මුදල් අච්චු ගැසීම සහ උද්ධමනය


ඔබට ජන මාධ්‍ය තුළින් විටෙන් විට මුදල් අච්චු ගැසීම පිළිබඳව අසන්නට ලැබී ඇති බවට නිසැකය. එනමුත් මින් අදහස්‌ කරන්නේ කුමක්‌දැයි ඔබ නොදන්නවා විය හැක. මුදල් අච්චු ගැසීම යනු කුමක්‌ද? එය රටක ආර්ථිකයට බලපාන්නේ කෙසේද? ඉන් ඔබට ඇති වැදගත්කම කුමක්‌ද? මේ ගැටලු පිලිබඳ යම් හැඟීමක්‌ මෙම ලිපිය අවසානයේ ඔබට ලැබෙනු ඇත.

මුදල් අච්චු ගැසීම යනු කුමක්‌දැයි තේරුම් ගැනීමට පළමුව මුදල් යනු කුමක්‌දැයි තේරුම් ගත යුතුය. ඇත්තටම මුදල් යනු කුමක්‌ද? මේ ප්‍රශ්නය ඔබ ඔබෙන්ම අසා බලන්න. ඊට පිළිතුරක්‌ දීමට අපහසු බව ඔබට වැටහෙනු ඇත. අපගේ එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන් අතේ ගැවසෙන මුදල් යනු කුමක්‌දැයි විස්‌තර කිරීමට අපට අපහසු වීම විටෙක හාස්‍යයට තුඩු දෙන කාරණාවකි. 

මුදල් යනු අතේ ඇති මුදල් නෝට්‌ටු යෑයි යමෙකුට පැවසිය හැක. එසේ නම් යමෙකු මෙම නෝට්‌ටු භාරගෙන ගනු දෙනු කළ යුත්තේ කවර හේතුවක්‌ නිසාද? ඔබේ මුදල් පසුම්බියෙන් ඕනෑම අගයක මුදල් නෝට්‌ටුවක්‌ අතට රැගෙන හොඳින් නිරීක්‌ෂණය කරන්න. එහි පහත වාක්‍යය සඳහන් වන බව ඔබට දැක ගත හැකිය.

ශ්‍රී ලංකාණ්‌ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මේ මුදල් නෝට්‌ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක්‌ ගෙවීම සඳහා නීතියෙන් වලංගුය. 

ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව අන් රටවල්වලද මේ ආකාරයේ සහතිකයක්‌ මුදල් නෝට්‌ටුවල සඳහන් වේ. මෙම සහතිකය සඳහන් වී නොතිබුණා නම් එම මුදල් නෝට්‌ටුව නිකම්ම නිකම් කඩදාසි කොලයක්‌ බවට පත්වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම මුදල් නෝට්‌ටුව අතැති පුද්ගලයාට එම මුදල් නෝට්‌ටුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව පිළිබඳව සහතිකයක්‌ ලබා දේ. මෙම සුවිශේෂී සහතිකය ගැන ජනතාව තුළ ඇති විශ්වාසය නිසා, භාණ්‌ඩ හා සේවා හුවමාරු කිරීමේ මාධ්‍යයක්‌ ලෙසද, භාණ්‌ඩ හෝ සේවාවල වටිනාකම දැක්‌වීමේ මිනුම් දණ්‌ඩක්‌ ලෙසද, ධනය හෝ වත්කම්වල වටිනාකම ගබඩා කර තැබීමේ ක්‍රමයක්‌ ලෙසද මුදල් භාවිතා වේ. 

සෑම නිවසකටම මෙන් සෑම රජයකටම විවිධාකාරයේ වියදම් ඇති අතර එම වියදම් පියවා ගැනීමට මුදල් අවශ්‍ය වේ. උදාහරණයක්‌ ලෙස රාජ්‍ය සේවකයන්ට පඩි නඩි ගෙවීම, පාරවල් සෑදීම, ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම වැනි දෑ සඳහා රජයකට මුදල් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් මෙම මුදල් සපයා ගන්නේ රජයේ අදායම් මාර්ග වලිනි. මේ අනුව බදු, රාජ්‍ය සංස්‌ථා අදායම් වැනි ප්‍රභව මඟින් මෙම මුදල් සපයා ගනු ලබේ. නමුත් වියදම් පියවා ගැනීමට මෙම ආදායම ප්‍රමාණවත් නොවිය හැක. එවන් අවස්‌ථාවන්හි මුදල් රැස්‌ කිරීම සඳහා ක්‍රම තුනක්‌ ඇත. පළමුවැන්න වන්නේ බදු වැඩි කිරීම මගින් රජයේ ආදායම් මාර්ග ඉහල දැමීමය. දෙවැනි ක්‍රමය වන්නේ දේශීය හෝ විදේශීය ණය ලබාගැනීමය. තෙවැනි ක්‍රමය වන්නේ මුදල් අච්චු ගැසීමය. 

ශ්‍රී ලංකාවේ මුදල් මුද්‍රණය කිරීමේ බලය පැවරී ඇති එකම ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවයි. එම නිසා රජය විසින් මෙම මුදල් මහ බැංකුවෙන් ලබාගත යුතුය. මහ බැංකුවේ සුරක්‌ෂිතාගාර තුළ මුද්‍රණය කළ මුදල් ගබඩා කොට තිබෙන අතර මෙම මුදල් රජයට ලැබෙන්නේ මහ බැංකුව විසින් රජයෙන් නිකුත්කරන ලද භාණ්‌ඩාගාර බැඳුම්කර හා බිල්පත් මිලදී ගැනීම සඳහා මෙම ගබඩා කළ මුදල් පාවිච්චි කිරීම මගිනි. මෙය රජය විසින් මහ බැංකුවෙන් ලබා ගන්නා ණයක්‌ ලෙස සැලකිය හැක. රජයේ සිදුවන වියදම් පියවා ගැනීමට මහ බැංකුවෙන් ලද මෙම මුදල් භාවිතා වේ. එමඟින් මෙම නව මුදල් ආර්ථිකයට එකතු වීම සිදුවේ.

මෙය ඉතා පහසු මුදල් ප්‍රභවයක්‌ ලෙස සමහර විට ඔබට හැඟෙනු ඇත. මේ ආකාරයෙන් රජයකට අසීමිතව මුදල් අච්චු ගැසීමට හැකි නම් සෑම රජයේ සේවකයකුටම ඉතා ඉහළ පඩියක්‌ ලබා දීමටත්, ජනතාවට තව තවත් සහනාධාර දීමටත්, දුප්පත්කම සදහටම සහමුලින්ම තුරන් කිරීමටත් රජයට නොහැක්‌කේ මන්දැයි ඔබට සිතෙනු ඇත.

එසේ නොකිරීමට ප්‍රධාන හේතුව වන්නේ මුදල් අච්චුගැසීම මඟින් බඩු මිල ඉහළ යැමේ වේගය හෙවත් උද්ධමනය ඉහළ යා හැකි නිසාය. මෙවිට ඔබේ පසුම්බියේ ඇති මුදල්වලින් මිලදී ගත හැකි භාණ්‌ඩ ප්‍රමාණය අඩු වීමක්‌ සිදුවේ. මුදල් අච්චු ගැසීම මඟින් ජනතාව අතර ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි වීමක්‌ සිදුවේ. එවිට භාණ්‌ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යන අතර රටේ නිෂ්පාදන ශක්‌තිය දුර්වල නම් භාණ්‌ඩ හා සේවා මිල මට්‌ටම ඉහළ යැම වැළැක්‌විය නොහැක. 

අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් යම් ආර්ථිකයකට භයානක ප්‍රති විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති. මුදල් අච්චු ගැසීමෙන් රටකට සිදුවිය හැකි බරපතලම අගතිය නම් අති උද්ධමනය (Hහචැරසබකේඑසදබ). මෙහිදී උද්ධමනය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යැමක්‌ සිදුවේ. උද්ධමනය සාමාන්‍ය අගයක පවතින රටක බඩු මිල දෙගුණ වීමට අවුරුදු කිහිපයක්‌ ගතවන නමුත් අති උද්ධමනකාරී තත්ත්වයක්‌ යටතේ බඩු මිල දෙගුණ වීමට ගත වන්නේ පැය කිහිපයකි. මේ සඳහා හොඳ උදාහරණයක්‌ වන්නේ දැනට වෙනිසියුලාවේ පවතින අති උද්ධමනකාරී තත්ත්වයයි. මේ අනුව එහි දැනට උද්ධමනය 141.5% වන අතර ලෝක බැංකුව පවසන ආකාරයට මෙම අගය 720% දක්‌වා මේ වසර තුළ වැඩි විය හැක. 

මහා බැංකුව මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් දැඩි පාලනයක්‌ සිදු කරන්නේ ව්‍යාජ මුදල් ආර්ථිකයකට එක්‌වීම තුළින් යම් නරක ප්‍රතිඵල ඇති විය හැකි බැවිනි. ඉහත පැහැදිලි කළ ආකාරයටම මහ පරිමාණයෙන් ව්‍යාජ මුදල් එක්‌වීම තුළින් ද උද්ධමනය ඉහළ යා හැක. උදාහරණයක්‌ ලෙස දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 134 ක ව්‍යාජ නෝට්‌ටු පිළියෙළ කරන ලදී. මෙම මුදල් ගුවනින් ලන්ඩන් නුවර මත පතිත කිරීමට සැලසුම් කොට තිබිණ. මෙහි අරමුණ වූයේ උද්ධමනය ඉහළ යෑවීමෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැට්‌ටීමයි. නමුත් ගුවන් යානා හිඟකම සහ සෝවියට්‌ ආක්‍රමණය නිසා මෙම සැලසුම අතහැර දැමීමට ජර්මනියට සිදුවිය. යම් හෙයකින් එදා ජර්මානුන්ගේ මෙම සැලසුම සාර්ථක වුවා නම් අද ඉතිහාසය බොහෝ වෙනස්‌ වීමට ඉඩ තිබුණි. 

මුදල් අච්චු ගැසීම මඟින් උද්ධමනය ඉහළ යා හැකි බව දැන් ඔබට පැහැදිලිය. එසේ නම් යම් රජයක්‌ විසින් මුදල් අච්චු ගැසීමට පෙළඹෙන්නේ ඇයි? මුදල් අච්චු ගැසීම යනු ලෝකයේ සෑම රජයක්‌ම පාහේ මුදල් රැස්‌ කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයකි. එය සම්පුර්ණයෙන්ම රටකට අහිතකර ක්‍රමයක්‌ ලෙස හුවා දැක්‌විය නොහැක. එය යම්කිසි පාලනයක්‌ හෝ ශික්‌ෂණයක්‌ යටතේ සිදුවේ නම් ඉන් රටකට සිදුවන අහිතකර ප්‍රතිඵල අවම කළ හැක. මුදල් අච්චු ගැසීම රජයකට මුදල් උපයා ගැනීමේ පහසු හා වේගවත් ක්‍රමයකි. මුදල් අච්චු ගැසීම මෙන් නොව මුදල් රැස්‌ කිරීමට බදු ඉහළ දැමුවහොත් ඉන් ලැබෙන ආදායම් ලබා ගැනීමට යම් කාලයක්‌ ගතවේ. එමෙන්ම රටක ණය ගෙවීමේ හැකියාව පිළිබඳව විශ්වාසය පළුදු වූ විට රටකට සහනදායි පොලියක්‌ යටතේ ණය ලබා ගැනීමට අපහසු වේ. මෙවන් අවස්‌ථාවක ආර්ථිකය දුර්වල නම් බදු ආදායම් ඉහළ දැමීමද අපහසු වේ. එවිට වියදම් පියවා ගැනීමේ එකම ක්‍රමය වන්නේ මුදල් අච්චු ගැසීමය. උදාහරණයක්‌ ලෙස පළමු ලෝක යුද සමයේ ජර්මනිය විසින් විශාල ණය ප්‍රමාණයක්‌ ලබා ගෙන තිබුණි. යුධ පරාජයෙන් පසු විනාශයට පත් ජර්මන් ආණ්‌ඩුව වියදම් පියවාගැනීම සඳහා තවත් ණය ලබාගැනීමට අපහසු වූ අතර මුදල් අච්චු ගැසීම මඟින් අයවැය පියවීමට කටයුතු සිදු කෙරුණි. පළමු ලෝක යුද්ධය අවසාන වන විට හන්ගේරියානු අධිරාජ්‍යයේ ද ආර්ථිකය බොහෝ සෙයින් කඩා වැටී තිබුණි. මෙහි දී අයවැය පරතරය පියවා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීමට තීරණය කෙරුණි.

මුදල් අච්චු ගැසීම යනු දේශපාලන ලෝකයේ උණුසුම් මාතෘකාවකි. බොහෝ විට දේශපාලන සංවාද මණ්‌ඩප තුළ සිදුවන මෙවන් කතිකාවන් පිළිබඳව ප්‍රේක්‍ෂකයන් ලෙස අවබෝධයක්‌ හෝ උනන්දුවක්‌ ඔබට නොතිබුනා විය හැක. නමුත් රටේ පුරවැසියන් වශයෙන් මෙවන් මාතෘකා පිළිබඳව අප විමසිල්ලෙන් සිටිය යුතුය.

ලියුම්කරු ආර්ථික විද්‍යාව පිළිබඳව කටයුතු කරන ස්‌වාධීන ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු ඔස්‌ටේ්‍රලියාවේ එඩිත් කොවන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක්‌ ලබා ඇත.

ලලින්ද සුගතදාස

Post a Comment

0 Comments