රත්නපුර බස්‌ මඩුව


බස්‌ නැවතුම්පළ මගීන්ගෙන් පිරී ගොස්‌ය. විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට සූදානම් බස්‌ රථ ද එමටය. කඳු ගැටයක්‌ මත ඉදි කර තිබෙන රත්නපුර බස්‌ නැවතුම්පළ ද පෙනෙන හැටියට තවමත් අලුත්ය. අලංකාරය. දෙමහල් ගොඩනැඟිල්ලේ බිත්තිවල ආලේපිත පාටවත් අවර්ණ වී නැත. එහෙත් බස්‌ නැවතුම්පළේ සිටින රියෑදුරන්, කොන්දොස්‌තරවරුන් සහ මගීන් කියන විදිහට රත්නපුර බස්‌ නැවතුම්පළ යනු මගීන්ට ඇට වූ සුන්දර මර උගුලකි. දැනටමත් ඒ මර උගුලේ පැටලුණු මගීන් දහඅට දෙනකුගේ පමණ ජීවන ගමන නතර වී ඇත. තවත් මගීන් විසි දෙකක පමණ අත් පා අහිමි වී ගොස්‌ය. කියෑවෙන ආකාරයට රත්නපුර බස්‌ නැවතුම්පළේ කතාව අතිශය ඛේදජනකය. දුක්‌බරය. එහෙයින් එම ඛේදවාචකය සොයාබැලීමේ අදහසින් ටිකකට අපි රත්නපුර බස්‌ නැවතුම්පළේ නතර වීමු.

රත්නපුරය යනු සබරගමුව පළාතේ මිණි පුරයයි. සුමන සමන් දෙවිහාමුදුරුවන්ගේ අඩවියෙන් කොහෙන් මැණිකක්‌ මතු වුවත් බොහෝ දුරට එය අලෙවි වන්නේ රත්නපුර නගරයේදීය. එහෙයින් රත්නරපුර නගරය මැණික්‌ වෙළෙඳාමේ කේන්ද්‍රස්‌ථානය හැටියට ද සැලකේ. එමෙන්ම ශ්‍රී පාදස්‌ථානය වන්දනාමාන කරගැනීමට සමනළ කඳු මුදුනට ගමන් කිරීමට මාර්ග කිහිපයක්‌ම වැටී ඇත්තේ ද රත්නපුර නගරය කේන්ද්‍ර කරගෙනය. සුමන සමන් දේවාලය, පුංචි දඹදිව ආදී එකී නොකී පූජනීය ස්‌ථාන රැසකටම ප්‍රධාන නගරය වී ඇත්තේ ද රත්නපුරයයි. එහෙයින් දෙස්‌, විදෙස්‌ සංචාරකයන්ගේ පැමිණීම ද අති විශාලය. එවැනි විශාල ජන ගඟක්‌ ගලන රත්නපුර නගරයේ ප්‍රධාන බස්‌ නැවතුම්පොළ මගීන්ට වින කටින මර උගුලක්‌ වී ඇති අයුරු දකින විට නම් ගත සිත සලිත වන්නේය. පුදුමය එය සුමන සමන් දෙවිහාමුදුරුවන්ටවත් නොපෙනෙන එක ගැනය.

රත්නපුර නව බස්‌ නැවතුම්පොළ විවෘත කර ඇත්තේ 2000 වර්ෂයේදීය. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක්‌ ලෙස ක්‍රියාත්මක වූ මෙම බස්‌ නැවතුම්පොළේ ඉදිකිරීම් කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් රුපියල් පනස්‌ හතර මිලියන පන්සිය හැට හයදාහස්‌ අටසිය පනස්‌ හතයි ශත පනස්‌ හතක ණය ආධාර මුදලක්‌ ලබාගෙන තිබිණි. එසේ ලබා ගත් ණය මුදල 2024 වසර දක්‌වා ගෙවීමට නියමිත බව ද වර්තා වන්නේය. ණය මුදලේ ප්‍රමාණයට බස්‌ නැවතුම්පළ නම් විශාල නැත. පෙනෙන ආකාරයට බස්‌ නැවතුම්පළ හුණ්‌ඩුවකි. 

බස්‌ නැවතුම්පොළේ ඉදිරිපස දෙමහල් ගොඩනැඟිල්aල වෙළෙඳ සංකීර්ණයකි. එයට පිටුපසින් එක දිගට මගී පර්යන්ත තුනකි. මගීන්ට හරිහැටි ගමන් කිරීමටවත් එහි ඉඩ කඩ මදිය. එකී පර්යන්ත අතර අඩි නවයක තරම්වත් පරතරයක්‌ නැත. එතරම්ම පටුය. එමෙන්ම එකී පර්යන්තවල වහළය බස්‌ රථයක්‌ තරම්වත් උස නැත. පර්යන්ත දෙකක්‌ අතර බස්‌ රථයක්‌ ගමන් කරන විට, වේදිකාව කෙළවරේ කුඩා සතෙකුටවත් ගමන් කිරීමට නොහැකි තරමට මාර්ගය පටුය. මගී පර්යන්තවලින් මගීන්ට බැස යැමට ඉදි කර ඇති පඩි කුඩාය. ඇළය. පඩියට පය තැබූ සැණින් ලිස්‌සා ගොස්‌ පාරට වැටෙන්නේය.

'මේ මෑතකදීත් පානදුර හෝල්ට්‌ එකේදී පඩියකින් ලිස්‌සලා වැටිලා මනුස්‌සයෙක්‌ව මැරුණා. පස්‌සේ රෝදයක්‌ මනුස්‌සයගේ බඩ උඩින් ගිහිල්ලා තිබුණා. මිනිහා එතනමයි. බස්‌ ඩ්‍රයිවර්ටත් කරන්න දෙයක්‌ නෑ. ගොඩක්‌ම අනතුරු වෙන්නේ බස්‌ ස්‌ටෑන්ඩ් එක පටන් ගන්නකොටම තියෙන පානදුර, කොළඹ හෝල්ට්‌වලදී. මේ මෑතකදී රක්‌වාන හෝල්ට්‌ එකෙත් බස්‌ එකකට යට වෙලා මගියෙක්‌ මැරුණා. පහුගිය දවසක පානදුර හෝල්ට්‌ එකේදී මගේ කකුළත් බස්‌ එකක්‌ යටට ලිස්‌සලා ගියා. වෙලාවට ඩ්‍රයිවර් දැකලා බස්‌ එක නතර කළා. නැත්නම් එදා මගේ කකුළත් ඉවරයි...' මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ ස්‌ථාන භාර නිලධාරි විජිත විජයසිරි මහතා මුහුණපෑ ඇබැද්දියක්‌ මතක්‌ කරමින්ම බස්‌ නැවතුම්පොළේ ෙ€දවාචකය ගැන විස්‌තර කිරීමට පටන් ගත්තේය.

'බස්‌ නැවතුම්පළේ සැලසුම හදලා තියෙන්නේ දවසකටවත් බස්‌ හෝල්ට්‌ එකකට ගිය කෙනෙක්‌ නෙමෙයි. අපිට සැලසුම හදන්න කිව්වනම් මීට වඩා හොඳට අපි කරලා දෙනවා. බස්‌ නැවතුම හදලා තියෙන්නේ කඳු ගැටයක්‌ උඩ. ස්‌aටෑන්ඩ් එකට ඇතුළු වෙන්න තියෙන්නේ කන්දක්‌ නැගලා, ළඟ වංගුවක්‌ එක්‌ක. වංගුව නිසා බස්‌ එකේ ඉන්න ඩ්‍රයිවර්ට හරියට පාර පෙන්නේ නෑ. බස්‌ එක ස්‌ලෝ කරන්නත් බෑ. එහෙම වුණොත් කන්ද අදින්න බෑ. අපි දකුණෙන් අල්ලලා බස්‌ එක ගන්නකොට තව වාහන වමෙන් දානවා. එතකොට අපි මොකද කරන්නේ. අන්තිමේ මිනිස්‌සු යට වුණහම අපි ඇතුළට යනවා. ඒ මිනිස්‌සු මැරෙනවා. එක්‌කො අබ්බගාතයෝ වෙනවා. මේක මහා කරුමයක්‌. තමන් පදවන වාහනයට මනුස්‌සයෙක්‌ යට වුණහම ඇති වෙන වේදනාව වචනවලින් කියන්න බෑ. වාහනයක යනකොට සතෙක්‌වත් යට කරන්න කවුරුවත් කැමති නෑ. ඒ වේදනාව මම අත්විඳිලා තියෙනවා. බස්‌ එක ස්‌ටෑන්ඩ් එක ඇතුළට දානකොට බයික්‌ එකක්‌ ගෙනත් ගැහුවා. අන්තිමේ බයිසිකලයත් හදලා දුන්නේ අපි. මගේ කිසිම වැරැද්දක්‌ නෑ. අපිට වංගුව නිසා ළඟ නවන්න බෑ. එහෙම කළොත් පාර අයින ඉන්න මගීනුයි, කඩයි සේරම කුඩු කරගෙන තමයි යන්නේ. ඒ නිසා අපි ටිකක්‌ එහායින් අල්ලලා ගන්නේ... 

බස්‌ ස්‌ටෑන්ඩ් එකේ එහාට මෙහාට යන මගීනුත් ටිකක්‌ පරිස්‌සම් වෙන්න ඕනෑ. පැයක්‌, දෙකක්‌ එක දිගට බස්‌වල ඇවිත් බැස්‌සට පස්‌සේ පුදුම හදිසියක්‌ එන්නේ. එහෙම හදිසියේ දුවන්න ගිය මනුස්‌සයෙක්‌ තමයි මෙයාගේ බස්‌ එකට යට වෙලා කකුළ කපන්න වුණේ...' රත්නපුර පානදුර බස්‌ රථ රියෑදුරුකු වන සුගත් ඔහු ළඟ සිටි තවත් කෙනෙක්‌ව කතාවට සම්බන්ධ කළේය.

'ඔව්. මගේ බස්‌ එකේ කොළඹ ඉඳලම ආපු මනුස්‌සයා. යන බස්‌ එකෙන් දඩ බඩ ගලා බැස්‌සා. අයින් වෙන්න ඉඩක්‌ නෑ. මම දැක්‌කෙත් නෑ පස්‌ස රෝදයට කකුල ගියා. බස්‌ එක නතර කරනකොට වෙන්න තියෙන හරිය වෙලා...' කොළඹ රත්නපුර බස්‌ රථ රියෑදුරකු වන ධම්මික තවමත් ඒ අනතුරු ගැන කම්පා වන්නේය.

බස්‌ නැවතුම්පොළට බස්‌ රථ ඇතුළු කරන ආකාරය දෙස අපි මොහොතක්‌ බලා සිටිමු. රියෑදුරන් කියන කතාව සැබෑය. වංගුවක්‌ සහිත කඳු ගැටය මතින් බස්‌ රථය නැවතුම්පළට ඇතුළු කිරීම ද අතිශය අසීරු කාර්යකි. එහෙයින් ඇතැම් බස්‌ රථවල සිටින මගීන්ව නැවතුම්පළට ඇතුළු කිරීමට පෙර බස්‌ රථවලින් බස්‌සවන අයුරුද අපට පෙනිණි. එමෙන්ම බස්‌ නැවතුම්පළට බස්‌ රථ ඇතුළු කරන පිවිසුම් දොරටුව ද පටුය. මගී පර්යන්ත අතරින් මගීන් මාරු වන්නේ ධාවනය වන බස්‌ අතරින්ය. එය ද අතිශය අවදානම් ගමනකි.

'බස්‌ ස්‌ටෑන්ඩ් එක හදපු දවස්‌වල වහළට වැහි පීලි දාලා තිබුණා. ඒ සේරම පිලී කැඩිලා ගියේ බස්‌වල වැදිලා. මුලින්ම වැහි පීල්ලක්‌ කැඩිලා ගියේ මගේ බස්‌ එකක වැදිලා. ඒ කාලේ මේ ස්‌ටෑන්ඩ් එක හැදුවේ පොඩි බස්‌වලට. දැන් පොඩි බස්‌ නෑ. සේරම ලොකු බස්‌. ඒත් දැන් ස්‌ටෑන්ඩ් එක අමුතුවෙන් හදන්න බෑ. මේක හදන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ණයත් තවම ගෙවනවා. ආරංචිය හැටියට 2024 අවුරුද්ද වෙනකම් ඒ ණය ගෙවන්න වෙනවා. අපි කියන්නේ මැද පර්යන්ත ඉවත් කරලා බස්‌ ටික හරහට ගහන්න කියලා. එතකොට මේ ප්‍රශ්නය ඉවරයි. මගීන්ට ඉදිරියෙන් ඇවිත් තමන්ගේ බස්‌ එක තෝර ගන්න පුළුවන්. අපි ඔය ප්ලෑන් එක යෝජනාවක්‌ හැටියට නගර සභාවට ඉදිරිපත් කළා. ඒත් වැඩක්‌ වුණේ නෑ. බස්‌වලට හානි වුණොත් හදාගන්න පුළුවන්. අනතුරුවලින් මිනිස්‌සුන්ට වෙන හානිය සල්ලිවලින් මිල කරන්න බෑ... දවසක්‌ බස්‌ එකක්‌ ස්‌ටෑන්ඩ් එකට දානකොට බස්‌ එකේ හිටපු ගැහැනු ළමයෙක්‌ව වැටිලා ඒ බස්‌ එකේම පස්‌ස රෝදයට යට වුණා. බලනකොට ඉස්‌කෝලේ ළමයෙක්‌. ඒ වේලාවේ මම කෑගහලා පාරේ යන වෑන් එකක්‌ නතර කරගෙන ඉස්‌පිරිතාලේට අරන් ගියා. ළමයගේ දකුණු අත රෝදයට යට වෙලා තිබුණේ. ළමයාව බලලා දොස්‌තරවරු කිව්වා අත කපන්න වෙනවා කියලා. මම කෑගහලා කිව්වා 'ඩොක්‌ටර් අත කපන්න එපා. බැරි නම් කියන්න කොළඹට හරි අරගෙන යන්නම් කියලා. පස්‌සේ ඒ ඩොක්‌ටර් පැහැදිලි කරලා කිව්වා දැන්ම අත කපලා ඉවත් කළේ නැත්නම් ළමයාගේ ජීවිතයත් අනතුරේ කියලා. ඒ ළමයාගේ අත කැපුවා. දකුණු අත නෑ කියන්නේ ඉවරෙට ඉවරයිනේ. ගැහැනු ළමයෙක්‌ට එහෙම වෙනවා කියන්නේ මොන කතාද... මේ තරම් අනතුරු වන බස්‌ ස්‌ටෑන්ඩ් එකක්‌ මේ රටේ වෙන කොහේවත් නැතුව ඇති. ඒ වගේ සිද්ධි මේ බස්‌ ස්‌ටෑන්ඩ් එකේ තව ඕන තරම් තියෙනවා...' රත්නපුර දිස්‌ත්‍රික්‌ බස්‌ සංගමයේ ප්‍රධාන ලේකම් නිලංග ජයසිංහ රත්නපුර බස්‌ නැවතුම්පළේ අඩුපාඩු ගැන තවත් බොහෝ දේ අපට විස්‌තර කළේය. 

රත්නපුරය බස්‌ නැවතුම්පළෙන් දිනකට බස්‌ හාරසීය පනහක්‌, පන්සියක්‌ පමණ ධාවනය වේ. එමෙන්ම දිනකට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා මගීන් තිස්‌ දහසක්‌ පමණ බස්‌ නැවතුම්පළට එන බව ද වාර්තා වන්නේය. බස්‌ නැවතුම්පළට ඇතුළු වන සෑම බස්‌ රථයක්‌ම දිනකට නගර සභාවට රුපියල් පනහක මුදලක්‌ ගෙවනු ලැබේ. බස්‌ නැවතුම්පළේ තිබෙන වැසිකිළියේ දිනක ආදායම රුපියල් දහ දහසකට වැඩිය. මේ සියලු ආදායම එකතු වන්නේ නගර සභාවටය. එහෙත් මගීන්ට, බස්‌ රථ රියෑදුරන්ට සහ කොන්දොස්‌තර-වරුන්ට කිසිදු සෙතක්‌ සිදු වී නැත. මගීන්ගේ පීපාසය සංසිඳුවා ගැනීමට බස්‌ නැවතුම්පොළටම ඇත්තේ එක ජල කරාමයක්‌ පමණි.

පසුගිය කාලය පුරාම අපට අසන්නට, දකින්නට ලැබුණේ රත්නපුරය බස්‌ නැවතුම්පළ වැනි ව්‍යාපෘතිය. එවැනි ව්‍යාපෘතිවල කෙරුවාව 'සුදු අලි' ලෙස රට හැම තැනින්ම දැන් ඉස්‌ මතු වී පෙනේ. මේ නාස්‌තිකාර ව්‍යාපෘතිවලට වියදම් කර ඇත්තේ රටේ සල්ලි නොව, විදේශීයවලින් ණයට ගත්ත මුදල්ය. රටේ සෑම පුරවැසියකුම එකී ණයවල කොටස්‌කාරයෙකි. හෙට උපදින දරුවා පවා ණයකාරයෙකි. තවදුරටත් ණයකාරයෙක්‌ වෙනවාද...? කසේරුව ශක්‌තිමත්, ණය නැති රටක පුරවැසියෙක්‌ වෙනවාද කියා තීරණය කළ යුත්තේ ඔබමය.

රත්නපුරය බස්‌ නැවතුම්පොළ මර උගුලක්‌ වුවද, මරු වැලේ නොවැටී තමන්ගේ ගමන යැමට මගීන් ද මීට වඩා සැලකිලිමත් විය යුතුය. තමන්ගේ ආරක්‍ෂාව තමා සතුය. වෙන කිසිවක්‌ අවැසි නැත.

තරංග රත්නවීර
ඡායාරූප - හසිත ඉන්දික

Post a Comment

0 Comments