ඇත්ත ලයිසන් සහ හොර ලයිසන්


අපේ රටේ මහ පාරක ඇවිදින්නට හෝa පාපැදියක යන්නට බලපත්‍රයක්‌ අවශ්‍ය නැත. නමුත් යතුරු පැදියක්‌ පදින්නට හෝ මෝටර් රියක්‌ ධාවනය කරන්නට නම් වලංගු නීත්‍යානූකූල රියදුරු බලපත්‍රයක්‌ අනිවාර්යෙන්ම අවශ්‍ය වෙයි. එය නීති පොත්වල පැහැදිලිව සඳහන් කර ඇත. කොතරම් නීති තිබුනත් අද සමාජයේ බොහෝ දෙනෙක්‌ වලංගු රියදුරු බලපත්‍රයක්‌ නැතිව අනන්තවත් මහ මග වාහන පදවාගෙන යති. ලයිසන් නැතිව වාහනයක්‌ එලවද්දි නිකමට හෝ වරදක්‌ කර හෝ පොලිසියට අසුවුන හොත් සමහරු අධිකරණය හරහා දඩයකට යටත්ව එම වරදට දඬුවම් විඳිති. සමහරු හිරේ විලංගුවේ පවා ලගිති. 

එසේම බහුතරයක්‌ දෙනා කැමැත්ත පළ කරන්නේ උසාවි හෝ පොලිසි ගානේ රස්‌තියාදු නොවී වැඩේ ගොඩෙන්ම බේරා ගැනීමටයි. අල්ලන ලද නිලධාරියා 'ගන්නෙක්‌' නම් අදාල වරදට අදාල ගතමනාවක්‌ දී ජාම බේරාගෙන යළි ගමන පිටත් විය හැකිය. උසාවි යන්නට හෝ නීත්‍යානුකූල ස්‌පොට්‌ ෆයින් එකක්‌ (හිටිවින දඩයක්‌ ) ලියාගෙන තැපැල් කන්තෝරුවට එය ගෙවා යළි පොලිසියට පැමිණ කුවින්තාන්සිය පෙන්නා ට්‍රැපික්‌ අංශයේ ගෙම්බර් ද බලා මදක්‌ කරදර විඳින්නට සිදුවන්නේ මහත්තයා 'නොගන්නා' රෙගුලාසිකාරයෙක්‌ නම් පමණි.

වලංගු රියදුරු බලපත්‍රයක්‌ නැතිව වාහනයක්‌ පදවා අහුවුන හොත් රුපියල් 25,000 ක දඩයක්‌ ගසන්නට යන බවට කතාවක්‌ පසුගිය බජට්‌ටුවේදී කියවූනි. එයට බය වී දෝ කොහෙද මෑතක සිට නීත්‍යානුකූල ලෙස රියදුරු බලපත්‍ර ගැනීමට මිනිස්‌සු පෝලිමේ එන බවද අපට දැනගන්නට ලැබුණි. 

"ඉස්‌සර වගේ තැරුව් කාරයෙකුට ගානක්‌ ගෙවල මෙඩිකල් යන්නැතිව, විභාග ලියන්නැතිව, ට්‌්‍රEල් පෙන්නන් නැතුව ( ට්‍රයල් හෙවත් ප්‍රායෝගික පරීක්‍ෂණය) ලයිසන් එකක්‌ ගන්න දැන් පරම්පරාවේ අය කැමති නැහැ. ඒක අපිට සෑහෙන්න පාඩුවක්‌. ඒ කාලේ ගොඩක්‌ අය එහෙම ලයිසන් ගත්ත. දැන් කොම්පියුටර් තාක්‍ෂණේ නිසා කට්‌ටිය බයයි අහුවුනොත් අපි ඔක්‌කොටම බඩුම තමයි."

ඒ මා හිතවත් කච්ෙච්රි සුනිල්ගේ අදහසයි. හොර උප්පැන්න, ජෙනුයින් ජාතික හැඳුනුම්පත්, බාහිර උපාධි සහතික, රිමාන්ඩ් සහතික ආදිය සෑදීමට එදා කොළඹ නගරයේ නම් දරා සිටි කච්ෙච්රි සුනිල් අද කරන්නේ ළමයි ඉස්‌කෝලෙට දාන්න ලිපි ලේඛන හදනවා වැනි සිල්ලර වැඩ පමණි. ඔහු කියන පරිදි පරිගනකයට පවා හොයන්න බැරි, ඒවායේද කණෙන් රිංගන ඩොකියුමන්ට්‌ස්‌ හදන වැඩ්ඩලාද අද එමටය.

පරිගනකයෙන් සියල්ල බලා ප්ලාස්‌ටික්‌ ඩිජිටල් හතරැස්‌ කුඩා ලයිසන් කාඩ් එක නිකුත් කරන්නට කලින් අපේ රටේ රියදුරු බලපත්‍රය වශයෙන් තිබුනේ කුඩා පොත් පිංචකි. මෙහි ද සියලු කරුණු කාරණා ඇතුලත් ව තිබුණු අතර යමෙක්‌ මහාමාර්ග නීති කඩා අසුවුනහොත් ඔහු කල ඒ වරද පොලිසිය හෝ අධිකරණය මගින් ඔහුගේ බලපත්‍ර පොතේ පැහැදිලිව ලියන්නේය. එසේ ලිවීම සඳහා පිටු රාශියක්‌ම එම පොතේ ඇතුලත්ව තිබිණි.

"මම ඉස්‌සර අපේ දෙපාර්තමේන්තුවට රියදුරෙක්‌ බඳවා ගනිද්දි ඉන්ටවිව් කරන අයට කියන්නේ ඉස්‌සල්ලම එයාගේ බලපත්‍ර පොතේ වැරදි එහෙම ලියල තියෙනවද බලන්න කියලයි. බරට වැරදි කරපු පොත පුරා චෝදනා ලියපු හැබිචෝල්කාරයො තෝරගන්නෙ නැහැ වගේම කිසිම වරදක්‌ නොලියපු ලස්‌සනට පිළිවෙළට සුදෝසුදට පොත තියන් ඉන්න අයවත් අපි බඳවගන්නෙ නැහැ. මගේ අදහසනං පලපුරුද්ද සහ අත්දැකීම් ඇති රියදුරෙක්‌ගේ ලයිසන් එකක්‌ වුනාම ඒක අත පත ගාලා කොල ටිකක්‌ කිලිටි වෙලා පිටු නැමිලා ඇඹරිලා වරදක්‌ දෙකක්‌ හරි ඒකේ ලියවිලා තියෙන්න ඕනෑ එහෙම අයට තමයි හොඳට එලවන්න පුලුවන්,

ඒ අපේ තාත්තා වරක්‌ මට කියූ ඔහුගේ අදහසකි. මෑතකදි මට පැරණි ලිපිගොනු අතර තිබී ඔහුගේ වසර පනහකටත් වඩා පැරණි රියදුරු බලපත්‍රය හමුවුන අතර එහිද පිටු පුරා චෝදනා රැසක්‌ම ලියා තිබෙන අයුරු මට දකින්නට ලැබුණි.

සමහරු ලයිසන් ගන්නේ අනිත් අය කරන්නන් වාලේය. තවත් සමහරුන්ට එය විලාසිතාවකි. මෙය බොහෝ තරුණ කාන්තාවන්ට පොදු කරුණකි. තරුණ ගැහැනුන් සියයක්‌ අරන් ඇහුවොත් ඉන් වැඩිදෙනෙක්‌ දෙන්නේ මෙවැනි උත්තරයකි.

"මටත් ලයිසන් තියෙනවා. ඒ කාලෙමයි මං ලයිසන් ගත්තේ ඒත් දැන් එලවන්න මතක නැහැ වාහනයක්‌ ගත්තම තමයි කවදහරි ආයෙ අත හුරුකරගන්න වෙන්නෙ."

මෑතකදී අප කළ විමර්ශනයන්ට අනුව ත්‍රිරෝද රථ සඳහා රියදුරු බලපත්‍ර ගන්නට දැන් දැන් වැඩිපුර පිරිසක්‌ ලයිසන් කන්තෝරුවට පැමිණෙති. ඉන් බහුතරයක්‌ තරුණයෝ වන අතර තරුණියන් සහ ගැහැණුන්ද රාශියක්‌ ඒ අතර වෙති ඒa වගේම 'මං තනියෙන් නෝ හස්‌බන්' මාදිලියේ ස්‌කූටර් පදින්නට කැමති ඒවා පදින තරුණ ගැහැනුන්ද විශාල ප්‍රමාණයක්‌ වේරහැර ලයිසන් කන්තෝරු පරිශ්‍රයේ දකින්නට සිටී.

අද කාලයේ රියදුරු බලපත්‍රයක්‌ ගැනීමට හැකි ක්‍රම තුනක්‌ තිබේ. ඉන් පළමුවැන්න නියම ක්‍රමයට තනිවම ස්‌වාධීනව නුගේගොඩට හෝ වේරහැරට ගොස්‌ වෛද්‍ය පරීක්‍ෂණයට පෙනී සිට එය සමත්වී ලිත පරික්‍ෂණය සඳහා දිනයක්‌ ලබාගෙන මාර්ග නීති ඉගෙනගෙන නියමිත දිනට විභාගයට වාඩිවී එයද සමත්ව ඉන්පසු ලැබෙන දිනයට ට්‍රයල් පෙන්වන්න වාහනයක්‌ද සොයාගෙන වේරහැරට පැමිණ වරුවක හෝ දවසක පොඩි කට්‌ටක්‌ කා එග්සැමිනර්ට රිවර්ස්‌ එකෙන් සහ සංඥා ආදිය දමමින් හොරණ කොළඹ පාරේ රිය පැදවීමෙන් තම ප්‍රායෝගික වැඩ පෙන්වා එයද සමත්ව දින දාහතරක්‌ ඇතුලත තැපෑලෙන් තම රියදුරු බලපත්‍රය නිවසටම ගෙන්වාගැනීම හෝ එදිනම රුපියල් පන්සීයක්‌ ගෙවා රැගෙන යැමයි.

දෙවැනි ක්‍රමය කිසි කරදරයක්‌ නැතිව තැරුව්කරුවෙක්‌ මගින් හොර දෙටුවෙක්‌ සොයාගෙන ලොකු ගානක්‌ද ගෙවා ට්‍රයල් ලිත පරීක්‍ෂණ මුකුත් නැතිව ව්‍යාජ ජෙනුයින් ලැයිසමක්‌ ලබා ගැනීමයි. මෙයට අද වැඩි දෙනෙක්‌ නැඹුරු නොවන බව කච්ෙච්රි සුනිල් ඇතුලු කීප දෙනෙක්‌ම අප සමග පවසා ඇත.

තුන්වැනි ක්‍රමය වන්නේ සෑම නගරයකම පාහේ අවම වශයෙන් දෙක තුනක්‌වත් දකින්නට ඇති රියදුරු පාසලකට හෙවත් ලර්නර්ස්‌ එකකට මුදල් ගෙවා ඉහත පලමුවෙන් කී ආකාරයට පියවරෙන් පියවර ගොස්‌ බලපත්‍රය ලබා ගැනීමයි. මේ සඳහා ලොකු මුදලක්‌ වැයවෙයි.

"මං ලයිසන් ගත්තේ ඩ්‍රයිවින් ස්‌කූල් එකකට ගිහින් ඉගෙනගෙනයි. මට මතකයි මං ලිත පරීක්‍ෂණය හොඳටම ලිව්වා. මට ලකුණු හතළිහෙන් හතළිහම ලැබුණා. ගෙදර වාහන දෙකක්‌ම තියෙන නිසා මට හොඳට එලවන්නත් පුළුවන්. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි ලර්නස්‌ එකේ අංකල් එක්‌සැමිනර් මහත්තයට දෙන්න කියල ට්‍රයල් එක දවසෙ මගෙන් අමතර දෙදාහක්‌ ගත්තෙ කියලයි. ඒ නුගේගොඩ පදිංචි සරසවි සිසුවියකගේ ගැටලුවයි.

මෙය අද බොහෝ දෙනෙක්‌ තුළින් ඇසෙන කතාවකි. ඔවුන් කියන්නේ කොතරම් හොඳට විභාගය ලිව්වත් කොච්චර ලස්‌සනට රිවර්ස්‌ කර පෙන්නුවත් කෙතරම් අපූරුවට මහ මඟ ධාවනය කළත් ට්‍රයල් එක පාස්‌ කරන්නට නම් පරීක්‍ෂකවරයාට පගාවක්‌ දිය යුතුම බවයි. මේ ගැන අප බලපත්‍ර අපේක්‍ෂකයන්ගෙන් මෙන්ම රියදුරු පාසැල්වල පුහුණුකරුවන් රැසකගෙන්ම විමසා සිටි අතර ඔවුන් සියල්ලන්ම කීවේ එවැනි එකම කතාවකි. මේ වේරහැර බලපත්‍ර කාර්යාලය ඉස්‌මත්තේම ඇති එක්‌ පුහුණු පාසැලක පුහුණුකරුවෙක්‌ කී කතාවයි.

"කඳු මුදුනින් පටන් ගන්න ගඟ බාධා අස්‌සෙන් රිංග රිංග පහළට ගලාගෙන ඇවිත් අන්තිමට මෝය කට ගාව නවතිනව වගේ කොහොම ජරාව නොදී බේරි බේරි ආවත් ඕනි ජගතෙක්‌ ට්‍රයල් පෙන්වන තැනදි හිරවෙනව. අද පවතින ක්‍රමේට අනුව ඒක පාස්‌ වෙන්න නම් මහත්තයට ගාන දෙන්නම ඕනි. නැත්නං ෙෆaල් කරනව. බොහෝම කලාතුරකින් තමයි ලර්නස්‌ හරහා නැතිව තනියම එන කෙනෙක්‌ පාස්‌ වෙන්නේ"

ඔහු එසේ කීවද ප්‍රායෝගික පරීක්‍ෂණයට එන නිලධාරි මහතෙකුට රුපියලක හෝ ජරාවක්‌ හෝ පගාවක්‌ දී පරික්‍ෂණය පාස්‌ කර ගත් එකම එක අයදුම්කරුවකු හෝ මට හමුවුනේ නැත. ඔවුන් සහ රියදුරු පාසැල්වල පුහුණුකරුවන් කියන්නේ බොරුවක්‌දැයි අපට සිතේ.

"කාරනේ කියන්නෙ ජරාව කන්නෙ කෙලින්ම නෙවීනේ සර්..... ලර්නස්‌ කාරයො හරහනේ ඒ ගොල්ලො සල්ලි ගන්නෙ..... ඒක නිසානේ අල්ලන්න බැරි....."

ඒ පුහුණුකරුවකු හරහා රුපියල් දාහක්‌ මහත්තයාට ලබා දී රියදුරු බලපතක්‌ ලබා ගත් මොරටුවේ ශාන්තගේ අත්දැකීමය.

"අලුත් ආණ්‌ඩුවෙන් අලුත් ලොක්‌කෙක්‌ පත් වෙලා ආවා. එයා ඇතුලේ තිබුණ දූෂණ මගඩි නවත්තන්න සෑහෙන සටනක්‌ දෙනවා. ඒත් මේකෙ අයියල කෙහොම හරි ඇස්‌ වහල ගේම ගහනවා. ළඟදී පරණ අය ඔක්‌කොම මාරු කරල අලුත් අයව දැම්මා. දැන් ඒ අයත් පුරුදු වෙලා. ඇත්තම කියන්න මහත්තයො අද මෙතන වැඩිපුරම ජරාව කන්නෙ ට්‍රයල් බලන එක්‌සැමිනර් මහත්තුරුයි. මං කියන්නෙ නැහැ හැම එක්‌සැමිනර් මහත්තයෙක්‌ම සල්ලි ගන්නව කියල ඒත් සල්ලි නොගන්නවයි කියල Rජුවම කියන්න පුළුවන් මහත්තයෙක්‌ මට තාම මුණ ගැහිල නැහැ"

ඒ එම කාර්යාලයේම වසර ගාණක්‌ රැකියාව කර දැන් විශ්‍රාමික ඒත් සතියට දින කීපයක්‌ එහි පැමිණ දන්නා අඳුනන අපේක්‍ෂකයන්ට උදව් පදව් කර කීයක්‌ හරි හොයා ගන්න පියසිරිගේ අදහසයි.

ලයිසන් ගන්න එනවුන් පුහුqණුqකරුවන් සහ සාමාන්‍ය ජනතාව කියන්නේ ඇත්තක්‌ දැයි දැන ගැනීමට අපද අන් වෙසක්‌ ගෙන මාස කීපයක්‌ පුරා විටින් විට වේරහැර ලයිසන් දෙන කාර්යාලයේ සැරිසරූ අතර ඔවුන් කී දේ තීව්‍ර වන බොහෝ දේ එම දින වල අපි සියෑසින් දිටිමු.

අප නිරීක්‍ෂණය කළ පරිදි බොහෝ දෙනෙක්‌ බලපත්‍රය සඳහා අයෑදුම් කරන්නේ රියදුරු පුහුණු පාසැලක්‌ හරහාය. ඒ සඳහා රුපියල් 12,000 සිට 25,000 දක්‌වා හෝ සමහරවිට ඊට වැඩි මුදලක්‌ පවා ගෙවිය යුතුය. අයෑදුම් කරන වාහන පන්තිය අනුව එහි මිල ගනන් වෙනස්‌ විය හැකිය. වෛද්‍ය පරීක්‍ෂණයට, ලිත විභාගයට, රිය පුහුණුවට මෙන්ම ට්‍රයල් එක පාස්‌ කර දෙන්න යන අංග සියල්ලම එම මුදලින් කවර් කරන බව පුහුණු පාසැලින් පොරොන්දු වෙයි. මුදල් හරියට ගෙවන්නේ නම් වචනයේ පරිසමාප්තියෙන්ම එය එසේම සිදුවෙයි.

සමන්තිකා රියදුරු බලපත්‍රය සඳහා ස්‌වාධීනව අයෑදුම් කළ තරුණ කාන්තාවකි. ඇය ලිත පරීක්‍ෂණය ඉහළින්ම සමත් වුවත් ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා අඩි නවයේ පරතරයක්‌ ඇති කණු දෙක අතරින් රිවර්ස්‌ කරන්නට යද්දී දෙවරක්‌ම අසමත් විය. මට ඇයව ගිය සතියේ එහිදී හමුවන්නේ තුන්වැනි වතාවටත් ප්‍රායෝගික පරීක්‍ෂණයට පැමිණි සිටියදීය. ඇයට එහි සිටි කාක්‌කෙක්‌ උද්දේශනය කර ඇත්තේ නෝනා ඔයා තනියම තව කී පාරක්‌ ආවත් වැඩක්‌ නැහැ මහත්තයට සල්ලි දීල තමයි පාස්‌ වෙන්න ඕනි කියායි. ඒ නිසා සමන්තිකා මෙවර තීරණය කළේ ගිය වාරවල් වලදි මෙන් තම වාහනයේම තම නැඟණිය සමග නොගොස්‌ පුහුණු පාසැලක පිහිට පතන්නටයි.

වසර තිහකටත් වඩා අත්දැකීම් ඇති පුහුණුකරුවකු වන සුමනසිරි අයියාව සමන්තිකා එදා මුණ ගැසුනේ මා ඉදිරියේදීමය. ඔවුන් දෙදෙනා අතර ඇතිවූ දෙබස්‌ මම මනාව අසා සිටියෙමි.

"නෝනා අද ගත්තෙ හොඳ තීරණයක්‌. නැත්නං අදත් පේල් තමයි. මට තුන්දාහක්‌ දෙන්න. මං වැඩේ කරල දෙන්නං. බයවෙන්න එපා රිවර්ස්‌ එක පාස්‌ වුණත් නෝන පාස්‌ පේල් වුණත් නෝන පාස්‌."

එසේ කියූ සුමනසිරි සමන්තිකාව සහ මාවද ඇදගෙන කෙලින්ම ගියේ ඡේ ශාලාවේ ඇතුලටයි. මට මග ඉන්න කියා ඔහු ඇයව රැගෙන එක්‌තරා මහත්තයෙක්‌ වෙත යනු මම බලා සිටියෙමි. මද වේලාවකින් සමන්තිකා මා වෙත පැමිණ සිදුවූ සියල්ල කියා සිටියේ මෙසේය.

"සුමනසිරි අයියා මහත්තයට මාව අඳුන්නල දීල කිව්වා ''සර් මෙයා අපේ එක්‌කෙනෙක්‌ මට එයා ගෙවලයි තියෙන්නේ'' කියල ඒ සර් මගේ රිසිට්‌ අංකයයි වාහන අංකයයි ඉල්ල ගත්තා. ඊට පස්‌සේ පිටට තට්‌ටුවක්‌ දාල කිව්වා බයවෙන්න එපා දරුවා වැඩේ හොඳට කරන්න මං ඉන්නවනෙ කියල."

එමෙන්ම ඇය කියා සිටියේ තමා අසමත් වුණු ගිය වාර වල් දෙකේදිම මෙසේ කලින් කිසිම මහත්තයෙක්‌ තමන්ගේ නම හෝ අංකය ලබා නොගත් බවත් එසේ ඇතුලට ගොස්‌ කතා බහ නොකළ බවත්ය. මෙහිදී මා සිදුවන සියල්ල දෙස උපේක්‍ෂාවෙන් බලා සිටියා මිස අල්ලස්‌ දීමට හෝ ගැනීමට කිසිවෙකුට උපදෙස්‌ දුන්නේ හෝ උපකාර නොකළ බවද කියන්නට කැමැත්තෙමි.

පැය කීපයකට පසුව ප්‍රායෝගික පරීක්‍ෂණ සැසි ඇරඹුනු අතර තැන් තැන්වල යතුරු පැදි අට ගසනු, රවුං රවුං යනු සහ රෝද හතරේ වාහන රිවස්‌ කරන අයුරු මහත්තුරු විසින් නිරීක්‍ෂණය කර සමත් අසමත් කරනු දකින්නට හැකි විය. අපේ සමන්තිකාද තම වාහනයට ගොඩවන අයුරුත් පරීක්‍ෂකවරයා එම රථයේ ඉදිරිපස අසුනටද සුමනසිරි පසුපස අසුනටද ගොඩවන අයුරුත් ඉන්පසු ඇය ඉතා ක්‍රමවත්ව තම රථය කනු දෙක අතරින් ඉදිරියට ගෙන නැවතත් සුපරික්‍ෂාකාරිව සුක්‌කානම මනාව කපා වාහනය මදක්‌ පස්‌සට ගෙන නවතා සුක්‌කානම යළි වට දෙකක්‌ ආපසු කරකවා කෙලින් කර පොතේ හැටියටම කනු දෙක අතරින් පසුපසට ගන්නා අයුරු මම බලා සිටියෙමි. මද වේලාවකින් තවත් රිය පෙළක්‌ පසුපසින් සුමනසිරි සහ සමන්තිකා පාරේ වැඩ පෙන්වනු පිණිස මහත්තයා ගිය වාහනය පිටුපසින් යාමට පිටත්විය. තවත් පැය භාගයකට පමණ පසු ඇය මට දුරකතන ඇමතුමක්‌ දී අසා සිටියේ "අයියෙ මේ පාර මං පාස්‌ ඔයා පාස්‌ද?" කියායි ඇය සිතා සිටින්නේ මාත් එදා මෙහි ආවේ ප්‍රායෝගික පරීක්‍ෂණයට බවයි.

"මං අද දැන ගත්ත අයියෙ මිනිස්‌සු කොච්චර ඩ්‍රයිවින් පුළුවන් වුණත් ලර්නර්ස්‌ එකක්‌ හරහා එන්නේ ඇයි කියල? මොකද අද කාලේ සල්ලි වලට වඩා අපිට වටින්නේ කාලයනේa "ඇය එසේද කීවාය.

එදා දවස තුළ මම තවත් අපුරු කාරණා කිපයක්‌ම නිරීක්‍ෂණය කළෙමි. ඉන් වඩාත්ම සිත්ගත්තේ සමහර නිලධාරීන් ලර්නර්ස්‌ හරහා එන අපේක්‍ෂකයන්ට අමතන සුන්දර සුමට පෙම්බර ආමන්ත්‍රණයන් සහ තනිවම ස්‌වාධීනව එන අපේක්‍ෂකයන්ට සලකන කෲර රළු ආකාරයයි.

තඩි බඩක්‌ සහ ඝන දිග යටි රැවුලකින් යුත් බාජු ඇඳුමකින් සැරසී සිටි මුස්‌ලිම් යෑයි සිතිය හැකි තරුණයෙක්‌ ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා ලර්නස්‌ එකක වාහනය රිවර්ස්‌ කරද්දී අමු අමුවේම දඩාස්‌ ගා යකඩ මායිම් කනුවක හැප්පුවේය. පරීක්‍ෂක මහතා ඔහුට අත දිගුකොට . ඕයි තමුසේ අසමත්. ආයේ දවසක එනවා, කියා කියනවාද පුහුණුකරු ඉතා තදින් පරුෂ වචනයෙන් බනිමින් අපහාස කර ඔහුව එතැනින් එලවා දමනවාද ඒ අවට සිටි සියලු දෙනාටම හොඳින් ඇසුනි. ඔහු ටක්‌කෙටම අසමත් බව සියල්ලන්ම සිතුවත් මට දැනුනේ ඔහු එකෙන්ම පාස්‌ බවයි. සවස මට ඔහුව ඡේ අංශයේදි අහම්බෙන් මුණ ගැසුනු අතර ඔහු කියා සිටියේ රිවර්ස්‌ එක අනා ගත්තට අයියා අපේ ලර්නස්‌ ලොක්‌ක තව ගානක්‌ දිලා කොහොම හරි මාව ගොඩ දාලා දුන්නා කියායි. ඔහු එවෙලේම ලද උණු උණු කිරි කිරි ලයිසන් එකක්‌ද මට පෙන්වීය.

"ලර්නර්ස්‌ එකේ අයත් එක්‌ක ගිහින් ට්‍රයල් පෙන්වන එක හරියට ටියුෂන් සර් එක්‌ක විභාග ශාලාවට ගිහින් එයාවත් ලඟ වාඩි කරන් විභාගෙට ලියනවා වගේ වැඩක්‌ බව, මට කිව්වේ තවත් අපේක්‍ෂක මහතෙකි. ඔහුද දෙවැනි වතාවට ප්‍රායෝගික පරික්‍ෂණයට මුහුණ දීමට ඇවිත් ඇත්තේ ලර්නස්‌ එකක්‌ හරහාය. ඒ මුල් වතාවේ ස්‌වාධීනව තම වාහනයේ පැමිණ අසමත් වූ නිසාය. ඔහු මෙසේද පැවසීය,

"මං සල්ලි දුන්නෙ පුහුණුකරුට මිස නිලධාරියාට නෙමෙයි. ඒ නිසා මට හිතට වධයක්‌ නැහැ මිස්‌ටර් මං කවදත් අල්ලසට විරුද්ධයි. ඒක මහ වරදක්‌. නමුත් මං දන්නව අද අනිවාර්යෙන්ම කීයක්‌ හරි නිලධාරියට යන විත්තිය ඔප්පු කරන්න බැරි වුනාට ඒත් මොනා කරන්නද වෙන විකල්පයක්‌ නැහැනෙ,

අල්ලස මෙන්ම වේරහැර පරිශ්‍රය තුළ වෙනත් අසමතුලිතතාද ඇති බව අපි දැක්‌කෙමු. විශේෂයෙන්ම පැය කීයයක්‌ ගත කිරීමට එහි එන පාරිභෝගිකයාට ගිමන් නිවා ගන්නට හරි හමන් තැනක්‌ නැත. පරිශ්‍රයෙන් වැඩි කොටසක්‌ දැඩි අව් රශ්මියට නතුවෙයි. විවිධ විභාග සහ පරීක්‍ෂණ වලට මුහුණ දීමේදී ඒ බයට දෝ ඔවුනට නිතර සුළුදිය පහ කිරීමේ අවශ්‍යතා මතු වෙයි. ඒ සඳහා මුදල් ගෙවිය යුතුය. ඒත් වැසිකිලි වල තත්ත්වය එතරම් හොඳ නැත. ඡේ අංශය කොනේ ඇති වැසිකිළි නිතර උතුරා පෙණ බුබුළු නගමින් දුර්ඝන්ධයක්‌ පිටකරයි.

කිසිම පිළිවෙලක්‌ නැති අවිධිමත් එල් බෝඩ් වෙළෙන්දන් පෑන් වෙළෙන්දියන් එතැනින් ඉවත් නොකර ඔවුන්ට විදිමත් පහසුකම් සහිත කුටි ලබා දෙන්නට කටයුතු කළොත් අගනේය.

කැන්ටිමේදී හමුවූ රියෑදුරු පුහුණුකරු සිල්වා මහතා මට කීවේ මෙවැනි කතාවකි.

"ඇත්තටම මහත්තයො අපි අපේ ගෝලයන්ගෙන් මෙච්චර සල්ලි අයකරන්නෙ කැමැත්තෙන් නෙමෙයි. මෙතන සමහරුන්ට දීල ඉවරයක්‌ නැහැ. මුන්ට හරියන්නෙ නැහැ. මෙහෙම ජරාව කනවට මේකලාට හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙනව. ඒ තරමට පගා ගන්නව. අපේ කොල්ලො මුන්ට එක එක නම් දාලයි තියෙන්නෙ. මහ කැත නම්... මුන් දන්නවනං වහ කාල මැරෙන්නෙ. හැබැයි ඉන්නේ මහ මන්දිර වල. යන්නෙ එන්නෙ සුපිරි කාර් වල. ලොකු තැන් වලින් හොයල බලන්නෙ නැද්ද හම්බවෙන ආණ්‌ඩුවෙ පඩියෙන් ඔච්චර ලොකු වැඩ කරන්නෙ කොහොමද කියල. (සිල්වා කියන අන්දමට ඔහුගේ මිතුරන් පගා ගන්නා නිලධාරින්ට දමා ඇත්තේ මාපිලා, ලේ මැක්‌කා, කෝඳුරුවා සහ ඩ්‍රැකියුලා වැනි ලේ බොන අනුන්ගෙන් යෑපෙන පරපුටු වර්ගයේ නම් සහ අන්වර්ථයන්ය.)

අපේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මනහර හරවත් දැක්‌මක්‌ තිබේ. ඒ මහජනයාගේ උපරිම අගය කිරීමට ලක්‌වන අගනා මෝටර් රථ ප්‍රවාහනයක්‌ නියාමනය කිරීම බව ඔවුන්ම තම ප්‍රකාශනයෙහි පවසයි (Excellence in Motor Traffic Regulating For Highest Public Appreciation)) එමෙන්ම තම සේවාදායකත්වය තුළින් පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමද ඔවුනගේ එක්‌ වටිනාකමකි. (Customer Satisfaction through Services) මෙම කරුණු ගැන තව වරක්‌ සිතා බැලීමට කාලය පැමිණ ඇති බවත් ආයතනයේ වගකිවයුතු නිලධාරීන් වෙස්‌වලාගෙන හෝ වේරහැර බලපත්‍ර දෙන පරිශ්‍රයේ වටයක්‌ ඇවිද එහි ඇති වැසිකිළි ජල සහ ගිමන් හැරීමේ ආදි යටිතල පහසුකම් පිළිබඳවත් වැදගත් අහිසංක පරීක්‍ෂක මහත්තුරුන්ට අවැදගත් අසිලාචාර නිතර අල්ලස්‌ දීමටම වෙර දරන මහජනතාව විසින් හූල්ලමින් හෙණ ඉල්ලන අයුරුත් අසා දැක ගන්නා ලෙසත් අවසාන වශයෙන් ඉල්ලා සිටිමි.

* මිත්‍ර ශ්‍රී කරුණානායක

Post a Comment

0 Comments