හදවත පණගැහෙද්දී මොළේ මිය යන බාගෙට මරණ


මෙරට මාර්ග අනතුරු හා රෝග තත්ත්වයන් මත මොළය මිය යැමට (බ්‍රේන් ඩෙත්) ලක්‌ වන දහස්‌ ගණනක්‌ වන පුද්ගලයන්ගේ වකුගඩු, අක්‌මාව ඇතුළු ප්‍රධාන අවයවයන් ලබා ගෙන ඒවා අවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීමේ නිසි වැඩපිළිවෙළක්‌ නොතිබීම හේතුවෙන් මොළය මිය යාමට ලක්‌ වන පුද්ගලයන්ගේ අවයවයන් විශාල ප්‍රමාණයක්‌ ඔවුන් සමඟම විනාශ වී යන බව කොළඹ ජාතික රෝහලේ හිටපු විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ශාන්ති හපුආරච්චි මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය. 

බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟම අනතුරු හා රෝගී තත්ත්වයන් හේතුවෙන් මොළය මිය යාමට ලක්‌ වන රෝගීන්ගේ වකුගඩු අක්‌මාව, අග්න්‍යාශය, හෘදය වස්‌තුව, පෙනහළු යන ප්‍රධාන අවයවයන් එම පුද්ගලයන්ගෙන් ලබා ගෙන ඒවායේ ආබාධයන්ගෙන් පෙළෙන රෝගීන්ට බද්ධ කිරීම ඇරැඹිණි.

බටහිර දියුණු රටවල හා ඉන්දියාව, සිංගප්පූරුව වැනි ආසියාතික රටවල ප්‍රධාන පෙළේ සෑම ඉන්ද්‍රියක්‌ම පාහේ මොළය මිය ගිය පුද්ගලයින්ගෙන් ලබා ගෙන එම අවයවවල ආබාධ සහිත රෝගීන්ට බද්ධ කිරීම සිදු කරද්දී ශ්‍රී ලංකාවේ වකුගඩු, අක්‌මාව, පෙනහළු වැනි ඉන්ද්‍රියන් එසේ මොළය මිය ගිය පුද්ගලයන් සීමිත පිරිසකගෙන් ලබා ගෙන බද්ධ කිරීම වැඩි ප්‍රසිද්ධියක්‌ නොමැතිව රජයේ රෝහල්වල සිදු කෙරේ.

එහෙත් දැනට සිදු කෙරෙන එම අවයව බද්ධ කිරීමේ සැත්කම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන වෛද්‍ය හපුආරච්චි තවත් අවයව අක්‍රිය මට්‌ටමට පත් වන රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ බද්ධ කිරීමට අවයවයන් සොයා ගත නොහැකිව අසාධ්‍ය තත්ත්වයේත් තවත් පිරිසක්‌ මිය යමින්ද සිටින බව අවධාරණය කළාය.

කරුණු එසේ නම් වරද ඇත්තේ කොතැනද? අප රටේ ඇස්‌ දන් දීම කෙරෙහි ජනතාව විශාල වශයෙන් යොමු වී ඇත්තේ තවත් කෙනෙකුට පෙනීම ලබා දීමට මිය ගිය අයෙකුගේ ඇස්‌ හේතු වන බවට ඔවුන් නිසි පරිදි දැනුවත් වී තිබීම නිසාය.

එහෙත් අවාසනාවකට ඇස්‌ දන් දීමෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් වී ඇති මහජනතාව සෙසු අවයවයන් දන් දීම කෙරෙහි නිසි පරිදි දැනුවත් වී නොමැති අතර, සෞඛ්‍ය බලධාරීන්ද ඒ කෙරෙහි දක්‌වන අල්ප උනන්දුව හේතුවෙන් මොළය මිය යාමට ලක්‌ වන දහස්‌ ගණනකගේ අවයවයන් එම පුද්ගලයන්ද සමඟ විනාශ වී යැමට ලක්‌වෙමින් පවතී.

මේ මුදලට වකුගඩු රැගෙන රෝගීන්ට බද්ධ කිරීමේ ජාත්‍යන්තර වකුගඩු ජාවාරමක්‌ද ක්‍රියාත්මක වන කාලයයි. වකුගඩු අක්‍රිය තත්ත්වයෙහි පසු වන රෝගීන් වර්තමානයේ මුහුණ පා ඇති බරපතළම අභියෝගය නම් බද්ධ කිරීම සඳහා වකුගඩුවක්‌ සොයා ගැනීමයි. කලකට පෙර එසේ වකුගඩුවක්‌ පරිත්‍යාග කරන ලෙස ඉල්ලමින් ජනමාධ්‍යයන්හි පිටු ගණන් පුරවා පුවත් පළ වූ අවස්‌ථා එමටය. එහෙත් එම පුවත් හරහා ගැළපෙන වකුගඩුවක්‌ සොයා ගැනීමට හැකි වූයේ සීමිත පිරිසකට පමණි. ඒa නිරෝගීව ජීවත් වන අයකුගෙන් වකුගඩුවක්‌ ලබා ගෙන රෝගී අයෙකුට බද්ධ කිරීමේ තත්ත්වයයි. මෙසේ බොහෝ රෝගීන්ට වකුගඩුවක්‌ බද්ධ කිරීමට සොයා ගත නොහැකි වීමේ වාසිය ලබා ගන්නේ වකුගඩු ජාවාරම්කරුවන්ය. ඒ අනුව ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් වකුගඩු මුදලට මිලදී ගෙන බද්ධ කිරීමේ ජාවාරම බිහි විය.

එහෙත් මොළය මියගොස්‌ ඇති අයෙකුගේ වකුගඩුවක්‌ මොළය මියගොස්‌ සති දෙකක කාලයක්‌ තුළදී ලබා ගෙන රෝගී අයෙකුට බද්ධ කරන්නේ නම් එහිදී තවත් රෝගී අයෙකුගේ ජීවිතය බේරීම මෙන්ම නිරෝගීව ජීවත් වන අයෙකුගේ වකුගඩුවක්‌ සොයා ගැනීමට ඇති අපහසුවද මඟ හැර යනු ඇත. වෛද්‍ය හපුආරච්චිට අනුව මොළය මිය යාමට ලක්‌ වන අයෙකු කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවි කළද එම පුද්ගලයාගේ හෘදය වස්‌තුව ක්‍රියාත්මක වනුයේ සති දෙකක කාලයක්‌ පමණකි. සති දෙකක කාලයක්‌ ගත වූ පසු හෘදය වස්‌තුව ක්‍රියාත්මක වීම නතර වන අතර එම රෝගියා සම්පූර්ණයෙන් ඒ අනුව මිය යන බව ඇය කීවාය.

එහෙත් මොළය මිය ගිය අයෙකුට නැවත ජීවිතය ලබා ගැනීම අසීරු නිසා රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් එම පුද්ගලයන් සායනිකව මිය ගිය (ක්‌ලිනිකල් ඩෙත්) අයකු ලෙස සඳහන් කරමින් සහතිකයක්‌ නිකුත් කරන අතර එවැනි ක්‍රමයක්‌ පැවැතිය ද මොළය මිය යන පුද්ගලයන් වැඩි දෙනකුගේ ඥතීන් එසේ තම ඥතියාගේ අවයවයන් ඉවත් කර ගැනීමට දැඩි සේ විරෝධය පෑම හේතුවෙන් එසේ එවැනි අයෙකුගේ අවයවයන් බද්ධ කිරීම සඳහා ලබා ගැනීම දැඩි සේ දුෂ්කර වූ කාර්යයක්‌ බව වෛද්‍ය හපුආරච්චි සඳහන් කළාය.

"මෑතකදී වයස අවුරුදු 41 ක්‌ පමණ වන පුද්ගලයකු රිය අනතුරකට ලක්‌ වීම නිසා දැඩි සේ අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. සිදුව තිබූ අනතුර මත ඔහුගේ මොළය ඒ වන විටත් මියගොස්‌ තිබුණා. ඔහු මොළය මිය ගිය අයෙකු බවට සහතිකයක්‌ වෛද්‍යවරයා නිකුත් කළ අතර එම පුද්ගලයාගේ අවයවයන් බද්ධ කිරීම සඳහා ලබා ගැනීමට කරන ලද ඉල්ලීමට ඔහුගේ බිරිඳ කැමැත්ත ලබා දුන්නා. එහෙත් මොළය මිය ගිය අයගේ මව සහ පුතා එසේ අවයව ලබා දීමට කැමැත්තෙන් සිටියා දැයි නොදන්නා නිසා ඔහුගේ අවයව ලබා ගැනීමට නොහැකි වුණ බව වෛද්‍යවරිය පැවැසුවාය.

මොළය මිය ගිය අයෙකු කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවි කර එම තැනැත්තාගේ හෘදය වස්‌තුව ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගත්තද එයද කෙටි කාලයකට සීමා වීම නිසා සති දෙකක්‌ වැනි කාලයක්‌ තුළ අවයවයන් ලබා ගත යුතු බවත් නොඑසේ නම් එම අවයවයන් පුද්ගලයා සමඟම මිය යන බව ඇය කීවාය.

විදේශීය රටවල බොහෝ පුද්ගලයන් තමන්ට අනතුරක්‌ වුවහොත් සිය අවයවයන් බද්ධ කිරීම සඳහා වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට කැමැත්ත පළ කරන අවයව දන් දීමේ කාඩ්පතක්‌ (ඕගන් ඩෝන(ර්) කාඩ්) තම සාක්‌කුවෙහි දමා ගෙන යාමට හුරුව සිටිති. ඒ හදිසි අනතුරකට ලක්‌ව එම තැනැත්තා මොළය මිය යැමකට පත් වුවහොත් සිය අවයවයන් ලබා ගැනීමට ඇති බාධාව ඉවත් කිරීමටයි.

එවැනි කාඩ්පතක්‌ ළඟ තබා නොගත්තේ නම් එසේ අවයව ලබා ගන්නවාට බොහෝ ඥතීන් විරුද්ධ වීම නිසා එවැනි අයෙකු අනතුරට පත් වූ විට පුද්ගලයා මිය යන තෙක්‌ම අවයව ලබා ගැනීමට අවස්‌ථාව නොසැලසේ.

මෙම අවයව දන් දීමේ කාඩ්පතක්‌ මෙයට කලකට පෙර හඳුන්වා දීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්තද එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක්‌ පවතී.

කිසියම් ඥතියෙකු මොළය මිය ගිය අයෙකුගේ අවයවයන් බද්ධ කිරීම සඳහා ලබා ගන්නවාට විරුද්ධත්වය පළ නොකරන අවස්‌ථාවකදී මොළය මිය ගිය අය ප්‍රතිකාර ලබන ස්‌ථානයට ගොස්‌ බද්ධ කිරීමට අවශ්‍ය අවයවය හෝ අවයවයන් ඉවත් කිරීම සිදු කරනුයේ බාහිරින් පැමිණෙන වෛද්‍යවරයකු විසිනි. වාට්‌ටුව භාර වෛද්‍යවරයෙකු කිසි දිනක එසේ තම වාට්‌ටුවෙහි සිටි මොළය මිය ගිය රෝගියෙකුගේ අවයවයන් ඉවත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ නොවන බව වෛද්‍ය හපුආරච්චි කීවාය. මෙරට සිටින විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හෘදය වස්‌තුව, පෙනහළු, අග්න්‍යාශය, අක්‌මාව, වකුගඩු ඇතුළු ඕනෑම ප්‍රධාන අවයවයක්‌ බද්ධ කිරීමේ සැත්කම් කිරීමේ හැකියාවකින් යුතු අය බව පැවැසූ වෛද්‍ය හපුආරච්චි මොළය මිය ගිය අයෙකුගේ අවයවයන් රෝගී අයෙකුට බද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාවට දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක්‌ බව සඳහන් කළාය.

"ඇස්‌ ඉස්‌ මස්‌ ලේ" දන් දීමේ වැදගත්කම පිළිබඳව බුදු දහමෙහි සඳහන් වෙනවා. නිවැරදි ලෙස ජනතාව මෙසේ මොළය මිය ගිය අයෙකුගේ අවයවයන් රෝගී අයෙකුට බද්ධ කිරීමට, ලබා ගැනීම පිළිබඳව දැනුවත් කරන්නේ නම් ඔවුන් ඉදිරියේදී එම තත්ත්වයට විරුද්ධ නොවනු ඇතැයි ඇය අවසන් වශයෙන් සඳහන් කළාය.

එමන්ති මාරඹේ

Post a Comment

0 Comments