අර්ශස්‌ රෝගයට සරළ ප්‍රත්‍යක්‍ෂ කසායක්‌


බෙලි, වැඩිදෙනා නොදන්නවාට ඉතා වටිනා ඖෂධයක්‌. මළ බද්ධයට වගේම අජීර්ණයටත් ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌ ලෙස මෙය හඳුනාගෙන තිබෙනවා. සුප්‍රසිද්ධ දසමූලාරිශ්ඨයේ අඩංගු ඖෂධීය මුල් 10 න් එකක්‌ වන්නේ බෙලිගහේ මුලයි. එසේම දියවැඩියාව, බඩවැලේ හටගන්නා ආබාධ සහ වෛරස්‌ මගින් ඇතිවන රෝගවලටත් බෙලිගසේ පස්‌ පංගුවෙන් ප්‍රතිකාර කෙරෙනවා. 

ප්‍රශ්නය - පසුගිය සතියේ අපි සාකච්ඡා කළා කොහිලවලින් කැඳ හදලා පානය කිරීමෙන් අර්ශස්‌ රෝගය පාලනය කිරීමත් සුවපත් කිරීමත් කළ හැකි බව.

වෛද්‍ය දුමින්ද රණවීර - මෙහිදී වැදගත් යමක්‌ සඳහන් කළ යුතුයි. කොහිල කැඳවලින් අර්ශස්‌ රෝගය සුවපත් කළ හැක්‌කේ එහි ආරම්භක අවස්‌ථාවේදී හඳුනා ගත්තොත් විතරයි කියන එක තමයි පාරම්පරික සිංහල වෛද්‍යවරුන් වශයෙන් අප දරන අදහස. ඒත් මේ ප්‍රතිකාරය මගින් නිශ්චිතවම අර්ශස්‌ පාලනය කරන්නටත් පුළුවන්. ඒ අතර කොහිල කැඳවලින් විතරක්‌ ම අර්ශස්‌ රෝගය සුවපත් කරගත් අයත් ඉන්න බව මා පෙන්වා දෙන්න කැමැතියි.

ප්‍රශ්නය - අර්ශස්‌ රෝගයට ප්‍රතිකාර වශයෙන් ගෙදරදීම සාදා ගතහැකි වෙනත් බෙහෙත් වර්ග තිබෙනවාද? 

වෛද්‍ය දුමින්ද රණවීර - ඖෂධීය ගුණයෙන් ඉතාම ඉහළ කසායක්‌ ගැන මා ඔබට කියන්නම්. බෙලිගැට මද, වළඟසාල්, කලාඳුරු අල, නෙළුම් අල, වියළි ඉඟුරු, පාවට්‌ට මුල් යනාදිය කලං 2 බැගින් අරගෙන වතුර කෝප්ප 8 ක්‌ එයට දමලා එක කෝප්පයක්‌ වනතුරු හින්දලා (පත 8 එකට සිඳ) සීනි සහ මීපැණි තේ හැන්ද බැගින් එකතු කර සතියට දින 3 ක්‌ උදේ, හවස කෝප්ප බාගය බැගින් පානය කළ යුතුයි. අපි සීනි සහ මී පැණි එයට යොදන්නේ ශරීරයට ඉක්‌මනින් අවශෝෂණය කරගනු පිණිසයි. ඒත් දියවැඩියාව තිබෙන කෙනකු නම් සීනි මී පැණි නැතුව කසාය සාදා ගැනීම වැදගත්.

මෙහිදී මේ කසායට අන්තර්ගත වී තිබෙන බෙහෙත් ද්‍රව්‍යවල ඖෂධීය ගුණය විමසා බලමු. Aegle marmelos යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බෙලි, වැඩිදෙනා නොදන්නවාට ඉතා වටිනා ඖෂධයක්‌. මළ බද්ධයට වගේම අජීර්ණයටත් ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌ ලෙස මෙය හඳුනාගෙන තිබෙනවා. සුප්‍රසිද්ධ දසමූලාරිශ්ඨයේ අඩංගු ඖෂධීය මුල් 10 න් එකක්‌ වන්නේ බෙලිගහේ මුලයි. එසේම දියවැඩියාව, බඩවැලේ හටගන්නා ආබාධ සහ වෛරස්‌ මගින් ඇතිවන රෝගවලටත් බෙලිගසේ පස්‌ පංගුවෙන් ප්‍රතිකාර කෙරෙනවා. එසේම සමහර රෝගීන් ඉන්නවා ආහාර දිරවා ගන්න බැරි. ඔවුන් ගන්න ආහාර නොදිරවාම මළ මාර්ගයෙන් පිට වෙනවා. මෙහිදී ඉන්දියානුවන් සතු පාරම්පරික ප්‍රතිකාරයක්‌ ගැන සඳහන් කළ යුතුයි. ඒ තමයි අමු බෙලිකොළ මිටක්‌ ගෙන සෝදා පිරිසිදු කර කැබැලිවලට කපා රාත්‍රි කාලයේදී වතුර වීදුරුවක දමා තබා පසුදා උදේ පෙරා පානය කිරීම. හැම උදයකම මෙය පානය කළ විට දවස පුරා ආහාර ජීර්ණය හොඳින් සිදුවන බව ඔවුන් විශ්වාස කරනවා. ඊළඟට ගනිමු වළඟසාල්. මෙය ක්‍රිමි රෝග හෙවත් පණු අමාරුවලට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌. ඊළඟට කලාඳුරු ගත්තොත් උදරාබාධ හෙවත් බඩේ අජීර්ණ සහ බඩේ වේදනාවලට අතිශයින් ම සුදුසුයි. නෙළුම් අල කියන්නේ අර්ශස්‌ සහ මළබද්ධය සමනය කරන ඖෂධයක්‌. පාවට්‌ටා ගසේ පස්‌ පංගුව සෙමට ඉතාම ප්‍රත්‍යක්‍ෂ බෙහෙතක්‌. වියළි ඉඟුරු ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

ප්‍රශ්නය - මෙය සුදුසු වන්නේ අර්ශස්‌ කවර තත්ත්වයක පවතින විටද?

වෛද්‍ය දුමින්ද රණවීර - වැදගත් ප්‍රශ්නයක්‌. කල්ගිය අර්ශස්‌ රෝගවලට මෙය සුදුසු නැහැ. අර්ශස්‌ කල්ගියාම මල මාර්ගයෙන් රුධිරය පිට වෙනවා. මළ මාර්ගය පිටතට එනවා. එතැනදී රෝගියා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්‌ හමුවිය යුතුමයි. එහෙත් සාමාන්‍ය අර්ශස්‌ තත්ත්වයකදී ඉහත සඳහන් කසාය ඉතාම සුදුසුයි.

ප්‍රශ්නය - ඇතැම් බෝ නොවන රෝග තිබෙනවා. සමහර කාලවලදී උත්සන්න වෙනá උදාහරණයක්‌ ලෙස ඇදුම රෝගය ගතහොත් එය හඳ මෝරන කාලයට වැඩි වෙනවා. අර්ශස්‌ රෝගයටත් එවැනි බලපෑමක්‌ තිබෙනවද?

වෛද්‍ය දුමින්ද රණවීර - ඔව්. විශේෂයෙන්ම පායන කාලයට මේ රෝගය උත්සන්න වෙනවා. ඒ වගේම රෝගියා දැඩි අව් රශ්මි තත්ත්වයක්‌ යටතේ එළිමහනේ හිටියොත් රෝගය උත්සන්න වෙනවා. එහෙම වෙලාවලදී මා ගිය සතියේ සඳහන් කළ කොහිල කැඳ පානය කිරීමෙන් රෝගය මැඩ පවත්වාගත හැකියි.

(නොමිලේ උපදෙස්‌ සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)

සාකච්ඡා කළේ
සංඛනාද වෙදගෙවත්ත

Post a Comment

0 Comments