දෙවියන් ඔබට දුන් මිහිරි තෑග්ග


යෞවනය ජීවිතයට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්‌ බඳු මිහිරි දෙයක්‌. ඒක මනුෂ්‍ය ජීවිතයේ මනරම් නවාතැන්පළක්‌. ඒත් තරුණකම නම් හැමදාම පවතින එකක්‌ නම් නෙවි.හරියට දුම්රිය එනතුරු බොහොම ප්‍රසන්න දුම්රිය විවේකාගාරයක නැවතිලා ඉන්නව වගේ. දුම්රිය ආ සැණකින් එයට ගොඩවෙලා පිටත් වෙලා යන්න වෙනවා.

ඒත් මේ ගැන හිතලා යෞවනය හරිහැටි භුක්‌ති විඳින්නේ කීයෙන් කී දෙනාද? ඇතැම් අය නිරපරාදේ විනාශ කර ගන්නව. තවත් අය එය නිවැරදිව පරිහරණය කරන්නෙ නැහැ. මෙසේ සිදුවන්නේ තරුණකම සමඟ එන එක්‌ අහිතකර සාධකයක්‌ නිසා වෙන්න ඕන. ඒකට කියන්නෙ තරුණ මදය කියලා. ඒක විනාශයට මුල වන බව තරුණකම නිසාම වැටහෙන්නෙ නැහැ.

මේ ගැන නිවැරැදි කල්පනාවක්‌ අපේ හුඟක්‌ තරුණ අයට නැති බවයි දැන් වටපිටාවෙන් ඇසෙන කතාවලින් ඒත්තු යන්නෙ. ඉතා ඉක්‌මනින් ගෙවී යන අගනා එකක්‌ වුණාට බොහොම සිල්ලර විදියටයි තරුණකම ගැන තරුණ අය සිතන්නෙ.

මා දන්නා දකුණේ එක්‌ තරුණ පාසල් සිසුවෙකුට ජීවිතෙන් සමුගන්න සිදුවුණේ ඒ විදියට ජීවිතය ගැන සිතූ නිසයි. එයා ඒ පවුලේ හිටිය එකම පුතා. උසස්‌ පෙළට ලියලයි හිsටියේ. මිනිහට ටිකක්‌ යතුරුපැදි උන්මාදයක්‌ වැළඳිලා තිබුණා. මිනිහට ඕන වුණා. මෝටර් බයිසිකලයක නැඟිලා පාර දිගේ යන්න. ගෙදර යතුරුපැදියක්‌ තිබුණත් තාත්තා වැඩිය ඒක අතපත ගානවට කැමැති වුණේ නැහැ.

ඔහොම ඉන්න කොට තමයි එයාට ඒ අවස්‌ථාව උදා වුණේ. එදා එයාගේ දෙමවුපියන්ට ඈත ගමනක්‌ යන්න සිදුවුණා. ඒත් යන්න කලින් යතුරුපැදිය යතුරුදාලයි තාත්ත ගියේ. එහෙම කළේ තරහකට නෙවි ආදරය වැඩිකමට.

මිනිහ අතහැරියෙ නැහැ. ලැබුණ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගන්න සිතා ගත්තා. අල්ලපු ගෙදර යාළුවෙකු ළඟÊතිබුණු යතුරුපැදිය ඉල්ලගත්ත. වීරය වගේ නගරයට ගියා. ඒත් වැඩිදුරක්‌ එයාට යන්න ලැබුණෙ නැහැ. ගිය වේගය පාලනය කර ගන්න බැරුව ගිහින් පාර අයිනෙ තිබුණ විදුලි පහන් කණුවක වැදිල විසි වෙලා වැටුණ.

ඔහු තමාගේ තරුණ ජීවිතය පොඩි පට්‌ටම් කරගෙන ලේ ගොඩක්‌ මත වැතිර සිටි හැටි දැකපු අය අදත් ඒ ගැන කතා කරන්නෙ වේදනාවෙන්.

යතුරුපැදිය හා තරුණ ජවය අතර ඇත්තෙ මනා සාදර සම්බන්ධයක්‌. ඒත් ඒ තරමටම එය මාරක බව හැම තරුණයෙකුම සිතිය යුතු ප්‍රබල කරුණක්‌. මෙහි ඇති සංවේගාත්මක කරුණ නම් ඇතැම් දෙමාපියන් නොදැනුවත්වම වුවත් තම දරුවන් මෙවැනි බිහිසුණු අනතුරුවලට ගොදුරු කිරීමට අනියම් ලෙස හවුල් වීමයි.

ජවාධික යතුරුපැදියක්‌ මතට පැන නැඟී විදුලි වේගයෙන් යමින් තම බාල ගණයේ වීරකම පෙන්වීමට, තම තරුණ ජීවිතය හිලව් කිරීමට සිතීම පෙන්නුම් කරන්නෙ තම අඳ බාල බව මිස වෙන කුමක්‌ද?

උපකාරක පන්තියකට යන බව අඟවා වැවක නාන්නට ගිය තරුණ දරුවන් දෙදෙනකු වැවේ ගිලී මියගිය පුවත මාධ්‍ය වාර්තා කොට වැඩි කලක්‌ ගත වී නැහැ. ජලයෙහි ගැඹුර ගැන අබටැක්‌ තරම්වත් දැනුමක්‌ නැතිව මෙවැනි මාරකවලට පැනීමට තරුණන් පෙළඹෙන්නේ තරුණ මදය නිසාද එසේ නැත්නම් තරුණ ජීවිතයක අගය ගැන නොදත් අනුවණකම නිසා දැයි විමසා බැලීම වටනේය.

තරුණයන් බිලි ගන්නා තවත් උවදුරක්‌ වන්නේ ඇතැම් විද්යුත් මාධ්‍යයන් විසින් අදූරදර්ශී ලෙස මෙහෙයවනු ලබන රාත්‍රී සංගීත සැණකෙළිය. සත්‍ය වශයෙන් මේවාට සංගීත යෑයි කිව නොහැකිය. ඒවා බජව් සාඡ්ජය.

තම නාළිකාව පමණක්‌ සිතමින් ඇතැම් විට මුදල් සොයා ගැනීමේ අරමුණ ඇතුව සංවිධානය කරනු ලබන මේ විසූක දස්‌සන ඒවා වටා රොක්‌වන ළාබාල තරුණ තරුණියන් තුළ රඳාපැවතිය යුතු උසස්‌ වින්දනය, සංවරය, විනය හා ප්‍රඥාව අමු අමුවේ මොට කර දමන්නේ කිසිම හිරිකිතයක්‌ නැතිවය.

රටක අනාගතය බාර ගැනීමට සිටින යොවුන් පිරිස බාල ගණයේ වින්දනයට හා මානසික බෙලහීන තත්ත්වයට ඇදදැමීම තරම් අපරාධයක්‌ තවත් තිබේද?

මෙම සංගීත සැණකෙළි සඳහා ප්‍රචාරය කරන ආරාධනා ගී ඛණ්‌ඩය ද, ඉතා බාල ගණයේ අදහස්‌වලින් පිරි ඩෙඟා නැටුමට පෙරමඟ සකස්‌ කරන සිල්ලර ගණයේ ආමන්ත්‍රණයකි. ඇතැම් විට තරුණියන්ට කියන්නේ ගෙදරට හොරා පැමිණෙන ලෙස ය. මෑතකදී එක්‌ ආරාධනා ගීයක වූ මෙවැනි පදවැලක්‌ හාස්‍ය උපදවන සුලුය. zඩෙනිම ගහල ඩෙඟා නටමු මල්ලියේZ යන එම ගී ඛණ්‌ඩය ඔවුන්ගේ බංකොළොත් අරමුණ රටට මනාව හෙළි කරයි. ඇතැම් විද්යුත් මාධ්‍යවලට අරක්‌ ගත් අය ඩෙඟා නැටුවාට කමක්‌ නැති වුවද, රටේ තරුණ පරපුර මේවාට ඇද ගෙන ඔවුන්ගේ පවිත්‍ර අධ්‍යාත්මය කිළිටි කිරීම නම් අනුමත කළ නොහැකිය.

යොවුන් පරපුර රෝගීන් කරන අනිත් උවදුර අන්තර්ජාලය, ෙµaස්‌බුක්‌ වැනි සමාජ ජාල අවභාවිතයයි. මෙම සමාජ ජාලා නිසා දිවි නසාගත් තරුණ ජීවිත ගැන මාධ්‍ය වාර්තා කළේ මේ මෑතකදී ය. ඉන් එක්‌ තරුණයෙක්‌ අවුරුදු 18 නොඉක්‌මවූ හිරිමල් තරුණ වියේ සිටියෙකි. ඔහු ගෙල වැල ලා ගත්තේය. දිවියෙන් සමුගත් දෙවැන්නා තරුණියකි. ෙµaaස්‌ බුක්‌ හරහා මිතුරු වූ පෙම්වතා අහක බැලූ ඇයට දිවි එපා විය.
ෙµaස්‌ බුක්‌ යනු රකුසෙකු නොවන නමුත් අවිචාරයේ එහි සැරිසරන්නා නොදැන කතරගම යන්නෙකු සේ අතරමං වීම වැළැක්‌විය නොහැකිය. ෙµaස්‌ බුක්‌ හා අනිකුත් සමාජ ජාලවල ඇති ගිණුම් බොහොමයක්‌ සැබෑ ගිණුම් නොව ව්‍යාජ ඒවාය. ඒවා මුදල් කඩා ගැනීම හා කාමාශක්‌ත අරමුණු ඉටුකර ගැනීමට සැකසූ ඒවාය.

මෙවැනි ජාලාවකින් හමු වූ තරුණයෙක්‌ යුවතියකට ඇගේ පියයුරු දැකීමට ආශා ඇති බව කීවේය. ඔහු විශ්වාස කළ යුවතිය කැමරාව ඉදිරියේ තම පපු පෙදෙස විවර කළාය. සිදු වූයේ ඇය නොසිතූ දෙයකි. තරුණයා ඇගේ නිරුවත් ළය මඬලෙහි ඡායාපිටපත් අන්තර්ජාලයට මුදා නොහැරීමට නම් විශාල මුදලක්‌ ඇගෙන් ඉල්ලා සිටියේය.

අන්තර්ජාලය හා ෙµaස්‌ බුක්‌ වැනි සමාජ වෙබ් අඩවි භාවිතා කිරීම නුසුදුසු යෑයි මෙයින් අදහස්‌ කරන්නේ නැත. එහෙත් දැනුවත් විය යුත්තේ එහි ස්‌වභාවය දැන එය පරිහරණය කිරීමෙන් තම වටිනා ජීවිතය අයාලේ යා නොදී රැක ගැනීමට ලැබෙන ඉඩකඩ වැඩි බවය.

මීළඟ උවදුර ඊටත් වඩා තරුණ පරපුර ග්‍රහණය කර ගනිමින් ඔවුන් තම වහලුන් බවට පත් කර ගන්නා තරම් බලවත් ය. ඒ ස්‌මාට්‌ ෙµdaන් උන්මාදයය. ජංගම දුරකථනයක්‌ භාවිතා කිරීම කිසිසේත් වරදක්‌ නොවේ. එහෙත් වරද ඇත්තේ එය භාවිතා කරන ක්‍රමයෙහි ය. එය නොසැලකිලිමත් ලෙස පරිහරණය කිරීම තියුණු අසිපතක්‌ ඒ මේ අත වනන්නාක්‌ බඳු අනතුරුදායක ක්‍රියාවකි. මෝටර් රථය. යතුරුපැදිය පදවන අතරතුර එය භාවිතා කරමින් යන අය, පාර මාරුවන විටත් එය භාවිතා කරන අය, කතා කරමින් දුම්රිය මඟ යන තරුණ ළඳුන්, අද ඕනෑ තරම් දක්‌නට ඇති සුලභ දැකුම් ය. මෙය කිසිසේත් නොකළ යුතු ක්‍රියාවකි. එහෙත් බොහෝ තරුණ කොටස්‌ එය තුට්‌ටුවට මායිම් කරන්නේ නැත.

දුරකථනයේ ඉදිරිපස ඇති කැමරාවෙන් සෙල්µs සේයා රූ ගැනීම ද ඉතා පරෙස්‌සමින් කළ යුත්තකි. මෑතකදී දිවෙන දුම්රිය සමඟÊසෙල්µsයක්‌ ගැනීමට ගිය මාතර ප්‍රදේශයේ තරුණ සිසුවෙකුට සිදු වූයේ අවසානයේ රෝහලේ ඇඳක්‌ වෙත යැමටය.

ඉන්දියාවේ සරසවි සිසුන් සිවුදෙනෙක්‌ සෙල්µs සේයාරුවක්‌ ගන්නට ගියේ ද දුම්රියක්‌ සමඟය. ඉන් තිදෙනකුටම සිදු වී ඇත්තේ මරු මුවට යැමට ය. දෙදෙනකු පමණක්‌ යා හැකි ගුවන් යානයක ගමන් ගත් ඉන් එක්‌ අයෙක්‌ සෙල්µs සේයාරුවක්‌ ගැනීමට යැම නිසා ගුවන් යානය අනතුරට පත් වූ බවක්‌ ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

මොස්‌කව්හිදී ගිනි අවියක්‌ හිසට තබාගෙන සෙල්µs ඡායාරූපයක්‌ ගන්නට ගිය තරුණියක ද ගිනි අවිය පත්තුවීම නිසා දිවි ගලවා ගෙන ඇත්තේ අනූනවයෙනි. කෙසේ වෙතත් සෙල්µs සේයා රූ ගැනීම නුසුදුසු යෑයි කීම සාධාරණ නොවන නමුත් එහිදී ස්‌වයං විනයකින් යුතුව පරීක්‍ෂාකාරී වීම අවශ්‍ය බව අවධාරණය කළ හැකිය.

මේ සියල්ලටම වඩා වැදගත් කාරණයක්‌ නම් ජීවන ගැටලුවකදී එයට මුහුණ දී එය විස¹ ගැනීමේ හැකියාවෙන් අපේ තරුණ පිරිස්‌ බොහොමයක්‌ දෙනා දුප්පත් වීමය.

විභාගය අසමත් වීම, මව හෝ පියාගෙන් දොස්‌ අසන්නට වීම, පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැර යැම, මේ ඕනෑම සරල ගැටලුවකදී බොහෝ තරුණ පිරිස්‌වලට ඇත්තේ එකම විසඳුමය. එනම් දිවි තොර කර ගැනීමය.

සිසුන්ගේ ගැටලු විසඳීමට සහාය වන උපදේශක සේවා, පාසල් මට්‌ටමින් පවත්වා ගෙනගිය ද දැන් ඒවා සක්‍රියව පවතීදැයි සැක සහිතය. අද තරුණ ජීවිත වඩා ප්‍රමුඛතාවක්‌ දෙන්නේ අවශ්‍ය දේට නොව ඉතා වැදගත් සරල දේවලටය.චින්තනය හා පරිකල්පනය අතින් ඉතා දිළිඳුය. පොත පතට වඩා බාල ගණයේ ටෙලි නාට්‍ය හා සංගීත සංදර්ශනවලින් ලොව ඇහිරී ඇත.

තමා අවට ලොව සිදුවන්නේ කුමක්‌ දැයි හරි වැටහීමකින් තොරය. එහෙත් මේ තත්ත්වයන්ට ඇද වැටීමට තරුණ පරපුරටම දොස්‌ කීම සාධාරණ නැත. ඔවුන් ජීවත් වන සමාජ ක්‍රමයෙහි පවතින දූෂිත හා විපරිත තත්ත්වයන් ඊට හේතු වී නැතැයි කිව නොහැකිය.

පාසලින් හා ගෙදරින් තරුණ පිරිස වෙත ලැබෙන පෙළඹවීම්වල ඇති දුබල බවත්, සමස්‌ත සමාජයෙන් වහනය වන අවර ගණයේ මඟ පෙන්වීම්වල දුගඳත් ඇතැම් විට ඔවුන් මේ තත්ත්වයට වැටීමට හේතු වන්නට ඇත. කෙසේ වුවද මේ තත්ත්වය නොසලකා නොසිටිය යුතු බරපතල කරුණක්‌ වන අතර, රටේ අනාගත තරුණ පරපුර නිසි මඟට යොමුකර ගැනීමට වැඩිහිටි හා පාලකයන් විසින් කටයුතු නොකළොත් අපට ඉදිරියේදී රොබෝ තත්ත්වයේ ඩෙඟා නටන්නන් පිරිසක්‌ දකින්නට ලැබෙනු නොඅනුමානය.

ලීලානන්ද වික්‍රමසිංහ

Post a Comment

0 Comments