"වයස අවුරුදු හතරක්, හතර හමාරක් පමණ වන විට ගැහැනු දරුවකු වුණත් ශරීරය තුළ සිටිනුයේ පිරිමි ළමයකු යන හැඟීම දැණුනා. ඒ නිසාම ළමා කාලයේ සෙල්ලම් කළේ වැඩිපුර පිරිමි ළමුන් එක්ක. සෙල්ලම් බඩු වශයෙන් පාවිච්චි කළේ පිරිමි ළමුන් කැමති සෙල්ලම් බඩුයි. යොවුන් වියට පත්වූ පසු පිරිමි ළමයෙකුට ගැහැනු ළමයකු කෙරෙහි ඇතිවන ආකර්ෂණය හා සමාන ආකර්ෂණයක් පාසලේ සිටි ගැහැනු යහළුවන් කෙරෙහි ඇති වුණා" යෑයි ගැහැනු දරුවකුව ඉපිද පසුව පිරිමියෙකු බවට පරිවර්තනය වූ සංජු පැවසුවේය.
ශරීරයෙන් කාන්තාවක වුවද මානසිකව පිරිමියකු බවට පරිවර්තනය වූ සංජු දෙස බලන ඕනෑම අයෙකුට මේ සිටින්නේ කාන්තාවක් බව මොහොතකට වත් නොසිතෙන තරමට ඒ ස්වරූපය පිරිමියෙකු බවට පත්ව ඇත. මුහුණෙහි රැවුලක් වවා පිරිමියකු අඳින ටී ෂර්ටයක් හා ඩෙනිම් කලිසමක් පැළඳ පැමිණි සංජු අප හා දොඩමළු වූයේ පිරිමියකු බවට පරිවර්තනය වූ සිය ජීවිත කතාව පැවසීම සඳහාය.
"මම ඉපදුනේ කොළඹ නගරයේයි. මගේ පියා රජයේ ඖෂධ ශාලාවක ඖෂධවේදියකු ලෙස සේවය කරනවා. මව ගෘහණියක්. අපේ පවුලේ මායි වැඩිමහල් සහෝදරයයි විතරයි හිටියේ. මා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලකයි" සංජු කීවේය.
ශරීරයෙන් ගැහැනු දරුවකුව ඉපිද මානසිකව පිරිමියකු බවට පත්වූ සංජු කුඩා කල සිටම නිවසේදී හැසිරුණේ පිරිමි ළමයකු ලෙසය. ඇය වැඩි වශයෙන් පිරිමි ළමුන් සමඟ සෙල්ලම් කිරීම පවුලේ සාමාජිකයන්ගේ විරෝධයට හේතු වූ අවස්ථා එමටය. සංජුට අවශ්‍ය වුණේ ගැහැනු දරුවන් අඳින ගවුම් ඇඳීමට නොව පිරිමි ළමුන්ගේ ඇඳුම් ඇඳීමටය.
එහෙත් සංජු පාසලට යන විට හාත්පසින්ම වෙනස් විය. පිරිමි ඇඳුම් ඇඳීමට කැමැත්තක් තිබුණද අධ්‍යාපනය හැදැරූ කොළඹ ජනප්‍රිය පාසලට ගියේ බාලිකාවක් ලෙසින් නිල ගවුම ඇඳගෙනය. එහෙත් ඇය මනසින් හැසිරුනේ පිරිමි ළමයෙකු ලෙසිනි.
කාන්තා පාසලේදී සංජු තම යෙහෙළියන් කිහිප දෙනකුම හා පෙම් සබඳතා ඇති කර ගත්තේ තමා පිරිමි ළමයෙකු යන හැඟීමෙනි. සංජුගේ මෙම ක්‍රියාකලාපය නොරිස්සූ ගුරුවරියෝ ඇයට වරක් නොව කිහිප වරක්ම හැසිරීම් සම්බන්ධව අවවාද කර තිබිණි. විදුහල්පතිවරයා පවා ඇයට අවවාද කර තිබූ බව සංජු පවසයි.
එහෙත් මේ කිසිදු අවවාදයක් නිසා තමාගේ හැසිරීම් රටාව බිංදුවකින් හෝ වෙනස් කිරීමට සංජු අකැමැති විය. කෙසේ වුවත් මා මාගේ හැසිරීම පාසලේදී පාලනය කර ගන්න හුඟාක් උත්සාහ ගත්තා. ඒ මෙතන ලිංගික පරිවර්තනයක් වී ඇති බව පාසලේ ළමුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් සැඟවීම සඳහායි. සංජු සඳහන් කළේය.
කෙසේ වුවද තමා මුහුණ දී ඇති මානසික හා ශාරීරික විපර්යාසය පිළිබඳව සංජු ළඟින්ම ආශ්‍රය කළ පන්තියේ හොඳම යෙහෙළියට දිනක් පැවසුවේය.
සංජුගේ කතාව අසා සිටි එම යෙහෙළිය ඇයගේ කතාව සෙසු අය අතර ප්‍රචාරය නොකළද සංජුගෙන් ක්‍රමයෙන් ඈත් වූවාය. එම සිද්ධියෙන් පසු ඇය තම කතාව කිසිවෙකුටත් නොපැවසීමට ඉටා ගත්තාය.
මේ වන විට සංජුගේ හැසිරීම් රටාව අනුමත නොකළ අය අතර ඔහුගේ දෙමව්පියන් මෙන්ම වැඩිමහල් සහෝදරියද විය. එහෙත් සංජුගේ දෙමව්පියන් සිතින් කැමැත්තක් නොදැක්වුවද අකැමැත්තෙන් වුවද සංජුගේ ජීවිතය ඔහුට අවශ්‍ය පරිදි හැඩගස්වා ගැනීමට ඉඩ දුන්නේ කවුරුන් කුමන දේ පැවසුවද සංජු තමන්ට අවශ්‍ය දේ පමණක් කරන අයෙකු බව දැන සිටීම හේතුවෙනි.
මේ වන විට අසල්වාසීන් මෙන්ම සංජුගේ නෑදැයින්ද ඇය පත්ව සිටි විපර්යාසය දැන සිටි අතර නෑදැයින් විසින් ඇයගේ හැසිරීම් රටාව පිළිබඳ ප්‍රශ්න කිsරීම නිසා තමා නෑදැයන්ව තබාගෙන සිටින්නේ අතේ දුරින් බව සංජු සඳහන් කළේය.
ජීවිතයේ හැලහැප්පීම් ඔස්සේ සංජු අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ද සමත් වූ අතර අමතර පාඨමාලා කිහිපයක්ද හදාරනු ලැබුවේය.
පාසල් අධ්‍යාපනය නිම කර සිටින සංජු දැනට "වෙනස" නමින් මෙරට ට්‍රාන්ස්ජෙන්ඩර් (කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින් හා පිරිමින් බවට පත්වූ කාන්තාවන්) ප්‍රජාව උදෙසා ඔවුන්ගේ ගැටලු සඳහා උපදේශනය ලබා දීම හා සෞඛ්‍ය ප්‍රශ්න විසඳීමට අවශ්‍ය උපදෙස් ලබා දීම යන කාර්යයන් ඉටුකරලීම සඳහා "වෙනස" නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගැනීමට සංජු මේ වන විට පියවර ගෙන තිබේ.
මෙම සංවිධානය මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයන් සමඟ එක්ව ට්‍රාන්ස්ජෙන්ඩර් ප්‍රජාවගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම අධ්‍යාපනය හා රැකියා අයිතිවාසිකම් පිළිබඳව මෙන්ම කොන් නොවී සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සංජු කීවේය.
තම දෙමාපියන් පවා තමාව පිරිමියකු ලෙස පිළිගැනීමට සිතින් තවමත් සූදානම් නැති බව තමා දන්නා බව පවසන සංජු ඔවුන්ට කිරීමට කිසිවක් නොමැති නිසා අකැමැත්තෙන් වුවද තමා පිරිමියෙකු ලෙස පිළිගැනීමට ඔවුන් කටයුතු කර ඇතැයි පැවසුවේය.
තමා සමාජයේ අදටත් ළඟින් ආශ්‍රය කරනුයේ කිහිප දෙනකු පමණක් බව කී දැනට 38 හැවිරිදි වියෙහි පසුවන සංජු ට්‍රාන්ස්ජෙන්ඩර් ප්රජාවද මනුෂ්‍ය සමාජයට අයත් නිසා ඔවුන් දෙස වපර ඇසින් බැලීම ඔවුන්ව කොන් කිරීම හෝ අසාධාරණයකට ලක් කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එම ප්‍රජාවට වෙනස්කමකට ලක් නොවී ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත බව සඳහන් වගන්තියක් ඇතුළත් කළ යුතු බව කීවේය.
මෙරට ට්‍රාන්ස්ජෙන්ඩර් ප්‍රජාවගේ අධ්‍යාපන හා රැකියා අයිතිය සුරක්ෂිත වී නොමැති නිසා එම ඇතැම් සාමාජික සාමාජිකාවන් ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන බැවින් ඔවුන්ට එච්.අයි.වී/ ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග පැතිරීම සම්බන්ධව නිවැරැදි අවබෝධයක් ලබා දීම වැදගත් බවද ඔහු පැවසීය.
අවාසනාවකට මෙරට ඇතැම් රජයේ රෝහල් සායනවල කාර්ය මණ්ඩල තම සාමාජිකයන්ට කෙණහිලිකම් සිදුකරන නිසා ඔවුන් එම සායනවලට යොමුවීමට මැලි වන අතර ඇතැමුන් සමාජයෙන් වසන් වී සිටීමට පවා පෙළඹී ඇති බව සංජු කීවේය. අවසන් වශයෙන් ඇය සඳහන් කර සිටියේ මෙතෙක් තම සාමාජිකයන්ට බලවත් අඩුපාඩුවක්ව පැවැති ජාතික හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) වල තම ලිංගය වෙනස් කර නිකුත් කිරීම දැනට සිදුවන බවයි.
මේ අනුව පිරිමි ළමයකු ලෙස ඉපිද කාන්තාවක් බවට පරිවර්තනය වූ අයෙකුට "ස්ත්‍රී" වශයෙන්ද ගැහැනු ළමයෙකු ලෙස ඉපිද පිරිමියෙකු බවට පරිවර්තනය වූ අයෙකුට "පුරුෂ" වශයෙන්ද සඳහන් ජාතික හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සංජු සඳහන් කළේය.
මෙම කාර්යය සඳහා ට්‍රාන්ස්ජෙන්ඩර් ප්‍රජා සාමාජිකයන් තම උප්පැන්න සහතිකයෙහි සඳහන් ස්ත්‍රී/ පුරුෂ භාවය දැනට පවතින ලිංගය අනුව වෙනස් කර නියමිත ලියකියවිලි සමග අදාළ නිලධාරීන් වෙත යොමුකළ යුතු බව සඳහන් කළ සංජු තමාද ඒ අනුව ක්‍රියාකරමින් ලිංගය වෙනස් කළ ජාතික හැඳුනුම්පතක් මේ වන විට ලබාගෙන ඇති බව අවධාරණය කළේය.
ඒමන්ති මාරඹේ
0 Comments