මේ කතාව අපට කියන්නේ කුමුදුය. වැඩිවියට පත්වීමටත් පෙර සිට සල්ලාලයන්ගේ සෙල්ලම් බඩුවක් වූ ඇය වසර තිහකටත් වැඩි කාලයක් ගණිකා වෘත්තියේ නියෑළෙන්නියකි. එහෙත් දැන් ඇයට ඒ ජීවිතය හිරිකිතය. කරුමක්‌කාර රස්‌සාවේ යථාර්ථය අවබෝධ වන විට ඇයගේ ජීවිතය පිළියම් කර නොහැකි තරමට කඩතොලු වෙලාය. දැන් ඇයට අලුත් ජීවිතයක් ගැන සිතීම ද සිහිනයකි. එහෙයින් ඇය සමාජ සේවිකාවක් ලෙස වීථියට වැටෙන අසරණියන්ට සරණක් වෙන්න සමාජ සද්කාරයක් පටන්ගෙනය. ඒ ගැන රටට කියන්නට 'දිවයින' කාර්යාලයට පැමිණි මොහොතක ඇය අපට අමුතු කතාවක් කීවාය. ඒ කතාව ඇසෙන විට ඇස්‌වලට කඳුළු එන්නේය. ඒ ඇය කියන කතාවටම නොවේ. අප ජීවත් වන්නේ මෙවැනි කාලකණ්‌ණි සමාජයකදැයි සිතෙන විටය. කුමුදු කියන විදිහට කතාව පෙළගැසෙන්නේ මෙසේය.
කොළඹ සම්බාහන මධ්‍යස්‌ථානයකට හෝ ලොඡ් එකකට අලුතින් තරුණියක් ගෙන ආ විට පළමුව පොලිසියේ ඉහළම නිලධාරීන් දෙදෙනකුට ලබාදිය යුතුය. බොහෝ විට ඒ නව යොවුන් තරුණියන්ගේ කන්‍යාභාවය සිඳී යන්නේ ද ඔවුන් අතිනි. මෙයින් එක ලොක්‌කෙක් අද කොළඹ සිටින ඉහළම පොලිස් ලොක්‌කෙකි. අනෙකා විශ්‍රාම ගොස්‌ය. ඒ මහත්වරුන්ගේ කාලකණ්‌ණි ආශාවන් ඉටු වුවද තරුණියට ගැලවීමක් නැත. ඊට පහළ නිලධාරීන් ද සන්තර්පනය කරන තරුණිය නැවත ලොඡ් එකට හෝ සම්බාහන මධ්‍යස්‌ථානයට එන්නේ පරඬැල් වෙලාය. එසේ විනාශ වන තරුණියන්ට වැඩි වයසක් නැත. වයස අවුරුදු පහළොව, දහහතුනේ පසු වන්නියන්ය. ඔවුන් මේ නරාවළට වැටෙන්නේ තම පවුලේ අගහිඟකම් නිසාය. ප්‍රේම සම්බන්ධතාවල අවසාන ප්‍රතිඵලයක් ලෙසය. පවුලේ ඥාති තිරිසනුන්ගෙන් වන හිරිහැර නිසාය. මොන යම් හේතුවක් මත අසරණ වන තරුණියව, ඇයගේ මවුපියන්ව මුලා කර නරකාදියට ඇද දමන්නේ ගම්වල තැරැව්කාර පිම්පි වැඩේ කරන කාලකණ්‌ණින්ය.
'මාමේ මම අඳුරන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. නංගිට කොළඹ කොම්පැණියක හොඳ ජොබ් එකක් සෙට් කරන්නද... නැන්දේ මොකද කියන්නේ නංගිව අපි රට යවමුද...' තැරව්කාර පිම්පියන් දුව ඩැහැගන්න මාමා නැන්දා මුලා කරන්නේ ඒ ආකාරයටය. අගහිඟකම්වලින් මිරිකෙන දිළිඳු දෙමවුපියන් පිම්පි තැරව්කාරයන්ගේ වහසි බස්‌වලට රැවටෙන්නාහ. ඔවුන් පමණක් නොව දූවරුද මුලා වෙති. එසේ රවටාගෙන කොළඹට ගෙන එන තරුණියව සම්බාහන මධ්‍යස්‌ථානයකට හෝ ලොඡ් එකකට මුදලට විකුණන්නේය. හඳුන්වාදෙන එක් තරුණියක් වෙනුවෙන් තැරැව්කරුට ලැබෙන මුදල රුපියල් පනස්‌දහසේ සිට ඉහළට දිවෙන්නේය. තරුණියගේ රූප සම්පත්තිය, වයස් සීමාව මත තැරැව්කරුට ගෙවන මුදල ඉහළ යන්නේය. බොහෝ විට ලිංගික ශ්‍රමික වෘත්තියට වැටෙන ලඳුන්ගේ ආරම්භය සම්බාහන මධ්‍යස්‌ථානයයි. කොළඹ සම්බාහන මධ්‍යස්‌ථාන යනු පිටත ආයුර්වේදය. ඇතුළත මස් කඩය. අතුරු අන්ත්‍රාවක් නොමැතිව ඒ සම්බාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැමට අනිවාර්යෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ට සල්ලි මිටිවලින් සහ කුළුඳුල් ලඳුන් දන් දිය යුතුය. දොළපිදේනි නොදෙන සම්බාහන මධ්‍යස්‌ථානවලට පොලිසියෙන් ගැලවීමක් නැත.
'මම ඇස් දෙකෙන් දැකලා, කනට ඇහිච්ච දෙවල් මහත්තයො මේ කතා කරන්නේ. පොලිසියේ ලොකු ලොක්‌කන්ට කොළඹ සේරම මසාඡ්කාරයො සිංහල අවුරුද්දට, නත්තලට ලොකු හැම්පර් යවනවා. එකේ මුළු අවුරුද්දටම හරියන්න බඩු තියෙනවා. මදි පාඩුවට සල්ලි මිටියකුත් දානවා. ලොඡ්වලිනුත් ඒ හැම්පර් එක ඒ විදිහටම යවනවා. හරි දිනේට හැම්පර් එක ගෙදරට ගියේ නැති නම් බඩියෙකුත් එවලා බලනවා. නියම විදිහට නිලධාරීන්ට සැලකුවහම මොන පොලිසියෙන් වටකළත් එක කෝල් එකෙන් වැඩේ ශේප් කරනවා. ඒ වගේ තමයි ත්‍රීවීල්කාරයන්ටත් හොඳට සලකනවා. කස්‌ටමර් කෙනෙක් ගෙනාවම රුපියල් පන්සීයක්, හයසීයක් දෙනවා. අවුරුද්දට, නත්තලට තෑගි. කරදරයක් වෙච්ච වෙලාවට සල්ලි...' ඒ කුමුදුගේ හඬය.
කොළඹ සම්බාහන මධ්‍යස්‌ථානවලට වැඩි පුරම ළමයි ගේන්නෙ කොහෙන්ද? ගලාගෙන යන කතාව අතරට අපි හරස් ප්‍රශ්නයක් යොමු කළෙමු.
'ඈත පළාත්වලින්... පහුගිය කාලේ වැඩිපුරම ළමයි ගෙනාවේ යාපනය, නැගෙනහිර පළාත්වලින්. මම දැනුවත්ව ඇඹිලිපිටියෙනුත් ගොඩක්‌ම ළමයින්ව ගෙනත් තියෙනවා. මම දන්න එක ළමයෙක් ඉන්නවා. එයාගේ ගම ඇඹිලිපිටියේ. ඒ ළමයා අවුරුදු දහහතරේදී පිරිමි ළමයෙක් එක්‌ක යාළු වෙලා. දෙමවුපියෝ ඒ සම්බන්ධයට කැමති වෙලා නෑ. කොහොමහරි ලව් එක කැඩිලා. සික් එකේ ඉන්න අතරේ ගමේ තව කොල්ලෙක් සිංගප්පූරු යවන්න කියලා කෙල්ලව සෙට් කරගෙන. කොහොමහරි ගෙදරටත් හොරෙන් කෙල්ල පාස්‌පෝට් හදන්න කියලා කොල්ලත් එක්‌ක කොළඹ ආවා. කොල්ලා කෙල්ලව ගෙනත් මම වැඩ කරපු ගල්කිස්‌සේ මසාඡ් සෙන්ටර් එකට භාර දුන්නා. එතකොට කෙල්ලට වයස අවුරුදු දහසයයි. කෙල්ල මසාඡ් ගැන තියා කොළඹ ගැනවත් මෙලෝ හසරක් දන්නේ නෑ. කෙල්ල ගෑණියෙක් වුණේ ඒ මසාඡ් සෙන්ටර් එකේ බොස්‌ගෙ අතින්. එදා කෙල්ල දවසෙම ඇඬුවා. මමත් ඇඬුවා. එදා තමයි මට ඒ ජීවිතය තිත්ත වුණේ. කෙල්ල හුරුබුහුටියි. ලස්‌සනයි. හොඳ ඉල්ලුමක් ආවා. පළාත් සභා මන්ත්‍රීවරයෙක් මාසයක් විතර ගෙනිහිල්ලා තියාගෙන හිටියා. සල්ලි ලැබෙනකොට කෙල්ල අපායට හුරු වුණා. ඒත් සතුටින් හිටියේ නෑ. පස්‌සේ අපි මේ සමාජ සද්කාරය පටන් ගත්තට පස්‌සේ මුලින්ම මම ඒ කෙල්ලව එතැනින් ගලවලා අරගෙන හොඳ නරක කියලා දුන්නා. දැන් ආයතනයක වැඩ කරනවා...'
මේ මෑතක දවසක තව පුංචි කෙල්ලෙක් හම්බ වුණා. කොළොන්නාවේ ඩොක්‌ටර් කෙනෙක්‌ගේ දුවක්. දවසක් කෙල්ල තාත්තා එක්‌ක බහින්බස් වෙලා මහා රෑ ගෙදරින් පැනලා හිස හැරුණේ අතේ ගිහිල්ලා. කොල්ලුපිටියේදී ත්‍රීවීල්කාරයකුට මාට්‌ටු වෙලා හෝටලේකට අරගෙන ගිහින් තියාගෙන ඉඳලා. කොහොමහරි තාත්තා කොළඹ පීරලා කෙල්ලව හොයාගෙන. ඒත් ගෙදරට එක්‌කරගෙන ගිහිල්ලා නෑ. මහරගම පැත්තේ පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයකට යොමු කරලා. එතකොට කෙල්ලට වයස අවුරුදු පහළොවයි. පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ අවුරුදු තුනක් ඉඳලා. එතැනදී තමයි කෙල්ල නන්නත්තාර වෙලා තියෙන්නේ. ගංජා බීලා, කුඩු උරලා. කරන්න තියෙන හැම ජරා වැඩේම කරලා. කොහොමහරි කෙල්ල එතැනින් පැනලා ආයෙමත් කොළඹට ආවා. ලොඡ් එකක සල්ලිවලට විකිණෙනකොට අපි කතා කරලා ගොඩ දාන්න බැලුවා. කෙල්ල කැමති වුණේ නෑ. තදින්ම කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්නේ...'
'තව අපි දන්න කාන්තාවක් ඉන්නවා. එයාගේ ගම අනුරාධපුරේ. නම කාංචනා. එයාව අනාථ කරලා තියෙන්නේ එයාගේම සීයා. අවුරුදු දොළහේ ඉඳලා සීයා එයාට වරින් වර කරදර කරලා. එයාගේ අම්මත් ලිංගික ශ්‍රමික කාන්තාවක්. ඒ නිසා දුවට වෙන අසාධාරණය කියන්න පොලිසියට යන්න එයා බය වුණා. පස්‌සේ කෙල්ලට ඉවසගෙන ඉන්න බැරිම තැන ගෙදරින් පැනලා කොළඹට ආවා. කොහොමහරි වීථියේ ගෑණියෙකුට සෙට් වෙලා කෙල්ලව ලොඡ් එකකට සෙට් කළා. ඒ ලොඡ් එකට පොලිසියෙන් පැනලා කෙල්ලව අල්ලගෙන ගිහින් පුනරුත්ථාපනයට දලා තිබුණා. කෙල්ල එතැනිනුත් පැන්නා. පස්‌සේ කුඩු ගහලා පොලිසියට මාට්‌ටු වෙලා හිරේ ඉඳලා නිදහස්‌වෙලා ඇවිත් නැවත පරණ ජොබ් එකම කරනවා. දැන් නම් කෙල්ලට අවුරුදු විසි හයයි. අපි කෙල්ලව හොඳ මාර්ගයට ගන්න ලොකු උත්සාහයක් කරනවා. මට හිතෙන්නේ කෙල්ල ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. සල්ලිවලට ආශා වුණාට පස්‌සේ කෙල්ලන්ව ගලව ගන්න බොහෝම අමාරුයි. කන්න බොන්න නැතුව හිටපු ළමයින්ගේ අතට මොණර කොළ හම්බ වෙනකොට ඔටෝ ජොබ් එකට සෙට් වෙනවා. සමහර ළමයි ගෙවල් දොරවලුත් අමතක කරලා සම්බාහන මධ්‍යස්‌ථානය, ලොඡ් එක ගෙදර කර ගන්නවා. තව සමහර අය මාසෙකට වතාවක් ගෙදර ගිහින් අම්මා තාත්තාව බලලා එනවා...
'සම්බාහන මධ්‍යස්‌ථානවල පඩි කොහොමද...? කතාවට විරාමයක් නැත.
කරන වැඩ ගාණට. එක ගනුදෙනුකරුවකු එක්‌ක හිටියම රුපියල් පන්සීයක් ගෙවනවා. කස්‌ටමර් දෙන සන්තෝසමත් එක්‌ක එක්‌දහස් පන්සීයක්, ඊට වැඩි වෙන්නත් පුළුවන්. සමහර අය දවසකට හය, හත්දාහ හොයනවා. තව සමහර අයට රුපියල් පන්සීයත් නැති දවස් තියෙනවා. ලොඡ්වලත් එක වැඩකට පන්සීයක් ගෙවනවා. ඒ වුණාට කස්‌ටමර්ගෙන් රුපියල් තුන්දාහක්, තුන්දහස් පන්සීයක් අය කරනවා. ගනුදෙනු වැටෙන්නෙ රූපෙට. පිරිසිදුකමට. ලිංගික ශ්‍රමය විකුණන හැම තැනකටම පුදුමාකාර බිස්‌නස් එකක් තියෙන්නේ. සමහර දවස්‌වලට කර ගන්න බැරි තරමට බිස්‌නස්. හැබැයි එන සේරම ලෙඩ්ඩු. එහෙම් පිටින්ම පිස්‌සු නටන්නේ. පොලිසියේ පී.සී කෙනෙක් විසිට් එකක් දාපු දවසට නම් අපේ කෙල්ලන්ට රුපියලක්‌වත් ලැබෙන්නේ නෑ. ළඟ තියෙන පිච්චියත් අත ගාගෙන යනවා. එහෙම කළත් මසාඡ්, ලොඡ් අයිතිකාරයෝ වචනයක්‌වත් කියන්නේ නෑ. මොකද වෙන පොලිසියකින් වටලන්න හැදුවොත් ඔත්තුව එනවා...'
පෙළගැසෙන කතාවට අනුව ලිංගික ශ්‍රමය විකිණීම යහමින් මුදල් එන රැකියාවකි. එමෙන්ම එම වෘත්තියට ලැබෙන ආදායම ගැන කුමුදුට හොඳ අද්දැකීම් තිබෙන්නීය. එහෙත් ඇයට ඒ ජීවිතය අප්පිරියා වූයේ මන්දැයි අපට ගැටලුවකි.
'සල්ලි කොච්චර ලැබුණත් වැඩක් නෑ. සමාජයේ අපි අවලංගු කාසි. රෑට අපිත් එක්‌ක එකට ඉන්න මිනිස්‌සු උදේට අපිව දැක්‌කම දුවනවා. ගණිකාව සමාජය පුදුම විදිහට කොන් කරනවා. කොච්චර හම්බ කරත් ඒ ගැන හිතලා සිතින් හඬනවා. මසාඡ් සෙන්ටර්වල විකිණුනු මම විතරක් නෙමෙයි, සුපිරි හෝටල්වල ඩොලර්වලට විකිණෙන ගෑනිත් ආපසු හැරිලා බලනකොට සිතින් හඬනවා. සුපිරි ධනවතුන්ට, දේශපාලනඥයන්ට විකිණෙන නිළියොත් අන්තිමට කියන්නෙ ඔය ටිකම තමයි. ඒක මේ රස්‌සාවේ හැටි. කිසිම කෙනෙක් අපිව යහමගට යොමු කරන්න කතා කරන්නෙත් නෑ. අපෙන් ගන්න තියෙන දේ උපරිමයෙන් අරගෙන ශේප් එකේ මාරු වෙනවා. අපිට වඩා පර වැඩ කරන කාන්තාවෝ මේ සමාජයේ තව ඕන තරම් ඉන්නවා. ඒ අය බොහෝම උජාරුවට සමාජය තුළ වැජඹෙනවා. මේ දේවල් තේරුම් යනකොට පරක්‌කු වැඩියි. රැස් කරගත්තේ පව් විතරයි. ඒ පව් සමා කරවන්න තමයි මේ ආපයට වැටෙන පුංචි කෙල්ලන්ව ගොඩ දාන්න හිතුවේ. පොලිසියෙත් හැම නිලධාරියෙක්‌ම පිම්පියන්ට හෙල්ප් කරන්නේ නෑ. ලිංගික ශ්‍රමික කාන්තාවන්ට හොඳ නරක කියා දීලා හොඳ මාර්ගයට යොමු කරන්න උත්සාහ කරන නිලධාරීන් ගොඩක් ඉන්නවා. අපිට එහෙම නිලධාරීන් මුණගැහිලා තියෙනවා. ඒත් මහත්තයෝ මේ ලිංගික ජාවාරම සම්බන්ධයෙන් නීතිය හරියට ක්‍රිsයාත්මක වෙන්නේ නෑ. මරදානේ එක ලොඡ් එකක ලිංගික ශ්‍රමික කාන්තාවක් විදිහට අවුරුදු දහතුනක ළමයෙක් ඉන්නවා. තව පුංචි ළමයි හතර දෙනෙක් ඉන්නවා. ඒ ළමයින්ව තියාගෙන ඉන්නේ ලොඡ් අයිතිකාරයාගේ කොටහේනෙ ගෙදර. කවුද ඒවා වටලන්නේ. ළමා හා කාන්තා කාර්යාංශය මේවා ගැන හොයා බලන්න ඕනා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන උන් ඒ දරුවො ගැනත් කතා කරන්න ඕනා. ඒ ළමයි හරියට හිරේ ගියා වගේ. එළියටවත් බහින්න දෙන්නේ නෑ. පව්... යාපනය පැත්තේ අහිංසක දෙමළ ළමයි දෙන්නෙකුත් ඉන්නවා. සිංහල වචනයක්‌වත් බෑ...' ඒ කුමුදුට දැන් සිතෙන හැටිය. පෙළගැසෙන කතාවට අනුව මේ අපට හැඟෙන හැටිය.
රටේ නීතියට යටත්ව ප්‍රමිතියට ක්‍රියාත්මක වන සම්බාහන මධ්‍යස්‌ථාන අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුය. අනිත් සියල්ලකම කෙරෙන්නේ මාංස වෙළෙඳාමය. එමෙන්ම කොළඹ අවට ගණිකා මඩම් ලෙස ක්‍රියාත්මක ලොඡ් පහළොවකට ආසන්නය. එවැනි මඩම්වලට ගෑනු විකුණන පිම්පියෝ එමටය. නගරයේ ගමේ කියා වෙනසක් නැත. සිංහල, දෙමළ, මුස්‌ලිම් භේද නැත. පිම්පි වැඩේදී ඇත්තේ පුදුමාකාර එකමුතුකමකි. යාපනේ පාදඩ ජාවාරම්කාරයන් රවටාගෙන එන තරුණියව කොළඹ වෙන්දේසියේ දාන්නේ මුස්‌ලිම් එකෙකි. නැති නම් සිංහල එකෙකි. මේ කාලකණ්‌ණි හැත්ත රටේ යහපත වෙනුවෙන් එක මාසයක් එකමුතුවෙන් වැඩ කරන්නේ නම් මේ රට මීට වඩා බොහෝ සේ සිරිමත් එකක් වන බව පැහැදිලිය. එහෙත් සිදු වෙමින් තිබෙන්නේ ඒ 'ලිංගික මස් කඩවල' රැකවරණයට ජනතාවගේ ආරක්‍ෂාවට සිටින පොලිසියේ ඉහළ නිලධාරීනුත් මුදලට සහ කුපාඩිකමට පිම්පි වැඩ කිරීමය. යහපාලනයක් ගැන සිහින මවන්නේ මෙවැනි පිම්පි නිලධාරීන් සිටින රටක බව හැඟෙන විට අපට දුක සිතෙන්නේය. මෙවැනි නිලධාරීන් තවමත් රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ පුටුවල සිටින බව පෙනෙන විට සිතට මහ බයක් දැනෙන්නේය.
තරංග රත්නවීර
0 Comments