දෙලොවක්‌ අතර තනිවූ සුමනා


ඔවුන් දෙදෙනාම ඉතාලියට ගියේ රැකියාවක්‌ කරන්නටය. අපේ රටේ රැකියාවක්‌ කරන්නට ඉඩකඩ ලැබුණත් ඇතැමුන්ට තමන්ගේ සුදුසුකම් අනුව හෝ කැමැත්ත අනුව රැකියාවක්‌ නොලැබුණහොත් ඔවුන් ඊට අකමැතිය. පිටරට ලැබෙන රැකියාව කුමක්‌ වුවත් අප එය ඉහළින් පිළිගන්නේ එරට අපට හිතවත් නෑදැ මිතුරන් නොමැති නිසා සිතට කරදරයක්‌ ඇති නොවන නිසාය.

අපි මේ යුවළට සුමනා හා පද්මේ කියමු. සුමනත් පද්මෙත් ඉතාලියට ගොස්‌ රැකියාව කළේ ඔවුන්ට දාව උපදින දරුවන්ට හොඳ අනාගතයක්‌ හදා දෙන්නටය. හැම අම්මා තාත්තා කෙනෙකුට මෙන්ම මේ යුවළටද එවැනි හැඟීමක්‌ ඇති නොවූවා විය නොහැක. දෙදෙනාම ඉතාලියේ රැකියාව කර වසර දෙකකට පසු ලංකාවට ආවේ අතේ තියෙන මුදලින් ජීවිතය පිළිවෙළක්‌ කර ගන්නටය.

එහෙම ආව ගමනේදී ඔවුන් තමන්ගේ අනාගතය සැලසුම් කර කටයුතු කරගෙන ගියේ සතුටින්ය.

"මේ ආයේ ඔයා රට රැකියාවට යන්න ඕනෙ නෑ. මම යන්නම් එතකොට ඔයාට මෙහෙ ඉඳලා දරුවන්ගේ වැඩකටයුතු ගැනත් බලාගන්න පුළුවන්නෙ"

සුමනා හා පද්මේ එදා එසේ කථිකාකරගත්තේ දරුවන්ගේ අනාගතය ශක්‌තිමත් කිරීමට මව දරුවන් ළඟ සිටිය යුතු නිසා විය හැකිය.

සුමනා මහනුවර පිළිමතලාවේ නිවසේ දරුවන් සමඟ තනිවෙද්දී පද්මේ ආපසු දුරුරට ගියේ ඔවුන්ගේ සිහින ලෝකය යථාර්ථයක්‌ කර ගැනීමේ අධිෂ්ඨානයෙනි. සුමනා හා පද්මේ අතර ගැටලු මතබේද තිබුණත් ඒවා සාමාන්‍ය පවුල් ජීවිතයක දක්‌නට ලැබෙන සාමාන්‍ය ගැටලුවලට සීමාවිය.

එහෙත් දින සති මාස ගෙවී යද්දී සමාජයේ තරුණ මවුවරුන්ට ස්‌වාමියා ගෙන් ඈත්ව සිටින විට දැනෙන පාළුව කාන්සිය මෙන් සමාජයේ "වපර බැල්ම"ද සුමනාට පොදු වූවා විය හැකිය. ඇය කෙරෙහි අසල නිවෙසක තරුණයකුගේ සිත් තුළ "ආදරයක්‌" මෝදුවන්නට පටන් ගත්තේ සැමියා නැති කාන්සිය තරුණයාටද ඉවෙන් මෙන් දැනුණු නිසා විය හැකිය. මුලදී අයියා නංගී යනුවෙන් ආමන්ත්‍රණය කළ ඔවුන් ටිකෙන් ටික කතා බහ වැඩිවෙද්දී සහෝදරත්වයේ ආමන්ත්‍රණය වෙනුවට ආදරණීය ආමන්ත්‍රණයන්ට පුරුදු විය. ආදරණීය ආමන්ත්‍රණයන් සිත් කිතිකවමින් ගතද එක්‌තැන් කරන්නට සමත්වන්නේය.

කෙසේ වුවද සුමනාගේ සැමියා පද්මේටද මේ හුටපටය" දැන ගන්නට ලැබුණි. ඔහු මෙරටට පැමිණ සුමනාගෙන් ඒ ගැන විමසීය. පද්මේ ගැන සුමනා දන්නා නිසා ආදරයේ වරද තරුණයාට තල්ලු කර දැම්මේය. මේ නිසා තරුණයා විවිධ දෙස්‌ දෙවොල්වලට මෙන්ම කම්පාවටත් පාත්‍ර විය. විවිධ තර්ජන ගර්ජන අතරේ මරණ තර්ජනයද තිබූ බැවින් ඔහු එයින් මිදීමට කල්පනා කළේ විවාහක කාන්තාවක නිසා තමන් ජීවිතයට හානියක්‌ කර ගත නොයුතු නිසාය.

ඔහුද විදේශ රටකට යැමට සූදානම් වූයේ මේ සියලු කරදරවලින් මිදී නිදහස්‌ වූ සිතින් අතට කීයක්‌ හෝ හම්බ කරගෙන ඔහුටම සීමාවූ ලෝකයක සුන්දරත්වය අත්විඳින්නටය.

තරුණ සිතට දැනෙන විරහ වේදනාව අපායේ කටුඉඹුලේ නඟිද්දීවත් දැනෙන්නේ නැතැයි මගේ යහළුවකු කියනවා මම අසා තිබුනෙමි. ඒ ඔහු අපායේ ගිය අයෙකු නිසා නොව තහනම් ගහේ ගෙඩි කෑම සතුටක්‌ බව සිතුවට කටුඉඹුල තරම්ම සිතට වේදනා දෙන කාරණයක්‌ බව ඔහු අත්දැකීමෙන්ම දන්නා නිසා විය යුතුයි. විරහ වේදනාව ඊටත් වඩා දරාගත නොහැකි වේදනාවකි. ආදරයත් වෛරයත් අතර පරතරය කෙස්‌ගහක්‌ තරම් යෑයි කීවේ නිකම්ම නොවේ.

සුමනාටද ගෙදර ළඟ ඉලන්දාරියා රට යන බව දැනගන්නට ලැබුණි. එය ඇයට දරාගත නොහැකිවූවා විය හැක.

ඇගේ සිත විරහ වේදනාවට බර වී වෛරයක්‌ විය. ඇය සැමියාට කීවේ "මට අරයගෙන් තවමත් ටිකක්‌ කරදරයි" කියා විය හැකිය.

ඔහු නැවතත් මෙරටට පැමිණියේ සුමනාට ඇති කරදරය වළලා දමන්න සිතාගෙනය. ඒ අනුව කුලියට ගත් වාහනයක්‌ සමඟ පද්මේ, සුමනා හා මිතුරන් දෙදෙනකුද එක්‌ව සුමනාගේ ආදරණීය "හතුරා" පැහැර ගෙන නුවරඑළිය දෙසට වාහනය ධාවනය වූයේ සුමනාට කරදරයක්‌වූ ආදරය අවසන් කරන්නටය.

වාහනය රම්බොඩට ළංවෙද්දී තම තීන්දුවට සුදුසුම තැන එතැන බව සිතු සුමනාගේ ස්‌වාමියා හා යහලුවන් සහෝදරත්වය ආදරයකටත් ආදරය වෛරයකටත් හරවාගෙන දැස්‌ විවර කර බලා සිටින සුමනා ඉදිරියේදීම සුමනාගේ ආදරණීය "හතුරා" ගේ ගෙල කපා කන්දෙන් පහලට දැම්මේය. ඔවුන් සිතුවේ ප්‍රශ්නය එතැනින් නිමවූ බවය.

නමුත් තුවාලකරු මියගියේ නැත. ඔහු ගම්පොල රෝහලට ඇතුල් වූවේ සිද්ධිය ගැන පොලිසිය දැනුවත් කරය. පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත් නමුත් සුමනා අතුරුදන්වී ඇත. සහෝදරත්වය ආදරයකටත් ආදරය වෛරයකටත් පෙරළා ගත් සුමනාගේ සිත දැන් පශ්චාත්තාපව දොම්නසින් පිරී ඇතිවාට සැක නැත.

දරුවන්ගේ අනාගතය හදන්න සිහින මවන අපේ තරුණ දෙමාපියන් අවසානයේ දරුවන්ට උරුම කරන්නේ දුක, කඳුළ, වේදනාව හා අවමානය නොවේද?

ජසුරි

Post a Comment

0 Comments