කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ පිහිටි කුරුවිට නගරය මෑතකදී යම් සංවර්ධනයකට ලක් වූ මැණික් වෙළෙ\ම මූලික කරගත් නගරයකි. නගරය මැදින් යන එන ඕනෑම අයකුට දක්‌නට ලැබෙන ඉතා සුන්දර හා සිත නිවන සුලු දසුනක් ලෙස කුරු ගඟ හඳුන්වා දිය හැක. නගරය මැද වූ විශාල පාලම මත සිට බැලූ කල ඉතා සෙමෙන් බොහොම සංවරව ගලා යන දිය කඳ දකින කාගේත් සිත් මඳකට හෝ පැහැර ගන්නා බව නම් නොරහසකි. මෙම ගඟ සමනල කන්දෙන් පටන්ගෙන කුරුගම්මෝදරින් කළු ගඟට වැටෙන හෙයින් කුරු ගඟ ලෙස නම පටබැඳී ඇත.
නිසොල්මනේ ගලා යන කුරු ගඟේ නිල්වන් ජල කඳ දෙස බලා සිටින කිසිවෙකුටත්, නොපෙනෙන ශිෂ්ටාචාරයක සතුට, කඳුළ, ජීවය, කැටිවී ඇති මහා වෘතාන්තයක් මේ නිල්වන් ජල කඳ දිගේ පහළට ගලා යන බව නම් සංවේදීව සටහන් කළ යුතුමය. මන්ද මතු පිටින් පෙනෙන ලෝකයේ සෑම දෙයකම ඊට එහා ගිය පුළුල් වූ අර්ථයක් ගැබ්ව ඇති බව කිව යුතුය. මා කීමට උත්සාහ දරණ ඒ විනෝදබර හා ත්‍රාසජනක කතාන්දරය ආරම්භවන්නේ කුරුවිට නගරයේ සිට කි.මී. 4 ක් දුරින් වූ මුහුදු මට්‌ටමේ සිට අඩි 115 ක් පමණ ඉහළින් පිහිටා තිබෙන කීරගල, දෙහිපහල, උතුරු එක්‌නැලිගොඩ නම් වූ ග්‍රාම සේවා කොට්‌ඨාශ තුනට මැදි වූ අගවත්ත නම් ග්‍රාමයේ පිහිටි බෝපත් ඇල්ල නම් ලංකාවේ ඇති සුන්දරම දියඇල්ල පිහිටි ස්‌ථානයෙනි.
සාමාන්‍යයෙන් (මි.මීටර් 5080) ක පමණ වර්ෂාපතනයකින් යුත් ප්‍රදේශයක පිහිටි මෙම දියඇල්ල අඩි 98 ක් (මීටර් 30ක්) පමණ උසකින් යුක්‌තය. ජෛව විවිධත්වය අනුව ගත් කල මෙම දියඇල්ල අවට දැඩි රක්‍ෂිත වන පෙතක් නොතිබුණ ද ඒ ප්‍රදේශයටම ආවේණික වූ ශාක හා සෙසු ජීව පද්ධතියක් මෙහි ස්‌වාභාවිකවම පිහිටා ඇත. බුලත්හපයා, ලූල්ලු, සෝන්නු, අරා, නලහඳයා, දන්කොළ සාලයා වැනි මිරිදිය මත්ස්‍ය විශේෂ ද, ඌරා, වලිකුකුළා රැහැයි විශේෂ ද, අට්‌ටික්‌කා, කුඹුක්, වැටකෙයිය, ගිනිහොට ශාක හා මීවන විශේෂ රාශියක් ද මේ අවට දැක ගත හැකිය. ඒ වගේම අනෙක් දියඇලිවලට වඩා වැඩි ඉඩ පරාසයක පිහිටීම හා පහසුවෙන් ළඟා වීමට හැකි වීමද සංචාරකයන් විශාල වශයෙන් ඇදගැනීමට හේතු වී ඇත. මෙවන් සුන්දර වූ බෝපත් ඇල්ලේ ජලවහනය තප්පරයට ඝණ මීටර් 6.5 (6.5ප3) කි.
කුඩා වයසේ සිට වැඩිමහල් පිරිස් දක්‌වා දියකෙළියෙහි යෙදෙන්නට ඉතාමත් ආරක්‍ෂාකාරී ස්‌ථාන රාශියක් මෙම දියඇල්ල අවට පිහිටා තිබීම හා වැඩි සංචාරකයන් පිරිසක් සිටිය ද ඔවුන්ට හිරිහැර නොවන සේ නිදහසේ පෙම්බස් තෙපළීම සඳහා ස්‌වාභාවිකවම උරුම වී තිබෙන ස්‌ථාන නිසා මෙහි ඇදෙන පෙම්වතුන්ගේ ප්‍රමාණය ද ඉතා ඉහළය. ඈතින් කුඩාවට පෙනුණ ද මහත් උසකින් යුතු පටු ගල්පර දෙකක් මැද්දෙන් ගැඹුරට තැනුණු ගල් වළකට වැටෙන දියදහර දෙපස තිරිවානා ගල් සහිත බයොටයිට් වයරින් පාෂාණ ඉස්‌මතු වී දුරට පෙනෙයි. බෝ කොළයක හැඩයෙන් පහළට ඇදෙන නිසාදෝ බෝපත් ඇල්ල ලෙස නම් පටබැඳී ඇති දකින සෑම දෙනාගේම සිත් සැබවින්ම පිනවන මනස්‌කාන්ත දියඇල්ලක් බව නම් කිව යුතුමය.
මෙම ඇල්ල පිළිබඳ එහි සේවය කරන මහතකු අප සමඟ කළ හෙළිදරව්වත් සමඟ මෙම ඇල්ල කවුරුන් හෝ ලද්දකැයි නිර්මාණය කරන අපට සිතෙන්නට විය. මෙතෙක් කිසිවකුත් නොඇසූ මේ අපූර්ව වූ පුවත අපට පැවසුවේ උපන්දා සිට අගලවත්ත ගමේ ජීවත් වී 1990 වර්ෂයේ පමණ සිට මේ දක්‌වා මෙම දියඇල්ලේ නඩත්තු කටයුතු සම්බන්ධ නිලධාරියකු සේ සේවය කරන කුරුවිට ප්‍රාදේශීය සභාවේ සේවක හරිස්‌චන්ද්‍ර මහතායි. වසරකට වරක් ජීවිතයක් බිලිගන්නා බව කියන මේ දියඇල්ලේ අපූර්ව වූ තොරතුරු මම ඔහුගෙන් ඇසුවෙමි. එතැන් පටන් ඔහු වචන වලට පෙරළු ඒ අපූර්ව ඉතිහාසය මෙසේ විය.
"මම 1990 ගණන්වල මෙම ඇල්ල ළඟ සේවයට එන්නේ. ඒ එන්නේ ඇල්ල නැරඹීමට පැමිණෙන වාහනවලින් ටිකට් කැඩීමට. මම ඒ රස්‌සාවට 1990 ආවට උපන් දා සිට ගත කළේ හැදුණේ වැඩුණේ මේ ඇල්ලත් එක්‌ක. අපේ ජීවිතවල හැම මොහොතක්‌ම හැම තප්පරයක්‌ම ගෙවුණේ මේ ගහ කොළ සතා සිව්පාවුන් හා මේ දිය කඳත් එක්‌ක. ඉතින් මේ බෝපත් ඇල්ලේ සිදුවන සෑම පරිවර්තනයක්‌ම අපිට හොඳට පේනවා. මේ හැම වෙනස් වීමක්‌ම අපට හොඳට දැනෙනවා. මුල් අවධියේදී මේ ඇල්ල බලන්න දේශීය සංචාරකයො ආවෙ අඩුවෙන්. ඉඳල හිටල එන පිටරට සුද්දෝ සුද්දියෝ මෙතනට ඇවිල්ලා ෙµdටෝ ගහල නාලා යනව. ඔය මම කිව්ව 1990 ගණන්වල තමයි අපේ රටේ අය ටිකක් මේක බලන්න එන්න ගත්තෙ. ඒත් කලාතුරකින්. ඒ ආවත් ඒ අය කාල බීල ගෙනාපු බෝතල් ගල්වල ගහල කුඩු කරල රණ්‌ඩුවෙලා හෙම තමයි ආපහු යන්නෙ. ඒ සමහරක් වතාවල් වල පදම ඉක්‌මවූ පිරිස් ඇල්ල මුදුනට යනවා. ඒ යනකොට ඇඟේ පාලනය ගිලිහිලා කකුල ලිස්‌සලා ඇල්ලට වැටිලා මැරෙනවා. ඉතින් අනික් අය කෑගහනකොට ගම්මු විදියට අපි ඇවිත් පොලිසියට පණිවඩේ ඇරල ඒ මහත්තුරු ආවම තමයි මිනිය ගොඩ ගන්නෙ. ඒ ගොඩ ගන්න මිනියෙත් ගල්වල වැදිලා ඔලුකටු පොඩිවෙලා.
"ඔන්න ඉතින් ඊට පස්‌සෙ බිල්ලක් ගත්තා කියලා ප්‍රචාරය යනව. ඒත් මේකෙ ඔහේ බිලි ගැනිල්ලක් නෑ. නොසැලකිලිමත්කම හා අධික බීමත්කම තමා ඔය කියන බිලිවලට මුල. මගේ මතකයේ හැටියට දැනට මරණ 84ක් පමණ මේ ඇල්ලෙ වෙලා තියෙනවා. ඒ අතර කිහිපයක්‌ම සියදිවි නසා ගැනීම්. මුල්ම ජීවිත අනතුර වෙලා තියෙන්නේ 1971 විතර. ඒ ගැහැනු කෙනෙක්. මොකක් හෝ කලකිරීමකට ඇල්ලෙන් පැනල මැරුණ. එදා ඉඳල 2014 වෙනකල් මරණ 81 ක් වුණා. පසුගිය අවුරුදු 3කින් ම මරණයක් වුණේ නෑ. එච්චර කාලයක් අනතුරක් නොවී ඔය තිබුණමයි. ඒත් හැබැයි 2017 පෙබරවාරි මාසෙ 25 වැනිදා එක තරුණයෙක් සියදිවි නසා ගත්තා. එතැන ඉඳලා 2017 මාර්තු මාසය වෙනකොට මරණ 3ක් වුණා. අවසාන එක වුණේ පසුගිය මාර්තු 01 වැනිදා. ඒ කුරුවිට තෙප්පනාවෙ ගලකඩ කියන ගමේ සාලිය කියන තරුණයෙක්. ඒ තරුණයත් එදා ඉඳල තියෙන්නේ අධිකව මත්පැන් පානය කරල. ඉතින් මේ හැම ගත්ත බිල්ලකම ඉඳල තියෙන්නේ අධිකව බීමතින් හිටපු අය. ඕක තමයි අපි හිතන්න ඕන කරුණ.
"මෙහෙම ලස්‌සනට නැරඹුවට මේ ඇල්ලෙ අතීතය හාත්පසින්ම වෙනස් එකක්. මේ ඇල්ල කලින් ගලල තියෙන්නේ මීට ටිකක් එහායින් උතුරට වෙන්නයි. ඒ කිව්වෙ අපේ අම්මගේ මහ ගෙවල් අයිනෙ. ඔය පේන තැනට මීටර් 20ක් විතර එහායින්. ඔහොම යනකොට කවුදෝ රජ කෙනෙක් එයාගෙ රන් ආභරණ, මුතු මැණික් වස්‌තුව අර ඇල්ල වැටෙන මැද තියෙන ගල් බේසමක නිධන් කරල ඒකට ළගා වෙන්න බැරි වෙන්න ඊට උඩින් ඇල්ලක් වගේ වැටෙන්න වතුර පාර හරවලා. අර අපේ අම්මගෙ මහගෙවල් අයිනෙන් ගලපු ගඟ මෙතෙනට හැරෙව්ව පාර එදා ඉඳන් මෙතන ඇල්ලක් විදිහට වැටෙන්න ගත්තලු. කලින් ගඟ ගලපු තැන වියළී ගිය බෝල වුණ ගල් පර්වත ඇති සිඳී ගිය ගඟක සලකුණු අදත් දකින්නට තිබෙනවා. වැස්‌ස අඩු දවස්‌වලට ඔය ඇල්ලට බැහැපු අපේ ගමේ අය ගල් පඩි වගයක් තිබෙනව දැකල තියෙනව. එතන පවුලකට වුණත් නිදාගන්න පුළුවන් තරම් ඉඩක් තිබෙනවලු. එතනට එන්න විදිහට හදපු උමඟක් ඇල්ලට එගොඩින් හමුවෙලා තියෙනවා. මේ සියල්ල ජනප්‍රවාදයක් වුණත් උමඟ, ගල් පඩි, සිඳී ගිය දොළ පාර, මෙම ජනප්‍රවාදය ජීවමාන කරන සාධක හැටියට පෙන්නන්න පුළුවන්.
මේ ඇල්ල මායිමේ අර තියෙන නා ගහට අවුරුදු 200ක් විතර වෙනවලු. ඉස්‌සර අපේ තාත්තල රෑට දැකල තියෙනවලු ලොකු රවුම් එළි ඔය පේන නාගසට අහසෙ ඉඳල බහිනවා. මොනව වුණත් මෙතන හරි විස්‌මිත තැනක්. අපි මේක ආරක්‍ෂා කර ගන්න ඕන. දැනට තියෙන එකම තර්ජනය ඇල්ලට ඉහළින් ප්‍රදේශවල සිදු වන ගස් කැපීම හා දෙපස ජල මූලාශ්‍ර වලට මායිම් වන සේ සිටවන ලද තේ වගාවයි. මේ නිසා ජලය සිඳී යන තත්ත්වයක් පවතිනවා. ඉස්‌සර කොපමණ පෑව්වත් නොසිඳෙන ඇල්ල දැන් සති දෙක තුනක් පායපු ගමන් වේළෙනවා. දැන් මේ ඇල්ල අපේ ජීවිතය වෙලා. මෙයින් පෝෂණය වන පවුල් 150ක් පමණ ඉන්නවා. මේකේ සුන්දරත්වය මුළු ලෝකෙම විඳිනවා කවුරුහරි රජෙක් මේ ඇල්ල මෙතෙන නිර්මාණය කළත්, නැතත් දැන් මේක සුන්දර ඇල්ලක්. මේ ඇල්ල පණ වගේ රැක ගන්න ඕන කියන එක තමයි මට කියන්න තියෙන්නෙ යෑයි" අප සමඟ පවසමින් හරිස්‌චන්ද්‍ර මහතා අපට සමුදුන්නා.
මම ප්‍රසන්න ඉන්දික. (අවු.32, කැලණියේ සිට පැමිණි සංචාරකයෙක්. මම මේ බෝපත් ඇල්ලට ආවෙ අටවැනි පාරට. අපි හැම වසරකම විනෝද වෙන්න මෙතනට එනව. වැඩියෙන් එන්නෙ යාළුවෙතාa එක්‌ක. ඒත් මේ පාරනම් ආවෙ පවුලෙ හැමෝම එක්‌ක. ලංකාවෙ තියෙන විනෝද වෙන්න හොඳම තැනක් තමයි මෙතෙන. අපි පරිස්‌සමෙන් විනෝද වුණාම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ. අපි දැනගන්න ඕනි මේ වගේ ස්‌ථාන රැකගන්න. ඒත් මම යෝජනා කරනවා මෙතෙනට හදිසි අවස්‌ථාවක් උදා වූ විට උදව්වට එන ජීවිතාරක්‍ෂක කණ්‌ඩායමක් යොදවනවා නම් හොඳයි කියල. මොකද මෙතෙන්ට විදේශිකයනුත් එන නිසා.
මේ අතර වෙළෙ\මේ නිරත වන ජී. ජී. ගුණරත්න මැණිකේ මහත්මිය "(අවු.45) අපි සමඟ මෙසේ අදහස් ප්‍රකාශ කළා. මම නම් කියන්නේ මෙතන මීට වඩා දියුණු කරන්න ඕන. සංචාරකයන් එන තරමට අපට හොඳයි. සෙනඟ ආපු දවසට රු.20000ත් රු.30000ත් අතර වෙළෙ\මක් අපි කරනවා. ඉතින් ඒ අය ගෙන්වා ගන්න ප්‍රාදේශීය සභාව අවශ්‍ය වැඩකටයුතු යොදන්න ඕන. මෙතන තියෙන වැසිකිළි පහසුකම් මදි. පාරවල් පළල් මදි. සංචාරකයන්ගෙන් ප්‍රාදේශීය සභාව මුදලක් අයකර ගන්නේ නම් ඒ අය මේවා හරියට මේ නඩත්තු කරන්න ඕන. මේ දේවල් වගකිව යුතු අයට පේන්න දාන්න තමයි මම කියන්නෙ. මේ ඇල්ල රැකගත්තොත් තමයි අපිත් රැකෙන්නෙ.
පොලිස් ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතා
"කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ පිහිටි බෝපත් ඇල්ල අද ලංකාවේ ඉන්න ගොඩාක් දෙනා නරඹපු, තවත් විශාල වශයෙන් නරඹන්න එන ආකර්ෂණීය ස්‌ථානයක් මෙතනට එන සංචාරකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න පොලිසිය විදිහට අපි බැඳී ඉන්නවා. මේ වෙනකොට ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙනවා. සෑම නිවාඩු දිනයකම අපි අපේ නිලධාරීන් දෙදෙනෙක් එම ස්‌ථානයේ ආරක්‍ෂාව සඳහා යොදවනවා. ඒ විතරක් නෙමෙයි, ආරක්‍ෂිත වදන් සහිත විශාල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරනවා. (බොර පැහැති වතුර, කොළරොඩු වගේ දේවල් පාවී එනවනම් දියට බැසීමෙන් වළකින ලෙස තමා අපි උපදෙස් දෙන්නේ.) මොකද එහෙම වෙනකොට ඇල්ලේ ඉහළ ප්‍රදේශවල ඇතිවන වැසි හේතුවෙන් ඇල්ලේ ජල මට්‌ටම වැඩිවෙලා අනතුරු වෙන්න පුළුවන්. තව එකක් තමා ඇල්ල ආසන්නයට ගිහින් දිය නෑමෙන් වළකින්න කියල තමයි අපි උපදෙස් දෙන්නේ. මොන හේතුවකින්වත් මත්ද්‍රව්‍ය ඇල්ල භූමියට රැගෙන යැම නම් තහනම්.
පිටපත - අනුර ජයසේන
ඡායාරූප -චතුලා පුංචිහේවා
0 Comments