බෙහෙත් කන බොන අපේ මිනිස්‌සු

"එක ඩොක්‌ටර් කෙනෙක්‌ ළඟට ගියා, වැඩක්‌ නැහැ මේ එක බෙහෙතයි දුන්නේ. තාම බබාගේ උණ සනීප නැහැ. අර ඩොක්‌ටර් නම් බෙහෙත් ගොඩක්‌ දෙනවා. එක බෙහෙත් වේලෙන් උණත් සනීප වෙනවා."

බබාට උණ වගේ ඩොක්‌ටර්, බෙහෙත් මොනව හරි දෙන්න. බලෙන් හරි පොවා ගන්නම්.

මෙවැනි අත්දැකීම් ඔබටත් පොදු වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අප මෙසේ රෝග සුවපත් කර ගැනීමේ අරමුණෙන් බටහිර ඖෂධවලට වහල් වීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන අතර බටහිර රටවල මීට හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌ දැකිය හැක. අප විදේශිකයකූට ඖෂධයක්‌ නියම කළ විට එය ආවාට ගියාට ගිල දැමීමට ඔහු සූදානම් නැත. එම ඖෂධය කූමක්‌ද?, එහි ක්‍රියාකාරිත්වය කූමක්‌ද?, අතූරු ආබාධ මොනවාද? කොපමණ කාලයක්‌ ඖෂධය ලබා ගත යුතූද? වෙනත් ඖෂධ හා ආහාර සමඟ නියම කරන ලද ඖෂධය ලබා ගැනීමේදී අතූරු ආබාධ ඇතිවේ ද යන ගැටලු රැසකට පිළිතූරු දීමට වෛද්‍යවරුන් වන අපට සිදුවෙයි. ලබා දෙන ඖෂධ සංඛ්‍යාව වැඩිවන තරමට විදේශිකයා අසතුටට පත්වෙයි. ඖෂධ භාවිතාව සම්බන්ධව තවමත් අපේ රටේ ජනතාව නිසි පරිදි දැනුවත්ව නොමැති වීම මේ ෙ€දවාචකයට එක්‌ හේතූවකි.

 රෝග අවස්‌ථා නීර්ණය කර එම රෝගකාරකයන් පාලනය හෝ මර්දනයට ඖෂධ යොදාගත හැක. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසාගේ ජීවන තත්ත්වය උසස්‌ කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි වී ඇත. මේ වන විට තොටිල්ලේ සිට මිනී වල දක්‌වාම ඖෂධ නැතුවම බැරි සංයෝගයක්‌ වී ඇත. දරුවකූ මව් කූස පිළිසිඳ ගැනීමටත් පෙර සිටම මව ඖෂධ ලබා ගැනීම ආරම්භ කරයි. දරු ප්‍රසූතියේදී ද ඖෂධ ලබා දීම සිදු කරයි.

පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට මෙරට පවුල්වල සාමාජිකයකූ සෑම දින හතරකටම වරක්‌ අසනීප වෙයි. මීට අමතරව වයස අවුරුදු 20 ත් 45 ත් අතර කාලයේදී සෑම පුද්ගලයකූම වාගේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි. මේ සෑම අවස්‌ථාවකදීම පිහිටට පැමිණෙන්නේ ඖෂධයි.

රෝගීන්ට ඖෂධ නියම කිරීමට පෙර කරුණු කිහිපයක්‌ සම්බන්ධව විශේෂ අවධානය යොමුකළ යුතූය. ඖෂධලබා දීමෙන් රෝගියාගේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්‌ කරන්නේද යන්න පළමුව කල්පනා කළ යුතූය. සමහර රෝගී තත්ත්ව ඖෂධ ප්‍රතිකාරවලින් තොරවම සුවවෙයි. ඖෂධ ලබා දීමෙන් රෝගියාගේ සිරුරේ සිදුවෙතැයි අපේක්‌ෂිත වෙනස්‌කම් ගැන අවබෝධයක්‌ තිබිය යුතූය. හැකි සෑම විටම ඉහළ ගූණාත්මක භාවයෙන් යුතූ ඖෂධ රෝගියාට ලබාදිය යුතූය. තමාගේ ප්‍රතිකාරවලින් රෝගියාට සුවවන්නේ නම් ඒa බව දැන ගැනීමට වෛද්‍යවරයාට හැකියාව තිබිය යුතූය.

වෛද්‍යවරයකූ විසින් රෝගියාට ලබා දෙන ඹාෂධ නියමිත මාත්‍රාවෙන්, නියමිත නියමිත ස්‌ථානයේදී නිවැරදිව ක්‍රියාත්මක විය යුතූ ලෙස නිවැරදි මාර්ගය ඔස්‌සේ ලබාදිය යුතූය. නිදසුනක්‌ වශයෙන් සමහර රෝගවලට බොන බෙහෙත්වලින් සුව වීමට වැඩි කාලයක්‌ ගතවෙයි. එවැනි විටෙක එන්නත් ලබා දීමට පෙළඹිය යුතූය.

අප භාවිතා කරන ඖෂධයේ අතූරු ආබාධ ගැන අවබෝධයක්‌ වෛද්‍යවරයාට මෙන්ම රෝගියාටද තිබිය යුතූය.-අනේ අර දොස්‌තරගේ බෙහෙත් බිව්වාම කරකැවිල්ල හැදෙනවායි රෝගීන් චෝදනා කරන මුත් එය වෛද්‍යවරයාගේ වරදක්‌ නොව රෝගීයාගේ රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධ වල අතූරු ආබාධයක්‌ විය හැක. වෛද්‍යවරයකූගෙන් ඖෂධ ලබා ගන්නා අප රෝගය සුව වූ වහාම අපගේ හිතූමනාපෙට ඖෂධ ගැනීම නතර කර දමයි. මෙය නොකළ යුතුය. රෝගියාට ලබා දෙන ඖෂධ නතර කිරීම කෙසේ කළ යුතූද යන්න ගැන වෛද්‍යවරයාට පූර්ව අවබෝධයක්‌ තිබිය යුතූය. රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධ වල අතූරු ආබාධ, සංකූ=ලතා පැවතිය ද ඒ බව දැන දැනම ඖෂධ ලබාදිය යුතූ අවස්‌ථා පවතියි. එවැනි විටෙක රෝගියා සහ ඔහුගේ ඥතීන් ඒ සම්බන්ධව දැනුවත් කළ යුතූය.

මේ අනුව පෙනී යන්නේ යම් රෝගයකට ඖෂධයක්‌ ලබා දීම හෝ ලබා ගැනීම -මේ ලෙඩේට මේ බෙහෙත - මේ බෙහෙත මේ ලෙඩේට ලෙස කට පාඩමෙන් අවිචාරවත්ව කළ හැකි දෙයක්‌ නොවන බවයි. රෝගීන් වෛද්‍යවරුන් මෙන්ම ෆාමසි හිමියන් ද මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. මේ සඳහා දැනුම අවබෝධය, අත්දැකීම්, හැකියාව මෙන්ම කූසලතාවයද තිබිය යුතුය. වෛද්‍යවරු දෙදෙනෙක්‌ එකම බෙහෙත අවස්‌ථා දෙකකදී එකම රෝගියෙකුට ලබා දුන් විට එක්‌ වෛද්‍යවරයෙකූගේ බෙහෙත්වලින් සුව වන්නේත් අනෙක්‌ වෛද්‍යවරයාගේ බෙහෙත්වලින් සුව නොවන්නේත් මේ වෙනස නිසාය.

ඖෂධයන් මගින් අපට සුවය ලැබෙයි. එය සුළු රෝගයක සිට මාරාන්තික රොගයක්‌ දක්‌වා සුවය ලබා දෙයි. ඖෂධ වලින් ලැබෙන අතූරු ආබාධ ද එසේමය. සුළු ආබාධ වල සිට මාරාන්තික අනතූරු සිදුවිය හැක. රුබෙල්ලා එන්නත් කිරීමෙන් දැරියක මිය යැම නිදසුනකි. එකම ඖෂධය වුවද රෝගියාගෙන් රෝගියාට ක්‍රියා කරන්නේ වෙනස්‌ ආකාරයටය.

වෛද්‍ය විද්‍යාව තුළදී ප්‍රධාන අරමුණු තූනකින් ඖෂධ භාවිතා කරයි. රෝග සුවපත් කිරීම ඉන් පළමු වැන්නයි. රෝගී අවස්‌ථා උත්සන්න නොවී යටපත් කිරීම දෙවැනි අරමුණයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්‌මාරය, හතිය, ආදී රොAගී අවස්‌ථා වලදී ප්‍රථිකාර කරනුයේ රෝගියාට රෝගය නිසා වන අතූරු ආබාධ අවම කිරීමටය. තෙවන අරමුණ රෝග ඇතිවීම වලක්‌වා ගැනීමයි. ප්‍රතිශක්‌තිකරණ එන්නත් ලබාදීම, මැලේරියා කලාපයකට යැමට පෙර ඖෂධ ලබා දීම නිදසුනකි.

මිනිසාට වැළඳෙන රෝග අවස්‌ථා අවම වීමටත් නිරෝගී වීමටත් බලපාන ලද ප්‍රධාන හේතුවක්‌ වන්නේ ඖෂධ භාවිතය ඉහළ යැම නොව අපගේ සමාජ ආර්ථික ජීවන තත්ත්වය වඩා ගුණාත්මක වීම බව සිහියේ තබා ගත යුතූය. රෝග වළක්‌වා ගැනීමට මූලික අවධානය යොමු යුතූය. එසේ රෝගී බවට පත්වන පුද්ගලයන්ට ඖෂධයීය ප්‍රථිකාර ලබාදිය යුතූය. දුම්පානය නතර කිරීමෙන් පිළිකාවලින් අත්මිදිය හැක. දිනපතා ව්‍යායාමවලට හුරු වීමෙන් හෘදයාබාධවලින් වැළකී සිටිය හැක. ජලය වැඩිපුර පානය හා කෙඳි සහිත ආහාර අනුභවය ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ආදී රෝගවලින් මිදීමට උපකාරී වෙයි.

අප ඖෂධයක්‌ ලබා ගන්නා සෑම අවස්‌ථාවක්‌ම අවදානම් (RISK) සහගත වෙයි. ඖෂධයෙ පවතින ගූණාංග, නියම කරන වෛද්‍යවරයාගේ අත්දැකීම, රෝගියාගේ ශරීරය ඖෂධයට ප්‍රතිචාර දක්‌වන අන්දම, පාරිසරික තත්ත්වයන් ආදී සියල්ල එකතූ වී මෙම අවදානම නිර්මාණය වෙයි. ඇතැම් ඖෂධයන් ලබා දුන් විට මුල් දින කිහිපයේදී රෝගී තත්ත්වයන් උත්සන්න විය හැක. නැති රෝග ලක්‌ෂණ ඇති වෙයි.

වෛද්‍යවරුනට රෝගියාගේ සැබෑ රෝගී අවස්‌ථාවට ප්‍රතිකාර කිරීමට අමතරව රෝගියා සහ ඔහුගේ ඥාතීන් සතූටු කිරීමට ඖෂධ නියම කිරීමට සිදුවෙයි. මෙහිදී ඖෂධ වැඩි සංඛ්‍යාවක්‌ (ඡදකහචය්රප්ජහ) නියම කිරීමට සිදුවෙයි. රෝගියා සතූටු කිරීම වෙනුවට රෝගියාට සුවයක්‌ වන ඖෂධ පමණක්‌ නියම කිරීම වැදගත්ය. යම් රෝගයක්‌ ඖෂධීය ප්‍රතිකාරවලින් තොරව සුව වන්නේ නම් ඒ බව රෝගියාට පහදා දිය හැක.

මීට දශක කිහිපියකට පෙර වෛද්‍ය විද්‍යාත්මක කරුණු, ඖෂධ පිළිබ`ද තොරතූරු ආදිය ෙසෘඛ්‍ය ක්‌ෂේත්‍රයේ නිරතවන්නන්ට පමණක්‌ සීමා වී තිබුණ ද මේ වන විට තත්ත්වය වෙනස්‌ වී ඇත. සාමාන්‍ය ජනතාව රෝගාබාධ හා ප්‍රතිකාර විධි ක්‍රම සම්බන්ධව වඩා දැනුවත්ය. ජනමාධ්‍යවලද මෙය ජනප්‍රිය තේමාවක්‌ වී ඇත. මේ නිසා ඖෂධ නියම කිරීමේ එකාධිකාරය වෛද්‍යවරුන් වෙතින් ගිලිහී ගොස්‌ ඇත. ඖෂධයක්‌ නිසා සංකූලතාවක්‌ ඇති වුවහොත් උසාවි යැමට සිදුවන්නේ ගහෙන් වැටුන මිනිසාට ගොනා අනින ලෙසිනි.

මේ ගෙවී යන විසිඑක්‌ වැනි සියවස වන විට විද්‍යාව හා තාක්‌ෂණය පිළිබඳව ජනතාවගේ දැඩි විශ්වාසයක්‌ පවතින අතර අත්වැරදි ඔවුහු බලාපොරොත්තූ නොවෙති. ඖෂධ නිසා වන අතූරු ආබාධද නොවිය යුතු යෑයි සමාජය විශ්වාස කරයි. දොස්‌තර බෙහෙතක්‌ දුන්නා. ඒක බීපු ගමන් ලෙඩාට අමාරු වුණා.- ජනතාව පවසන්නේ එපමණකි. ඇඟිල්ල දිගූවන්නේ වෛද්‍යවරයාටය. අදාල ඖෂධය හමුවේ රෝගියාගේ ශරීරයේ අභ්‍යන්තරයේ වුණ රසායන වෙනස්‌කම් තේරුම් ගැනීමට කිසිවකූට ඉවසීමක්‌ ද නැත. ජනමාධ්‍යයද ඒක පාර්ශීයව වාර්තාකරණයේ යෙදෙයි. ඖෂධ භාවිතයේ ප්‍රතිඵලයක්‌ ලෙස- නැති ලෙඩ හැදෙන බවට විශ්වාසයක්‌ ඇත. කෙසේ වුවද මේ තේමාව විවාදිතය. පුළුල්ව සාකච්ඡාවට බදුන් විය යුත්තකි. කොතෙක්‌ අත් වැරදි සාම්ප්‍රදායික ගොඩ වෙදකම් වල සිදුවුවද ඒ ගැන බොහෝ දෙනා නිහඬය.

ජනගහනයෙන් සැළකිය යුතූ සංඛ්‍යවක්‌ ජීවිත කාලයෙන් වැඩි කොටසක්‌ ඖෂධ මත ජීවිතය ගත කරති. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්‌මාරය, හතිය, හෘදයාබාධ හන්දි ආබාධ සුව නොවන තූවාලවලින් පෙළෙන්නන් මේ අතර ප්‍රධානය. මේ ආකාරයට දීර්ඝ කාලයක්‌ ඖෂධ භාවිතා කිරීම ඉතා සැලකිල්ලෙන් කළ යුතූය. මෙවැනි අවස්‌ථාවලදී අපගේ ශරීරය මෙම ඖෂධවලට හුරුවන අතර විශේෂයෙන් හෝර්මෝන යාන්ත්‍රණ වෙනස්‌ වීම සිදුවෙයි. හෝර්මෝන පෙති ආදිය හිතූමනාපෙට ලබා ගැනීම හෝ නතර කිරීම සිදුනොකළ යුතූය.

ඖෂධ ගැනීම හිතූමනාපෙට නතරකිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බලාපොරොත්තූ නොවන අතූරු ආබාධ ඇතිවිය හැකිය. දීර්ඝ කාලයක්‌ ඖෂධ ලබා ගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පරිවෘත්තිය වෙනස්‌ කම්වලට රෝගියාගේ සිරුර ලක්‌වෙයි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස දියවැඩියාව, හන්දි අමාරු, ඇතුළු නව රෝගවලට දොරටු විවෘත කර ගනියි. ඇතැම් ඖෂධ දිගූ කාලයක්‌ භාවිතා කිරීම නිසා ස්‌නායු සෛල, වකූගඩු සෛල ආදිය වෙනස්‌ වීම්වලට භාජනය වන අතර පිළිකා ජනනයටද අතවනයි. රෝගියාට එක රෝගයකට වඩා පවතින විට එම අනෙක්‌ රෝග අවස්‌ථා උත්සන්න කිරීමට ඇතැම් ඖෂධ හේතූ විය හැක. ඖෂධ කිහිපයක්‌ එකවර භාවිතා කිරීමත් ඖෂධ සමඟ මධ්‍යසාර භාවිතයත් ගැටලු රැසක්‌ නිර්මාණය කරයි.

වෛද්‍යවරයා නියම කළ පමණින් සෑම ඖෂධයක්‌ම රෝගියා විසින් ලබා ගත යුතූ නැත. අදාළ ඖෂධය සම්බන්ධව සියලු කරුණු වෛද්‍යවරයාගෙන් විමසා තම අභිමතය පරිදි එය භාවිතය හෝ අභාවිතය තීරණය කළ හැක. මෙහිදී වෛද්‍යවරයාට මඟපෙන්වීමක්‌ කළ හැක. ඒ අනුව රෝගියාට වාසි - අවාසි විමසා තීරණය ගත හැක.

වෛද්‍යවරයකූගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී ඖෂධ භාවිතාව සම්බන්ධ පහත කරුණු සම්බන්ධව විමසිලි වන්ත විය යුතුය. ඇතැම් ඖෂධ නිසා රෝග ඇති වීමත්, ආසාත්මික ප්‍රතික්‍රියා ඇති වීමත් තමාට නොගැලපෙන ඖෂධවලින් ඈත් වීමටත් මෙය උපකාරී වෙයි. ඖෂධ භාවිතා කළ පමණින් රෝග සුව වන්නේ ද නැත. ඖෂධ වල රසායන ප්‍රතික්‍රියාවන්. රෝගියාගේ ජාන පදනම, ඖෂධය ලබා දෙන මාර්ගය, වෛද්‍යවරයා පෙනී සිටීද නැද්ද, වෛද්‍යවරයාගේ පෞරුෂත්වය ආකල්ප හැසිරීම ආදිය ද රෝග සුව වීමට බලපායි. මීට අමතරව රෝගියාගේ පෞරුෂත්වය ආකල්ප, වෛද්‍යවරයා සම්බන්ධව රෝගියාගේ විශ්වාසය හා සමාජ පරිසර සාධක තත්ත්වද මීට බලපායි.

වෛද්‍යවරයකූ රෝගියකූට ප්‍රතිකාර කිරීම හුදු ඖෂධ මාත්‍රාවක්‌ නියම කිරීමක්‌ පමණක්‌ නොවන අතර එය සංකීර්ණ මානුෂික ප්‍රතික්‍රියාවක්‌ බව මේ අනුව පැහැදිලි වෙයි. මුදල් ගෙවා භාණ්‌ඩයක්‌ මිලදී ගැනීමට වඩා එය වෙනස්‌ මානුෂීය ගනුදෙනුවකි.

ඖෂධ භාවිතාව සම්බන්ධව පුළුල් කතිකාවතක්‌ සමාජය තුළ ගොඩනැඟෙමින් පවතින වකවානුවකි මේ. මේ වන විට අප සමාජයට නැතූවම බැරි පුරුද්දක්‌ බවට ඖෂධ භාවිතාව පත්වෙමින් පවතියි. එය තදබල ඇබ්බැහිකමක්‌ බවට පත්ව ඇත. සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිෂ්‍යාවට පවා බටහිර ඖෂධ පොකූරු පිටින් ගිල නොදැම්මොත් බොහෝ දෙනාගේ හිත හොඳ නැත. කෙසේ වුවත් අපට ස්‌වභාවධර්මයා වෙනස්‌ කළ නොහැක. එය මිනිසා කෙරෙහි කිසිදු විශේෂත්වයක්‌ නොදක්‌වයි. ලෙඩ රෝග වලක්‌වා ගෙන මරණය පරාජය කිරීම මිනිසාගේ ආශාවක්‌ මිස ස්‌වභාවධර්මයාගේ කැමැත්ත නොවෙයි.

මේ නිසා අප රෝගවලින් මිදීමට ඖෂධ භාවිතා කළත් එය යහපත් මෙන්ම අයහපත් ගතිගූණවලින් යුක්‌තය. අප භාවිතා කරන සෑම ඖෂධයකම මේ අයහපත් පැතිකඩ පවතින බවට අප දැනුවත් විය යුතුය. අවසානයේ සියලු චෝදනා සෞඛ්‍ය සේවකයන් මත පැටවීම නිවැරදී නැත.

අප ඖෂධ භාවිතා කිරීමට පෙර අප ලබා ගන්නා ඖෂධවල පවතින වලක්‌වා ගත හැකි අතුරුආබාධ සම්බන්ධව දැනුවත් වීම ඉතා වැදගත්ය. කෙසේ වුවත් ඖෂධයක පවතින සියලු අතුරු ආබාධ අපට වලක්‌වා ගත නොහැකි බවද පැවසිය යුතූය. වෙළෙඳපොළහි පවතින ඇතැම් ඖෂධ අතූරු ආබාධ අඩු, මිලෙන් වැඩි විය හැක. එසේම එය රෝගියාට අප්‍රිය විය හැක. මේ නිසා එම ඖෂධය රෝගියා පිළිවෙළකට භාවිතා නොකරයි. අතුරු ආබාධ වැඩි, එහෙත් රෝගියාට ප්‍රිය උපදවන ඖෂධවලට ඔහු නැඹුරු වෙයි. ඔහු එය නිතර ලබා ගනියි. වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත් ඇතැම් රෝගීන් තම හිතු මනාපෙට ඖෂධ ලබා ගැනීම සහ නතර කිරීම සිදු කරයි. ඔවුන් ඊට අමතරව අනෙකාගේ බෙහෙත් වට්‌ටෝරුවට එබිකම් කර බලා වෛද්‍ය උපදෙස්‌ ද ලබා දෙයි.

-ආපෝ... මේ කහ පෙත්ත ගන්න එපා එAක බිව්වම ඇඟ වෙව්ලනවා. පණ නැති වෙනවා. අර රෝස පෙත්ත නම් හොඳයි. මං නම් කහ පෙත්ත බොන්නේම නැහැ. ආදී ලෙස සායනවලට පැමිණෙන බොහෝ දෙනා පවසනු ඔබටත් ඇසී ඇත. සමහර විට එම රෝගියා නොබී සිටින එම ඖෂධය ඔහුගේ රෝගයට ලබා දෙන අතවශ්‍යම ඖෂධය විය හැක.

මින් පෙර කිසිම දිනක ඖෂධ ආසාත්මික නොවූ පුද්ගලයකුට වෙන ඕනෑම මොහොතක ඕනෑම ඖෂධයක්‌ ආසාත්මික විය හැක. රෝගියාගේ රෝග ලක්‌ෂණ, අතීත නිධාන ඉතිහාසය ආදිය විමසීමෙන් හා ඉතා ප්‍රවේශමෙන් හා බුද්ධිමත්ව ඖෂධ භාවිතය මේ තත්ත්වය වළක්‌වා ගැනීමට ඉවහල් වෙයි. එකම උණ රෝගය වැළඳී වෛද්‍යවරයකූ වෙතට යන රෝගීන් දෙදෙනකූට ලබා දෙන ඖෂධ වෙනස්‌ විය හැක්‌කේ මේ නිසාවෙනි. එහෙත් අපේ සමහර පුද්ගලයෝ තම ඥාතියාට රැගෙන යන බෙහෙත කිසිදු වගවිභාගයකින් තොරව තමාම දොස්‌තර වී ගිල දමති. අවසානයේදී විවිධ අතූරු ආබාධ සහිතව රෝහල් ගත වෙති.

අප ලබා ගන්නා ඖෂධ අපට ආකාර කිහිපයකට අනතූරු ගෙන එයි. ඉන් එක්‌ ආකාරයක්‌ වන්නේ ඖෂධ මාත්‍රාව වැඩි වී විෂවීම (toxicity) යි. පැරසිටමෝල් අධිමාත්‍රා මගින් අක්‌මාවට හානිවීම නිදසුනකි. රෝගියකූගේ කායික තත්ත්වය අනුව මෙම විෂවීමේ සීමාව වෙනස්‌ වෙයි. නිදසුනක්‌ වශයෙන් අක්‌මාව හෝ වකූගඩු ආශ්‍රිත රෝගාබාධ පුද්ගලයන්ට ඉතා සුළු ඖෂධ මාත්‍රා වෙනසක්‌ වුවද විෂ සහිත වෙයි.

ඖෂධවල ද්විතීයක බලපෑම් ඇත. අප නිතර ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන විට අපගෙ ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් සිටිය යුතූ හිතකර බැක්‌ටීරියා වර්ග විනාශ වීම ආහාර අවශෝෂණය අඩාල කරයි. පතිජීවක හමුවේ විනාශ වන බැක්‌ටීරියාවන් නිකූත් කරන විෂද අපට අහිතකර වෙයි.

ඇතැම් පුද්ගලයන්ට ඉතා කූඩා ඖෂධ මාත්‍රාවක්‌ වුවද බරපතළ අතූරු ආබාධ ඇති කරයි. එම ඖෂධයම තවත් පුද්ගලයකූ වැඩි මාත්‍රාවකින් ලබා ගත්ත ද කිසිදු ආබාධයක්‌ නැත මට නම් එ් බෙහෙත කටේ ගෑවුණත් ඇති ඇඟ වෙව්ලනවා යි එක්‌ රෝගියකූ පවසන අතර තවත් රෝගියකූ පවසන්නේ අනේ ඒ බෙහෙත පෙති දෙකක්‌ බිව්වත් මට නින්ද යන්නේ නෑනේ. ලෙසිනි. පුද්ගලයන්ගේ ජාන වෙනස්‌වීම් ද ඖෂධ කෙරෙහි වෙනස්‌ ආකාරයට ප්‍රතික්‍රියා කිරීමට හේතූ වෙයි.

දැනට අනාවරණය කොට ගෙන ඇති අන්දමට සෑම ඖෂධ භාවිතා කිරීම් 5000 කටම හෝ 10000 කටම එක්‌ අයකුම ඖෂධ නිසා වන අතූරු ආබාධවලට ලක්‌ වෙයි. එක්‌ රෝගයකට ලබා ගන්නා ඖෂධයක්‌ තවත් රෝගයක්‌ ඇතිවීම උත්තේජනය කළ හැක. සාමාන්‍යයෙන් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගෙන් සියයට 2 ත් 3 ත් අතර ප්‍රමාණයක්‌ කූමන හෝ අතූරු ආබාධයකට ඉලක්‌ක වෙති. සාමාන්‍ය රෝහල් ගතවීම්වලින් සියයට 0.3 ප්‍රමාණයකට හේතූව මෙසේ ඖෂධ අහිතකර වීමයි. වයස මාසයකට අඩු ළදරුවන් මෙන්ම වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් මෙම අතූරු ආබාධවලට පහසුවෙන් ගොදුරු වෙති.රෝහල් ගතව සිටින පුද්ගලයන්ගේ මරණ අනුපාතයෙන් සියයට 0.3 ක් සිදුවන්නේද ඖෂධ නිසා වන අතූරු ආබාධ වලිනි.

යම් කිසි පුද්ගලයකූ ඖෂධ නිසා වන අතූරු ආබාධවලට ගොදුරු වීමට වැඩිම ඉඩක්‌ දරන්නේ යම් ඖෂධයක්‌ භාවිතා කිරීමට පටන් ගෙන පළමු දිනයත් දහවන දිනයත් අතරය. දියවැඩියාව, හෘදයාබාධ, පෙනහලු හා ශ්වසන ආබාධ පවතින පුද්ගලයන් නිතර ඖෂධ භාවිතා කරන හෙයින් ඖෂධ නිසා වන අතූරු ආබාධවලට පහසුවෙන් ගොදුරු වෙති. නිතර ඖෂධ භාවිතා නොකරන පුද්ගලයන් ඉඳහිට බෙහෙත් වේලක්‌ ලබා ගත්ත ද එය දරාගත නොහැකි වන අවස්‌ථා ඇත.

සමහර ඖෂධ භාවිතා කරන සෑම පුද්ගලයන්ටම එහි අතූරු ආබාධවලට මුහුණ දීමට සිදුවෙයි. එහෙත් ඇතැම් ඖෂධවල අතූරු ආබාධ ඇති වන්නේ සමහර පුද්ගලයන්ට පමණි. තවත් සමහර ඖෂධ වල අතුරු ආබාධවලට හේතූව එම ඖෂධය දිගූ කාලයක්‌ භාවිතා කිරීමයි. ඇතැම් රෝගීන් මීට වසර දහයකටත් වඩා පැරණි ඖෂධ වට්‌ටෝරු තමා සමීපයේ තබාගෙන කිසිදු පරීක්‌ෂණයකට ලක්‌ නොවී ෆාමසිවලින් පමණක්‌ බෙහෙත් රැගෙන භාවිතා කරන අවස්ථා සුලභය.

ඖෂධ නිසා ඇතිවන සමහර ආබාධ (පිළිකා ආදී) ඇති වීමට කල් ගත විය හැක. තවත් සමහර අතුරු ආබාධ ඇතිවන්නේ අදාළ ඖෂධය භාවිතය නතර කළ විටය. නිදසුනක්‌ වශයෙන් හෝර්මෝන අසමතුලිතතා ආශ්‍රිත ඖෂධ එකවර නතර නොකළ යුතූය.

ලිංග භේදය, ජාන පදනම, අසාත්මිකතා ඇතිවීමට කලින් පැවති හැකියාව, පෞරුෂත්වය, හා ජීවන පුරුදු ආදියද, ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සහ රෝගියා ජීවත් වන පරිසරය ද අතූරු ආබාධ ඇතිවීම කෙරෙහි බලපායි. මීට අමතරව ඖෂධයේ අභ්‍යන්තර ගති-ගුණ හා ඖෂධ අතර වන අන්තර් ක්‍රියාද ඉතා වැදගත්ය. තරුණයන් යනු කූඩා වැඩිහිටියන් නොවන බව අප මතක තබා ගත යුතූය. මේ අනුව ගැලපෙන පරිදි බර අනුව මාත්‍රා නියම කළ යුතූය. ජානමය හේතූන් මත ඇතැම් පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය හෝර්මෝන, එන්සයිම අපගේ ශරීරයේ නොමැති විට ඖෂධ ශරීරය තුළ එකතූ වී ගැටලු උපද්දවයි. ඖෂධ නිසා අපගේ ශරීරයේ ඖෂධ ඇතිවන්නේ අප ශරීරය සමඟ ඖෂධය හෝ එහි පරිවෘත්තීය ඵල ක්‍රියා කිරීම නිසාවනි. නිතර ආසාත්මිකතා ඇති කරන එහෙත් වැදගත් ප්‍රතිජීවකයක්‌ වන්නේ පෙනිසිලීන් (Penicillin)ය. ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ බහුල ලෙසම රෝගී බවට පත්වන ඉන්ද්‍රියන් ලෙස සම, ශ්වසන පද්ධතිය, ආහාර මාර්ග පද්ධතිය හා රුධිරය හඳුන්වා දිය හැක. ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ නිදහස්‌ කරන රසායන විවිධ අතුරු ආබාධවලට හේතූවෙයි. ඇඟ කැසීම, රතූ පැහැ වීම, මුහුණ අත-පය ඉදිමීම, ශ්වසන අපහසුව මේ අතර සුලබ වෙයි. කම්පනය නිසා මරණයට පත්විය හැක. තවත් සමහර ආසාත්මික ප්‍රතික්‍රියා හමුවේ රුධිර සෛල බිඳවැටී නීරක්‌තිය ඇති වෙයි. රුධිර වහන සිදුවෙයි. වකුගඩු ආබාධ, රුධිර නාල ආසාධන, තවත් සුලභ අතූරු ප්‍රතිඵලයි. සමහර ඖෂධ අපගෙ ශරීරයේ ස්‌පර්ශය පවා ආසාත්මික ප්‍රතික්‍රියා ඇති කරයි.

රුධිර කැටිගැසීම අඩාල වීම, ප්‍රතිශක්‌තිකරණයට බලපාන සෛල අක්‍රීයවීමද මාරාන්තික වෙයි. අක්‌මාව අක්‍රීය විම., වකූගඩු ක්‍රියා අවහිර විම ගැන ද අවධානය යොමු කළ යුතූය. මේ අනුව පෙනී යන්නේ ඖෂධ නිසාවන ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට වඩා වලක්‌වා ගැනීම ඉතා වැදගත්වන බවයි. අශ්වයා ගිය පසුව ඉස්‌තාලය වසා පලක්‌ නැත.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
නියෝජ්‍ය දිසිත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ හම්බන්තොට

Post a Comment

0 Comments