අපේ රටේ එච්.අයි.වී. ආසාදිතයන් 2436 ක්...මේ දක්‌වා ආසාදිතයන් 394 ක් මරණයට...මේ සිද්ධිය වෙන්නේ මීට අවුරුදු 5කටත් 8කටත් අඩු වැඩි කාලයක. නම් ගම් මන:කල්පිත වුනාට සිදුවීම ඇත්ත. පිරිසිදු වාතාශ්‍රයක් සහිත දෙනියායට කිලෝ මීටර්10ට 15කට ආසන්න ගමක මධ්‍ය පරිමාණ පවුලක දෙවෙනි දියණියට රූමත් බවේ අඩුවක් තිබුණේ නැහැ. තලෙලු වුනත් එය සිත් ගන්නා සුළු වර්ණයක්. හැදිච්ච කමත්, විනීත හැසිරීමත් උපන් ආභරණ ලෙසයි ඇය පාවිච්චි කළේ. අපි ඇයට මේනකා කියමු.
මේනකාට උසස් පෙල ඉහළින්ම සමත් වෙන්න බැරිවුණා. ඒත් ප්‍රශ්නයක් වුනේ නෑ. වත්තල පැත්තෙ පිළිගත් ආයතනයක පරිගණක ක්‍රියාකරන්නියක් ලෙස රැකියාවක් කරන්න ඒ පැත්තේ හිටිය නෑදැ අක්‌කකෙනෙක් උදව් කලා. ඒ අක්‌කගේ ගෙදර ඉඳන්ම වැඩට ගියා.
වැඩකරන ආයතනයේ හිටිය තරුණ මෙන්ම මදක් වැඩිහිටි කීප දෙනෙක්‌ම මේනකා ගැන හරිම උනන්දුවකින් හිටියෙ. ඒත් තාටවත් ඇගේ හිත දිනාගන්න නම් බැරිවුණා.
දවසක් ගෙදර යන්න නැගපු බස්‌එකේ හිටිය කඩවසම් අයිය කෙනෙක් දන්න සෙල්ලම් ඔක්‌කොම දාලා මේනකා ගේ හිත දිනාගත්තා. දෙන්න ආදරේ කරන්න පටන් ගත්තා. ඉස්‌සර ආදරේ කරන පෙම්වතුන් කරන උපරිමදේ තමයි චිත්‍රපට හෝල් එකකට රිංගන එක.
දැන් එහෙම නෑ. අද යාලුවුණා. හෙට යනවා ආදරේ කෙළවර හොයන්න කාමරේකට. මේනකාටත් ආදරේ කරන්න වුණේ යන්තම් සති දෙකක් විතරයි. පෙම්වතාගේ බලවත් ඉල්ලීමට නිදහසේ කතාකරන්න ගියා රෙස්‌ටුරන්ට් එකකට. මේනකාගේ උත්සාහය නිසාම කෙල්ලෙක් වගේ ආපසු එන්න ලැබුණත් යම් යම් දේවල් සිද්ධවුණා. ඊට පස්‌සේ නම් පෙම්වතා කොච්චර කතාකළත් ඒ ගොන් ගමන ගියේ නෑ. අන්තිමට පෙම්වතා තරහ වුණා.
කාලයක් ගත වෙත්දි මේනකාගේ ඇඟේ රතුපාට ලප නිතර එන්න පටන් ගත්තා. ඇඟටත් කිසි පනක් නෑ වාගේ. දවසක් ගියා බේත් ගන්න වෛද්‍යවරයෙක් ගාවට. හැබැයි ගියේ අර අක්‌කත් එක්‌ක. වෛද්‍යවරයා මේනකාව හොඳින් පරීක්‌ෂා කරලා ලේ සාම්පලයකුත් අරගත්තා. ඉදිරි දිනයක් දී එදිනට අක්‌කත් එක්‌කම එන්න කිව්වා.
එම දිනයේදී, වෛද්‍යවරයා අක්‌කට කිව්වෙ නිසැකවම මේනකාට එච්.අයි.වී. වෛරසය වැළඳී ඇති බවයි. ඒ මොහොතේ ඒ පවුල්වල පත්තුවෙච්ච ගින්න අදත් නිවිල නෑ. පවුල්වල අය මේනකාව අහක නොදා රහසිගතව කරන්න පුලුවන් හැම දෙයක්‌ම කළත්, ජීවත් වුණේ තවත් අවුරුදු දෙකක් විතරයි.
අර කාළකණ්‌නි අයියා තාම ජීවත්වෙනව නම්, මේවගේ නංගිලා කී දෙනෙකුට මේ අවාසනාවන්ත රෝගය බෝ කරලා ඇද්ද?.
අපේ රටේ කාන්තා, පුරුෂ දෙපක්‌ෂයම ඒඩ්ස් පිළිබඳ දැණුවත් වෙනවා ප්‍රමාණවත්ද.? ඒ පිළිබඳව සැළකිළිමත් වෙනවා ප්‍රමාණවත්ද.? කාන්තා, පුරුෂ දෙපක්‌ෂයම තමන් ගැන හිතනවා ප්‍රමාණවත්ද.? අපගේ විශ්වාශය නම් සමාජයේ බහුතරයක් දෙනා ළඟ මේ ප්‍රශ්න තුනටම සාර්ථක පිළිතුරු නැති බවයි.
එසේ තිබ්බා නම් ඒඩ්ස් තරම් දරුණු නොවන දියවැඩියාව, කොලොස්‌ටරෝල්, ප්‍රෙෂර් ඇතුලු රෝග වැළඳෙන්න හැකියාවක්‌ද නැත. රෝගයක් වැළඳෙනතුරු ඒ පිළිබඳ සැළකිළිමත් නොවීමේ වරද, බරපතළ වරදක් බව දැන්වත් සිත් තබාගත යුතුයි.
අපේ රටේ අද වනවිට වාර්තාවී ඇති එච්.අයි.වී. ආසාදිතයන් 2436 ක් සිටින බවත් ඉන් 631 ක් ඒඩ්ස් රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න පසුගියදා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒඩ්ස් නිසා 2015 වසර තුළදී 31 දෙනකු මරණයට පත්ව ඇතැයි කී ඇමැතිවරයා 2011 වසර සිට 2015 දක්‌වා මියගිය සංඛ්‍යාව 146 ක් බවත්, මේ දක්‌වා පුද්ගලයන් 394 ක් මරණයට පත්ව ඇති බවත් පැවසීය.
එච්.අයි.වී. ආසාදිතයන් දැණුවත් කිරීම වෛද්‍යවරුන් විසින් සිදුකිරීම කරන්නේය. එච්.අයි.වී. ආසාදිතයන් නොවන පුරවැසියන් දැණුවත් කිරීම මේවන විට රාජ්‍ය මට්‌ටමින් හෝ විවිධ සංවිධාන මගින් කොතෙක් දුරට සිදුවෙනවාදැයි අපට පැනයක් නැගෙන්නේය. ඩෙංගු සම්මන්aත්‍රණ, ඇතුලු වෙනත් දේ නිතර අසන්නට දකින්නට ලැබුනද හිටි හැටියේ මතුවී නැවත යට යන එච්.අයි.වී. පිළිබඳ සාකච්ඡා, සම්මන්ත්‍රණ සහ කතිකාවත් සිදුවීම නම් අපේ රටේ ඉතාම අල්ප බව පැවසිය යුතුමය.
අපට තවත් ගැටළුවක් වන්නේ සමාජ ගතවන එච්.අයි.වී. අසාධිතයන් ඔවුන්ගේ තත්ත්වයන් තේරුම් ගෙන සමාජය දෙස බළනවාද.? සමාජය සමග ගණු දෙණු කරනවාද.? නැත්නම් වෛරයෙන් කටයුතු කරනවාදැයි යන්නයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අප, ඔබ දැණුවත්වීම පිළිබඳ විමසන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ගෙනි.
"අප හඳුනාගන්නා එච්.අයි.වී. ආසාදිතයන්ටත් ඒඩ්ස් රෝගීන්ටත්, උපදෙස් දෙනවා සහ උපදේශණය කරනවා සමාජයේ හැසිරීම සහ කළයුතු වෛද්‍ය ප්‍රථිකාර පිළිබඳව. ඊට අමතරව මාස දෙකකට වරක් ඔවුන්ගේ රෝග තත්ත්වයන් පිළිබඳව පරීක්‌ෂණ කරනවා. අමතරව වෛරස්‌වල සාන්ද්‍රණ ගන්නවා අප ලබා දෙන ෙඖෂධ ප්‍රතික්‍රියා කරන ආකාරය සොයා බැලීමට."
"එච්.අයි.වී. පාලනය කරගත හැකියි. ඒ සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්නවානම්. අප හඳුනා ගත් එච්.අයි.වී. අසාධිතයින් ගෙන් සියයට 50ක් පමණ කණ්‌ඩායමක් තමයි අපගේ සායනයන්වලට පැමිණෙන්නේ. අනිත් උදවිය ගෙන් සමහරෙක් විදෙස් ප්‍රථිකාර සඳහා යොමුවෙන බව අපට දැන ගන්නට ලැබෙනවා. තවත් කණ්‌ඩායමක් දේශීය ප්‍රථිකාර සඳහා යොමුවෙන බවත් අපට දැන ගන්නට ලැබෙනවා. කිසිම ප්‍රථිකාරයක් නොලබා රහසේ සමාජයේ ජීවත්වන කොටසකුත් නැතිවා නෙවෙයි."
මේ අප පැවසුවේ අද පවතින එච්.අයි.වී. අසාදිතයන්ගේ වර්තමාන තත්ත්වයේ එක් පැතිකඩක් පමණයි. සමාජයේ ජීවත්වන සියලු දෙනාම තමන් වෙනුවෙන් කර ගත යුතු යුතුකම මෙන්ම ප්‍රධාන අයිතිවාසිකම ලෙස සිතා ගත යුතුයි, කොහෙවත් යන විකෘති ලෙඩ රෝග තමන්ගේ ශරීරයට වද්දා ගැනීමෙන් වැළකී සිටීම ඉතා යහපත් බව. එසේ නොවන්නන්ට මේනකාලාට මෙන්ම ඔවුන්ගේ පවුල්වල උදවියට සිදුවූ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට නොහැකිවනු ඇත.
රැවටෙන්න එපා. අන්ඳකාරයේ දිළිසෙන ඇස්, ඔබව සදාකාලිsක රෝගියෙක් කරාවි. දෙවරක් හිතන්න, ප්‍රවේශම්වන්න.
අමරසිංහ මාලගේ
0 Comments