, සොබාදහමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම්, අධික රසායන වර්ග භාවිතය සහ මෙතෙක් හඳුනා නොගත්, මිනිස් ජීවිතයට අතිශයින්ම පීඩාකාරී සාධක රැසක් ඒ අතර වෙති. එවන් සාධක පිළිබඳව දැනට ලොව පුරා පර්යේෂණ පැවැත්වේ. එකී විවිධ හේතූන් මත පීඩනයට පත් වන විශ්මිත වකුගඩුවේ ආරක්‍ෂාව සහ පැවැත්ම උදෙසා, විශේෂයෙන් සැලකිලිමත් වීම මුළු මහත් මානව සංහතියේම වගකීම වන්නේය. මෙම විනාශකාරී රෝගයට ඉතා මෑතක සිට ශ්‍රී ලංකාව ද ගොදුරක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාව සමස්‌ත ලෝකය ම සෙසු රටවල් රැසක්‌ම එම රෝගය විසින් ආක්‍රමණය කරනු ලැබ තිබේ. රෝගයේ එහි ශීඝ්‍ර ව්‍යාප්තිය නිවාරණය කරනු සඳහා ජනතාව දැනුවත් කිරීමේ විධිමත් සැලැස්‌මක් යටතේ දැනටමත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් විවිධ පදනම්, උපදේශක මධ්‍යස්‌ථාන යනාදිය ඇතුළත් පුළුල් ආයතන ජාලයක් ලොව පුරා ස්‌ථාපිතව ඇත.
වකුගඩු රෝගය උත්සන්න වීමේ ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මධුමේහය හෙවත් දියවැඩියාව, රුධිර පීඩනය, අධි රුධිර පීඩනය, රසායනික ද්‍රව්‍ය පරිභෝජන රටාව සහ වෙනත් අනුශාංගික හේතු බව ලොව පුරා පර්යේෂකයන් ද අනාවරණය කර ඇති බව මුලදී ද සඳහන් කළෙමු. එම රෝගයට හා සමගාමීව දියවැඩියා රෝගය ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
අසාධ්‍ය වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් 10% කි. ආසියානු රටවල දියවැඩියා රෝගීන් 6% ක් සහ ලොව පුරා වසරකට මිය යන සංඛ්‍යාව දසලක්‍ෂ 1.5 ක් බවද ගණන් බලා තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනය වන දසලක්‍ෂ 21 න් දසලක්‍ෂ 4 ක් ම දියවැඩියා රෝගීන් ය. ලොව පුරා සිටින දසලක්‍ෂ 382 ක් වන දියවැඩියා රෝගීන් සංඛ්‍යාව වසර 2035 වන විට දසලක්‍ෂ 592 ක් විය හැකිය. එය මිනිස් පරපුර කොතරම් බියජනක ඉසව්වකට ගෙන යන්නක්‌ද? දැනට නැගෙනහිර, උතුර යන පළාත්වලින් නාගරික ප්‍රදේශ දක්‌වා පැතිර ඇති මෙම රෝගයේ සමාරම්භය හේන් ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික ජනසමාජය ආශ්‍රිතව සිදු වූවකි. දැනට සිටින රෝගීන් සංඛ්‍යාව ද ෙ€දජනක මට්‌ටමින් ව්‍යාප්ත වනු පෙනේ. වර්තමානයෙහි අසාධ්‍ය වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 22,000 කි. ඉන් මිය යන රෝගීන් සංඛ්‍යාව මසකට 300 ක් පමණ වන අතර එම පිරිසට මාස්‌පතා රෝගීන් 1,100 ක් එකතුවීමේ ප්‍රවණතාවයක් දක්‌නට ලැබේ. රසායන මිශ්‍රිත ආහාර ජලය පරිභෝජනය පාලනයකින් තොර රසායනික පෝර භාවිතය යනාදිය එම සීඝ්‍ර වර්ධනයට තවත් ප්‍රබල හේතුවකි. සෞඛ්‍ය අමාත්‍යාංශය, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍ය නොවන සංවිධාන සහ සුප්‍රකට වෘත්තිකයන් රාශියක්‌ද මේ පිළිබඳ දැනට පර්යේෂණ රාශියක් පවත්වා ඇත. එහෙත් තිරසාර විසඳුමක සේයාවකදු මෙතෙක් දක්‌නට නොලැබේ.
අගනා ශාරීරික අවයවයක් වන වකුගඩුව අක්‍රීය වූ විට ඇති විකල්පය වනුයේ රුධිර කාන්දුපෙරණය සහ වකුගඩුව බද්ද කිරීමය. එහෙත් බද්ධ කිරීම විශාල වියදමක් දැරීමට සිදු වන අතිශයින්ම සංකීර්ණ, අපහසු කාර්යයකි. මෑත දී දක්‌නට ලැබුණු විද්‍යා, තාක්‍ෂණික ප්‍රගතිය හේතු කොට ගෙන වකුගඩු බද්ධ කිරීම සහ රුධිර කාන්දුපෙරණය තරමක් පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව උදාවී තිබීම කිසියම් සහනයකි. රුධිර කාන්දුපෙරණය යොදා ගනු ලබන්නේ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය අඩාල වූ විට, එය යළිත් ක්‍රියාත්මක කිරීමට හෝ එහි ක්‍රියාකාරිත්වය අතිශයින්ම හානිදායක තත්ත්වයකට පත් වූ විටය. එය හුදෙක් වකුගඩු බද්ධ කිරීම තෙක් රඳවා ගැනීමේ ප්‍රයත්නයක් පමණි. එය අක්‍රිය වූ වකුගඩුවක් සහිත තැනැත්තෙකුට අලුතින් වකුගඩුවක් බද්ධ කර, එමගින් රුධිරය පිරිසිදු කිරීමේ කාර්ය සැකසීමේ සැත්කමකි. වකුගඩු පරිත්‍යාග කරන්නන් අතර ජීවත්ව සිටින ඥතීහු මෙන්ම මියගිය තැනැත්තෝ ද වෙති. වකුගඩු රෝගීන් සහ දියවැඩියාව රෝගීන් බහුලව දක්‌නට ඇත්තේ ඉන්දියාවේය. එය මුල් අවධියේ දී අප්‍රකටය. වහා හැඳිනිය නොහැක. එහි වර්තමාන වර්ධන වේගය 17.4% කි. රෝගීන්ගේ සංඛ්‍යාව ජනගහනයෙන් 7.1% කි. එබැවින් රෝගය අසාධ්‍ය වීමේ වැඩි ප්‍රවණතාවයක් ද දැකිය හැකිය.
ශාරීරික අවයව අලෙවි කිරීම පිළිබඳ නීති පද්ධතියක් නොබෝදා ඉන්දියාවේ සම්මත කරනු ලැබීය. ඒ අනුව අලෙවි කිරීමට අවකාශ සලසා ඇත්තේ ඥතියකු සඳහා පවුලේ අයකුට පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇස්, ලේ හෝ වෙනත් ශාරීරික ඉන්ද්‍රියන් පරිත්‍යාග කිරීමේ නිදහස තිබේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව අවශ්‍ය අයකුට ශරීරයේ කොටස් පරිත්‍යාග කිරීම සාවද්‍ය ක්‍රියාවක් නොවේ. එහෙත් එය නීති විරෝධී ක්‍රියාවක් සේ සලකනුයේ රැවටීමේ අදහසින් හුදෙක් වෙළෙ¹ම අරමුණු කොට එසේ කිරීමේදී පමණි.
රජයේ සහ පෞද්ගලික රෝහල්වල උසස් ප්‍රමිතියත්, වෛද්‍යවරුන්ගේ ප්‍රවීණතාවත් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇත්තේ සාඩම්බර ඉතිහාසයකි. හිටපු විදේශ ඇමැතිවරයකු වූ ලක්‍ෂමන් කදිර්ගාමර් පවා ජීවත් වූයේ බෞද්ධ භික්‍ෂුවක් විසින් පරිත්‍යාග කරනු ලැබූ වකුගඩුවක ආධාරයෙනි.
වකුගඩු පරිත්‍යාගශීලීන් සමඟ ලංකාවට පැමිණි ඉන්දියානු ජාතිකයන්ට පවා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වලින් මෙම සැත්කම සාර්ථකව කර තිබේ. විදේශික සංචාරකයන් සඳහා ද ශ්‍රී ලංකාවේ දී එම සැත්කම බොහෝ අවස්‌ථාවලදී කර ඇත. අප රටට සංචාරකයන් වඩාත්ම ආකර්ෂණය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව, තේ කර්මාන්තය, පෞරාණික සංස්‌කෘතික ලක්‍ෂණ, සමතුලිත දේශගුණය සහ දැකුම්කලු පරිසරය යනාදිය හේතු කරගෙනය. වකුගඩු බද්ධ කිරීම නියාමනය කර වර්ධනය කළ තරමටම සංචාරකයන් සඳහා කෙරෙන සැත්කම් ප්‍රමාණය තවදුරටත් පුළුල් වීමට අවකාශ එමටය.
ශාරීරික අවයව අලෙවි කිරීම, බද්ධ කිරීම සහ අවභාවිතය වළක්‌වාලීමට දැනට ඉන්දියාවේ නීති රීති ස්‌ථාපිත කර ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අතර සුදුසු වෛද්‍ය පහසුකම් නොලැබීමෙන් මිය යන රෝගීන්ට ඇති විකල්පය කවරේද? මෙහිලා ශ්‍රී ලංකාව වඩාත් මධ්‍යස්‌ථ වූ එසේම රෝගීන්ට හිතවාදී වූ නෛතික පදනමක් හඳුන්වා දේ. ඒ අනුව වකුගඩු පරිත්‍යාග කිරීමට මෙරට කොන්දේසි සහිතව අවකාශ සලසා ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ඇතිව පමණක් පිටස්‌තර රෝගීන් සඳහා ද වකුගඩු පරීක්‍ෂා කළ හැකිය. එවැනි අත්‍යාවශ්‍ය ඉල්ලීම් විෂයෙහිලා එම අමාත්‍යාංශය යුහුසුලුව ක්‍රියා කිරීමට සැදී පැහැදී සිටී.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට නාම මාත්‍රික ගෙවීමක් පමණක් කිරීමෙන් අනතුරුව රෝගීන් රවටා අතරමැදි නියෝජිතයන් අයුතු ලාභ ලබා ගැනීමේ ජාවාරම කලක් තිස්‌සේ ප්‍රබලව සිදුවෙමින් පැවතිය ද දැනට එවැන්නකට ඇති ඉඩකඩ අවුරා තිබේ. ඉන් පසුව මේ දක්‌වා කර ඇති සැත්කම් සංඛ්‍යාව 60 ක් පමණ වේ. වෙනත් ශාරීරික කොටස් පරිත්‍යාග කිරීමේදී මෙන්ම මෙහිදී ද එම කාර්ය නියාමනය කිරීම වැදගත් ය.
මෙහිලා ශ්‍රී ලංකාවේ කාර්යභාරය වනුයේ වෛද්‍යවරුන් සහ පහසුකම් සැපයීම මිස ක්‍රියා පද්ධතියට හවුල් වීමක් නොවේ. අවශ්‍ය රෝගීන්ට පහසුකම් සැපයීම ජීවිත බේරා ගැනීම සහ වෛද්‍ය විද්‍යාවේ ඉදිරි ගමනට දිරි දීමද ඔවුන්ගේ අරමුණය. මෙම ව්‍යසනයෙන් මුළු මහත් ජාතියම බේරා ගැනීමේ අදහසින් රටවැසියන් දැනුවත් කිරීමටත්, ඒ අතර දීර්ඝකාලීනව මෙන්ම කෙටිකාලීන සැලසුම් දියත් කිරීමත් රජයේත් ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවලත්, වෘත්තීය ප්‍රජාවගේත් කාර්යභාරය වන්නේය.
අධිනීතිඥ සරත් විඡේසිංහ
ඊශ්‍රායලයේ සහ එමීර් රාජ්‍යයේ හිටපු තානාපති සහ එක්‌සත් රාජධානියේ සොලිසිටර්
0 Comments