ශ්‍රී ලංකාවේ පාරම්පරික මාළු වඳ වන්නේ ඇයි


ශ්‍රී ලංකාව දිගුකලක්‌ ඉන්දියානු උපමහාද්වීපය හා එකට තිබී පසුව වෙන් වූ බව භූ විද්‍යා සාධක අනුව පෙනෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංඟා 103 ක්‌ ඇත. ඒවාට සම්බන්ධ අතුරු ගංඟා රැසකි. වියළි කලාපයේ රජවරුන් විසින් කර වූ ලොකු කුඩා වැව් 25,000 පමණ වෙයි. ඒ හැර පොකුණු විල්ලු වගුරු බිම් මහවැලි ජලාශ මත්ස්‍ය පොකුණු, මිරිදිය මසුන්, ජීවත් වන ස්‌ථානයි. ලංකාවේ දිගුකලක්‌ ජීවත් වන පාරම්පරික මිරිදිය මාළුන් විශාල ප්‍රමාණයක්‌ දැනට වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇත. දැනට ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 54 ක්‌ ඇති අතර ඉන් 17 ක්‌ ශ්‍රී ලංකාවට ආවේණික වෙයි. පිටරවලින් ලංකාවට හඳුන්වා දුන් මත්ස්‍ය විශේෂ 16 ක්‌ ඇත. ලෝකයේ වඳ වී යන සත්ව විශේෂ ගැන සඳහන් කරන රතු දත්ත පොත ශ්‍රී ලංකාවේ දේශීය මිරිදිය මාළු වඳ වී යැමට ආසන්න විශේෂ 10 මෙසේය. බුලත්හපයා, මල් පුළුට්‌ටා, ගඩයා, ලේ තිත්තයා, දෙපුල්ලියා, ගල් මල් දණ්‌ඩියා පුළුට්‌ටා හිත මස්‌සා, ඒ විශේෂයි.

ශ්‍රී ලංකාවේ පාරම්පරික මිරිදිය මසුන් වඳ වී යැමට ප්‍රධාන හේතු කවරේද?

1. වන සම්පත ක්‍රමයෙන් විනාශ වී යාම

ගංඟා ඔයවල් උපත ලබනුයේ වනාන්තර ආශ්‍රයෙනි. වනාන්තර එළිවන විට ගංඟා ඔයවල් ඉබේ සිඳී යයි. මිරිදිය ජලාශවල වියළි මාළු මිය යයි. 1900 අවට ලංකාවේ 80% වනාන්තර විය. 1956 වන විට ඒ 44% දක්‌වා අඩු විය. චන්ද්‍රිකා ඡායාරූප අනුව දැන් කැලෑ ප්‍රමාණය 24%ට වඩා අඩුය. වනාන්තර එළි කිරීම ගොවි ජනපද පැතිර යැම මහවැලි ව්‍යාපාරයට කැලෑ එළිකිරීම අනවසර හේන් ගොවිතැන රජයේ කැලෑ බලෙන් ඇල්ලීම, ගම් පුළුල් කිරීම යටතේ කැලෑ රොදවල් බෙදාදීම කැලෑ එළිකර හොරෙන් කංසා වැවීම මැණික්‌ ගැරීම හොරෙන් දැව කැපීම කැලෑ ගිනි තැබීම වනාන්තර විනාශයට හේතු වී ඇත.

2. දේශීය මිරිදිය මසුන් ගැන උනන්දුවක්‌ නොදැක්‌වීම.

දේශීය මිරිදිය මාළුන් ගැන රාජ්‍ය ආයතන සමාගම් දක්‌වන උනන්දුව සැලකිල්ල අඩුය. පරිසර සංවිධාන පරිසරයට ලැදි විද්‍යාඥයන්ට ඒ සීමා වී ඇත. දේශීය මිරිදිය මසුන් ප්‍රමාණයෙන් කුඩා වීම සෙමින් වැඩීම මීට හේතුවයි. 

3. විදේශ මත්ස්‍ය වර්ග හඳුන්වා දීම

ඉක්‌මනින් විශාලව වැඩෙන විදේශීය මසුන් ව්‍යාප්ත කිරීමට මිරිදිය ධීවර අංශය උනන්දු වෙයි. අනුරාධපුර අවධියේදීද චීන රන්වන් මාළු (ගෝල්ඩ් පීෂ්) සුරතලයට ඇති කළ බව ශිලා ලිපිවල කියවෙයි. ඒ චීන වෙළෙඳුන් හා මහායාන චීන භික්‌ෂූන් නිසා පැතිර ගියා විය හැක. 1842 පමණ බ්‍රිතාන්‍ය වැවිලිකරුවෝ බිලී බෑම සඳහා උඩරට කඳුකර සීතල ජලාශවලට හා දියදහරාවලට ට්‍රවුට්‌ මාළු හඳුන්වා දුන්හ. නුවරඑළිය හැටන් මස්‌කෙළිය වැනි යුරෝපීය වතු ප්‍රදේශවල ට්‍රවුට්‌ මාළු පැතිර ගියේය. ඉන්පසු තිලාපියා වැනි මාළු වර්ග මෙරටට හඳුන්වා දීම 1950 පසු ආරම්භ විය. මේ විදේශීය මාළු කෙටි කලකින් විශාලව වැඩෙන අතර උන්ගේ බීජ හා පැටවුන් දැමීමට පෙර මිරිදිය ජලාශ පවිත්‍ර කොට සකස්‌ කරයි. ඉන් දේශීය වර්ග වඳව යයි. එමෙන්ම විදේශීය වර්ගවලට දේශීය වර්ග ගොදුරු ලෙස ගිලියි.

4. මිරිදියට කෘෂි රසායන හා රසායනික පොහොර බහුලව එකතු වීම වී වගාව එළවළු හා දුම්කොළ වගාව සඳහා යොදා ගන්නා විදේශීය රසායනික පොහොර හා කෘමිනාශක වර්ෂා ජලය හා සේදී අවුත් ජලාශවල තැන්පත් වෙයි. ඉන්පසු ඒවා මුහුදට ඇදී යයි. මිරිදිය ජලාශ වැව් ගංගාවලට ඒවා එකතු වීමෙන් ජලය දූෂණය වී මිරිදිය මාළුන්ගේ පැවැත්මට අභියෝග එල්ල වෙයි. උන්ගේ ශරීර කුණු වීම තුවාල සිදුවීම වඳ වී යැමට ඒ බලපායි. 

5. කාර්මික අපද්‍රව්‍ය මිරිදිය ජලයට එකතු වීම

කාර්මිකකරණය සමග දැඩි බලපෑම් එල්ල කරන විෂ සහිත රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය දියධාරාවලට මුදා හැරීම සමග ඒවා ජලාශ කරා ඇදී එයි. ඉන් දේශීය විශේෂයන්ට බලපෑම් එල්ල වෙයි. විශේෂයෙන් ගල් මල් දණ්‌ඩියා වැනි මිරිදිය විශේaෂ වාසය කරනුයේ ඉතා පිරිසිදු පැහැදිලි ජලය ඇති ප්‍රදේශවල පමණකි. 

6. නීති විරෝධී මැණික්‌ ගැරීම

බලපත්‍ර ඇතිව හා බලපත්‍ර නැතිව නීතිවිරෝධීව මැණික්‌ ගරන බොහෝ අය ගංගා ඇළදොළවල මඩ සහිත ඉල්ලම් සෝදති. ඒ පස්‌ ගංගා ඔයවල්වල පිරී යයි. සමහරු ගංගා ඔයවල් ගලන දියධාර අවහිර කොට හරස්‌ කොට මැණික්‌ ගරති. මේ නිසා ගංගා මාර්ග වියළී සිඳී ගොස්‌ පස්‌ පිරී මසුන් වඳ වී යයි. 

7. ගංඟා ආශ්‍රිත කර්මාන්ත නිවාස ඉදිකිරීම හා සංචාරක ව්‍යාපාරය ගංගා ඇළදොළ ආශ්‍රිතව ඉතා බහුල ලෙස වැලි ගොඩ දමයි. මින් ගංඟාවල පතුල ගැඹුරු වී කරදිය ගඟ ඉහළට ගලයි. මාළුන්ගේ ස්‌වාභාවික පරිසරය විනාශ වෙයි. ගංඟා ආශ්‍රිතව උළු ගඩොල්වලට මැටි කපයි. ගංඟා ඔයවල්වල කොටස්‌ පුරවා බැමි බැඳ නිවාස ඉදිකරයි. ගංගා ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය සමඟ ජලාශ ආශ්‍රිතව හෝටල ඉදි වී අපද්‍රව්‍ය ජලාශවලට මුදා හරියි. සංචාරක බෝට්‌ටුවල ඉන්ධන හා දැවි තෙල් ජලයට එකතු වී ජලය දූෂණය වෙයි. 

8. විසිතුරු සුරතල් මසුන් ලෙස අල්ලා පිටරට යෑවීම

මිරිදිය කිවුල්දිය කරදිය වසන දුර්ලභ මසුන් අල්ලා විසිතුරු මසුන් ලෙස කාර්මිකකරණය වූ බටහිර රටවලට යවයි. එසේ ඇල්ලීමේදී මාළුන්ගේ බිත්තර මෙන්ම කුඩා පැටවුන් ද අසුවෙයි. බඳුන්වල බහා පිටරට යවන විට අතර මඟ උන් විශාල ප්‍රමාණයක්‌ මියයයි. බුලත් හපයා මල් පුළුට්‌ටා දෙපුල්ලියා වැනි මිරිදිය මසුන් විසිතුරු බැවින් උන්ට දේශීය හා විදේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ ඇත. අපනයනය නිසාම සමහර මත්ස්‍ය වර්ග මුළුමනින්ම දැඩි තර්ජනයට ලක්‌ව ඇත.

9. මත්ස්‍ය රෝග පැතිර යාම

ජලය දූෂණය වීම කාර්මික අපද්‍රව්‍ය ඉතිරිවීම - රසායනික ද්‍රව්‍ය එකතු වීම හා දිලීර මගින් මෙන්ම පිටරටින් ගෙන්වන සුරතල් මසුන් මාර්ගයෙන්ද පැතිර යන රෝග දේශීය මිරිදිය මසුන්ට බලපායි.

10. මසුන් ඇල්ලීමේ හානිකරන ක්‍රම භාවිතය

ඇළදොළවලට වස විෂ තළා දැමීම ගංගා මාර්ග වෙනත් මාර්ගවලට හරවා මසුන් ඇල්ලීම ඩයිනමයිට්‌ දමා ඇල්ලීම වැනි ක්‍රම නිසා වැඩුණු සතුන් මෙන්ම බිත්තර හා කුඩා පැටවුන්ද විනාශ වී යයි.

11. ලංකාවට ආවේණික මිරිදිය මාළු ජීවත් වන ඉතා සංවේදී පාරිසරික ප්‍රදේශවල මිනිස්‌ ක්‍රියාකාරකම් වැඩිවීම සංචාරක නිකේතන ඇතිවීම හා අධික ලෙස දේශීය - විදේශීය සංචාකරයන් ඒ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් සීමිත ප්‍රදේශයක ජීවත් වන ආවේණික මත්ස්‍ය විශේෂවලට බලපෑම් එල්ල වෙයි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 
එස්‌. කේ. ජයවර්ධන

Post a Comment

0 Comments