කොලෙස්‌ටරෝල් අඩු කරන්න උළු හාල්වලින් සරළ බෙහෙතක්‌


ප්‍රශ්නය - පාරම්පරික සිංහල වෙදකම තුළ හෘදයාබාධ සඳහා තිබෙන ප්‍රතිකාර රැසක්‌ පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. සිංහල වෙදකම මගින් කරන්නේ හෘදයාබාධය නිට්‌ටාවට ම සුව කිරීම ද එහෙමත් නැත්නම් කළමනාකරණය කිරීම ද?

වෛද්‍ය වික්‍රමාරච්චි - මනුෂ්‍ය ශරීරයට වැළඳෙන ලෙඩ රෝග වලින් 75% කටත් වඩා නිට්‌ටාවට සුව කරන්න පුළුවන්. ඉතුරු 25% නිට්‌ටාවට සුව කරන්න බැරි නම් කළමනාකරණය කරගන්න හෝ පුළුවන්. ලෙඩක්‌ නිට්‌ටාවට සුව වුණාට පස්‌සේ නැවතත් තත්ත්වය අවුල් කරගන්නෙ නැතිව වැඩ කිරීම තමයි රෝගියාගේ වගකීම. හෘද රෝග තිබෙන අය පොල්තෙල් වලින්, පොල් කිරිවලින්, තෙල් සහිත මස්‌ වර්ගවලින් වැළකියයුතු බවට අප උපදෙස්‌ දෙනවා. එහෙත් බොහෝ දෙනා රෝගය සුවපත් වූ වහාම පැරැණි ක්‍රමයට පොල්තෙල්වලින් කළ බැදුම් කනවා. නුසුදුසු මස්‌වර්ග කනවා. හොඳට පොල් කිරි දාලා ව්‍යාංජන කනවා. මත්පැන් පානය කරනවා. එහෙම කරලා නැවතත් හෘද රෝග වැළඳුනාම ලෙඩේ නිට්‌ටාවට සුව කළේ නැහැ කියලා වෛද්‍යවරයාට බනිනවා. දැන් ඔබ මගෙන් අහන්නේ හෘද රෝග නිට්‌ටාවට සුව කරනවද නැත්නම් කළමනාකරනය කරනවද කියලයි. පශ්චාත් රෝග කාලය, එහෙමත් නැත්නම් රෝගයෙන් පසුව එළඹෙන කාලය කළමනාකරණය කර ගැනීම රෝගියා කළ යුතුයි. වඩාත් සරලව කියනවානම් මේකට කියන්නේ කට පරිස්‌සම් කර ගැනීම කියලයි. අප රෝගය කොතරම් නිට්‌ටාවට සුව කර දුන්නත් වැඩක්‌ නැහැ රෝගියා යළි එය මතු කර ගන්නවා නම්.

 ප්‍රශ්නය - වර්තමානයේදී අතීතයේ තිබුණාම වැඩියෙන් හෘද රෝග ව්‍යාප්තියක්‌ තිබෙනවා නේද?

වෛද්‍ය වික්‍රමාරච්චි - අද එදාට වඩා ජනගහනය වැඩියි. ඒ නිසා ප්‍රමාණාත්මකව ගත්තම හෘද රෝගීන් සංඛ්‍යාව වැඩියි. අද ආහාර විලාසිතාව එදාට වඩා වෙනස්‌. ඒ නිසා හෘද රෝගීන් ප්‍රමාණය වැඩියි. ලෝකය දිහා බැලුවම පෙනෙන්නෙත් හෘද රෝගීන් ඉතා විශාල වශයෙන් ඉහළ ගොස්‌ ඇති බවයි. ජානමය උරුමය නිසා, හෘද රෝග හැදෙන බව අප කොහොමටත් දන්නවානේ. ඊට අමතරව අද වෙසෙන ජනයා තුළ අධික රුධිර පීඩනය, දියවැඩියාව, ශරීරයට අහිතකර HDL හෙවත් high serum cholesterol වැඩිවීම, යනාදිය බහුලව දකින්න ලැබෙනවා. සමහරු කෙළවරක්‌ නැතිව දුම් බොනවා. එතකොට රුධිරයට එක්‌වන නිකොටින් නහරවල තැන්පත් වෙනවා. ඊට පස්‌සේ නහර බ්ලොක්‌ වෙනවා. මේ සියල්ලෙන්ම පීඩාවට පත් වන්නේ හදවත. හදවත කියන්නේ මහ පුදුම ඉJද්‍රියයක්‌. හදවත මලොත් මොළය වැඩ කරන්නේ නැහැ. හැබැයි මොළය මලත් හදවත වැඩ කරනවා. මේක මම කලින් සතියකත් විස්‌තර කළා.

ප්‍රශ්නය - සිංහල වෙදකම සහ අයුර්වේදය යන දෙක හෘද රෝගදකින ආකාරය තුළ වෙනසක්‌ තිබෙනවාද ?

වෛද්‍ය වික්‍රමාරච්චි - වැඩි වෙනසක්‌ නැහැ. රෝගය ගැන දෙන අර්ථ නිරූපනය වෛද්‍ය ක්‍රම දෙක තුළම එක සමානයි. ඒ කියන්නේ වෛද්‍ය ක්‍රම දෙකේම 'ව්‍යාධි වේදය' හෙවත් Pathogenesis එක සමානයි. ඒත් ප්‍රතිකාරවලදී සුළු වෙනස්‌කම් තිබෙනවා. සිංහල පාරම්පරික වෙදකම ප්‍රතිකාරවලදී හුඟක්‌ දුරට පිහිටන්නේ ඖෂධීය ශාඛාවල පස්‌පංගු මත. ආයුර්වේදය පස්‌පංගුව වාගේම රස බෙහෙතුත් යොදා ගන්නවා. සිංහල වෙදකම තුළ රස බෙහෙත් භාවිතා වන්නේ තත්ත්වය සීරියස්‌ නම් විතරයි.

ප්‍රශ්නය - ඔබේ වෙදකම අනුව රුධිර පීඩනය හෘදයාබාධයට බලපාන්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමාරච්චි - හැම වෙදකමකම මූලධර්ම එකයි. ඒ අනුව පාරම්පරික සිංහල වෛද්‍යවරයා හෘද රෝගයට අර්ථ නිරූපණය දෙන්නෙත් අනෙක්‌ වෛද්‍ය ක්‍රමවල අය දෙන විදියටමයි. අධික රුධිර පීඩනය හැදෙනව රුධිරයට ලේ සපයන ධමනි බිත්තිවලට නිතරම හිරුහැර සිදු වෙනවා. එවිට ධමනිවල බිත්ති ඝනකම් වීමට පටන් ගන්නවා. ඒ අතර කොලෙස්‌ටරෝල් අංශු ධමනි බිත්තිවල බැඳෙන්නට පටන් ගන්නවා.

ප්‍රශ්නය - මෙය වළක්‌වා ගත හැකි ප්‍රතිකර්ම මොනවද?

වෛද්‍ය වික්‍රමාරච්චි - අත් බෙහෙත් මගින් සුවපත් කර ගන්න හැකි වන්නේ රෝගය මූලිකම අවස්‌ථාවක තිබෙනවා නම් පමණයි. රෝගය කල් ගියොත් කවර හෝ වෛද්‍ය ක්‍රමයකට අයත් වෛද්‍යවරයකු හමුවිය යුතුමයි. පුංචි අත් බෙහෙතක්‌ මම කියන්නම්. සුදුළුනු ග්‍රෑම් 1 ක්‌ අරගෙන එය තලපයක්‌වන ලෙස අඹරා ගත යුතුයි. මෙය මෝරු වීදුරුවක්‌ සමඟ මිශ්‍ර කර ගෙන දවසට 2 වරක්‌ පානය කළ යුතුයි. ඒ කියන්නේ දවසකට සුදුළුනු ග්‍රෑම් 2 ක්‌ සහ මෝරු වීදුරු 2 ක්‌ ශරීරගත විය යුතුයි. එය දින කිහිපයක්‌පානය කළාම රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට එනවා.

රුධිර කොලෙස්‌ටරාල් සහ මේදය අඩු කර ගැනීමටත් ක්‍රමයක්‌ කියන්නම්. උළුහාල් මේස හැන්දක්‌ රැයක්‌ එළිවනතුරු පොඟවා හොඳින් අඹරා හිස්‌බඩ කෑ යුතුයි. රුධිර කොලෙස්‌ටරෝල් ඉතා ඉක්‌මනින් පහත බැසීම මෙවිට සිදු වෙනවා.

(හෘදයාබාධ සුව කරන රාජ කන්ථකී තෛලය සහ මේඝහරි තෛලය ගැන ලබන සතියේ කියවන්න.)

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා
0713464276/ 0759061771 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Post a Comment

0 Comments