සමථ මණ්‌ඩලයෙන් ලැබෙන දායකත්වය


සීඝ්‍ර ලෙස මර්ධනය ව ජනගහනයත්, ඔවුන්ගේ අවශ්‍යතා අසීමිත වීමත්, එකී අසීමිත අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇති සම්පත් ප්‍රමාණය සීමිත වීමත් යන කාරනා හේතු කොටගෙන මිනිසුන් අතර ඇති වන්නාවූ ගැටුම් හා ආරවුල් අපමණය. මෙම තත්ත්වය සමාජ ප්‍රගමනයට මෙන්ම සාමකාමී සහජීවනයට බරපතළ තර්ජනයක්‌ එල්ල කරවයි. ගැටුමේ ආරම්භය මෙදින සිට සිදු වුණි යෑයි කිසිවෙකුටත් කාල නීර්ණයක්‌ කළ නොහැක. මානව සම්භවය සිදු වූයේ කෙදිනකද එතැන් සිට ඔවුන් අතර ගැටුමද උපත ලබන්නට ඇතැයි සිතිය හැක්‌කේ එහෙයිනි.

මානව ශිෂ්ටාචාරය ආරම්භයේදී එකම ගැටුම නිරාකරණය මාධ්‍යය වූයේ ප්‍රතිවාදියා හා සටන් කිරීමයි. නැතහොත් ප්‍රතිවාදියා තමාට වඩා ප්‍රබලයෙක්‌ යෑයි හැඟේ නම් පළා යාමයි. මෙහිදී බොහෝදුරට සිදු වූයේ ගැටුම් නිරාකරණය වීමක්‌ නොව ශක්‌තිවන්තයා අතින් දුබලයා යටපත් වීම හෝ විනාශ වී යාම පමණි.

නමුත් මිනිසා ක්‍රමයෙන් ශිෂ්ටත්වය කරා ළඟා වීමත් සමඟ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමෝපායයන් දියුණු වන්නට විය. එමඟින් පෙරට වඩා සියුම් ලෙස අනෙකා හඳුනා ගැනීමටත්, තම අදහස්‌ වඩාත් නිරවුල්ව ප්‍රකාශ කිරීමටත් ඔහුට අවස්‌ථා ලැබිණි. ඉන් අනතුරුව ඔවුනොවුන් අතර ඇති වන ආරවුල් ස්‌වේච්ඡාවෙන්, විධිමත් නොවන අයුරින් හා දැඩි නීතිරීතිවලින් බැහැරව අවම පිරිවැයකින් මෙන්ම කඩිනමින් විස¹ ගැනීමේ විකල්ප ක්‍රමවේද ඔවුන් විසින්ම සකසා ගනු ලැබූහ.

ඉන්දියාවේ පංචායතී (ච්බජය්හ්එs) රාජ්‍ය ක්‍රමය, අප්‍රිකානු හා ඇමෙරිකානු ග්‍රෝතිකයන් අතර පැවැති ජනතා අධිකරණ මෙයට නිදසුන් ලෙස දැක්‌විය හැකිය. මෙහිදී ග්‍රෝතිකයන් අතර ඇති වූ ආරවුල ඔවුන්ගේ නායකයා වෙත ඉදිරිපත් කර නිරවුල්කරණයන් සිදු කරගෙන ඇත. මේ අනුව සමථකරණය යන සමාජ විද්‍යාත්මක නාමය භාවිතා නොවූවත් එම සංකල්පයේ හරය ගැබ්වූ විධිමත් නොවන සුහදශීලි ආරවුල් නිරාකරණ ක්‍රමවේදයන් ඈත අතීතයේ සිටම මිනිස්‌ සමාජයන් තුළ භාවිත වූ බව පෙනී යයි.

ක්‍රි. පූ. 425 දී පණ්‌ඩුකාභය රජදවස ලංකාවේ ක්‍රියාත්මක වූ ගම්සභා ක්‍රමය හෙවත් ගම්මාන කමිටු ප්‍රදේශවාසීන් අතර ඇති වූ ආරවුල් නිරාකරණය කර ගැනීම සඳහා ගම් මට්‌ටමින් යොදාගත් ක්‍රමවේදයකි. එමෙන්ම රට සභා යනු ගම් මට්‌ටමින් ලබාගත් නිරවුල්කරණයන්ගෙන් අතෘප්තියට පත් වූවන්ට සිය ආරවුල ඉදිරිපත් කිරීම සඳහා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් පිහිටුවා තිබූ ස්‌වේච්ඡාමය වැඩපිළිවෙළකි.

සමථකරණය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් විධිමත් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක්‌ කරන ලද්දේ ඇමරිකා එක්‌සත් ජනපදයේ සමාජ විද්‍යාඥයින් පිරිසක්‌ විසින් 1960 දශකයේදීය. ග්‍රෝතික ජනතාව අතර හට ගන්නා ආරවුල් ඔවුන්ගේ ග්‍රෝතික නායකයාගේ මැදිහත් වීමෙන් විස¹ ගන්නා ආකාරය පිළිබඳ නිරීක්‌ෂණය කිරීමෙන් අනතුරුව සමාජ විද්‍යාත්මක සංකල්පයන්ද ඇසුරු කරමින් සමථකරණ සංකල්පය ලොවට හඳුන්වා දී ඇත.

වර්තමානයේ චීනය, මොංගෝලියාව, නේපාලය, ලාඕසය, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, ඇමරිකාව, ඕස්‌ටේ්‍රලියාව හා ස්‌කැන්ඩිනේවියානු රටවලද සමථකරණ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ සමථකරණ ක්‍රියාවලිය 1988 අංක 72 දරණ සමථ මණ්‌ඩල පනත මඟින් හඳුන්වා දෙන ලදී. සාම්ප්‍රදායික ආරවුල් නිරවුල්කරණ පද්ධති තුළ පවත්නා සංකීර්ණ භාවය, අධික තදබදය සහ එතුළින් ඇති වන ප්‍රමාදයෙන් මහජනයා අපහසුතාවයට පත්වීම අවම කිරීම සඳහා සමථ මණ්‌ඩල ක්‍රමය හඳුන්වා දී ඇත.

ගැටුම්කාරී වාතාවරණයක්‌ තුළ පළුදු වූ මිනිස්‌ සබඳතා පාර්ශ්වයන්ගේ කැමැත්ත පරිදි සුහද සාකච්ඡා මාර්ගයෙන් යථාවත් කිරීම සඳහා තුන්වන පාර්ශ්වයක්‌ මඟින් පහසුකම් සැලසීම සමථකරණයේ මූලික හරය ලෙස කැටිකොට දැක්‌විය හැකිය.

මෙහිදී සමථකරුවා ආරවුල්ගත පාර්ශ්වකරුවන් අතර ආරවුල නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් යහපත් සාකච්ඡාවක්‌ පවත්වා ගෙන යාමට සම්බන්ධීකාරකයෙකු ලෙස කටයුතු කරයි. සමථකරුවකු පිළිගත හැකි වූත්, අපක්‌ෂපාතී වූත්, මධ්‍යස්‌ථ තැනැත්තෙකු විය යුතුය. එමෙන්ම තීන්දු තීරණ ගැනීමේ බලය රහිත තැනැත්තෙකු වේ.

මෙබඳු පසුබිමක්‌ තුළ අදාළ ආරවුල්ගත පාර්ශ්වකරුවන්ට තමන්ගේ ගැටලුවට පාදක වූ උවමනාවන් නිවැරදිව හඳුනා ගැනීමට සමථකරණ ක්‍රියාවලිය මඟින් අවස්‌ථාව ලැබේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වයේම උවමනාවන් සපුරා ගැනීමට සුදුසු විකල්ප ජනනය කිරීම සිදු කෙරේ. යම්කිසි ගැටලුවකට විසඳුම් වශයෙන් විකල්ප එකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ තිබිය හැකිය. එවිට වඩාත්ම සුදුසු විකල්පය කුමක්‌ද යන්න සලකා බලනු ලැබේ. ඒ පිළිබඳව විවෘතව හා සුහදව සාකච්ඡා කිරීමෙන් අනතුරුව පුද්ගල අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් දෙපාර්ශ්වයේම සිතැඟියාවන් ඉටු වන පරිදි ජය- ජය විසඳුමකට එළඹීමට අවස්‌ථා ලැබේ. එනම් දෙපාර්ශ්වයේම එකඟතාවයෙන් අවසන් වන ක්‍රියා පටිපාටියක්‌ වේ.

සමථකරණය පිළිබඳ සමථකාරකවරුන්ගේ දක්‌ෂතා ඉහළ නැංවීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්‌ඩල කොමිෂන් සභාව මඟින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින් සමථකිරීමේ දක්‌ෂතා සහ උපක්‍රම පිළිබඳ පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ. මෙමඟින් දිවයිනේ සියලුම සමථකාරවරුන්ට විධිමත් පුහුණුවක්‌ ලබා දීමට විධිවිධාන සලසා ඇති අතර අධිකරණ අමාත්‍යාංශය යටතේ විධිමත් පුහුණුවක්‌ ලද දිස්‌ත්‍රික්‌ සමථ පුහුණු නිලධාරීන් විසින් එම පුහුණු වැඩසටහන් පවත්වනු ලැබේ.

සමථකරණයේදී පාර්ශ්වයන්ට ස්‌වකීය ගැටලුව තමන් විසින්ම ඉදිරිපත් කිරීමට, සාකච්ඡා කිරීමට අවකාශ ලැබීම සුවිශේෂී තත්ත්වයකි. එමෙන්ම ඉතාමත් සාමකාමී සාමාන්‍ය පරිසරයකදී තමන් විසින්ම තෝරාගනු ලබන මණ්‌ඩලයක්‌ ඉදිරියේ තමාටම පෞද්ගලිකව කරුණු දැක්‌වීමට අවස්‌ථාව ලැබෙන හෙයින් සාමාන්‍ය ජනතාවට අධිකරණ පරිශ්‍රය තුළ මුහුණ පෑමට සිදු වන සංකීර්ණත්වයෙන් හා විපිළිසරභාවයෙන් මිදීමට අවස්‌ථාව ලැබේ. ඕනෑම පාර්ශ්වකරුවකුට රුපියල් 5/} ක්‌ වැනි සුළු මුදලක්‌ ගෙවා ස්‌වකීය ආරවුල පෞද්ගලිකවම වූවද සමථ මූල මණ්‌ඩලය වෙත යොමු කිරීමට හැකි සරල හා පහසු ක්‍රියාපටිපාටියක්‌ මෙමඟින් සලසා දී ඇත.

සමථකරණ ක්‍රියාවලියෙහි දැකිය හැකි තවත් සුවිශේෂී ලක්‌ෂණයක්‌ වන්නේ අවවාද කිරීම්, යෝජනා අනවශ්‍ය තර්ක කිරීම්, බලපෑම්, නියෝග, තීන්දු, තීරණ හෝ තර්ජනවලින් තොර වීමයි. සියල්ල පදනම් වී ඇත්තේ ස්‌වේච්ජාමය සාකච්ඡාව, විශ්වාසනීයත්වය හා විවෘත භාවය මතය. පාර්ශ්වකරුවන්ට තමන්ගේ ආරවුලක්‌ නිරාකරණය කර ගැනීම සඳහා කැමති සමථ මණ්‌ඩලයක්‌ හෝ සමථකාරකවරුන් තෝරා ගැනීමට ඉඩ සලසා ඇත. පාර්ශ්වකරුවන් එවැනි තෝරා ගැනීමක්‌ සිදු කරන්නේ තමන් තුළ ඇති වූ විශ්වාසය මතය. වඩාත් සාර්ථක සාකච්ඡාවක්‌ පවත්වා ගෙන යාම සඳහා ආරවුල්ගත පාර්ශ්වකරුවන් විවෘතව හා අවංකව කරුණු ප්‍රකාශ කිරීම වැදගත්වේ. ඔවුන්ගේ ප්‍රකාශයන්හි රහස්‍යභාවය ආරක්‌ෂා කිරීම සඳහා සමථකරුවන් බැඳී සිටින අතර, සමථ මණ්‌ඩලයක්‌ ඉදිරියේ යම් තැනැත්තු විසින් කරනු ලබන කිසිදු ප්‍රකාශයක්‌ යම් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තකදී සාක්‌ෂි වශයෙන් යොදා නොගත යුතු වන බවට පනතේම විධිවිධාන සලසා ඇත. එමෙන්ම පුද්ගල ආත්මගරුත්වය හා අභිමානයට කැළලක්‌ නොවන අයුරින් සාකච්ඡාව සිදු කිරීමට සමථකරණ ක්‍රියාවලියේදී ප්‍රමුඛත්වය දෙනු ලැබේ. හුදෙක්‌ තීන්දු තීරණ හා නියෝගවලින් ඇති වන බන්ධනයකට වඩා අෙන්‍යාන්‍ය කැමැත්තෙන් හා විශ්වාසය තුළින් ඇති වන එකඟතාවය තිරසාර වන්නේය. සැබැවින්ම සමථකරණය මඟින එළඹෙන විසඳුම්වල තිරසාර පදනමෙහි රහසද එයම වන්නේය. යම් හෙයකින් මෙලෙස එළඹෙන විසඳුමක්‌. සම්මුතියක්‌ යම් පාර්ශ්වකරුවකු විසින් කඩකළහොත් ඉන් අගතියට පත් පාර්ශ්වයට නැවත සමථ මණ්‌ඩලය කරා යෑමට හැකිවේ. එමෙන්ම යම් ආරවුලක්‌ සමථ මණ්‌ඩලයක්‌ තුළින් නිරාකරණය කර ගැනීමට නොහැකි වුවහොත් අදාළ මණ්‌ඩලය විසින් නිකුත් කරනු ලබන නිරවුල් නොකිරීමේ සහතිකය රැගෙන අධිකරණය වෙත යොමු වීමේ විධිවිධාන සලසා ඇත.

සිවිල් ආරවුල් හා සුළු සාපරාධී වරදවල් සම්බන්ධ ආරවුල් සමථ මණ්‌ඩල වෙත යොමු කළ හැකි හා භාරගත හැකි ආරවුල් වේ. ඒ අනුව සිවිල් ආරවුල් ලෙස ණය මුදලක්‌ අය කර ගැනීම, යම් නිශ්චල හෝ චංචල දේපළක්‌, ණයක්‌, අලාභයක්‌ හෝ වන්දි ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් වන ආරවුලක්‌ නිරාකරණය කර ගැනීම සඳහා සමථ මණ්‌ඩලයක්‌ වෙත යොමු විය හැකිය. රුපියල් දෙලක්‌ෂ පනස්‌දහසක (රු. 250,000/}) සීමාවේ තිබූ සමථ මණ්‌ඩල වෙත යොමු කළ හැකි සිවිල් ආරවුලක වටිනාකම 2016 අංක 09 දරන සමථ මණ්‌ඩල සංශෝධන පනත මඟින් රුපියල් ලක්‌ෂ පහ (රු. 500,000/}) දක්‌වා ඉහළ නංවා ඇත. මේ අනුව මූලික වටිනාකම රුපියල් ලක්‌ෂ පහට අඩු යම් නිශ්චල හෝ චංචල දේපළක්‌ ලබාගත් ණය මුදලක්‌ ආපසු නොගෙවීම හෝ අලාභ ඉල්ලීමක්‌ සම්බන්ධ ආරවුලක්‌ කෙලින්ම අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි වන අතර නිරවුල් කිරීම සඳහා සමථ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර අපොහොසත් වූ අවස්‌ථාවකදී පමණක්‌ සමථ මණ්‌ඩලය මඟින් නිකුත් කරනු ලබන නිරවුල් නොකිරීමේ සහතිකයද සමඟ අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුවේ.

අධිකරණය සහ පොලිසිය තුළ නඩු ගොඩගැසීම, අධික තදබදය නිසා මහජනතාව රස්‌තියාදුවට හා පීඩාවට පත් වීම, අධිකරණ කටයුතු සඳහා අධික පිරිවැයක්‌ දැරීමට සිදුවීම මෙන්ම සංකීර්ණ භාවය මඟින් දුප්පත් ජනතාව අසරණ වීම අවම කිරීමට සමථකරණ අවස්‌ථා පුළුල් කිරීමේ සාර්ථක වෑයමක්‌ ලෙස 2016 අංක 09 දරන සමථ මණ්‌ඩල සංශෝධන පනත මඟින් හඳුන්වා දුන් විධිවිධාන අතිශය වැදගත්වේ. ශ්‍රී ලංකාවේ සමථකරණ ක්‍රියාවලිය පෞද්ගලික ඉඩම්, පාසල් සමාජ හා පවුල් ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් සතුටුදායක ලෙස ක්‍රියාත්මක වන අවධියක උක්‌ත විධිවිධාන මඟින් ශ්‍රී ලංකාව තුළ වාණිජ සමථකරණයේද (ඤපපැරජස්‌ක පැadස්‌එසදබ) නිම් වළලු පුළුල් කිරීමට අවස්‌ථා උදාවී ඇත.

සමථ මණ්‌ඩලවල කටයුතු වඩාත් කාර්යක්‌ෂම කිරීම සඳහා සිවිල් ආරවුලක්‌ නිරාකරණය කිරීම වෙනුවෙන් වැය කළ යුතු උපරිම කාලය මණ්‌ඩලය ස්‌ථාපනය කළ දින සිට ඉදිරියට දින 60 ක්‌ ලෙස විධිවිධාන සලසා ඇති අතර, සුළු සාපරාධී වරදක්‌ සම්බන්ධයෙන් එම කාලය මණ්‌ඩලය ස්‌ථාපනය කළ දින සිට ඉදිරියට දින 30 ක්‌ ලෙස දක්‌වා ඇත. මෙකී කාලසීමාව තුළ නිරවුල් කිරීමට අපොහොසත් වුවහොත් එම වරද හෝ ආරවුල නිරවුල් කිරීමට නොහැකි වීම පිළිබඳ සටහන් කරමින් ප්‍රධාන සමථකාරවරයාගේ අත්සනින් යුත්a නිරවුල් නොකිරීමේ සහතිකයක්‌ පාර්ශ්වයන් වෙත නිකුත් කළ යුතුවේ.

වර්තමානය වන විට උතුරු- නැගෙනහිර දෙපළාත්ද ඇතුළුව දිවයිනේ සමථ මණ්‌ඩල 329 ක්‌ සතුටුදායක අන්දමින් ක්‍රියාත්මක වන අතර එම සමථ මණ්‌ඩලවල 8400 කට අධික සමථකාරවරුන් පිරිසක්‌ සේවයේ යෙදි සිටිති. එමෙන්ම සමථ මණ්‌ඩල වෙත ඉදිරිපත් වන සමස්‌ත ආරවුල් සංඛ්‍යාවෙන් 50% කට වැඩි ප්‍රමාණයක්‌ සාර්ථක ලෙස නිරාකරණය කිරීමට හැකිවීම ශ්‍රී ලංකාවේ සමථකරණ ක්‍රියාවලියේ ප්‍රගතිශීලී වර්ධනයක්‌ ලෙස දැකිය හැකිවේ. එමෙන්ම උතුරු - නැගෙනහිර දෙපළාත්වලද ඉඩම් ආරවුල් නිරවුල්කරණය සඳහා සමථ මණ්‌ඩල වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් සැකසෙමින් පවතී.

මීට අමතරව පාසල්වල පැවැත්වෙන සමථකරණය පිළිබඳ පුහුණු වැඩමුළු මඟින් (Sජයදදක පැadස්‌එසදබ) පාසල්වල ආරවුල් අවමකරණ සහ නිරවුල්කරණ කටයුතු පිළිබඳ සිසුන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සිදු කෙරේ. එමෙන්ම කාන්තා සංවිධාන, ස්‌වේච්ඡා සංවිධාන, ළමා සමාජ, බන්ධනාගාර පුනරුත්ථාපනලාභීන් ඇතුළු විවිධ කේෂත්‍රගත ආයතනවල ආරවුල් අවමකරණය සහ ගැටුම් නිරාකරණය පිළිබඳ පුහුණු වැඩමුළු (School Meadiation) පැවැත්වීම සිදු කෙරෙන අතර අධිකරණය අමාත්‍යාංශයේ සමථ මණ්‌ඩල කොමිෂන් සභාව යටතේ විධිමත් පුහුණුවක්‌ ලද සමථ වැඩසටහන් නිලධාරීන් සහ සමථ සංවර්ධන නිලධාරීන් විසින් මෙම වැඩමුළු පැවැත්වීම සිදු කෙරේ.

ඉහත විග්‍රහ කරන ලද සමථකරණ ක්‍රමවේදයන් සියල්ලම මඟින් අපේක්‌ෂා කරන්නේ ආරවුල් අවමකරණය, නිරවුල්කරණය සහ එමඟින් සමාජ යහපැවැත්ම ඇති කරලීමයි. සැබැවින්ම පුද්ගල සම්බන්ධතා පුලුදු කරන, මිල අධික, කාලය ගතවන, සාම්ප්‍රදායික ආරවුල් නිරවුල්කරණ ක්‍රමෝපායන්ට වඩා සමථකරණය සෑම අතින්ම වාසිදායක විකල්ප ක්‍රමවේදයක්‌ වන බව පෙනී යයි. සමථකරණ අවස්‌ථා තවදුරටත් පුළුල් කිරීම, සමථකරණය පිළිබඳ මහජනතාව තවදුරටත් දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ මහජන විශ්වසනීයත්වය තවදුරටත් වර්ධනය කිරීම මඟින් පොදුජන ආරවුල් නිරවුල්කරණය සඳහා සමථකරණයෙන් වඩාත් පුළුල් හා අර්ථදායක මෙහෙවරක්‌ ඉටු කිරීමට තවදුරටත් අවස්‌ථාව සැලසෙනු ඇත.

නීතිඥ නලීකා කුමාරී වීරසිංහ
දිස්‌ත්‍රික්‌ සමථ පුහුණු නිලධාරි - කෑගල්ල

Post a Comment

0 Comments