අපොස සාපෙළ සමත් සිසු සිසුවියන්ගේ ඊළඟ අපේක්ෂාව සරසවි පිවිසුමයි. සරසවි සිහිනය සැබෑ කරගෙන දැනුමින් සන්නද්ධ සමාජයකට පිවිසෙන්නට නම් අ.පො.ස. උසස් පෙළ සඳහා විෂයයන් තෝරාගත යුත්තේ කල්පනාකාරීවයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය හිරාන් අමරසේකර සමඟ මේ සාකච්ඡාව ඒ සඳහා මඟපෙන්වීමකි.
අපොස උසස්පෙළට විෂයයන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
උසස් පෙළට විෂය ධාරාවන් කිහිපයක් තිබෙනව. විද්‍යා අංශය, ගණිත අංශය, වාණිජ අංශය, කලා අංශය සහ මෑතක සිට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දී තිබෙනවා.
විද්‍යා විෂය ධාරාවේදී ජීව විද්‍යාව භෞතික විද්‍යාව රසායන විද්‍යාව හෝ කෘෂි විද්‍යාව යන විෂයයන් තෝරා ගත හැකියි. මේ අංශය තෝරාගන්නා සියලු දෙනා තුළම පාහේ තිබෙන්නේ වෛද්‍යවරයකු වීමේ බලාපොරොත්තුවයි. නමුත් ඊට අමතරව අද අණුක ප්රවේණි විද්‍යාව වැනි ශීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින වෙනත් අංශ සඳහාත් යොමු වෙන්න පුළුවන්. මේ අංශයෙත් භෞතික විද්‍යාව හදාරන බැවින් පරිගණක තාක්ෂණ අංශවන වෘත්තීන් සඳහා යොමු වෙනත් පුළුවන්.
භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා සංයුක්ත ගණිතය තෝරා ගත යුත්තේ ගණිත අංශයට යොමුවන සිසුන්. රසායන විද්‍යාව වෙනුවට තාක්ෂණවේදය තෝරා ගන්නා සිසුන්ට විශ්වවිද්‍යාලයේදී ඉංජිනේරු පීඨවලට ඇතුළත් වෙන්න බෑ. ඒ අය තෝරාගත යුත්තේ තොරතුරු තාක්ෂණ පාඨමාලා.
ප්‍රධාන වශයෙන් ඉංජිනේරු ක්ෂේත්රයට පිවිසිය හැක්කේ උසස් පෙළ විෂයයන් ලෙස භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ සංයුක්ත ගණිතය හදාරන සිසුන්ටයි.
ජීව විද්‍යා විෂය ධාරාව හෝ ගණිත විෂය ධාරාව තෝරා ගන්නා සිසුන්ට වෛද්‍ය සහ ඉංජිනේරු වෘත්තීන් හැරෙන්නට වර්තමානයේ අපේ රටේ පිවිසිය හැකි වෙනත් වෘත්තීන් මොනවද?
වෛද්‍ය හා ඉංජිනේරු අංශවල රස්සා තිබුණට අපේ රටේ අනෙක් පර්යේෂණ ක්ෂේත්රවල රැකියා ඉතාමත් අඩුයි. වෛද්‍ය හා ඉංජිනේරු අංශවල සිසුන්ට හැර අපේ රටේ විශ්වවිද්‍යාලවලින් පිටවෙන වෙනත් අංශවල සිසුන්ට එකවරම රැකියා හිමිවීමේ අවස්ථා අඩුයි. රැකියා ඉලක්ක කරගෙන විශ්වවිද්‍යාල පාඨමාලා සකස් කර තිබුණත් අපේ රටේ විශ්වවිද්‍යාලයකට ගිය පමණින් අද රැකියාවක් ලැබෙයි කියල ස්ථිර කරන්න බෑ.
අපි විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා අද වෙනකම් එකම එක රැකියාවක් කරනවා. අද එහෙම බෑ. අද රැකියාවක් ලබාගැනීම සඳහා විවිධ ක්ෂේත්රවල පුහුණුවක් අවශ්‍ය වෙනවා. එමනිසා අද උසස්පෙළට විෂයයන් තෝරාගන්නා දරුවෙක් ඕනෑම ක්ෂේත්රයකට පිවිසිය හැකි විෂයයන් වෙත යොමුවීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ගණිතය ජීවවිද්‍යාව වැනි විෂයයන් තෝරාගත් ශිෂ්‍යයෙකුට වෙනත් ඕනෑම විෂයයකට යොමුවීමේ හැකියාවක් තිබෙනවා. නමුත් වෙනත් විෂයයන් තෝරාගත් අයට ගණිත හෝ ජීවවිද්‍යා ක්ෂේත්රවලට යොමු වෙන්න බෑ. අනාගතයේ ලෝකයේ බිහිවෙන්නෙ දැනුම මත පදනම් වූ සමාජයක්. ඒ අලුත් දැනුම නිර්මාණය කරන්නෙ විද්‍යා ක්ෂේත්රයයි.
ඔබ සඳහන් කරන මේ හේතුව නිසාම අද විද්‍යා හා ගණිත ක්ෂේත්රවලට තම දරුවන් යොමු කිරීමේ දැඩි ඕනෑකමක් දෙමාපියන්ටත් තිබෙනවා. බොහෝ සිසු සිසුවියනුත් අද අවම සුදුසුකම් මත හෝ මේ ක්ෂේත්රවලට පිවිසීමටයි කැමති.
පසුගිය අපොස සාපෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය තරමක් අමාරුයි. ඊට විශිෂ්ට සාමාර්ථ ලබා නොගත් අය ගණිත විෂය ධාරාව තෝරාගැනීම එතරම් සුදුසුයි කියල මම හිතන්නෙ නෑ. තමන් තුළ ගණිතය විද්‍යා විෂයයන් කෙරෙහි සුවිශේෂ දක්ෂතාවක් නැත්නම් අවම සුදුසුකම් සපුරා ගත් පමණින් විද්‍යා හෝ ගණිත අංශ තෝරා ගැනීම අවදානම්. තමන්ගෙ දරුවා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් කරන්නට හිතන දෙමාපියනුත් මේ ගැන අවධානය යොමු කරන්න ඕන.
විද්‍යා හා ගණිත අංශ සඳහා සුවිශේෂ දක්ෂතා නැති සිසුන්ට වාණිජ අංශය තෝරාගන්න පුළුවන්. ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ ගණකාධිකරණය ඒ ක්ෂේත්රයට අදාළ විෂයයන්. අපේ රටේ සිසුන් විශාල ප්‍රමාණයක් උසස් පෙළට තෝරාගන්නේ මේ විෂයයන්. නමුත් අද මේ විෂයයන්වලට ඒ සාමාර්ථ ලබාගත්තත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් නොලැබෙන තත්ත්වයක් අපේ රටේ තිබෙනවා. නමුත් අපේ රට දැන් වෙළෙඳ ආර්ථිකයක් වෙත යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති නිසා වාණිජ ක්ෂේත්රයේ රැකියා අනාගතයේ බහුල විය හැකියි. මේ ක්ෂේත්රයේ ඇති
රැකියා බහුලත්වය නිසාම අද විද්‍යා ක්ෂේත්රයට පිවිස සිටින සිසුනුත් කළමනාකරණ පාඨමාලා හදාරන්නට පෙළඹී සිටිනවා. කළමනාකාරවරුන් ගණකාධිකාරීන්, මානව සම්පත්, මූල්‍ය ක්ෂේත්‍ර ආදී පුළුල් පරාසයක පැතිරුණු වෘත්තීන් රාශියක් වාණිජ ක්ෂේත්රය තුළ තිබෙනවා. අද බොහෝ දෙනෙක් ගණකාධිකරණ විෂය තෝරා ගත්තත් මානව සම්පත් කළමනාකරණ වැනි පාඨමාලා හැදෑරීමෙන් අද අලුත් රැකියා ක්ෂේත්රයකට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා.
කලා ක්ෂේත්රයට පිවිසෙන සිසුන්ට විෂයයන් 25 ක් පමණ තෝරා ගැනීමට පුළුවන්. සමාජ විද්‍යා, ආගමික හා ශිෂ්ටාචාර අධ්‍යයන, සෞන්දර්ය සහ භාෂා වශයෙන් එම විෂයයන් අංශ කිහිපයකට අයත්. සමාජ විද්‍යා ක්ෂේත්රයේදී ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය, දේශපාලන විද්‍යාව තර්ක ශාස්ත්‍රය, කෘෂි විද්‍යාව වගේම අවශ්‍ය නම් තොරතුරු තාක්ෂණයත් තෝරාගන්න පුළුවන්. පාසල්වලදී තම තමන් ලබාගත් දැනුම මත මේ තෝරාගැනීම් වෙනස් විය හැකියි. ආගමික හා ශිෂ්ටාචාර අධ්‍යයන ක්ෂේත්රයේ දී බුද්ධ ධර්මය හෝ බෞද්ධ ශිෂ්ටාචාරය, ක්‍රිස්තු ධර්මය හෝ ක්‍රිස්තු ශිෂ්ටාචාරය, හින්දු ආගම හෝ හින්දු ශිෂ්ටාචාරය ආදී වශයෙන් ආගමික ශිෂ්ටාචාර එහිදී තෝරාගත හැකියි. සෞන්දර්ය අධ්‍යයනයේදී චිත්‍ර, නර්තන, සංගීතය, නාට්‍ය හා රංග කලාව තෝරාගන්න පුළුවන්. භාෂා අධ්‍යයනයත් මීට ඇතුළත්. උසස්පෙළ හදාරන්නට ඉහළම ලකුණු ලබාගත් ඇතමුන් අද භාෂා අධ්‍යයන ක්ෂේත්රයට යොමු වෙනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි සංස්කෘත පාලි වැනි භාෂා මෙන්ම ජපන් චීන ප්‍රංශ රුසියන් වැනි භාෂා පිළිබඳ අධ්‍යයනයන්ට මෙහිදී යොමු විය හැකියි.
තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නාට පසු කලා ක්ෂේත්රයට පිවිසෙන වැඩි දෙනා මේ නව විෂය ධාරාවට පිවිසීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා නේද?
මට නම් එය අනුමත කරන්න බෑ. අදත් අපේ රටේ නීති ක්ෂේත්රයේ පරිපාලන ක්ෂේත්රයේ සහ ජනමාධ්‍ය ක්ෂේත්රයේ නියෑළි වැඩි දෙනා කලා ක්ෂේත්රයෙන් අධ්‍යාපනය ලැබූ අය.
මුලින් විද්‍යා ක්ෂේත්රයෙන් අධ්‍යාපනය තෝරාගෙන තමුන්ට එය අමාරු නිසා පසුව කලා ක්ෂේත්රයෙන් අධ්‍යාපනය හදාරා අපේ රටේ දැවැන්තයින් බවට පත්ව සිටින ආචාර්ය මහාචාර්යවරුන් පවා ඉන්නවා. රජය අලුතෙන් හඳුන්වා දුන් තාක්ෂණවේදය විෂය මුල්වරට ප්‍රතිඵල ලැබුණෙ මේ අවුරුද්දෙ. මේක දේශපාලන අවශ්‍යතාවක් මත බිහිවූවක්. මෙය හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. මා එසේ කියන්නේ තාක්ෂණවේදය විෂයට ඇතුළත් කර ඇති විෂයයන් අන්තර්ජාතිකව පිළිගන්නා විෂයයන් නෙමෙයි. බෞද්ධ සංස්කෘතිය හෝ භූගෝල විද්‍යාව මුළු ලෝකයම පිළිගන්නා විෂයයන් දෙකක්. නමුත් මේ විද්‍යාව හා තාක්ෂණවේදය විෂයට එහෙම පිළිගැනීමක් නෑ. මෙහි පාඨමාලා සකස් කර තිබෙන්නෙත් පුළුල් කතිකාවකින් නෙමෙයි. මේකෙ ඉංජිනේරු තාක්ෂණය කියල කොටසකුත් තියෙනවා. ඒ නිසා සමහර දෙමාපියනුත් දරුවනුත් මෙය හැදෑරීමෙන් ඉංජිනේරුවකු විය හැකි යෑයි වැරදි අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. තාක්ෂණවේදය විෂය හදාරා කිසිවිටෙක ඉංජිනේරුවරයකු වෙන්න බෑ. මේ විෂයයට ජෛව පද්ධති තාක්ෂණය කියල කොටසකුත් ඇතුළත් කරල තියෙනවා. මේ කොටසෙයි කෘෂිකර්මයෙයි විෂය ක්ෂේත්‍ර බොහෝ දුරට සමානයි. එහෙම වුණාම හරි ප්‍රශ්නයක්. මෙයින් පෙනෙන්නේ මේ අලුත් විෂය පාඨමාලා වැඩි වගවිභාගයක් නැතිව ඉතාමත් කඩිනමින් සකස් කළ එකක් බවයි. කෙසේ වෙතත් දැන් මේ අලූත් විෂයටත් විශ්වවිද්‍යාල පාඨමාලා හඳුන්වා දෙනවා. නමුත් ඒ පාඨමාලා හදාරල පරිගණක හෝ වෙනත් කිසිදු ක්ෂේත්රයක ඉංජිනේරුවරයෙක් වෙන්න බෑ. ඉංජිනේරුවරයෙක් විය හැක්කේ ඉංජිනේරු පීඨයකට ඇතුළත් වෙන සිසුවෙකුට පමණයි. අද අපේ රටේ ඉංජිනේරු ක්ෂේත්රයෙන් උපාධි ලබාගන්නා විද්‍යා ක්ෂේත්රයෙන් උපාධි ලබාගන්නා සිසුන් අතරට මේ අලුත් විද්‍යා හා තාක්ෂණවේදය පාඨමාලා හදාරා උපාධි ලබාගන්නා සිසුනුත් එකතු වෙනවා. මේ තුළින් අනාගතයේදී අපේ රටේ අධ්‍යාපනයේ යම් අර්බුදයක් නිර්මාණය වීමේ ඉඩකඩකුත් තිබෙනවා.
ඒ කෙසේ වෙතත් අනාගත ලෝකය මුළුමනින්ම නිර්මාණය වන්නේ දැනුම මත. උසස් පෙළට මේ ඇතුළත් වෙන්නෙ ඒ සමාජයට අයත් වෙන දරුවන්. ඒ සමාජය ජයගන්නට නම් උසස් පෙළට තෝරාගත යුත්තේ තමා තුළ සුවිශේෂ දක්ෂතා ඇති විෂයයන් තම දරුවා දක්ෂතා දක්වන ක්ෂේත්රයකට යොමු කිරීමට දෙමාපියනුත් කල්පනා කළ යුතු වෙනවා.
ජායාරූපය උදේනි චන්ද්‍රසිරි
සාකච්ඡා කළේ පාලිත සේනානායක
0 Comments