ශ්‍රී ලංකාවේ අතීත ගෘහ නිර්මාණ ශිල්පය


මෙම ලිපියෙන් ඔබේඅවධානයට යොමු කරන ප්‍රධාන අංශ දෙකකි. එනම් වසර 50 කට පමණ පෙරදී ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ ශිල්පීය දැනුම නිරූපනය කරන නිවාස පිළිබඳ යම් අදහසක්‌ ඉදිරිපත් කිරීම සහ එම නිවාස ප්‍රභේද, ඒවා සාදාගැනීමේදී පිළිගැනුනු චාරිත්‍ර, එහි බාහිරාලංකාරය ආදිය ගැන සාකච්ඡා කිරීමත්ය.

දැනට වසර 50 කට පමණ පෙර ඉදිකර තිබෙන කවර තත්ත්වයේ නිවසක වුවද මතුපිට පෙනෙන ලක්‌ෂණ වලින් වුවත් එකල පවා නිවාස ඉදිකිරීමේදී අතිවිශාල දැනුම් සම්භාරයක්‌ මෙරට සමාජය තුළ තිබුණු බවට පැහැදිලි වන කාරණයකි. මෙම නිවාස ඉදිකිරීම සඳහා භාවිත කරන ලද්දේ කුමන ද්‍රව්‍යයන් වුවත් අවසානයේ ඒවා පත්කරනු ලැබූ තත්ත්වයන් අනුව ස්‌ථිර නිවාස ලෙසට ඔවුන් ඒවා භාවිත කර ඇති බව පෙනේ. නිවාසවල ප්‍රමාණය සහ එයට ඇතුළුවන දොරටුව සඳහා දොර ජනෙල් ප්‍රමාණය, වහළයේ පල ගණන, ඒවා බෙදාවෙන්කරගැනීම, කාමර වෙන්කර ගැනීම ආදිය සිදුකර තිබෙන්නේ දැනුම් තේරුම් ඇති වඩු බාස්‌වරු සහ නැකත් සාදන්නා වුවත් මේ සඳහා බොහෝවිට ඔවුන්ගේ කරුණු ලබාදෙන ලද්දේ මයිමතය නමැති න්‍යායාත්මක පොතෙනි. නිවසේ දිග පළල තීරණය කරන ලද්දේ රියන්වලිනි. නිවසේ ප්‍රමාණ සඳහන් කරන ලද්දේ හත් රියන් නිවසක්‌, පසළොස්‌ රියන් නිවසක්‌ ආදී වශයෙනි.

අවුරුදු හැට හැත්තෑවකට කලින් ඉදිකර තිබූ නිවාසවලින් වැඩි කොටසක්‌ වරිච්චි බිත්ති සහ මැටි තාප්පවලින් මූලික ගොඩනැගීම් කරන ලදී. මැටි ගඩොල් සකස්‌කරගෙන ඒවා පුළුස්‌සා ඉදිකළ නිවාස ද ඇතැම්විට මේවා අතර හමුවේ. වරිච්චි බිත්ති සකස්‌ කිරීමේදී බටදඬු, උණ පතුරු සහ පුවක්‌ පටි මගින් රාමුව හෙවත් වරිච්චිය සකස්‌ කරගැනීමත් ඒවා ශක්‌තිමත්ව බැඳ ගැනීම සඳහා නොයෙක්‌ වැල් වර්ගත් භාවිත කර ඇත. වරිච්චි බිත්ති සහිත විශාල නිවාස අදත් කොළඹ නගරයේ ඇතැම් තැන්වලත් කොළඹට ආසන්න ප්‍රදේශ ගණනාවක්‌ දැකිය හැකිය. වරිච්චි බිත්ති සහිත නිවාස කඳුකර ප්‍රදේශයේ සහ හතර කෝරළයේ අවට ප්‍රදේශවල දක්‌නට ලැබෙන්නේ අඩුවෙනි. එයට හේතුව ඒවා වඩාත් ඉක්‌මනින් වේයන් වැනි සතුන්ගේ ග්‍රහණයට ගොදුරු වීම නිසාය.

බොහෝ නිවාසවල නිදන කාමර සකස්‌ කිරීමේදී දිශාව ගැන සැලකිලිමත් වී ඇත. ධාන්‍ය තැන්පත් කිරීමට නිවසේ පිටුපස සකස්‌ කළ අටු මඩුව යොදා ගෙන ඇත. උළුවහු සකස්‌ කිරීම සහ ධනධාන්‍ය ගෙය තුළ තැන්පත් කිරීමේදී ඒවා තැබිය යුත්තේ කවර දිශාවකටද යන්න ගැන විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූ බව පෙනේ. මේවා අතර පල හතරේ වහළ සහිත නිවාස හමුවන්නේ කලාතුරකිනි. බොහෝ නිවාසවල පල දෙකේ වහළය විවිධාකාර ලෙස ඉදිකිරීමෙන් එය අලංකාරවත් ලෙස සකස්‌ කර ඇත. ධනවතුන්ගේ නිවාසවල පොළොව මට්‌ටමේ සිට අඩි දහයක්‌ පමණ උසින් දැවවලින් සකස්‌ කළ සොල්දරයක්‌ තනා තිබූ අතර එම සොල්දරය සහිත කොටසට මනා වාතාශ්‍රයක්‌ ලබාගැනීම සඳහා වහළයේ දිගු පැති දෙකෙන් අලංකාර වා කවුළු සකස්‌ කර ඇත. මෙම ඇතැම් වා කවුළු විශාල මලක ස්‌වරූපයකින් සකස්‌ කර ඇත.

මුළුතැන්ගේ නිර්මාණය කර ගැනීම, ලිප් බැඳ ගැනීම, දුම් මැසි සකස්‌කරගැනීම සහ බීමට ගන්නා ජලය තබන ස්‌ථානය පිළියෙල කිරීමේදී කරුණු කාරණා ගණනාවක්‌ සැලකිල්ලට ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. ශ්‍රී ලංකාවේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්‌ මෙවැනි ලිපියකින් කිසිසේත් කළ නොහැකිය. ඉතා සැකෙවින් මෙම කරුණු අප සඳහන් කළේ අපට හමුවන පැරණි නිවාස කිහිපයක්‌ සසඳා බැලීමේදී ඒ එකිනෙකෙහි ඇති විශේෂී බව අවබෝධ කර ගැනීමටය. අතීතයේත් ගෘහ නිර්මාණයේ දී ආරක්‌ෂාව, අලංකාරය, පරම්පරාගත විශ්වාස, තමා සතු දේපළ, තමාට සමාජයෙන් හිමිව ඇති තැන, තමාගේ ගොවිතැන් කටයුතු සහ වෘත්තීය අවශ්‍යතා යනාදී කරුණු සියල්ල කෙරේ සැලකිල්ලක්‌ ගෙන ඇති බව ඉතාමත් පැහැදිලිව සඳහන් කළ හැකිය.

සාකච්ඡා සටහන 
පාලිත සේනානායක

Post a Comment

0 Comments