මෙරට පාසල් ළමුන් හා වැඩිහිටියන් අතර ශරීරයෙහි නියමිත බරට වඩා වැඩි බරකින් යුතු වීම හා ස්ථුලභාවය (තරබාරු බව) ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය සමීක්ෂණවලදී අනාවරණය වී මේ වන විට කලක් ගත වී තිබේ. දියවැඩියාව හා සමාන්තරව බෝ නොවන රෝග ගණනාවකට මඟ හදනු ලබන මෙම තත්ත්වයන් බොහෝ දුරට වෙළෙඳපළෙහි පවතින අධික ලුණු, මේදය, පිටි හා සීනි අඩංගු ආහාර වර්ග පරිභෝජනය කිරීම නිසා ඇති වූ තත්ත්වයන් ය. කෙසේ වුවද තවමත් අප සෑම දෙනාටම පරිභෝජනය කිරීමට සිදුව ඇත්තේ දෛනිකව පුද්ගලයකු පරිභෝජනය කළ යුතු වන මට්ටමට වඩා කිහිප ගුණයක් වැඩි ප්‍රමාණයන්ගෙන් ලුණු, මේදය, පිටි හා සීනි අඩංගු ආහාර වර්ගය. ඒ තවමත් ආහාර වර්ගවල එම ද්‍රව්‍ය අඩංගු වී ඇති ප්‍රමාණයන් නිසි පරිදි දැක්වීමේ ක්‍රමවේදයන් නොමැති වීම හේතුවෙනි.
පැණි බීම වර්ගවල අඩංගු වන සීනි මට්ටම් පෙන්නුම් කරන වර්ණ සංකේත ක්‍රමයක් පැණි බීම නිෂ්පාදකයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන්නේ මෑතකදී ය. ඒ අනුව එම ක්‍රමය මෙම අගෝස්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ. එය පැණි බීම වලට පමණක් සීමා නොවී වෙළෙඳපළෙහි පවතින සීනි යොදා නිපදවනු ලබන විස්කෝතු වර්ග, කේක් වර්ග, බොම්බේ ස්වීට්ස් ඇතුළු පාරිභෝගිකයන් විසින් වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබන රසකැවිලි වර්ගවලට ද හඳුන්වාදීම වැදගත් වී ඇත්තේ එම ආහාර වර්ගවල අධික ලෙස සීනි අන්තර්ගත වී ඇති බව හෙළි වී තිබීම නිසා ය.
අනෙක් අතට බොහෝ අවන්හල් හරහා පාරිභෝගිකයන්ට වීදුරුවල පිළිගැන්වෙන පැණි බීම වර්ගවල අන්තර්ගත සීනි ප්‍රමාණය මැන බැලීමේ කිසිදු ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක නොවේ. එවැනි වීදුරුවල පිළිගැන්වෙන පැණි බීම පානය කිරීමට පාසල් ළමුන්, තරුණ මෙන්ම වැඩිහිටි අය වැඩි වශයෙන් පුරුදුව සිටින බව නොකිවමනාය. මෙවැනි තත්ත්වයක් තුළ එවැනි පැණි බීම වර්ගවලට සීනි නොයෙදූ පාරිභෝගිකයන්ට සීනි යොදා ගැනීමේ අවස්ථාව ලබා දීම වැදගත් ය. එනම් දැනට අවන්හල්, හෝටල් හා ආපන ශාලාවල තේ හා කෝපි පිළිගැන්වීමේදී සීනි යොදා ගැනීම සඳහා පාරිභෝගිකයන්ට සීනි බඳුන් ලබාදීම වැනි වූ ක්‍රමයක් වීදුරුවල පිළිගැන්වෙන පැණි බීම වර්ග සඳහා ද ක්‍රියාත්මක විය යුතුය.
පැණි බීම, තේ හා කෝපි සඳහා සීනි යොදා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වුවද, හෘද රෝග. අධි රුධිර පීඩනය ආඝාතය (ස්ට්‍රොaක්) කොලෙස්ටරෝල්, පිළිකා ඇතුළු බෝ නොවන රෝග ගණනාවකට මඟ පාදන ලුණු, තෙල් හා පිටි අඩංගු ආහාර වර්ග සඳහා එම ද්‍රව්‍යයන් යොදා ගැනීම සම්බන්ධ නිසි ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මකව නොපැවැතීම අවාසනාවකට කරුණකි.
වර්තමානයේ සීනි වර්ග අඩංගු ආහාර පාන වර්ග හා සමාන අයුරින් ඇතැම් අවස්ථාවලදී එයටත් වඩා වැඩි ප්‍රමාණයන්ගෙන් පාරිභෝගිකයන් පරිභෝජනය කරනු ලබනුයේ ලුණු, තෙල් හා පිටි අඩංගු ආහාර වර්ගය. අවන්හලෙහි හෝ මහ මඟ දෙපස පිහිටි කුඩා ආහාර අට්ටාලවල අලෙවි කෙරෙන පැටිස්, කට්ලට්ස්, පේස්ටි්ර ඇතුළු කෙටි ආහාර (ෂෝට් ඊට්ස්) හා මාළුපාන්, පාන් ආදියෙහි ලුණු තෙල් හා පිටි දෛනිකව පුද්ගලයකු පරිභෝජනය කළ යුතු මට්ටමට වඩා අධික ලෙස වැඩි ප්‍රමාණයන්ගෙන් අඩංගුව පවතින බව අනාවරණය වී තිබේ. දවසේ තුන් වේලටම බත් හා එළවළු පරිභෝජනය කරන ලෙස මහජනතාව දැනුවත් කළ ද තවමත් ජනතාවගෙන් වැඩි කොටසක් පරිභෝජනය කරනුයේ ඉහත කී කෙටි ආහාර වර්ගය. ඒ බත් හා එළවළුවලට වඩා අඩු මිලකට ඒවා මිල දී ගැනීමට හැකි වීමත් සකස්a කිරීම අනවශ්‍ය වීමත් යන කරුණු මත කාර්ය බහුල ජීවිතයට ඒවා පරිභෝජනය කිරීම පහසු යෑයි සිතීම හේතුවෙනි.
එහෙත් කලක් එම ආහාර පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලය වනුයේ බෝ නොවන රෝග රැසකට ගොදුරු වීමයි.
මෑතකදී සිදුÊකරන ලද සමීක්ෂණවලට අනුව දැනට වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන බදින ලද අර්තාපල් තීරු (ෙµ්රන්ච් µ්රයිස්) පිට්සා, ප්‍රයිඩ් රයිස්, වැනි ආහාර වර්ග හා සෝස් වර්ගවල අඩංගු ලුණු, තෙල් ප්‍රමාණයන් ඉහළ මට්ටමක පවතී. ඒවායේ අඩංගු ලුණු, තෙල් ප්‍රමාණයන් දෛනිකව පුද්ගලයකු පරිභෝජනය කළ යුතු එම ද්‍රව්‍ය ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් ඉහළ බව මෙම සමීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
වර්තමානයේ දරුවන් සිය දෙමවුපියන්ගෙන් මිලදී ගෙන දෙන ලෙස ඉල්ලා සිටින්නේද, පාසල් ළමුන්, තරුණ තරුණියන් නිරතුරුව ආහාරයට ගන්නේ ද මේ ශරීරයට සෑම අතින්ම අහිතකර බව කියන ආහාර වර්ගය. මේ ආහාර වර්ගවල අහිතකර බව හේතුවෙන් ඒවා කලාතුරකින් අනුභව කළාට නිතර අනුභව කිරීම ශරීරයට කිසිසේත් යෝග්‍ය නොවන බව වෛද්‍ය මතය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ආහාර වර්ගවලට වැට බැඳිය යුතු කාලය එළඹ තිබේ. මෙම ආහාර වර්ගවලට අමතරව වෙළෙඳපළෙහි අලෙවි කෙරෙන සකස් කළ මස් වර්ග, චීස්, බටර් වැනි ආහාර වර්ග බොහොමයකම ලුණු හා තෙල් අවශ්‍ය ප්‍රමාණයට වඩා අන්තර්ගත කර ඇති බව නොරහසකි. එහෙත් අවාසනාවකට ජනතාවගෙන් බහුතරය ආහාරවල අඩංගු ලුණු, තෙල්, පිටි හා සීනි ප්‍රමාණයන් ගැන නොදන්නේ එම ආහාර ඇසුරුම්වල එක්කෝ එම ප්‍රමාණයන් නිසි පරිදි නොදැක්වීම නිසාය. නැත්නම් ඒවා කියවීමටත් නොහැකි තරම් කුඩා අකුරුවලින් සඳහන් කර තිබීම නිසාය.
ආහාර පනත යටතේ මෙවැනි ආහාර වර්ග අලෙවි කිරීමේදී ඒවායේ අන්තර්ගත විය යුතු ලුණු, තෙල්. පිටි හා සීනි ප්‍රමාණයන් නියමිත පරිදි දැක්විය හැකි ආකාරයේ රෙගුලාසි සකස් කර ඒවාට අනුව කටයුතු ලෙස ආහාර නිෂ්පාදකයන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව තිබේ.
මෙය පුළුල් වූ ක්‍රියාවලියක් බව සැබෑය. වසර ගණනාවක් මුළුල්ලේ ජනතාව ඇබ්බැහි වී සිටි වැරැදි ආහාර පුරුදු මඟහැරවීමට නම් පුළුල් මෙහෙයුමක් දියත් කළ යුතු බව පෙනී යන කරුණකි. අනෙක් අතට මෙවැනි සිරුරට අහිතකර ආහාර වර්ග වෙනුවට ජනතාව වැඩියෙන් එළවළු, පලතුරු, පලා වර්ග, පලතුරු යුෂ, බත් හා ධාන්‍ය වර්ග පරිභෝජනයට හුරු කරවීමට නම් ඒවායේ මිල ගණන් පහත හෙළීම පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත.
තම ගෙවත්තෙහි වගා කළ හැකි එම ආහාර වර්ග පවතී නම් ඒ සඳහා සහාය හා උපදෙස් ලබාදීමට කටයුතු කළ යුතුව ඇත.
ආහාර පනතෙහි ඇති වගන්ති තවත් ශක්තිමත් කර ඒවාට පටහැනිව කටයුතු කරන ආහාර නිෂ්පාදකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුව ඇත.
එවැනි මෙහෙයුමකින් තොරව දැනට වැරදි ආහාර පුරුදුවලට හුරුව ඇති ජනතාව නිවැරැදි ආහාර රටාවකට හුරු කර බෝ නොවන රෝග පැතිරීම වැළැක්වීම අසීරු වනු ඇත. අනෙක් අතට මෙරට ජනතාවගෙන් ක්‍රියාශීලී අන්දමින් ව්‍යායාමවල නිරත වන පිරිස ද ඉතා අඩු ප්‍රතිශතයක් ගනී.
පාසල් වියෙහි සිටම ඇවිදීම, පිහිනීම ඇතුළු ශාරීරික ව්‍යායාම්වලට යොමු වීමේ වැදගත්කම ජනතාවට කියා දිය යුතුව ඇත. ශරීරයට අහිතකර ආහාර පාන වර්ග ප්රචාරයට වැට බැඳිය යුතුව ඇත.
එහෙත් අවාසනාවකට තවමත් සිරුරට අහිතකර සංඝටක අඩංගු සකස් කරන ලද ආහාර වර්ග පිළිබඳ දැන්වීම් නිරතුරුව ප්‍රචාරණය වීමෙන් පෙනී යනුයේ ජනතාව වැඩියෙන් එම ආහාරවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතින බවයි.
පැණි බීමවල අඩංගු සීනි මට්ටම වර්ණ සංකේත හරහා පෙන්නුම් කිරීමට බීම නිෂ්පාදකයන් පෙළඹවීම හොඳ කාර්යයකි. එහෙත් එම තත්ත්වය අනෙක් ආහාර පාන සඳහා ද ක්‍රියාත්මක කිරීම කළ යුතුය. ඒ සීනි පමණක් නොව තෙල්, පිටි පවා බෝ නොවන රෝග පැතිරීමට හේතු වී ඇති නිසාය. මෙවැනි නීති රීති ක්‍රියාත්මක වුවද, ඒවා හරි හැටි ක්‍රියාත්මක කරන්නේ දැයි සොයා බැලීමේ පසු විපරමක් අනිවාර්යයෙන් ම සිදු කළ යුතුය.
අගෝස්තු මස පළමු වැනිදා සිට පැණි බීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වර්ණ සංකේත හරහා සීනි මට්ටම ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙළ නිවැරැදිව ක්‍රියාත්මක වන්නේ දැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ආහාර පරීක්ෂකවරුන් ලවා නිරතුරුව පිරික්සීමට ලක්කළ යුතුය.
මෙරට බෝ නොවන රෝග පැතිර යැම වැළැක්වීමට නම් මෙම ක්‍රියාමාර්ගයන් සියල්ල එකට සම්බන්ධ වූ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම අත්‍යවශ්‍ය වූ කරුණකි
ඒමන්ති මාරඹේ
0 Comments