හදිසි මිතුරියගේ ගැටයට හසුවූ චාන්දනී


ඇගේ නම චාන්දනීය. කඹුරුපිටිය ගමේ පදිංචිව සිටි ඇයට අක්‌කා කෙනෙක්‌ සහ මල්ලිලා දෙදෙනකු වූහ. අක්‌කා විවාහ වී ඈත පළාතක ජීවත් වෙයි.

ඇගේ පියා රැකියාව වශයෙන් කළේ ගොවිතැන් කටයුතුය. එයින් ලැබුණ ආදායම තම පවුලේ නඩත්තුව සඳහා සෑහුණි. කලක්‌ ගතවෙද්දී චාන්දනීගේ පියා හදිසියේ රෝගාතුර විය. දිනෙන් දින පවුලේ අගහිඟකම් වැඩි විය. බොහෝ දිනවල ළිපේ රස්‌නයට වඩා ඇත්තේ සිසිලසය. ළිපේ ගින්න ඔවුන්ගේ කුස තුළට ඇතුළු වී ඇතිසේය.

ඔත්පලව ඇඳ මත වැතිර සිටින තම පියාගේ කෙඳිරිලි හඬ ඉවසිය නොහැකිය. මල්ලිලා දෙදෙනාගේ පාසල් ගමන අතරමග නතර වන තත්ත්වයක්‌ උද්ගතව ඇත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙ  උසස්‌ ලෙස සමත්වී සිටි චාන්දනීට, මොනතරම් උත්සාහ කළත් රැකියාවක්‌ සොයා ගැනීමට නොහැකි විය. 

රැකියාවක්‌ සොයා ගැනීමට දැමූ ඉල්ලුම්පත් 'ගඟට කැපූ ඉණි මෙන්' නිෂ්ඵල විය.

මැදපෙරදිග රටකටවත් යැමට ඇගේ සිත ඇයට බලකරන්නට විය. එයද සිතන තරම් පහසු කාරියක්‌ නොවන බව ඇයට වැටහුණි. ඒ සඳහා 'ඒජන්සියකට' මුදල් බැඳිය යුතුය.

මේ අතර බෙහෙතක්‌, හේතක්‌ කර ගැනීමටවත් නොහැකි තත්ත්වයක්‌ උදාවීමෙන් පියාගේ අසනීපය දිනෙන් දින උත්සන්න විය.

ඔවුන් සතුව ඇති එකම වස්‌තුව වන්නේ තමන් පදිංචි නිවස පමණකි. එය උකස්‌ කර අවශ්‍ය මුදල් ලබාගෙන මැදපෙරදිග රටකට යැමට චාන්දනී තීරණය කළාය. ඒ සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලැබුණි. හොඳ තැනක රැකියාව ලැබුණ විට නිවස බේරාගැනීමට අපහසු නොවන බව සියලු දෙනාගේ ඒකමතික තීරණය විය.

මේ අනුව කලට වේලාවට අවශ්‍ය සියලුම දේ සම්පාදනය කරගැනීමට හැකි විය. නියමිත දින චාන්දනී දෙමාපියන්ගේ සහ සොහොයුරන්ගේ නෙත් කඳුළින් තෙත්වෙද්දී ඔවුන්ගෙන් සමුගෙන දහසක්‌ බලාපොරොත්තු පොදි බැඳගෙන මැදපෙරදිග බලා පිටත් වූවාය.

චාන්දනී බලාපොරොත්තු වූ ආකාරයටම කරදරයක්‌ නැති තැනක රැකියාව ලැබිණි. මේ අනුව ඇය මාස්‌පතා තමන්ගේ වේතනය ගෙරදට එවීමට අමතක නොකළාය. ඒ නිසා මාස කීපයකින්ම උකසට තැබූ නිවස ද බේරා ගැනීමට හැකි විය. එපමණක්‌ ද නොව තම පියාගේ අසනීපයට කලට වේලාවට නිසි ප්‍රතිකාර කිරීමට හැකි වූ නිසා ඔහුගේ ලෙඩ සුව විය.

චාන්දනී තම නිවසට එව් හැම ලිපියකම ලියා එව්වේ මල්ලිලාගේ ඉගෙනීමේ කටයුතු හොඳින් කරගන්නා ලෙසය. ඒ අනුව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කෙරුණි. චාන්දනීගේ දහබිඳු මත පවුල කලඑළි විය.

ජීවිතයේ විඳි සියලුම කරදර, කම්කටොලු, දුක්‌ වේදනා අවසන් වී යයි සිතා ඇගේ පවුලේ සියලු දෙනා සැනසුම් සුසුම් හෙලූහ.

චාන්දනී වසර දෙකකට පසු මව් රට බලා ඒමට සූදානම්ව තම පවුලේ අයට අවශ්‍ය ඇඳුම්, පැළඳුම්, බඩුබාහිරාදිය එක්‌රැස්‌ කර ගත්තාය. තම මල්ලිලා දෙදෙනා හැම විටම ලියා එව් පරිදි කැසට්‌, විදුලි උපකරණ සූදානම් කරගත් ඇය නියමිත දින තම මව් රට බලා ඒමට පිටත් වූවාය.

ඇය ගෙන එන ඇඳුම්, පැළඳුම් බඩුබාහිරාදිය බලා දෙමාපියන් සොහොයුරන් සතුටින් ඉපිල ගොස්‌ ඇගෙන් නොයකුත් ප්‍රශ්න අසන අයුරුත් ඇය ඒවාට පිළිතුරු සපයන අයුරුත් මැවී පෙනෙන්නට විය. චාන්දනී ලංකාවට එන බව අසා විවාහ වී ඈත ගමක ජීවත් වන තම අක්‌කා ඇගේ පුංචි දරු දෙදෙනා ද සමඟ තම නිවසට පැමිණ ඇතැයි ඇයට සිතුණි. තමන් දරු දෙදෙනාට රැගෙන ආ සෙල්ලම් බඩු තුරුලු කරගෙන අසන නොයකුත් ප්‍රශ්නවලට තමන් පිළිතුරු දෙන අයුරු ඇයට සිහිපත් වේ.

වසර දෙකකට පසු ගමට පැමිණි තමන්ව බැලීමට එන අහල පහල අය එක්‌රොක්‌වී අසන ප්‍රශ්නවලට තමන් පිළිතුරු සපයන අයුරු සිහින මවමින් චාන්දනී සිතින් ඈත ලොවකට පියාඹා ගියාය.

මේ අතර ශ්‍රී ලංකාව බලා එන මීගමුව පැත්තේ කාන්තාවක්‌ ගුවන්තොටුපළේදී චාන්දනීට හඳුනා ගැනීමට හැකි විය. කතාබහින් ඔවුන් දෙදෙනා බොහෝ සෙයින් කුළුපග විය.

තමන් ළඟ ඇති බඩු බර වැඩි බවත් ඒ වෙනුවෙන් වැඩිපුර ගෙවීමට සිදුවන නිසා ශ්‍රී ලංකාවේදී ගන්නා තුරු තබාගැනීමට එම කාන්තාව විසින් පාර්සලයක්‌ දෙන ලදී. එම කාන්තාවගේ කතාබහට රැවටුණ චාන්දනී එම පාර්සලය තමන් බාරයේ තබා ගත්තාය.

ගුවන් යානය ශ්‍රී ලංකාවට සැපත් විය. තම මව්බිමට පා තැබූ මොහොතේ සිට නිවසට යන තුරු චාන්දනීට ඉස්‌පාසුවක්‌ නැත. ගුවන්තොටුපළෙන් පිටතට යැමට පෙර එහි ආරක්‍ෂක අංශයේ පරීක්‍ෂාවට භාජනය විය යුතුය. පරීක්‍ෂාවෙන් පසු තමන් හඳුනාගත් කාන්තාව සමඟ චාන්දනීවද විශේෂ අංශයකට කැඳවාගෙන ගොස්‌ ප්‍රශ්න කරන ලදී. ගුවන්තොටුපළේදී හඳුනාගත් කාන්තාව මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ ඇත. තමන් ළඟ ඇති බඩු බර වැඩි බව පවසා ලංකාවේදී ගන්නා තුරු තියාගැනීමට ඒම කාන්තාව චාන්දනීට දෙන ලද පාර්සලයේ මත්ද්‍රව්‍ය විය. ආරක්‍ෂක අංශයෙන් ඒ බව පවසද්දී ඇය උඩ ගොස්‌ බිම වැටිණි. ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ගේ දෙපා මුල වැටී ඇය හඬා වැටුණාය. එම පාර්සලයේ ඇති දැ පිළිබඳව ඇය කිසිවක්‌ නොදැන සිටි බව පුන පුනා කීවාය. ඒත් කළ යුතු කිසිවක්‌ නැත. එය නීතියට භාරය.

දහසකුත් එකක්‌ ප්‍රාර්ථනා හදවත පුරවාගෙන වසර දෙකකට පසු තම මව් රටට පැමිණි චාන්දනීට සිදුවූයේ ඇය සිහිනෙන්වත් නොසිතූ දෙයකි. මත්ද්‍රව්‍ය ලංකාවට ගෙන ඒමේ චෝදනාව මත ඇයවද රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. ඇගේ නිදොස්‌ බව දන්නේ උඩ සිටිනා දෙවියන් පමණකි. අගහිඟකම් නමැති රකුසා පලවාහැර හිස එසවූ පවුලක්‌ චාන්දනීගේ නොදැනුවත්කම නිසා මහා ප්‍රපාතයකට ඇදවැටුණි.

මේ සිදුවීම් මාලාවේ හෙළිවූ සඳහන් නොකර බැරි කරුණක්‌ ඇත. චාන්දනී සමඟ කුලුපගවූ කාන්තාව රැගෙන ආ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය මරදානේ පදිංචිකරුවකුට ගෙන ගොස්‌ දීමට ඊට සම්බන්ධ වූ කාන්තාවට බාරදෙන ලද්දේ මැදපෙරදිග සිටින ඒජන්සියට සම්බන්ධ කෙනකු විසින් බව හෙළිවිය.

පසුවිපරම - මේ කතාව කියවූ ඔබ යම්කිසි දිනක මොනයම් කටයුත්තක්‌ සඳහා පිටරටකට යන හෝ ආපසු එන අවස්‌ථාවක හිතවතකු දෙන පාර්සල් පිළිබඳව සැලකිලිමත් වන්න. ඒවා තුළ ඇති දේ පිළිබඳව හරි අවබෝධයක්‌ නොමැතිව හරි හැටි සොයා නොබලා ඒවා ගෙනගොස්‌ දීමට බාර නොගන්න. ඒ පිළිබඳව ඔබ දැනුවත් වන්න.

සත්‍ය කතාවකි. මෙහි සියලු නම් ගම් මනඃකල්පිතය

මාලා වජිරා පෙරේරා

Post a Comment

0 Comments