ජීවිතය සිරගෙදරට බාරදුන් චංචලා


තරමක වත්පොහොසත් පවුලක දරුවන් සතර දෙනෙකි. පිරිමි දරුවන් තුන්දෙනෙක්‌ වූ එම පවුලේ එකම ගැහැනු දරුවා චංචලාය. පවුලේ බාලයා වූ නිසාම ඇයට දෙමාපියන්ගේ සහ සොහොයුරන් තුන්දෙනාගේ ආදරය, කරුණාව නොඅඩුව ලැබුණි. ඇයට කිසිම දෙයක අඩුපාඩුවක්‌ ඇතිවීමට ඔවුන් ඉඩ තැබුවේ නැත. ඇයට අවශ්‍ය හැම දෙයක්‌ම ඉල්ලන පරක්‌කුවෙන් ලබාදීමට ඔවුන් වගබලා ගත්හ. මේ නිසා ඇය තරමක හිතුවක්‌කාර ගති පැවතුම්වලින් යුතු විය.

කාලයත් සමඟ තරුණ වියට පා තැබූ රූමත් චංචලා වෙත තරුණයන්ගේ නෙත් සැර පහර වැදුණි. ඒ අතරින් වත්පොහොසත්කම් ඇති සුජිත් නම් වූ කඩවසම් තරුණයකුගේ අනඟ බැල්මේ හී සැර පහරින් ඇය උන්මාදයට පත්විය. පෞද්ගලික ආයතනයක උසස්‌ නිලයක්‌ දැරූ ඔහු සෙල්ලක්‌කාර තරුණයෙකි.

මේ කාලයේදී චංචලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි අවධියයි. ඇය ටිකෙන් ටික සුජිත්ගේ ඇසුරට ළං විය. ඉගෙනීමේ කටයුතු අතපසු විය. පෙම් බැඳුම වැඩි විය. මල්වතු හා සිනමාහල් තුළ ඔවුන්ගේ ලෝකය ඉදි විය. සමහර දිනවල ඇය පාසල ඇරී නිවසට ඒමට ප්‍රමාද වන්නේය. ඒ ගැන මව ඇසූවිට ඇය පවසන්නේ විභාගය ළඟ නිසා පාසලෙන් පසු වැඩිපුර පන්තියක්‌ පවත්වන බවය.

වෙනදා පාසල ඇරී නිවසට එන චංචලා තම මව අතින් කවා ගැනීමට ප්‍රිය කරයි. කෑමෙන් පසු මව අසල රැඳෙමින් පාසලේදී සිදුවූ බොහෝ දේවල් ඇය හා පවසයි. ඒවා ඇසීමට ඇගේ මවද ප්‍රියතාවයක්‌ දක්‌වයි.

සුජිත්ගේ ඇසුරට ලංවූ පසු ඒ සියල්ල ඇගෙන් ගිලිහුණි. දැන් ඇයට අවශ්‍යව ඇත්තේ නිවසේ සිටනවිට තම කාමරයට වී තනිවීමටය. චංචලාගේ මේ වෙනස්‌වීම ගැන සැකයක්‌ ඇති කරගත් දෙමාපියන්, ඒ ගැන රහසේ සොයා බැලීමට ඇගේ ලොකු අයියාට පැවරූහ. ඔහුගේ මිතුරෙකුගේ මාර්ගයෙන් චංචලාගේත්, සුජිත්ගේත් ඇසුර පිළිබඳව දැනගැනීමට ලැබුණි. එපමණක්‌ නොව සුජිත්ගේ ජීවිතයේ ඇති කළු පැල්ලම් ගැනද දැනගැනීමට හැකිවිය.

ඒ සමඟම ඇය වටා වැට කඩුලු, තහංචි පැනවීය. වැඩි කලක්‌ ගතවීමට පෙර චංචලා ලැබුණ අවස්‌ථාවක ගෙදරට හොරා පැනගොස්‌ සුජිත් සමඟ විවාහ විය. ටික කලක්‌ යනතුරු ඔවුන් දෙදෙනා ආදරයෙන් ජීවත් විය. මේ කාලයේ ඇය දරු සම්පතක්‌ ලැබීමට සූදානම් විය. ඔවුන් දෙදෙනාට එය, ඉතාමත් සතුටට හේතුවක්‌ විය. ඒ සතුට පැවතියේ සුළු කලකි. චංචලාගේ දරු ප්‍රසූතියෙන් පසු සුජිත්ගේ ගති පැවතුම් ටිකෙන්, ටික වෙනස්‌ වන්නට විය.

වෙනදා ඇය නොමැතිව කිසිම ගමනක්‌ නොගිය ඔහු තනිවම උත්සව, විනෝද ගමන්, ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගිවන්නට විය. ඔහු නිතර, නිතර රෑ බෝ වී නිවසට පැමිණීම පුරුද්දක්‌ කොට ගත්තේය. මේ ගැන විමසූ විට ඔහු පවසා සිටියේ රාජකාරි කටයුතු නිසා එසේ වන බවයි. ගෙදර දොර අග හිඟකම් ටිකෙන් ටික වැඩි විය. චංචලා මේ ගැන මැසිවිලි නගද්දී සුජිත්ට ඇයව නුරුස්‌සනා තත්ත්වයට පත්විය.

මේ අතර ඔහු ටිකෙන්, ටික මත් පැන් පානයටත් යොමු විය. දිනක්‌ හොඳටම වෙරිවී ගෙදර පැමිණි සුජිත් නින්දෙන් දෙඩූ වදන් ඇසූ චංචලා මහත් වේදනාවට පත්විය. තනිව හඬා වැටුණ ඇය පසුව මෙසේ සිතුවාය.

"සුජිත් නින්දෙන් 'ඩාලිං ග්‍රේස්‌' යනුවෙන් කියෙව්වේ කාටද? මාවත් දරුවාත් මහ මගට ඇද දැමීමට අපේ කැදැල්ලට ආ ඒ ගැහැනිය කවුද?" මේ කිසිවක්‌ තෝරා, බේරා ගැනීමට බැරිව මැදියම් රැය අඬමින්, සුසුම් හෙලමින් ගත කළ ඇය අවසානයේ මෙසේ සිතුවාය.

"අඬලා, දොඩලා ප්‍රශ්න විස¹ගන්න බැහැ. කලබල නොවී මේ ගැන රහසේ සොයාගන්න ඕනේ".

නිදි යහනින් නැගිටගත් චංචලා ඔහුගේ කලිසම් සාක්‌කු හා "බී්‍රµa" කේසයේ ඇති දැ පිළිබඳව විමසිල්ලෙන් බලන්නට විය. ඒ අතර තිබුණ "ඩයරිය" පිටුවෙන්, පිටුව පෙරලා බලද්දී "ජී. ඩයස්‌" නමින් වූ දුරකථන අංකයක්‌ දැක, ඒ පිළිබඳව සැක පහළ විය. ඇය දන්නා තරමින් "ඩයස්‌" නමින් ඔහුට කිසිම මිතුරෙකු නැත. "ජී" යනු ග්‍රේස්‌ විය නොහැකිද? කෙසේ වෙතත් ඒ ගැන පසුව සොයා බැලීමේ අරමුණෙන් සියල්ල තිබුණ ආකාරයට සකසා එම අංකය ලියා තබා ඇය නිදා ගත්තාය.

පසුදින සිරිත් පරිදි සුජිත් කාර්යාලයට ගිය පසු ඇය තමාගේ මිතුරියකගේ උදව්වෙන් මේ සියල්ල සොයා බැලීය. ඇය සිතූ ආකාරයටම සියලුම දේවල් දැනගැනීමට ලැබුණි. පෞද්ගලික ආයතනයක සේවය කරනා ග්‍රේස්‌ ඩයස්‌ නම් වූ වැන්දඹු කාන්තාවක්‌ සමඟ කලක සිට ඔහු සම්බන්ධකම් පවත්වයි. ග්‍රේස්‌ගේ කාර්යාලයේ අය සුජිත්ව දැන සිටියේ ඇගේ සැමියා ලෙසය. මේ සියලු දේවල් දැනගත් පසු චංචලාට ඔහුව පිළිකුල් විය. එහෙත් තීරණයක්‌ ගැනීමට පෙර මේ ගැන සුජිත් සමඟ කතා කිරීමට ඇය සිතුවාය.

එදින වේලාසනින් ගෙදර පැමිණෙන ලෙස දැන්වීමට ඇය ඔහුගේ කාර්යාලයට දුරකථන ඇමතුමක්‌ දුන්නාය. ඔහු එහි නොමැති බව දැනගත් චංචලා දරුවාද රැගෙන සුජිත්ගේ කාර්යාලයට ගියාය. එහිදී ඇයට දැනගැනීමට ලැබුණේ බිරිඳට අසනීප බව පවසමින් ඔහු දින ගණන් කාර්යාලයට නොඑන බවත්, එහි කීපදෙනකුටම ණයවී ඇති බවත්ය. එසේම කාර්යාලයෙන් දෙන සියලුම ණය පහසුකම්ද ඔහු ලබාගෙන ඇත.

එතැනින් සියලුම විස්‌තර දැනගත් චංචලා ඊළඟට ග්‍රේස්‌ගේ කාර්යාලය වෙත පිය නැගීය. ඇයද එහි නැත. ඉන්පසු ඇගේ නවාතැනේ ලිපිනය ලබාගත් ඇය එහි යනවිට සුජිත් ද එහි විය.

ඔහුව දුටු චංචලාගේ ඉහමොළ රත්විය. ඇය දෙස්‌ දෙවොල් දෙමින් කෑගසන්නට විය. සුජිත් හා ග්‍රේස්‌ ඇයට පහර දෙන්නට විය. බියපත් දරුවා කෑ මොරදී හඬනු ඇසී අහල, පහල අය පැමිණ ඇයව බේරා ගත්හ. දෙමාපියන් හා සොහොයුරන් අතර සුරතලියක්‌ ලෙස හැදුණ, වැඩුණ ඇයට ඒ දිනවල සුජිත්ව පෙනුණේ තමාගේ එකම ගැලවුම්කරුවා ලෙසය. දෙමාපියන්ගෙන් නියපිටින් පහරක්‌ නොකෑ ඇය මෙවැනි තිරිසනෙක්‌ සමඟ යුගදිවි ගමන් ඇරඹූයේ මෙසේ දුක්‌, කම්කටොලුවලට මුහුණ පෑමටද? ඇයට තම ජීවිතය පවා එපා විය.

ඒත් තම දරුවා වෙනුවෙන් ඇය ජීවත් විය යුතුය. හය හතර නොදත් දරුවාට දුකක්‌ නොදී හදා වඩා ගැනීමට නම් මුදල් තිබිය යුතුය. මැද පෙරදිග රටකට ගොස්‌ රැකියාවක්‌ කර යහමින් මුදල් සොයාගෙන ඒමට ඇය අදිටන් කර ගත්තාය. එතැන් සිට චංචලා පුවත්පත්වල පළවන රැකියා ඒජන්සිවල ලිපිනයන් සොය, සොයා ගියාය. මෙසේ ගිය එක්‌ අවස්‌ථාවකදී මේ රටේ සිටම යහමින් මුදල් සොයා ගැනීමට හැකි රැකියාවක්‌ ලැබුණි. ඒ හේතුවෙන් ඇය ඒජන්සි මුදලාලිගේ අනියම් බිරිඳ බවට පත්විය. ඒ විශ්වාසය මත ඔහු ළඟ තිබුණ "හොර සීල්" ආදිය ඇගේ බාරයට පත්විය.

තරමක්‌ රූමත් වූ චංචලාට එම මුදලාලි ආදරයෙන්, කරුණාවෙන් සැලකුවා පමණක්‌ නොව ඇගේ දරුවාට හැම සැප සම්පතක්‌ම දීමටද ඔහු වගබලා ගත්තේය.

කාලය ගෙවී යද්දී ආරක්‍ෂක අංශයට ලැබුණ ඔත්තුවක්‌ අනුව ඒජන්සිය හදිසියේ වටලන ලදී. ඒ අතර ඇය සිටි නිවසද පරීක්‍ෂාවට භාජන විය. එහි ප්‍රතිඵලය වූයේ, රාජ්‍ය විරෝධී භාණ්‌ඩ ළඟ තබාගැනීමේ වරදට ඇයට සිරගත වීමට සිදුවීමය.

පසු විපරම

දැන් අපි ඇයව මෙම ප්‍රපාතයට ඇද දැමීමට මූලික වූ, ඇය තම පණටත් වඩා ආදරය කළ සුජිත් නමැති නරුමයා දෙසට සිත් යොමු කරමු. ඔහු හා සම්බන්ධකම් පැවැත්වූ අවස්‌ථාවාදී ගැහැනියක්‌ වූ ග්‍රේස්‌, සුජිත්ගේ මුදල් පසුම්බිය හිස්‌ වෙද්දී ඔහුට "පල නොකියා පළා බෙදන්නට" විය. දිනක්‌ ඇය වෙනත් අයෙකු සමඟ සිටියදී ඔහුට අසුවිය. ඒ මොහොතේ ඇතිවූ බහින්බස්‌ වීම දුරදිග ගොස්‌ සුජීව අතින් ඇය මරණයට පත්විය. ඒ හේතුවෙන් ඔහුටද සිරගතවීමට සිදුවිය.

මාලා වජිරා පෙරේරා

Post a Comment

0 Comments