වසර 1903 දෙසැම්බර් 17 වැනිදා උදය වරුවේ ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිට්ටනියකින් ලොව පළමු වැනි ගුවන් යානය යෑයි කියන වාහනය ගුවනට නැග්ගේය. සාමාන්‍යයෙන් කිසියම් යාත්‍රාවක් ගුවන් යානයක් ලෙස පිළිගනු ලබන්නේ මතු සඳහන් වන ගුණාංග එය සතුව ඇත්නම් පමණි. පළමුකොට එය ස්වශක්තියෙන් ගුවනට නැග ගත යුතුය. ඉන්පසු එය තමන්ට අභිමත පරිදි පාලනය කර ගැනීමට zපයිලට්Z ට හැකි විය යුතුය. තෙවනුව එය ස්වශක්තියෙන් ගොඩබෑමට හැකි විය යුතුය. 1903 දෙසැම්බර් 17 වැනිදා උදය වරුවේ ගුවන් ගත වූ ලොව පළමු ගුවන් යානය යෑයි කියන වාහනයේ පයිලට් වූයේ ඕවිල් රයිට් ය. පොළවට අඩි 20 ක් පමණ උඩින් ගිය යානය පසුපසින් විල්බර් රයිට් දිව ගියේය. එයට හේතුව මේ යානයේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් එකෙක් විල්බර් රයිට් වීමය. අනෙක් නිර්මාතෘ ඕවල් රයිට් ය. අද ඕවල් රයිට් මෙලොව නැත. විල්බර් රයිට් ද මෙලොව නැත. ඔවුන්ගේ පළමුවන ගුවන් යානයේ පියාපත්වලට සවිකර තිබූ ඝනකම් කැන්වස් රෙද්දක කුඩා කැබැල්ලක් පමණක් ඉතිරිව ඇත. එම රෙදි කැබැල්ල ද රයිට් සහෝදරයන්ගේ ගුවන් යානයේ ආකෘතියක් ද ඇමරිකාවේ වොෂිංටන් DC නගරයේ ස්මිත්සෝනියන් ගගන ඉතිහාස කෞතුකාගාරයේ අදටත් තිබේ. මේ ප්‍රදර්ශන භාණ්ඩ අතර වැදගත් ලී පෙට්ටියක් ඇත. අඩියක් උස, අඩි 2 ක් දිග අඩි එකහමාරක් පළල මේ පෙට්ටිය වූ කලී රයිට් සහෝදරයන් සිය පළමුවැනි ගුවන් යානය සෑදීමට පාවිච්චි කළ ආයුධ පෙට්ටිය ය.
එහෙත් රයිට් සහෝදරයන් සිය ගුවන් යානය ගුවන්ගත කිරීමට අවුරුදු 15 කට පෙර එනම් 1885 දී සිට එක්තරා ඉන්දියානුවෙක් ගුවනින් යැම පිළිබඳ බොහෝ සිහින දකිමින් සිටියේය. ඔහුගේ නම ශිවාකර් තල්පාදි ය. එවකට බොම්බාය නමින් හැඳින්වූ නගරයේ පිහිටි ඡේ. ඡේ. කලා පාසල නමැති ආයතනයේ චිත්‍ර ගුරුවරයකු වූ ඔහු නිතරම කල්පනා කළේ ගුවනින් ගමන් කළ හැකි වාහනයක් නිපදවන ආකාරය ගැන ය. විශාල පියාපත් නිර්මාණය කර ඒවා දැත්වල බැඳගෙන කඳු මුදුන්වලින් පහළට පැන පියාඹන්නට තැත් කර බෙල්ල කඩාගත් මිනිසුන් ගැන ග්‍රීක සහ රෝමන් ජන කතාවල එයි. ඔහු මේ කතා අධ්‍යයනය කර මිනිසකුට ගැලපෙන පියාපතක් කෙසේ විය යුතු ද යන්න තක්සේරු කර ඒවා චිත්‍රයට නැඟුවේ ය. ලියනාඩෝ ඩාවින්සිගේ පියාසර යන්ත්‍රය නමැති යානයේ රූප සටහන් පිරික්සා ඒවායේ ආකෘති තැනුවේය.
මේ අතර ශිවාකර් තල්පාදිගේ උනන්දුව රාමායනය වෙතට යොමු විය. ඉතිහාස කතාන්දර දෙසද බලන විට පැහැදිලිව පෙනී ගිය කාරණය වූයේ ලොව පළමුවැනි ගුවන් යානයේ අයිතිකරු රාවණා රජු බවය. රාවණා රජු දඬු මොණරය නමැති ගුවන් යානයේ දමාගෙන ඉන්දියාවේ සිට සීතා දේවිය පැහැරගෙන ලංකාවට ආ පසු ඇගේ ස්වාමිපුරුෂයා වු රාම කුමාරයා ස්වකීය වඳුරු හමුදාව සමඟ ඇය සොයා ලංකාවට එන්නේ පයිනි. එසේ ඒමට ඔවුන් පාවිච්චි කළේ ඉන්දියාවේ රාමේශ්වරම් සහ ලංකාවේ මන්නාරම අතර තිබෙන රාම සේතුව නමැති සැතපුම් 34 ක් දිග හුණුගල් පාලමකි. මේ පාලම අදටත් තිබෙන අතර මුහුදු කෑම සහ සාගර ජල මට්ටම ඉහළ යැම නිසා ක්‍රමයෙන් සාගර පත්ල බලා ගමන් කිරීමට පටන් ගෙන ඇත.
ලංකාවේ දඬුමොණරය ගැන මහත් උනන්දුවෙන් තොරතුරු සොයමින් සිටියදී ශිවාකර් තල්පාදිට ලංකාවට ඒමට හෝ දඬුමොණරය පිළිබඳ ලංකාවේ තිබෙන පුරාවෘත ගැන පර්යේෂණ කිරීමට හෝ අවකාශයක් තිබුණේ නැත. මේ අතර ඉන්දියාවේ ඉපැරැණි ගගන තාක්ෂණය ගැන දැන සිටි අද්භූත පුද්ගලයකු වූ සුබ්බාරයා ශාස්ත්‍රී ඔහුට හමු විය. සුබ්බාරයා ශාස්ත්‍රී යනු විටින් විට ආවේෂයකට පත්වන, එවැනි වෙලාවල විමානික ප්රකරණම් නමැති අද්භූත සංස්කෘත ග්රන්ථයක් කට පාඩමින් කියූ පුද්ගලයෙකි. ලංකාවේ රාවණා රජු සතුව ගුවනින් යන මන්දිරයක් හෙවත් පුෂ්පක නමැති විමානයක් තිබූ බවත් එය ඉන්දියාවේ විසූ කුවේර නමැති රජතුමාගෙන් කොල්ලකන ලද බවත් එම මුඛ පරම්පරාගත ග්‍රන්ථයේ සඳහන් විය. කුවේර රජු පුෂ්පක විමානයෙන් ගමන් කරද්දී දඬුමොණරයෙන් පැමිණි රාවණා රජු පුෂ්පක විමානය zහයිජැක්Z කර ලංකාවට ගෙනා බව ද කියනු ලැබේ. ඉතිහාසය නිවැරැදි නම් ලොව පළමුවන ගුවන් කොල්ලය සිදු කළෝ රාවණා රජු ය. විමාන ශාස්ත්‍ර ග්රන්ථයෙහි ගුවන් යානා වර්ග 8 ක් ගැන විස්තර කර තිබිණි. පළමුවැන්න ශාකත්යුද්ගම වර්ගය ය. මෙය ක්‍රියා කරන්නේ විදුලි ශක්තියෙනි. දෙවැන්න භූත වර්ගය ය. එය ක්‍රියාත්මක වන්නේ පෘථිවි හෙවත් පොළොවේ බලය, ජල් හෙවත් ජලබලය, අග්නි හෙවත් ගිනි බලය, වායු හෙවත් වාත වර්ගවල බලය, ආකාශ් හෙවත් හිස් අවකාශය නමැති පංච මහා භූත බලයෙනි. මේ සියලුම භූතයන් හොල්මන් හෝ අවතාර නොව භෞතික බලවේගයන් ය. ඊළඟ වර්ගය වන්නේ ධූම වර්ගය හෙවත් ජල වාෂ්ප හෝ දුම් ය. සිෙ€දගාම වර්ගය යනු ඊළඟ වර්ගයය. එහි පදනම ඇට වර්ග කිහිපයකින් හිඳින තෙල් ය. අටසුව වර්ගය හෙවත් සූර්ය බලය මගින්ද මනිගර්භ නක්ෂත්ර තරු පොකුරෙන් කඩා හැලෙන අංශූ මගින් ඊළඟ ගුවන් යානා වර්ගයද ක්‍රියාත්මක කළ හැකිය. ඊළඟ යානා වර්ගය මනිවක් වර්ගයයි. එහි ඉන්ධනය කුමක් ද යන්න පැහැදිලි නැත. අවසාන ගුවන් යානා වර්ගය වූ මාරුට් සාඛ ක්‍රියා කරන්නේ සුළං බලයෙනි. ශිවාකර් තල්පාදි වැඩි වශයෙන් උනන්දු වූයේ සුළං බලයෙන් ක්‍රියා කරවිය හැකි ගුවන් යානයක් ගැන ය.
මේ කටයුතු සිදුවූයේ කවර කාලයකදී ද? ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා ශිවාකර් තල්පාදි ගැන පාඨකයා දැනුවත් විය යුතුය. ඔහු උපන්නේ 1864 දී ය. පළමු ගුවන් යානය හැදුවේ යෑයි කියන රයිට් සහෝදරවරු ඇමරිකාවේදී උපදින්නේ 1864 දී සහ 1871 දී ය. මේ අනුව එකිනෙකා ගැන නොදැන සිටියත් මේ සියලු දෙනා සමකාලීනයෝ ය. ගුවන් යානා තාක්ෂණය ගැන ඔවුන් තුළ උනන්දුවක් හට ගන්නේ එකම කාලයක ය. රාවණා රජුගේ දඬුමොණරයට අමතරව ශිවාකර් තල්පාදිගේ හිත දිනා ගත් අනෙක් කාරණය වන්නේ 1840 දී ඇමරිකාවේ උපන් හිරාම් මැක්සිම් නමැති නයිට්වරයා විසින් ගුවන් යානා තාක්ෂණය ගැන කළ පර්යේෂණයන් ය. ලොව පළමුවන මෙෂින් තුවක්කුව සාදන ලද්දේත් මෙකී හිsරාම් මැක්සිම් ය. ඔහුගේ ගුවන් යානය ක්‍රියා කළේ වාෂ්ප බලයෙනි. එහෙත් එය කවදාවත් උඩ යෑවීමට බැරි විය. පර්යේෂණයන් වශයෙන් ගත් කල මේ යානය නිර්මාණය කිරීම උසස් කටයුත්තක් වුවද එහි ප්‍රායෝගික ගැටලු තිබිණ.
එවකට තිබු සියලු ගගන තාක්ෂණයන් සලකා බැලූ තල්පාදි 1895 දී ගුවන් යානයක් නිපදවා එයට මාරුට් සාඛ යන නම තැබීය. එහි තේරුම සුළඟේ මිත්‍රයා යන්න ය. ඔහු 1895 දී එය බොම්බායේ සුප්‍රසිද්ධ මුහුදු වෙරළ වූ ගිර්ගාවොන් චෞපතියේදී ගුවන් ගත කර ඇත. පසුව මේ යානය බොම්බායේ නගර ශාලාවේදී ප්‍රදර්ශනය කළ බවට සාක්ෂි තිබේ. ඔහුගේ යානය අද නැතත් එහි රූ සටහන් සහ එයට පදනම්වූ ජ්‍යාමිතික චිත්‍ර අදටත් ඇත. පියාසර කිරීමෙන් පසු යානය ගබඩා කර තිබූ නිවසේ පරම්පරාව අදටත් ඇත. යානයේ විස්තර සිය මිත්තනිය විසින් කියනු ඇසූ මුනුබුරෝ අදටත් බොම්බායේ වෙසෙති. මේ අනුව පෙනී යන්නේ ගුවන් යානයක් තැනීමේ අදහස රයිට් සහෝදරයන්ට මෙන්ම ශිවාකර් තල්පාදිට ද එකම කාලයේදී ඇති වුවද තල්පාදි ඉස්සර වී ඇති බව ය. ඔහු ලංකාවේ රාවණා රජුගේ දඬුමොණරය සහ කුවේර දෙවියාගේ පුෂ්පක විමානය ආදර්ශයට ගෙන කටයුතු කර ඇති බවය. ෂිවාකර් තල්පාදිගේ ජන්ම සංවත්සරයේ 152 වැනි අවුරුද්ද මේ මාසයට යෙදෙයි. මේ කතාවෙන් කියෑවෙන්නේ අප අද අත්විඳින පහසුකම් පසුපස ශ්‍රේෂ්ඨ ආසියාතිකයන් ද සිටින බව ය.
අනුර සොලමන්ස්
0 Comments