මෑත දවසක මල්වත්ත පාරේ කෙනෙක් දුරකථනයෙන් කතා කර මට අමුතු කතාවක් කීවේය. ඔහුගේ කතාවෙන් කියෑවුණේ රාත්‍රියට මල්වත්ත පාරේ ඇතුළේ මාර්ගවල හරි හරි විගඩම් වන බවය. එනම් කොටුවේ සැරිසරන නිශාචර වීථී ගණිකාවන්ගේ මායම් දැලට පැටලෙන මදන විසේකාරයන්ගේ සම්බ සකලමානව සුද්ධ කරන්නේ මල්වත්ත පාරේ ඒ කළුවර වීථීවල බවය. රෑකට පැමිණියොත් සිද්ධිය සජීවීව දැකගැනීමට හැකි බව ද ඔහු මට කීවේය. ඔහුගේ ආරාධනාව පිළිගත් මම දිනක් නොව දින දෙකක්‌ම ඔවුන් සමඟ මල්වත්තේ පාරේ අඳුරු විථීවල සැරිසැරුවෙමි.
උස ගොඩනැඟිලිවලට මැදි වූ ඒ වීථි තිත්ත කළුවරය. සඳ අහසේ බැබළුණ ද ගොඩනැඟිලිවලට සඳ මුවා වෙලාය. අඳුර මකන්නට කලාමැදිරි එළියක් තරම්වත් නැත. වීථී දිගේ අපි ඇවිද ගියෙමු. අහු මුලුවල කෙනෙක් සිටියත් නොපෙනෙන තරම්ය. අත්කරත්ත මත මෙන්ම පේව්මන්ට් උඩ නිදා සිටින මිනිසුන්ගේ ගෙරවිලි හඬට විටෙක සිත ගැස්‌සෙන්නේය. තවමත් අප බලාපොරොත්තු වන කිසිවක් දෙනෙත්හි නොරැඳේ. මැදියම ද පසු වී ගොස්‌ය. එහෙත් අපි උත්සාහය අත් නොහැරියෙමු. විඩාව නිවන්නට මොහොතකට අපි වීථීයේ කොණක වූ අත්කරත්තයකට බර තැබුවෙමු.
'අද සතියේ දවසක් නේ. සිකුරාදා දවසක් වුණා නම් මෙලහකට දෙතුන් දෙනෙක් සුද්ධ වෙලා...' මා සමඟ සිටි මල්වත්ත පාරේ මගේ සගයා කතාව පටන් ගත්තේය.
'කොහොමද වැඩේ වෙන්නේ...' මම ඔහුගේ කතාවට පුංචි තල්ලුවක් දුන්නෙමි.
'කොටුවේ පේව්මන්ට් එක දිගට ඉන්න ඔය ගෑනු බස් නැතුව වේළෙන අය ළඟට කිට්‌ටු කරලා අඟර, දඟර පාලා යමුද කියලා ඇහුවම සමහර අය රැවටෙනවා. රූම් එකටත් එක්‌ක එක්‌දහස් පන්සීයක්, එක්‌දහස් හත්සීයක් කියනවා. ගාන කියන්නේ මූණ බලලා. කිට්‌ටු වෙන්නේ යමක්, කමක් තියෙන, ගෑනුන්ට බැල්ම දාන පොරවල් ළඟට විතරයි. කියපු ගානට කස්‌ටමර් ඇඹරුණොත් ගෑනි එතැනින් ඈත් වෙලා රවුමක් දාලා ආයෙමත් කිට්‌ටු කරනවා... 'අතේ ගාන අඩු නම් රූම් එකකට යන්නේ නැතුව මගේ ගාන විතරක් දීලා වැඩේ කරගන්න පුළුවන්. කැමැති නම් සේප් එකේ මගේ පස්‌සෙන් එන්න...' කියාගෙන ගෑනි පේව්මන්ට් එක දිගේ ඉදිරියට යනවා. මිනිහත් කැමැති නම් පස්‌සෙන් යනවා. ඊට පස්‌සේ වීථීය දිගේ ඇවිදගෙන ගිහින් අඳුරු පාරක මුල්ලකට රිංගනවා. බලු බල්ලෙකුට පෙන්නේ නෑ. ටිකක් වෙලා යනකොට මිනිහ දන්නෙත් නැතුව මිනිහගේ ඇඳුම් ගැලවිලා... මේක මම කියලා වැඩක් නෑ මහත්තයෝ ඇහෙන් දැකලාම ලියන්න ඕනා. අපි ආයෙමත් වටයක් ගිහිල්ලා බලමු...' ඔහු කතාව උච්චතම අවස්‌ථාට ගෙනත් නතර කළේය. ඔහු කියන කතාව සජීවීව දකින්නට මගේ දෙනෙත් ද නොඉවසිලිමත්ය. නැවතත් අපි කළුවර වීථීයක් දිගේ ඇවිද ගියෙමු. දෙනෙත් කළුවර කපාගෙන අහුමුලු අතරට රිංගන්නේය.
'චුට්‌ටක් නවතින්න...' ගමන් සගයාගෙන් විධානයකි.
'ඇහුණේ නැද්ද පාස් වෙච්ච දොරුවේ කුටු කුටු හඬ...' ඔහු මගෙන් ප්‍රශ්න කළේය.
'මට එහෙම සද්දයක් ඇහුණේ නෑ...'
'හරි... අපි මෙතැන එහාට, මෙහාට සක්‌මන් කරන්න හැදුවොත් එතැන ඉන්න උන් මාරු වෙනවා. මගේ පස්‌සෙන් එන්න. ගානට මම තැනට එන්ටර් කරන්නම්...' ඔහු වෙනත් දොරුවකින් ඇතුළු විය. මම ඔහු අනුගමනය කළෙමි. තිත්ත කළුවරට කිසිවක් නොපෙන්. පොළොවට නොතේරෙන්න ඔහු හොර ගල් අහුලන්නේය. බිත්ති අත, පත ගාමින් කළුවර දෙබොක්‌කාව තුළ රිංගන විට සිතට බයක් දැනිණි. 'හිටියේ මේ කුණුහරුප බලන්න නේ එහෙම නම් බලාපිය... මගේ යටි සිත උඩු සිතට තරවටු කළේය.
කෙසේ හෝ ඔහු කුටු, කුටු හඬ ඇසෙන කිට්‌ටුවටම ගෑටුවේය. ගැහැනු පරාණයක් සහ පිරිමි පරාණයක් සිටින බව තේරුම් ගැනීමට අපට වැඩි වෙලාවක් ගත නොවුණි. ඔවුන්ට අපව නොපෙනේ. එහෙත් අපට ඔවුන්ගේ ඡායාව හොඳින් දර්ශනය වේ. කාමරයක් තුළ කෙරෙන දේ එතැන ද සිදුවන බව සැබැවි. බොඳ වූ දසුන්වල හැටියට පිරිමියාගේ ඉනෙන් පහළ ඇඳුම් පහළය. කාන්තාවගෙත් එහෙමය. විනාඩිය, දෙක ගෙවී යන්නේය. මදුරුවො අපව වසාගෙනය. එහෙත් මදුරුවන්ට තැලුවොත් චිත්‍රපටය කට් වෙන්නේය. මදුරුවන්ට ලේ උරන්නට දී අපි චිත්‍රපටය නැරඹුවෙමු.
'ඔන්න කවුද එනවා...' පහතට වැටී තිබුණු සාය උඩට උස්‌ස ගත් ගෑනු පරාණය දොරුවෙන් පැන තවත් දොරුවක් අතරින් ගාල කඩා ගත් වැස්‌සියක් මෙන් දිව ගියාය. මිනිහා කලිසම උස්‌සගෙන දොරුවෙන් හිස එළියට දමා ක්‍ෂණයකින් නැවත හිස ඇතුළට ගත්තේය. අපේ දෑස් ඔහු අසලය. සෙමෙන් කලිසම ඉනට හිර කර බෙල්ට් පටිය ද බඳින අයුරු යන්තමට පෙනේ. ඒ ඇසිල්ලෙන් ඔහු කලබල විය. දොරුවෙන් එළියට පැන වට පිට බැලුවේය. හනි, හනිකට දෙතුන් වතාවක් වීථීය දිගේ එහෙට මෙහෙට ඇවිද්දේය.
'මිනිහගේ සල්ලිවලට ඇනගෙන ගෑනි පැන්නා. දැන් මිනිහා තක්‌කු බුක්‌කු වෙලා ඉන්නේ. අපි සේප් එකේ වටෙන් මිනිහ ළඟට කිට්‌ටු කරලා කතා කරමු...' ගමන් සගයා එසේ කියා දොරුවෙන් එළියට ආවේය. සල්ලාල කිරිල්ලියගෙන් සල්ලං වූ කෙනා එක තැන ගල් ගෑසී සිටින්නේය. අපි ඔහුට කිට්‌ටු කළෙමු.
'මොකද මල්ලි ප්‍රශ්නයක්‌ද...' මගේ ගමන් සගයා ඔහුට වචනයක් දැම්මේය.
'ඔව් අයියේ පොඩි කරදරයක් වුණා...' චකිතයකින් තොරව ඔහු පිළිතුරු දුන්නේය.
ඔහු තාරුණ්‍යය පසු කර යමින් වැඩි වියේ දොරකොඩ සිටින්නෙකි. බැලු බැල්මට බැද්දෙන් කොළඹ පැමිණි කෙනෙක් වගේය.
'මොකද වුණේ...' නොදන්නා ගානට අපි ඔහුගෙන් ප්‍රශ්න කළෙමු.
'ස්‌ටේෂන් එක ඉස්‌සරහා හිටපු කෙල්ලෙක් එක්‌ක මම මේ පැත්තට ආවා. කෙල්ල මගේ පර්ස් එකයි, කලිසම් සාක්‌කුවේ තිබුණු සල්ලියි අරගෙන මාරු වුණා නේ...'
'නෑ... මාර වැඩේ නේ... දැන් ද වුණේ...' ගමන් සගයා දෙනෙත් නළලට ගත්තේය.
උදුරගෙන දිව්වද...? මම ඇසුවෙමි.
'නෑ... නෑ...' කියා ඔහු ඇඹරිණි.
'දැන් මොකද කරන්නේ. පොලිසියටවත් කියමුද...' මම ඔහුට එසේ යෝජනාවක් ගෙනාවේය.
'නෑ... නෑ... ඕන නෑ... සාක්‌කුවේ සල්ලි ලොකු ගානක් තිබුණෙත් නෑ. පර්ස් එකේ සල්ලි තිබුණෙත් නෑ. කොළඹ කාක්‌කො ගැන දන්න නිසා තමයි මම සල්ලි පර්ස් එකේ දාන්නේ නැතුව කලිසම් සාක්‌කුවේ දාගෙන හිටියේ. ඒත් බේරගන්න බැරි වුණා නේ. මුන්ට දිවැස් තියෙනවද මන්ද...' ඔහුගේ අසරණකම මුහුණ පුරා සටහන් වී ඇත.
සල්ලි කීයක් තිබුණද...? ගමන් සගයා නැවතත් ප්‍රශ්න කළේය.
'දෙදෙහස් දෙසිය ගාණයි...'
'පර්ස් එකේ මොනවද තිබුණේ...?
'අයිඩින්ටි කාඩ් එකයි, බිල් වගයකුයි තිබුණා...' අපි අහන හැම ප්‍රශ්නයකටම දෙපාරක් නොසිතා ඔහු උත්තර දෙන්නේය.
'කොහේ ඉඳලද ආවේ...?
පානදුරේ නංගිලාගේ ගෙදර පොඩි වැඩක් කළා. ටිකක් සෙට් වෙලා හිටියා. එහෙම්ම ගෙදර යන්න ආවා. අන්තිම බස් එක අල්ල ගන්න බැරි වුණා. පාන්දර බස් එක අඳිනකම් ඉන්න වුණා...'
'කොහේද ගෙවල්...'
'ගලෙන්බිඳුණුවැව. ටවුමේ ඉඳලත් ටිකක් ඇතුළට යන්න ඕනා...'
දැන් කොහොමද යන්නේ...?
'බස් එකේ කොන්දොස්‌තරට ඇත්තම කියනවා. ඒ මල්ලි මාව අරගෙන යයි...'
'ලාටු පෙරාගත් වැස්‌සියන්ට රැවටුණේ ඇයි. මුන්ගේ හැටි දන්නේ නැද්ද...' ඔහු ගැන අපට දුක සිතිණි. එහෙත් කරන්න දෙයක් නැත. ඔහුට වෙන්න ඕනා හරිය වී හමාරය.
'චුට්‌ටක් වැඩි වෙලා හිටියේ... මොනව වුණාද කියලා හිතා ගන්න බෑ...' ඔහු කිසිවක් වහං කරන්නේ නැත. ඇත්ත කතා කළේය.
'චණ්‌ඩියා බඩට වැටුණු විට ඇතැම් අයගේ නිදා සිටින මදන යකුන් අවදි වන බව සැබැවි. මේ මනුස්‌සයාට වී ඇත්තේ ද ඒ ටිකමය. එහෙත් දැන් ඔහුගේ වෙරි හිඳී ගොස්‌ය.
'සල්ලි අරගෙන පැන්න ගෑනි ආයෙමත් එළියට ඇවිල්ලද කියලා පේව්මන්ට් එකේ ටිකක් ඇවිදලා බලන්න...' අපි ඔහුට උපදෙසක් දී ඔහු අසලින් ඈත් වී අඳුරින් එළියට පැමිණියෙමු.
කොටුවේ වීථී දිගට රෑ මනමාලියන්ය. එක, එක මාදිලියේ ගෑනුය. ඇතැම් කාන්තාවන් සැරිසරන්නේ ලොඡ්වලට ඇතුළු වන දොරටු ආසන්නයේය. රොනට ඇදෙන බඹරු මෙන් තරුණ, වැඩිහිටි පිරිමින් ද ඔවුන් අසලම කරකැවෙන්නාහ.
'මේ ඉන්න ගෑනු පට්‌ට හොරු... සේරම කුඩු බොනවා. රෙද්ද උස්‌සලා හම්බ කරන සේසතම වියදම් කරන්නේ කුඩු උරන්න. පොලිසියේ සමහර රාළහාමිලත් මුන්ගේ රුපියල් සීය, දෙසීය ඉදිරියේ නිරුවත් වෙනවා. නීතියක් හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් ඉස්‌සරටත් වඩා කොටුවේ අවලමේ යන ගෑනු වැඩි වෙලා. බලන්න කෝ... බුරුතු, බුරුතු ඉන්න ලස්‌සන...' ගමන් සගයා රෑ මනමාලියන් රොත්තක් දෙසට අත දිගු කළේය.
ඔහුගේ කතාව සැබෑය. පිටකොටුව පුරා තැන තැන බුරුතු පිටින් ගණිකාවන්ය. ඇතැම් ස්‌ථානවලදී පොලිසිය ද ඔවුන් අසලිsන්ම ගමන් කරන්නේය. එහෙත් ඒ රාළහාමිලා ඇහැක් ඇර බලනවා නොවේ. පොලිසියේ රාජකාරිය පිටකොටුව මුර කිsරීම මිස ගණිකාවන් ආරක්‍ෂා කිරීම නොවෑ. මගේ සිතේ එසේ සිතිවිලි ඇදෙන විට ගමන් සගයා නැවතත් අඳුරු වීථීයක් අස්‌සට රිංගන්නට මගේ අතින් ඇද්දේය.
තරංග රත්නවීර
0 Comments