ශ්‍රි ලංකාවේ මැණික්‌ ලැබෙන ස්තාන


ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ මැණික්‌ කර්මාන්තයට දිගු ඉතිහාසයක්‌ තිබෙන බව අප අසා තිබෙනවා. මේ බව සනාථ කරන පැරැණිතම ලිත සාක්‍ෂිය කුමක්‌ද?

පිළිතුර - ක්‍රි. පූ. 3 වැනි සියවසේ කොටන ලද බ්‍රාහ්මීය සෙල් ලිපිවල මැණික්‌ කපන්නන් ගැන සඳහන් වෙනවා. ඒ කියන්නේ වසර 2300 කට පෙරත් ශ්‍රී ලංකාව මැණික්‌ කර්මාන්තයේ නියෑලී තිබෙනවා. මෙයට වසර 2700 කට පමණ පෙර මැණික්‌ ඔබ්බවා සාදන ලද ආසනයක්‌ වෙනුවෙන් චූලෝදර - මහෝදර කියන ශ්‍රී ලාංකික රජවරුන් දෙදෙනා යුද කළා. මෙයට වසර 1500 කට පමණ පෙර ගෙනෙන ලද අරාබි නිසොල්ලාසයේ සින්බෑඩ් නමැති නැවියකුගේ කතාවක්‌ එනවා. ඔහු වතාවක්‌ ලංකාවට පැමිණි බවත් එවකට මේ රට මැණික්‌වලින් පිරී තිබූ බවත් එහි සඳහන් වෙනවා. ඉතාලියේ මාර්කෝ පෝලෝ (1254 - 1324) මොරොක්‌කෝවේ ඉබන් බතුතා (1304 - 1369), ඊශ්‍රායලයේ සොලමන් රජතුමා (ක්‍රි. පූ. 970 - 931) වැනි අයගේ චරිත කතන්දරවල ලංකාවේ මැණික්‌ ගැන සඳහන් වෙනවා. ඒ අනුව මැණික්‌ කියන්නේ ලංකාවට අලුත් දෙයක්‌ නොවෙයි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ මැණික්‌ වැඩියෙන්ම හමුවන ප්‍රදේශ මොනවාද?

පිළිතුර - රත්නපුර දිස්‌ත්‍රික්‌කය - කුරුවිට, පැල්මඩුල්ල, රක්‌වාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, බලංගොඩ.

මාතර දිස්‌ත්‍රික්‌කය - මොරවක, රිදියගම, අකුරැස්‌ස

මාතලේ සහ පොලොන්නරු දිස්‌ත්‍රික්‌කවල - නාඋල, රත්තොටඅමුණ, බකමූණ, කළුගඟ, ඇළහැර, අතරගල්ලෑව.

ගාල්ල දිස්‌ත්‍රික්‌කය - මීටියාගොඩ, හිනිදුම, දෙනියාය, ඇල්පිටිය.

කළුතර දිස්‌ත්‍රික්‌කය - බුලත්සිංහල, අගලවත්ත.

නුවරඑළිය බදුල්ල, මොනරාගල දිස්‌ත්‍රික්‌ක - මස්‌කෙළිය, හෝර්ටන්තැන්න. ඔක්‌කම්පිටිය. ලුණුගල ආදී ප්‍රදේශ ද වැදගත් තැනක්‌ ගනී.

මෑතකදී සොයා ගන්නා ලද මැණික්‌ ලැබෙන ප්‍රදේශ අතර කන්තලේ, හොරණ, මිහින්තලය, රාගල, බගවන්තලාව ආදී ප්‍රදේශ ද වැදගත්කමක්‌ උසුලයි.

දැනට ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ගෝමරන්කඩවල, මොරවැව, කන්නියා, කීන්නියා, මනිරාසකුලම්, මාවිල්ආරු නමැති ප්‍රදේශවල මැණික්‌ ඉල්ලම් සහිත ප්‍රදේශ හඳුනාගෙන ඇත. මැණික්‌ ගැරීම් දැනට ආරම්භ වී නොමැති අතර අනවසර ගැරීම් සිදු වූ බවට ලක්‍ෂණ ඇත.

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් හසලක වැල්ගහවාඩිය නමැති ප්‍රදේශයේ දැනට මැණික්‌ බහුලව හමුවේ.

ප්‍රශ්නය -ශ්‍රී ලංකාවේ හමුවන මැණික්‌ වර්ග මොනවාද?

පිළිතුර -කොරන්ඩම් - නිල්කැට, රතුකැට, නිල් ආරනූල්, රතු ආරනූල්, පුෂ්පරාග, රත්නපුෂ්පරාග, පද්මරාග, සුදුනිල්, ගෙවුඩ.

කණක - වෛරෝඩි, පසිංගල්, පසිංගල් වෛරෝඩි සහ කණක

කිරිංචි - නිල් කිරිංචි, රතු කිරිංචි, දඹ කිරිංචි, සහ විවිධ වර්ණ කිරිංචි

පඩියන් - සුදු පඩියන්

තරිප්පු - අවර්ණ තරිප්පු, ලා කොළ හා නිල් පැහැති තරිප්පු

ජාගුන් - කොළ, කහ, දුඹුරු ජාගුන්.

රබහ - රබහ, මල් රබහ, ගෝමේද (රත්න ගෝමේද) වර්ණ වෙනසක්‌ පෙන්නුම් කරන රබහ

තෝරමල්ලි - කොළ සහ දුඹුරු තෝරමල්ලි

පළිඟු - කහ පළිඟු, සුදු පළිඟු, කහට පළිඟු, අඹතේස්‌
ෆේල්ඩ්ස්‌පාර් - පූනක්‌කන්

බහුලව හමුනොවන මැණික්‌ - ඇන්ඩලුසයිට්‌, ඇපටයිට්‌, ඩයොප්සයිඩ්, එන්ස්‌ටටයිට්‌, කෝර්නෙරූජින්, සින්හලයිට්‌, ස්‌කැපොලයිට්‌, කෝර්ඩියරයිට්‌

දුර්ලභ මැණික්‌ -එටකනයිටි, එපිඩෝ, යුක්‌ලේස්‌, ෆයිබ්‍රොලයිට්‌, ප්ලුවොරයිට්‌, අයිඩොක්‍රේස්‌, කයනයිට්‌, ටැන්බියුරයිට්‌, ඩියුමෝටියරයිට්‌, පේනයිට්‌, ඇක්‌සිනයිට්‌, ස්‌ප්‍රින්, කැසිටරයිට්‌, මොනොසයිට්‌, රූටයිල්, මොනැසයිට්‌, ටාෆයිට්‌, සැෆaරින්.

ලබන සතියේ තව කොටසක්‌

මැණික්‌ විද්‍යාඥ සහ මැණික්‌ සහ සවර්නාභරණ අධිකාරියේ ජ්‍යේෂ්ට තක්‌සේරුකරු 
ේ.එල්.ඩී දයාසාගර 
ශ්‍රි ලංකා රත්න විද්‍යාඥ සංගමයේ සභාපති සමග ගළ සාකච්ඡාවකි

සමන්මලී නැලිගම 
නිර්මලා ලෙනගලආරච්චි

Post a Comment

0 Comments