මොණරාගල, වැල්ලවාය පාරේ බුත්තල නගරයට නුදුරින් ඇති යුදඟනා වෙහෙර ඌව පළාතට ඇති විශාලතම චෛත්‍යයි. උතුරින් පුහුල්ගල කඳු වැටියත්, දකුණින් බුත්තල නගරයත්, නැඟෙනහිරෙන් මැණික් ගං තීරයත්, බටහිරෙන් යුදඟනා වැව හා කෙත් යායත් මැදිව මෙය පිහිටා ඇත.
13 වැනි සියවසට අයත් සිංහල ථූපවංසයට අනුව අනුරාධපුරය හා රෝහණ රාජ්‍ය දෙක අතර වැටී තිබූ ප්‍රධාන මාර්ග දෙකම වැටී ඇත්තේ යුදඟනාව හරහාය. ඒ නිසා මෙම ස්‌ථානය ඉතා වැදගත් එකක් බව පෙනී යයි. මෙම වෙහෙර ගැන සලකා බැලීමේදී, එම නටබුන්, කාලයන් දෙකකට අයත්ය. ඇතුළත චෛත්‍ය අනුරාධපුර යුගයට අයත් අතර පිටත චයිත්‍ය පොළොන්නරු යුගයට අයත් බැවින් පැහැදිලිවම කිනම් හෝ හේතුවක් උඩ යුග දෙකකදී මෙම චෛත්‍ය හේතුන් දෙකක් උඩ ගොඩනංවන ලද බව පෙනේ.
ලංකාවේ ජනප්‍රිය වී ඇති කතාව නම් ගැමුණු කුමරු පිය රජුට ලිය අබරණ එවූ බවත්, ඒ නිසා උරණ වූ රජු දඬුවම් කිරීමට සැරසුණ විට කුමරු මලය රටට පැන ගිය බවයි. එහෙත් මෙය ඇත්තටම සිදු වූ වකවානුව අපැහැදිලිය. හේතුව රජතුමා සේරුනුවර චෛත්‍ය ඉදිකිරීමට යන්නේද ගැමුණු කුමරු හා විහාර මහා දේවිය සමඟයි. එහිදී තිස්‌ස කුමරුන්ව මාගම නවතා ගිය බව කියෑවේ. එයට හේතුව විය හැක්‌කේ කුමක්‌ද? කාවන්තිස්‌ස රජතුමා තෝරාගෙන සිටියේ තමන්ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් තිස්‌ස කුමරුද? එය එසේත් විය හැක. ඔහු ඉපදුනු වෙලාවේ ජ්‍යෙdaතිෂඥයන් ඔහුගේ පරම්පරාව ඉදිරියට යන බවක්, ජාතියට පමණක් නොව විශේෂයෙන් ම බුදු දහමට අනුපමය සේවයක් කරන්නා වූ පුත්‍ර රත්නයක් ගැනත් කියන්නත් ඇති.
තිස්‌ස යනු සැබවින්ම උපාධි නාමයකි. "තුන් ඉසක් ඇති තැනැත්තා" යනු එහි තේරුමයි. රජකමට තෝරාගත් තැනැත්තාට ඒ අවධියේදී තුන් ආකාරයේ අධ්‍යාපනයක් දෙනු ලැබේ. යකඩ තාක්‍ෂණය හා ආයුධ සෑදීම, කෘෂිකර්මය හා වැව් ඉදිකිරීමේ තාක්‍ෂණය සහ යුධ ශිල්පය. (අභිමානි හෙළන්කා 2007 - පිටුව 5)
පියාගෙන් තිස්‌ස කුමරුට ලැබෙන විශේෂ සැලකිල්ල නිසා කලකිරී ගැමුණු කුමරු යන්නට ගියාද? රජතුමා යුද්ධයකට අකමැති බව කියන්නේ වංශ කතාකරුවන්ය. එසේ නම් එතුමා දශ මහා යෝධයන් ප්‍රමුඛ මහා සේනාවක් හැදුවේ ඇයි? ඔවුනට සහෝදරයන් අතර ඇතිවෙන යුද්ධයකට මැදි නොවන්නට කීවේ ඇයි? එහි තේරුම මේ සේනාව හැදුවේ ආක්‍රමණිකයන් හා සටනට පමණක් නිසා නේද? එසේම රසවාහිනියට අනුව කාවන්තිස්‌ස රජු කාක් බස දන්නවාලු. වරක් රජු රජ වාසල සංඝයා වහන්සේලාට දන් දෙන අවස්‌ථාවේදී කපුටෙකුගේ හඩා සවන් දී සිට වරායට රුවන් නැවක් ආ බව දැන අවශ්‍ය උපදෙස් දුන්නේලු. කාක්‌කෙකුට රුවන් නැවක් තියා මාළු නැවක් ආවා කියාවත් කිව හැකිද? ඇත්තටම කාකවන්න යනුවෙන් එතුමාට නම ලැබුණේ එතුමාගේ ඔත්තු සේවාවේ රහස් පණිවිඩ යෑවීම සඳහා කාක් බස සංඥා භාෂාවක් ලෙස උපයෝගී කර ගත් නිසාය. එතරම් එතුමා දුරදිග බලා වැඩ කෙරුවේ වේලාව පැමිණි විට සතුරා සමග සටන් කිරීමට නොවේද? (අභිමානි හෙළන්කා 2007 - පිටුව 114)
වංසකතාකරුවන් ගැමුණු කුමරුගේ චරිතයේ සුදු හුණු ගෑමට සැදී පැහැදී සිටි බව අපට මොනවට පැහැදිලි වේ. ඇත්තවශයෙන්ම රජතුමා මිය යන විට ගැමුණු කුමරු මාගම සිටියේ නැත. රජතුමා ජීවත්ව සිටිද්දීම වරක් රාජ්‍යත්වයේ වැඩ බැලු තිස්‌ස කුමරු රජකම භාර ගැනීම සාධාරණය. තමන් විසු ප්‍රදේශයට කඩොල් ඇතු හා මව ගෙන යැමේත් කිසිදු වරදක් නැත. වරද ඇත්තේ රජකම සඳහා සටන් වදින මේ කුමාරවරුන් දෙදෙනා ගැටවර වියේ නොසිටීම පමණ යි.
මගේ ගණනයට අනුවත්, එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ගේ ගණනය අනුවත් ගැමුණු කුමරු ඉපදී ඇත්තේ ක්‍රි.පූ.205 දී ය. එළාර රජු මරා ගැමුණු කුමරු රජ වන්නේ ක්‍රි. පූ. 161 දීය. මේ යුද්ධය සඳහා ගිය කාලයත්, සොහොයුරන්ගේ යුද්ධය සඳහාත් ගිය කාලයත් ගණනය කරමින් මේධානන්ද හිමියන් පවසන්නේ කාවන්තිස්‌ස රජතුමා මිය යන්නට ඇත්තේ ක්‍රි.පූ.164 දී බවය. එය පිළිගත හැකිය. ඒ අනුව මේ අය්යා මලෝ යුද්ධයේදී අයියාට වයස අවුරුදු 39 කි. මල්ලීට අවුරුදු 38 කි. තිස්‌ස කුමරු බාල වන්නේ අවුරුද්දකින් පමණක් බව ඉතා පැහැදිලිව වංසත්තප්පකාසිනියෙන් අවබෝධ වන්නේ රජු සහ දේවිය සංවාසයේ යෙදුනු දිනයද පැහැදිලිව දක්‌වා ඇති නිසාය. (වංසත්තප්පකාසිනිය - අකුරැටියේ අමරවංස නාහිමි - පිටුව 347) මොවුන් දෙදෙනාම මේ සිටින්නේ පූර්ව මැදියම් වයසේය. පරමාර්ථය ඔය තරම්ම යහපත් වූවා නම් මල්ලීටම රෝහණයේ රජකම් පවරා දී එළාර සමඟ යුද්ධයට යැමට මල්ලීගේ සහයෝගය ඉල්ලා සිටින්නට තිබුණි.
කෙසේ වුවද කාවන්තිස්‌ස රජතුමාගේ තෝරාගැනීම අනුවම යුද්ධයේ වඩා දක්‌ෂයා වුයේ තිස්‌ස කුමරුය. ඔහු සටනින් අයියා පැරදවීය. ගැමුණු කුමරු කොයි තරම් අසරණ වීද යත් ඔහුට අන්තිමට ඉතිරි වූයේ තිස්‌ස නම් ඇමතිවරයකු හා දීඝථඋනිකා නම් වෙළඹ පමණකි. පලා ගිය ඔවුන් නතර වූයේ කප්කදුරු නදියේ ජවමාල තොටේය. මෙහිදී කුසගින්නේ සිටි කුමරුට ලැබුණු ආහාරයෙන් කොටසක් සංඝයාට නොදී කෑ නොහැකි නිසා තිස්‌ස ඇමතිට සංඝයාට ආරාධනා කරමින් ඝෝෂා කිරීමට කීවේය. පියඟු දිවයිනේ සිටි ගෝතම තෙරණුවෝ ඒ හඬ අසා ආහාර භාර ගැනීමට කෙළෙඹී පුත්‍ර තිස්‌ස නම් තෙරණුවන් යෙදවූ සේක. අහසින් වැඩි උන්වහන්සේ දානය පිළිගත් සේක.
ගැමුණු කුමරුට මේ පුරුද්ද ආවේ එදා කාවන්තිස්‌ස පිය රජ, සංඝයාට නොදී කිසිවක් නොවළඳන්න පොරොන්දු කර ගත් නිසාලු. එහෙත් එදාම ඔහු තව පොරොන්දුවක් වූයේය. එනම් කිසිදින තම සොහොයුරා හා සටන් නොකරන බවයි. ඇත්තටම මේ වැනි පොරොන්දු කාවන්තිස්‌ස රජු ගත්තේමද? ගැමුණු කුමරුගේ චරිත අලංකාරය සඳහා වංශකතාකරුවන් යොදාගත් උපක්‍රම නොවේද? වංසකතාකරුවන්ට අවශ්‍ය වූයේ ගැමුණු කුමරු කොයි තරම් ශේ්‍රෂ්ටද කියා පෙන්වීමටය. බලන්න ඒ සඳහා ඔවුන් ගන්නා බොළඳ උත්සාහයන්. ගැමුණු කුමරු, තිස්‌ස කුමරුට පැරදී පලා යන විට රහතන්වහන්සේලා මැදිහත් වී කන්දක් මවා තිස්‌ස කුමරුගේ ගමන නැවත්වූ සේකලු. ඒ කන්ද රහතන් කන්ද නමින් යුඳඟනාවට නුදුරින් අදත් දැකිය හැක.
එසේ රහතන්වහන්සේලා මැදිහත් වූයේ නම් එළාර රජුටත් කුමක් හෝ කර පලවා හරින්නට තිබුණි. ඇත්තෙන්ම සිදු වූයේ මෙයයි. පැරදී පලා යන අසරුවෙක් යන්නේ තම අශ්වයාගේ පිටුපස ගාත්වලින් හැකි තරම් දුවිලි අවුස්‌සමින් තමන් යන මග මුලා කරමිනි. දූවිලි අස්‌සෙන් අමාරුවෙන් ආ තිස්‌ස ළංවී සිටියේ රහතන් කන්දටය. ඇත්තටම මේ කන්දේ රහතන් වහන්සේලා වැඩ ඉන්නට ඇත්තේ පසු කාලයක විය යුතුයි. අසලින්ම රහතන් වහන්සේලා වැඩ සිටින කන්දක් තිබුණා නම් මෙය යුඳඟනාවක් වෙන්නේ නැත. යුද්ධ + අංගනය } යුඳඟනාව විය. (යුද්ධ කරන පිට්‌ටනිය) මෙය බොහෝ විට සටන් ශිල්ප හදාරන තැන විය යුතුයි.
දෙවැනි වර සොහෝයුරන් යුද්ධ කරද්දී දෛවයේ සරදමකින්දෝ තිස්‌ස කුමරු අරා සිටියේ කඩොල් ඇතා ය. කඩොල් ඇතා යනු ඇලි ඇතෙකි. ස්‌වභාව ධර්මය මහා පුදුමාකාර ය. සාමාන්‍යයෙන් සෑම සතෙකුටම ඌටම ආවේණික ගති ලක්‌ෂණ ඇත. ඒ ජාන ලක්‌ෂණවලට වෙනස්‌ව යම් පැටවකු මෙලොව එළිය දුටුවහොත් එක්‌කෝ දෙමව්පියන් විසින්ම ඌව මරා දමනු ලැබේ. නැතිනම් අත් හරිනු ලැබේ. කඩොල් ඇත් පැටවාටත් සිදු වූයේ එයයි. ඌ සුදු නිසා මව විසින් අත්හරිනු ලැබුවේය. මහාමායා දේවියගේ සිහිනයේත් සිටියේ සුදු ඇත් පැටවෙකි. ගැමුණු පුතු උපන් දිනයේම කඩොල් නමැති වැද්දා විසින් මේ සුදු ඇත් පැටවා ගැන කිවූ කල රජු අමන්දානන්දයට පත් ව පැටවා ගෙන්වා ගෙන ඌට වැද්දාගේම නම තැබුවේය.
මේ පැටවා ගැමුණු කුමරුගේ සුරතලා ය. සාමාන්‍යයෙන් හොඳ වර්ගයේ බල්ලන් හැම විටම one master dog ය. ඇතා ද එසේමය. ඌට ඇත්තේත් එකම එක ස්‌වාමියාය. මෙවර යුද්ධයේදී කඩොල් ඇතු දුටු ගැමුණු කුමරු තම වෙළඹ ඇතුට උඩින් පැන්නවූයේ රාවණ පුතුන්ටත් හොඳින් සුපුරුදු උකුසු රාවයක් නංවමිනි. ස්‌වාමියාගේ සංඥාව වටහාගත් ඇතු වහා තම ස්‌වාමියා ළඟට දිව්වේ පිට උඩ සිටි තිස්‌ස කුමරුද බිමට වැටෙන්නට සලස්‌වමිනි. එහෙත් පුරුෂෝත්තමවාදී කතාකරුවන් කියන්නේ ගැහැණු සතෙක් තම ඇඟ උඩින් ගිය එකට ඇතා කෝප වූ බවයි. ඇතුන්ගේ හිත් කියවීමට කීයටවත් රහතන් වහන්සේලා නම් එදා මේ යුද බිමට වැඩියේ නැත.
මෙවර ජය ඒ නිසාවෙන් ගැමුණු කුමරුට හිමි විය. පසුව සංඝයා වහන්සේලා පැමිණ පත්තනික්‌කු-ජන කර්මය කර ගැමුණු කුමරු නම්මවාගෙන සොහොයුරන් සමගි කර වූ සේක. ඉන් අනතුරුව තිස්‌ස කුමරු සුපුරුදු දිගාමඬුල්ලට ගොස් තම දැනුම යොදා ගනිමින් ගොවිතැන් කළේය. ඒ නිසාම ගැමුණු කුමරුට ලොකු සවියක් වූයේ තිස්‌ස කුමරු ය. ඉතින් ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ කරුණක් වෙනුවෙන් යුදඟනාව ඉදි කළා යෑයි කෙසේ සිතමුද?
කවුරුද මේ යුදඟනාව ඉදි කළේ? ඇතැමෙකු කියන්නේ එය ගැමුණු රජතුමා කළ බවයි. එහෙත් අනුරපුරය ජයගත් පසු කිසිකලෙක එතුමා නැවත රුහුණට පැමිණි බවට සාක්‌ෂි නැත. වැඩි දෙනෙකු කියන්නේ එය සද්ධාතිස්‌ස කුමරුන් විසින් කළ බවයි. ඒ අය මෙසේත් කියති. අයිය - මලෝ යුද්ධය සිහි කිරීමට මෙය එතුමන් ඉදි කරමින් සිටිද්දී ගැමුණු රජු මරණාසන්න වූ නිසා මෙම වැඩය නවතා එතුමාට අනුරපුරයට යැමට සිදු වූ බවයි. ඒ නිසා එය කොට වෙහෙරක් වූ බවයි.
අනුරපුරයේ රජ වූ දුටුගැමුණු රජ අවුරුදු 24 ක් රජකම් කළේය. දැන් අප සිතිය යුත්තේ මෙම කොට වෙහෙර අවුරුදු 24 ක් තිස්‌සේ ම කුමරුන්ට සාදා නිම කිරීමට බැරි වූ වගද? මෙම වෙහෙර කොට වෙහෙර ගණයට වැටෙන බවයි ඉතිහාසඥයන් පවසන්නේ. කොට වෙහෙරක් කුමක් අරබයා ඉදි කරන්නේ දැයි පැහැදිලි නැතත් ඔවුන් දක්‌වන්නේ සම්පූර්ණ නොකළ චෛත්‍ය මේ ගණයට වැටෙන බවයි. මෙසේ වැඩ අවසන් නොකළ කොට වෙහෙර 4 ක් ලංකාවේ තව ඇති බවත් පැවසේ.
1. දැදිගම සුතිඝර චෛත්‍ය
2. රඹුක්‌කන අසල දැලිවල කොට වෙහෙර
3. පොළොන්නරුවේ දෙමළ මහා සෑය
4. ලාහුගල කොට වෙහෙර
ඇත්ත වශයෙන්ම යුදඟනාව සම්පූර්ණ කරන ලද වෙහෙරක් බව පුරා විද්‍යා කැණීම්වලින් අද වන විට සොයාගෙන තිබේ. එහෙත් මේ ඉදිකිරීම්වල කාලය නිර්ණය කිරීම ඉතා වැදගත්ය. බොහෝ විට ගරා වැටුණු චෛත්‍යයක් කියා සිතාගෙන පසු කාලයක රජු කෙනෙකුන් මෙසේ යළි ඉදිකළාත් විය හැකිය. සාමාන්‍යයෙන් වළගම්බා රජුටත් නිස්‌සංක මල්ල රජුටත් මෙවැනි ආසාවන් තිබූ බව ඔවුනගේ ඉදිකිරීම් නිරීක්‌ෂණය කිරීමේදී අපට පැහැදිලි වේ. ඇත්තටම කොට වෙහෙරවල් ඉදි කළේ ඇයි?
අපට පැහැදිලි හේතුවක් දැකිය හැක්‌කේ දැදිගම සූතිඝර චෛත්‍ය සඳහා පමණි. එය ඉදිකරන ලද්දේ මහා පරාක්‍රමබාහුගේ උත්පත්ති ස්‌ථානය සිහි කිරීම පිණිස ය.
පොළොන්නරුවේ දෙමළ මහා සෑය ඉදිකරන ලද්දේ මහා පරාක්‍රමබාහු රජ විසින් පාණ්‌ඩව දේශයෙන් අල්ලාගෙන ආ දෙමළුන් විසින් බව කියෑවේ. ඇත්තටම මේ සෑය ඉදි කළේ කන්දක් මැදි කරගෙනය. චුඩා මාණික්‍යයක් කන්ද උඩින් ඉහළින් තබා එහි ආලෝක ධාරා ලම්බකව ගෙන මෙය ඉදිකර ඇති බව පැවසෙන අතර මෙහි ඉහළට නැග ගත් විට ඉන්දියාවේ ධනුෂ්කොඩිය පවා පෙනෙනා බව කියෑවේ. එසේ නම් එය ඉදි කළේ ඔත්තු බැලීමටද? නැතිනම් ඉන්දියාවේ නවතා ආ සෙන්පතියෙකුට සංඥා පණිවිඩ යෑවීමටද?
ලාහුගල කොට වෙහෙර ඉදිවුණේ විහාර මහා දේවියගේ හා කාවන්තිස්‌ස රජතුමාගේ විවාහය සංකේතවත් කිරීමටද? නැතිනම් සූර්ය නමස්‌කාරය සඳහාද?
රඹුක්‌කන දැලිවල කොට වෙහෙර ඉදිකළේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක් සංකේතවත් කිරීමටද? මෙය දේවානම්පියතිස්‌ස රජු කල ඉදිවූවක් බව කියෑවේ. වර්ෂ 2001 දී මේ ස්‌ථානයේ කරන ලද කැණීම්වලින් සේද රෙදි කඩක ඔතන ලද රත්තරන් ධාතු කරඬුවක් සොයා ගැනීමට හැකිවිය. මෙම රෙදි කඩ කාල නිර්ණය සඳහා ඔස්‌ටේ්‍රලියාවට යවන ලදුව මහාචාර්ය ජුඩිත් කැමරන් විසින් එය ක්‍රි. පූ. 2 වැනි සියවසට අයත් බවට අපගේ පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්ට වර්ෂ 2010 දී දන්වා ඒවා තිබුණි. මෙයින් හැඟවෙන්නේ කුමක්‌ද? චීනයේ හන් පෙළපත ක්‍රි. පූ. 3 වන සියවසේදී මුහුදු සේද මාවතට අවතීර්ණ වූ දා පටන්ම වාගේ අපත් ඒ ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ වූ වග නොවේද? එසේම අප මේ නැව් මාර්ගයේ ප්‍රබල සන්ධිස්‌ථානයක් විය. චීනයේ හැනෝයි රතු ගංගා මෝයෙන් ඇරඹෙන මේ සේද මාවත මලක්‌කාවට, අග්නිදිග ආසියාවට, ලංකාවට, ඉන්දියාවට හා පර්සියන් බොක්‌ක ඔස්‌සේ රතු මුහුදට වැටී එතනින් ගොඩබිම ඔස්‌සේ නයිල් නදියෙන් ඇලෙක්‌සැන්ඩි්‍රයාවට ප්‍රවාහනය කළ භාණ්‌ඩ නැවත මුහුදින් රෝමයට ගෙන ගොස් ඇත. ඉතින් චීනයේ හන් රාජවංශිකයෙක් අනිවාර්යයෙන්ම අප සමග වෙළෙඳ ගිවිසුමක් ගැසීමට අගනා සේද රෙදි කඩක එතු මේ කරඬුව ගෙන ආවා වෙන්නට බැරිද? දේවානම්පියතිස්‌ස රජ කල මෙය සිදු වුවද මේ ගනුදෙනුව සිදුවී ඇත්තේ කැලණියේ රජු හා සමඟ විය යුතුයි. ඒ නිසයි මෙම කොට වෙහෙර රඹුක්‌කනට නුදුරුව ඉදිවන්නේ. ඇත්තටම කැළණිතිස් මාලිගය ඇත්තේද රට මැද කුරුණෑගලය. විහාර මහා දේවියගේ දොළදුක ගැන කතා කරද්දී එතුමිය රුහුණේ නොසිටි බව පැහැදිලි වන අතර එතුමියගේ දෝලා අධ්‍යක්‍ෂවරුන් සිටියේ රිදී විහාරයට නුදුරින් තිබූ කඹුරුගමුව පෙදෙසේ ය.
ඉතින් මේ හැම කොට වෙහෙරක්‌ම ඉදි කෙරුණේ යම් කිසි සිහි ගැන්වීමකට නම් යුදඟනාව ඉදිවන්නට ඇත්තේ සද්ධාතිස්‌ස රජු අතින් තම ආදරණීය මවගේ අළු තැන්පත් කිරීමට විය නොහැකිද? එතුමිය තම දරුවන්ට යුධ අභ්‍යාස කරවන්නට ඇත්තේ මෙහිය. එතුමිය යුධ ශිල්පය දැන සිටි නිසාමයි සැට විය ඉක්‌මවා සිටියදීත් ගැමුණු කුමරු තම මව මේ භයානක යුධ බිමට රැගෙන ගියේ.
මෙම චෛත්‍ය පිටත කොටස පොළොන්නරු යුගයට අයත් බව මුලින් සඳහන් කිරීමට යෙදුණි. මහා පරාක්‍රමබාහු රජු තම මව වූ රත්නාවලී දේවිය මියගිය පසු ආදාහනය කළ රුහුණු රට "‚රගම" නොහොත් කිරිගම එකසියවිසි ගණනක් උස වූ රත්නාවලී ස්‌ථූපය කර වූ බව මහාවංසය කියයි. (මහාවංසය 79 පරිච්රේදය 72 ගාථාව) මේ සෑය එය බව පරණවිතාන මහතාගේ අදහසයි.
විහාර මහා දේවිය හා රත්නාවලී දේවිය යන දෙදෙනාම රුහුණේ ඉපදුණු අය නොවේ. දෙදෙනාම ශේ්‍රෂ්ඨ පුතුන් වැදුවෝය. දෙදෙනාම තම පුතුන් රුහුණට වී පෝෂණය කළහ. දෙදෙනාම අවසානයේ යුදඟනාවේ තැන්පත් වුණිද?
විහාර මහා දේවියගේ පුනරාගමනය රත්නාවලී දේවිය යෑයි, ඉඳින් මා කිවහොත් එය බොරු යෑයි ඔබට කිව හැකිද?
තිලකා රන්දෙනි
0 Comments