පුරස්‌ථිතය ඉදිමුණු අයකු ගත කළ යුතු ආයුර්වේද ජීවිතය

ප්‍රශ්නය - පුරස්‌ථි ග්‍රන්ථිය විශාල වීමේ රෝගය හෙවත් Prostate gland Enlargemant පිළිබඳව පසුගිය දෙසතියේ අප කතා කළා. ඉකුත් සතියේ අප අවධානය යොමු කළේ එහි රෝග ලක්‍ෂණ ගැනයි. මේ රෝගය වළක්‌වාගත හැකි ක්‍රම සම්බන්ධයෙන් ආයුර්වේද ශාස්‌ත්‍රය කරන යෝජනා ගැනයි අද අප අවධානය යොමු කරන්නේ.

වෛද්‍ය පුෂ්පකුමාර - මුලින්ම ආයුර්වේදය මගින් යෝජනා කරන්නේ ඖෂධ නොවන රෝග කළමනාකරණ ක්‍රමවේදයක්‌. එය පස්‌ වැදැරුම්. එනම්,

1. සවස 6 න් පසු දියර වර්ග පානය අඩු කරන්න. එවිට රාත්‍රි කාලය පුරා වරින් වර අවදි වෙමින් මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයෙන් ඔබ නිදහස්‌ වනු ඇති.

2. මුත්‍රා බොක්‌ක තුළ බැක්‌ටීරියා හටගැනීම සහ රැඳී තිබීම වළක්‌වා ගැනීම සඳහා දිනකට වතුර වීදුරු 8 ක්‌ පානය කරන්න.

3. දිනකට සිව් වතාවක්‌ දොඩම් - නාරං ඉස්‌ම වැනි දෙයක්‌ පානය කරන්න. එමගින් ඔබේ මුත්‍රාවල තිබෙන ආම්ලික තත්ත්වය අඩු කළ හැකියි. විශේෂයෙන් ම ඔබට හිතෙනවා නම් මුත්‍රා මාර්ගයේ ආසාදන තත්ත්වයක්‌ හට ගනිමින් පවතිනවා කියලා අම්ල සහිත පලතුරු යුෂ වර්ගයක්‌ පානය කළ යුතුයි.

4. මත්පැන්, දුම්කොළ, කෝපි යනාදිය මගින් ශරීරයේ වාත රෝග තත්ත්වය ඉස්‌මතු වෙනවා. මේ නිසා ඉහත සඳහන් ද්‍රව්‍ය තුන ජීවිතයෙන් ඈත් කරන්න. අඩුම ගණනේ රාත්‍රි ආහාර ගැනීමෙන් පසු එම ද්‍රව්‍ය ගැනීමෙන් වළකින්න.

පුරස්‌ථිතය ඉදිමුණු අයකු 

5. මල බද්ධයට තුඩු දෙන ආහාර ඉවත දමන්න. මල බද්ධය නිසා වාත දෝෂ හටගන්නවා.

ආයුර්වේදයට අනුව පුරස්‌ථි ග්‍රන්ථිය ඉදිමෙන්නේ වාත දොaෂය අසමතුලිත වීමෙනුයි. ඒ නිසා වාතය විෂම වන ආහාර ගැනීමෙන් ඔබ වැළකිය යුතුමයි. එනම් වියළි, ශීතල සහ සැහැල්ලු ආහාරවලින් සහ අධික කහට රසය සහ අධික තිත්ත රසය යනාදියෙන් යුතු ආහාර වලිනුයි. අධික පැණිරස, අධික ඇඹුල් රස, අධික ලුණුරස සහ අධික ලෙස උණු සහ තෙල් සහිත ආහාර වලිනුත් ඔබ වැළකිය යුතුමයි.

ආයුර්වේදය මගින් කියන්නේ බත්, තිරිඟු, කිරි, තක්‌කාලි, යෝගට්‌, දොඩම්, නාරං වැනි පළතුරු වර්ග මේ රෝගයට සුදුසු බවයි. ඒ සමඟම බෝංචි, ඇපල් වැනි ආහාර නුසුදුසු බවයි. ආමාශය තුළ වාතය හටගැනීමේ ඉඩකඩ සීමා කිරීම සඳහා විශාල ප්‍රමාණවලින් ආහාර ගත යුතු බව ඇතැම් ආයුර්වේද ගුරුකුල මගින් කීවත් අප කළ යුත්තේ දිරවීමට තරම් වන, වහා දිරවන ආහාර ප්‍රමාණයක්‌ අනුභව කිරීමයි. කිරි පදනම් කරගත් ආහාර වලින් වාත දෝෂ තුලනය වන බව වෛද්‍ය මතය වුණත් නිතරම ගත යුත්තේ උණුසුම් කිරි පමණයි. එසේම සම්පූර්ණ ආහාර වේලකින් පසු කිරි පානය කිරීමෙන් වැළකිය යුතුයි. ඉඟුරු. කරදමුංගු, සූදුරු, කුරුඳු අබ, ගම්මිරිස්‌ සුළු ප්‍රමාණවලින් ආහාරයට ගැනීම සුදුසු වන අතර හරක්‌මස්‌ කෑමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුයි. එසේම මුං ඇට හැරුනු විට බෝංචි කුලයට අයත් සියලු රනිල භෝගවලින් වැළකිය යුතුයි. කෙඳි සහිත ආහාර ගැනීම ඉතාම සුදුසුයි.

මේ රෝගය සහිත රෝගියා තද අව් රශ්මියෙන් ඈත්ව සිටිය යුතු බවත්, ආයුර්වේදය යෝජනා කරනවා. අව්වේ සිටින විට ශරීරයේ තිබෙන ජලය වාෂ්ප වීමත්, මුත්‍රා සාන්ද්‍ර තත්ත්වයට පත් වීමත් සිදු වෙනවා. මුත්‍රා සාන්ද්‍රණය වැඩි වීම මුත්‍රා දැවිල්ලට හේතුවක්‌.

Post a Comment

0 Comments