සිකා උණ බෝකරන මදුරුවා ලංකාවේ බහුලයි


බ්‍රසීලය ඇතුළු දකුණු ඇමරිකානු රටවල් 9 ක පමණ මේ වන විට පැතිර ගොස්‌ ඇති ඩෙංගු මදුරුවා ඇතුළු තවත් මදුරු විශේෂයක්‌ හරහා කෙනකුගෙන් තවත් අයෙකුට බෝවන "සිකා වෛරස්‌ ආසාදනය" මෙරටද පැතිර යැමේ දැඩි අවදානමක්‌ පවතින බව කීට විද්‍යා සහකාර නිලධාරීහු පසුගියදා අනතුරු අඟවා සිටියහ.

විශේෂයෙන්ම "සිකා වෛරස්‌ ආසාදනය" ගැබිනි මවකට වැළඳුණහොත් වැදැමහ හරහ, ළදරු කළලයට එම වෛරසය ගොස්‌ කළලයෙහි මොළයෙහි වැඩීම අඩාල වී මන්ද බුද්ධික තත්ත්වයෙන් දරුවා උපදින බවට තහවුරු වී තිබීම මෙම වයිරස්‌ ආසාදනයෙහි ඇති භයානක කමයි. මෙම වයිරස්‌ ආසාදනය පැතිරවිය හැකි ඩෙංගු මදුරු විශේෂයක්‌ වන "ඊඩිස්‌ ඊජිප්ටයි" හා ඊඩිස්‌ ඝනයට අයත් "ඊඩිස්‌ වයිටේටිස්‌" යන මදුරු විශේෂයන් ශ්‍රී ලංකාව තුළ සුලබව දක්‌නට ලැබෙන බැවින් ඔවුන් හරහා "සිකා වෛරස්‌ ආසාදනය, මෙරට සීඝ්‍රයෙන් පැතිර යැමේ ඉඩකඩක්‌ පවතින බව කීට විද්‍යා සහකාර නිලධාරීහු පවසති.

මෙම සිකා වෛරස්‌ ආසාදනයට ලක්‌වන සෑම පස්‌ දෙනකුගෙන්ම සිවු දෙනකු රෝග ලක්‍ෂණ නොපෙන්වීම හේතුවෙන් ඔවුන් හරහා පවුලේ අයට මෙන්ම සමීපව ඇසුරු කරන්නන්ට එම වෛරසය ආසාදනය වීමේ අවදානමක්‌ පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරි නජිත් සුමණසේන මහතා ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම සෙසු මදුරු ආසාදනයන් මෙන් නොව මදුරුවන් හරහා මෙන්ම ලිංගික ඇසුරක්‌ හරහාද රෝගී අයෙකුගෙන් නිරෝගී අයෙකුට "සිකා වෛරස්‌ ආසාදනය" වැළඳිය හැකි බවට මේ වන විට බටහිර රටවල සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත මෙම වෛරස්‌ ආසාදනය දැනටමත් මෙරටට පැමිණ තිබීමටද බොහෝ දුරට ඉඩ ඇති බව කීට විද්‍යා සහකාර නිලධාරිවරුන්ගේ මතය වී තිබේ.

"සිකා වෛරස්‌ ආසාදනය" යනු කුමක්‌ද? එහි රෝග ලක්‍ෂණ, ආසාදනයට ලබා දෙන ප්‍රතිකාර හා පැතිරීම වැළැක්‌විය හැකි අයුරු දැන් විමසා බලමු.

මුල් කාලයේ අප්‍රිකානු වඳුරන් අතර පැතිර පැවතුණු සිකා වෛරස්‌ ආසාදනය පිළිබඳව මුල්වරට විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබූයේ 1947 වසරේදී උගන්ඩාවේ සිකා වනාන්තරය ආශ්‍රිතවය. එම වනාන්තරයේ වාසය කළ වඳුරෙකුට වැළඳුණු උණ තත්ත්වයක්‌ පර්යේෂණයට ලක්‌කිරීමේදී මෙම වෛරස්‌ ආසාදනය හඳුනා ගැනුණු අතර එම උණ වෛරසය 1952 වසරේදී "සිකා" යනුවෙන් නම් කෙරිණි. "සිකා" යනු "පමණට වඩා වැඩුණු" යන අර්ථය ගෙනදෙන වදනකි.

සිකා වෛරස්‌ ආසාදනය හඳුනාගෙන දශක කිහිපයක්‌ ගත වුවද 2007 වසර දක්‌වා "සිකා" වෛරසය එහි ජන්ම භූමිය වූ අප්‍රිකානු රටවල මෙන්ම ගිණිකොනදිග ආසියාතික රටවලද පැතිර ගියේ කලාතුරකිනි.

අප්‍රිකානු රටවලට බාහිර වූ රටක මෙම සිකා වෛරස්‌ ආසාදනය ප්‍රථම වරට වසංගතයක්‌ ලෙස පැතිර යැම පටන් ගත්තේ 2007 වසරේ අප්‍රේල් මාසයේදී මයික්‍රොනීසියා රාජ්‍යයට අයත් "යෑප්" දූපතෙනි. මෙම ආසාදනයෙහි රෝග ලක්‍ෂණයක්‌ ඩෙංගු, චිකුන්ගුන්‍යා හා රෝස්‌ රිවර් ආසාදනය වැනි ආසාදන තත්ත්වයන්ට සමාන වීම නිසා බොහෝ දෙනකු එය එම රෝගයන් කියා සැක කළහ. 

එම රෝගීන්ගේ රුධිර තරල පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී වැළඳී ඇත්තේ "සිකා වෛරස්‌ ආසාදනය බවට හඳුනා ගැනිණි.

මෑත කාලයේදී "සිකා වෛයිරස්‌ ආසාදනය" වසංගතයක්‌ ලෙස පැතිර ගිය රටවල් ලෙස පොලිනීසියාව, නැගෙනහිර දූපත් (ඊස්‌ටර් අයිලන්ඩ්ස්‌) කුක්‌ දූපත හා නව කැලිඩෝනියාව හඳුනාගෙන තිබේ.

පසුගිය වසරේ (2015) අප්‍රේල් නවය වන විට සිකා වෛරස්‌ ආසාදනය, බ්‍රසීලය, එල් සැල්වදොaරය, යන රටවල වසංගතයක්‌ මෙන් පැතිර යන්නට විය. මෙහිදී එම ආසාදනයට ගොදුරු වූ රෝගීන් 500 ක්‌ දෙනා වාර්තා වී තිබිණි.

මෑතකදී ශ්‍රී ලංකාවටද තර්ජනයක්‌ ගෙන දෙන බවට සැලකෙන සිකා වෛරස්‌ ආසාදනය බ්‍රසීලය ඇතුළු දකුණු ඇමරිකානු හා මධ්‍යම ඇමරිකානු රටවල් 9 ක පැතිර යන බව වාර්තා වූයේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය. ඒ අනුව බ්‍රසීලය, චිලි, කොලොම්බියාව, එල්සැල්වදොaරය, ගුවාතමාලා, මෙක්‌සිකෝව, පැරගුවේ, සුරනාම් හා වෙනිසියුලාව යන රටවල් තුළ මෙම ආසාදනය පැතිර යන බවට අනාවරණය විය. මේ වන විට පුවටරිකෝ රාජ්‍යය, ඇමරිකා එක්‌සත් ජනපදය, ප්‍රංශය යන රටවලින්ද සිකා වෛරස්‌ ආසාදනයට ගොදුරු වූ රෝගීන් වාර්තා වී ඇතත් තවමත් එම රටවල වසංගත මට්‌ටමින් රෝගය පැතිර යන බවක්‌ දක්‌නට නොමැත.

කෙසේ වුවද ඩෙංගු රෝගය මෙන්ම එය පතුරවන මදුරු විශේෂයන්ද සුලබව සිටින බ්‍රසීලය තුළ නම් මෙම "සිකා වෛරස්‌ ආසාදනය" සීඝ්‍රයෙන් පැතිර යනු දක්‌නට ලැබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඇමරිකා එක්‌සත් ජනපදයේ රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්‌ථානය විසින් ඉකුත් ජනවාරි 15 වැනිදා බ්‍රසීලය ඇතුළු සිකා වෛරස්‌ ආසාදනය පැතිර පවතින රටවලට සංචාරය කිරීමෙන් වළකින ලෙසට එරට ගැබිනි මවුවරුන්ට උපදෙස්‌ නිකුත් කරනු ලැබීය.

මේ වන විට ආසාදනය වැඩි වශයෙන් පැතිර යන බ්‍රසීලය තුළ පමණක්‌ ඉකුත් ඔක්‌තෝබර් මාසයේ සිට ජනවාරි දක්‌වා කාලය තුළදී මොළය වර්ධනය නොවීම මත කුඩා හිස්‌ සහිතව උපත ලැබූ දරුවන්ගේ සංඛ්‍යාව 3500 කට වඩා වැඩි බව බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් විසින් හෙළිදරව් කරනු ලැබීය.

මෙම ආසාදනයෙහි පවතින භයානකකම වනුයේ එම වෛරස්‌ ආසාදනය මවට වැළඳී සුව අතට හැරුණද මවගේ වැදැමහ හරහා අදාළ වෛරසය ළදරු කළලය වෙත ගොස්‌ කළලයට ආසාදනය වීමයි. මෙසේ සිකා වෛරස්‌ ආසාදනය හේතුවෙන් මොළයේ වර්ධනය අඩු මට්‌ටමක පැවැති දරුවන්ගෙන් ඇතැමෙකු උපත ලැබීමෙන් පසු මියගොස්‌ ඇති බවද වාර්තා විය.

සිකා වෛරස්‌ ආසාදනය පැතිර යැම නිසාම ගැබිනි මවුවරුන් එය පැතිර පවතින රටවල සංචාරය කිරීමෙන් වැළකීම වඩාත් යෝග්‍යම රෝග නිවාරණ ක්‍රමය බව වෛද්‍යවරු කියා සිටිති. එසේ එම රටවලට යා නොහැකිම තත්ත්වයක්‌ පවතින්නේ නම් මදුරු දෂ්ඨනයෙන් වැළකී සිටිය හැකි දැඩි ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතු බව ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සිය වැසියන් වෙත දැනුම් දී තිබේ.

මෙම සිකා වෛරසය ශරීරගත වූ අයෙකුගෙන් නිරෝගී අයෙකුට ලිංගික ඇසුරක්‌ හරහාද එම වෛරසය ශරීරගත විය හැකි බව තහවුරු වී ඇති නිසා මෙම ආසාදනය එසේ පැතිරෙන එකම මදුරු දෂ්ඨන ආසාදනය බවට පත්ව තිබේ. මෙහි ඇති භයානකකම නම් සිකා වෛරසය ශරීරගත වූ සැමියෙකුගෙන් බිරියට එම වෛරසය පැතිර ගොස්‌ බිරිය ගැබිනි අයෙකු නම් දරු ගැබටද වෛරසය අනිසි අයුරින් බලපෑම් කිරීමට හැකි වීමයි.

දරුවා උපත ලබන තෙක්‌ම සිකා වෛරසය මගින් දරුවාට බලපෑම් ඇති වී ඇති බවට දැනගත නොහැකි වීම මෙහි ඇති අවදානම් තත්ත්වයයි.

ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගවල රෝග ලක්‍ෂණයන්ට සමාන වූ ලක්‍ෂණ පවතින සිකා වෛර ස්‌ ආසාදනයෙහි පොදු රෝග ලක්‍ෂණ වනුයේ තද උණ, සමෙහි පළු මතුවීම, සන්ධිවල වේදනාව, ඇස්‌ රතු වීම හෙවත් කන්ජක්‌ටිවයිටිස්‌ රෝග තත්ත්වය, මස්‌පිඩුවල වේදනාව හා හිසරදයයි. මෙම රෝග ලක්‍ෂණ සුළු වශයෙන් දින කිහිපයක්‌ හෝ සතියක කාලයක්‌ පැවතිය හැකිය. ඩෙංගු රෝගය මෙන්ම රෝහල්ගත වීමට තරම් රෝගී තත්ත්වය උත්සන්න වීමක්‌ හෝ මරණ සිදුවීම වැඩි වශයෙන් සිකා වෛරස්‌ ආසාදනය තුළ දක්‌නට නොමැත.

දැනට මෙම වෛරස්‌ ආසාදනය සඳහා නිශ්චිත බෙහෙතක්‌ සොයා ගෙන නොමැති අතර රෝගියාව රෝග ලක්‍ෂණ මතුවීමෙන් පසු හැකිතාක්‌ විවේකී සුවයෙන් තබා ගැනීම, දියර වර්ග වැඩි වශයෙන් පානයට දීම හා විජලනය ඇතිවීම වැළැක්‌වීම, ප්‍රතිකාර වශයෙන් සිදුකෙරේ.

මෙහිදී ආසාදනය නිසා ඇතිවන උණ හා වේදනාව යන රෝග ලක්‍ෂණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් භාවිත කිරීම යෝග්‍ය බව වෛද්‍ය මතය වී තිබේ. සිකා වෛරස්‌ ආසාදනයට ගොදුරු වූ අයෙකු වෙනත් රෝගයක්‌ සඳහා බෙහෙත් ලබා ගන්නේ නම් ඒ සම්බන්ධව වෛද්‍යවරුන් දැනුවත් කර උපදෙස්‌ ලබාගත යුතුව තිබේ.

සිකා වෛරසය ශරීරගත වූ බව යමෙකු දැන ගත් විට පළමු සතිය තුළ මදුරු දෂ්ඨනයෙන් වැළකී සිටීමෙන් වෙනත් අයෙකුට ආසාදනය පැතිර යැම් වළක්‌වා ගත හැකි බව අනාවරණය වී තිබේ. ගැබිනි මවුවරුන්ට හා ඔවුන්ගේ ළදරු කළලයට දැඩි බලපෑම් එල්ල කරනු ලබන සිකා වෛරස්‌ ආසාදනය මෙරට පැතිරීම වැළැක්‌වීම සඳහා ජනතාව මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල එම රෝගය පිළිබඳව නිසි පරිදි දැනුවත් කිරීම අවශ්‍ය වූ කරුණකි. ගුවන් තොටුපළෙන් පිටරටවල සිට පැමිණෙන අයට මෙම රෝගය පවතින්නේද යන්න පරීක්‍ෂා කර බැලීම මෙන්ම මෙරට දැනටමත් එම රෝගය පැතිර යන්නේද යන්න විමසා බැලීමද මෙහිදී වැදගත්ය.

අනෙක්‌ අතට තවමත් මෙරට ගැබිනි මවුවරුන්ට සිකා වෛරස්‌ ආසාදනය පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙසට බලධාරීන් විසින් දැනුවත් කළ බවක්‌ද දැනගන්නට නොමැත.

ඒමන්ති මාරඹේ

Post a Comment

0 Comments