හික්කඩුව සිනිගම දේවාලය වු කලි දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදය ලත් හාස්තම් සහිත පුජනීය ස්ථානයකි. මුහුද මැද පිහිටා ඇති දේවාලය දෙවොල් දෙවියන්ගේ ජීවිතය හා බැදි පවතීs. සිනිගම යනු එවකට රජුන්ට සීනි සැපයු ගම්මානයකි. තවත් මතයක් ඇත්තේ සීනී හා හකුරු සැපයු බවය. දෙවොල් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ලෙස සැලකෙන්නේද සිනිගමය. සිනිගමදි දෙවොල් දෙවියන්ට මාලි නැමැත්තෙකු විසින් ඉදිකරදුන් බවද ජන ප්‍රවාදයේ සැලකේ.
තමන්ට වු අසාධාරණයන් පිළිබද දෙවොල් දෙවියන් ඉදිරියේ තම දුක කියන්නට, කන්නලව්කරන්නට, ආශිර්වාද ලබා ගැනිමට, මිරිස් ඇඹරිමට හා පොල් ගැසිමට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් මේ දෙවොල් පුදබිම වෙත පැමිණෙති.මේ අය අතර දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, ධීවරකාර්මිකයින්, ඇතුළු විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන අය වෙති. මුහුදු දේවාලයට එන කිසිවෙක් සෙත් නොපතති. වරදක් කළ අයගේ අයහපත පතා පලි ගසන්නට මොවුන් මෙකීs දේවොල් බිමට පැමිණෙති. ඔවුහු තෙල් මල් කපුරු හදුන්කුරු රැගෙන එති. ඒ විතරක් නොව වියලි මිරිස් ගම්මිරිස්, අඹ, අමු ඉගුරු යානාදිය ගෙනවිත් දෙවියන් ඉදිරියේ කන්නලව් කරති.
මිරිස් ඇඹරීම මේ දේවාලයට ආවේනික කටයුත්තකි. මිරිස් ඇඹරීමට එන අය ගොලාකාර ගලකින් ඒ ද්‍රව්‍ය කොටමින් අඹරමින් තමන් දෙසට නොව තම ප්‍රතිවිරුද්ධ දෙසට ගොඩ ගැසේ. මිරිස් අඹරති. ඉක්බිති කපු මහතා දේවියන් වෙත අදාල පැමිණිල්ල ඉදිරිපත් කරන්නේය.
පසුගිය කාලයේ මෙම දේවාලයට පැමිණි එක්තරා දේශපාලනඥයකු රන් පවුමක් පුජා කොට ආශිර්වාද ලබා ගෙන තිබේ. ඒ විතරක් නොව ඉකුත් දා යහපාලන ආණ්ඩුව ගෙදර යවන ලෙස ඉල්ලමින් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දේව කන්නලව්වක් කොට පොල් ගැසීම සිදු කරණු ලැබුවේද සිනිගම දේවාලයේ දිය.
ඒ විතරක් නොව ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා ඉකුත් දා සිනිගම මුහුදු දේවාලයට පැමිණි මිරිස් අඹරා දේව කන්නලව්වක් කළේය.. ඒ ඌව පළාත් සභාවේ ජ.වි.පෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිවය. ඌව පළාත් ප්‍රධාන ඇමතිවරයා පළාත් සභාවේ මුදල් අවභාවිතා කොට ඇති බවට සමන්ත විද්‍යාරත්න මහතා චෝදනා කරන්නේය. පසුගිය දිනක ඌව පළාත් ප්‍රධාන ඇමතිවරයා සමන්ත විද්‍යාරත්න මහතාගේ ගමේ පැවති උත්සවයකට ගොස් තමන්ට එල්ල කරණු ලබන චෝදනාවලට එරෙහිව සිනීගමට ගොස් මිරිස් අඹරණ බව කීවේය. මෙම උත්සවයට සමන්ත විද්‍යාරත්න මහතා ද පැමිණ සිටියේය.
චාමර සම්පත් දසනායක මහතා 32 වැනි ප්‍රධාන අමාත්‍ය සමුළුවට හික්ඩුවට පැමිණි අවස්ථාවේ හේ පොරොන්දුව ඉෂ්ඨ කිරීම සදහා සීනිගම දේවාලයට ගියේය. මුහුදු දේවාලයට ගිය ප්‍රධාන ඇමතිවරයා සමන්ත විද්‍යාරත්න මන්ත්‍රිවරයාට එරෙහිව මිරිස් ඇඹරුවේය. තමන් වරදක් කොට ඇති නම් මේ දේව කන්නලව්වේ බලයෙන් එවා තමන්ට වදින ලෙසත් එසේ නොමැතිනම් චෝදනා කරණ අයට වදින ලෙසද ඔහු කීවේය. උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ලබා දෙන ලෙස ඒ හිමියන්ගේ හිතවතකු විසින් සීනිගම මුහුදු දේවාලයට පැමිණ මිරිස් ඇඹුරූ බවටද කථාවක් පවති.
මේ අයුරින් තමන්ට එල්ලවන මානසික පීඩනයන් දුරුකරගැනීම සදහා බැතිමත්තු මෙම දේවාලයට පැමිණෙති. එමෙන්ම ඇතැම් කණ්ඩායම් දේශපාලනඥයින් පොල් ගැසීම හා මිරිස් ඇඹරීම කරණු ලබන්නේ ප්රචාරක මාධ්‍යයක් වශයෙනි. ඒ තම මතය ප්‍රචාරය කරගැනීම සදහාය.
"සමහර දේශපාලනඥයින් දේවාලයට ඇවිත් භාරවෙලා ඔප්පු නොකරන්න ඇවිත් තියෙනවා. ඒ අයට ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබිලා තියෙනවා. මම නම් කියන්නේ නැහැ ඒ මන්ත්‍රීවරුන්ට අපහාස නින්දා චෝදනා එල්ලවේලා තියෙනවා. මෙතනට ආපු දේශපාලනඥයින්ට මමම භාරකරලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ගිය පසු ඇතමුන්ට සීනිගම දේවාලයක් තියෙනවාද කියලා මතක නැහැ. ඊට පස්සේ ඒ අයට ස්වභාව ධර්මයෙන් කරදර විපත් ජනතාවගෙන් අපහාස නින්දා ලැබුණු පසු තමයි ආපසු සීනිගම දේවාලය1 මතක් වෙන්නේ. ඊට පසු නැවත සීනිගම දේවාලයට එනවා. ඒවා තමයි හාස්කම් කියලා කියන්නේ...."
සීනිගම දේවාලයේ පුජකවරයකු වන රුක්ෂිත චන්දිමාල් මහතා දේව හාස්කම් ගැන කියන්නේ එවැනි කථාවකි.ඒ විතරක් නොව මිරිස් ඇඹරීම ගැන ඔහු කිවේ මෙවැනි කථාවකි.
මුහුදු දේවාලයේ තමයි මේ කටයුතු කරන්නේ. වැරදි කරපු අයට වැරදි කරන්න අනුබල දුන්නු අයට. අත් උදව් දුන් ඒ සියලු දෙනාට දේව දඩුවම් තදබල දඩුවම් ලබා දෙන්න කියලා තමයි අසාධාරනයන්ට ලක්වු අය මුහුදු දේවාලයට ගිහින් මිරිස් අඹරන්නේ. අපි හිතුවොත් යම් කිසි පුද්ගලයකුට හොරකමක් කරලා තියෙනවා, පහරදිලා තියෙනවා, ඉඩම් නඩු හඹ, අනියම් සම්බන්දතා නතර කරන්න, එක් එක් අයට වෙලා තියෙන දුක් ගැහැට පීඩනයන්, අසාධාරනයන් පිළිබද දේවියන්ට කියන්න ගම්මිරිස්, වියලිමිරිස්, අඹ, ඉගුරු, සුදු ලූණු යන වර්ග පහ අරන් තමයි මුහුදු දේවාලයට යන්නේ. මට අපහාසකරපු ඒ සදහා අනුබල දුන්නු, හොරකම් කරපු ඒ සදහා අනුබල දුන්නු ඒ කරපු අයට දේව දඩුවම් තදබල දඩුවම් දෙන්න කියලා කියනවා. හොරකමක් වී ඇත්නම් නිතියේ රැහැනට පොලිසියට හසුකරලා දෙන්න කියලා බැතිමතුන් ඉල්ලනවා. කන්නලව් කරනවා එසේ කියමින් මිරිස් අඹරනවා. දේවියන් ඒ අයට දඩුවම් ලබා දෙනවා. රුක්ෂිත චන්දිමාල් පුජකතුමා කියන්නේය.
සිනිගම දේවාලය වු කලි ජාති ආගම් කුල පක්ෂ බේදයකින් තොරව බැතිමතුන් පැමිණෙ තැනකි.
"සෑම පක්ෂයකම දේශපාලනඥයින් මේ දේවාලයට එනවා. ඇවිත් තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් මේ දේවාලයට පුද පුජා සදහා ඇවිත් තියෙනවා. මට මහජන ආකර්ශනය ලබා දෙන්න කියලා දේශපාලනඥයින් ඇවිත් මේ භාරවෙලා යනවා." යෑයි රුක්ෂිත කිවේය. පසුගිය කාලයේ මේ දෙවොල් බිමේ තිබු පිංකැට කැඩිමද සිදුව අතර පොල් ගැසීමට පැමිණි දේශපාලනඥයින්ගේ මුදල් පසුම්බිද සොරකම් කොට තිබුණි. ඒ ගැන රුක්ෂිත පුජකතුමා කීවේ මෙවැනි කථාවකි.
"මෙහෙමයි" දැන් දේවාලයේ පුජාවන් ගොඩක් කරණවා. බැතිමතුන් විශාල පිරිසක් එනවා. දේවාලය දිනපතා දියුණුවනවිට කඩාකප්පල්කාරි වැඩ කරණවා. පිංකැටවල සීල් කඩපු අයට ස්වභාවධර්මයෙන් මේ අයට දඩුවම් ලැබේවි. "දේවියන්ගේ හාල් කෑ විට මොකද වෙන්නේ ඒ වගේ තමයි දඩුවම් ලැබෙන්නේ යෑයි හේ කිවේය..."
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය. රූමි රුබන් මහතා පොල් ගැසීම හා මිරිස් ඇඹරීම ගැන මෙසේ කියයි.
වත්මන් සමාජය කෙතරම් තාක්ෂණික වශයෙන් දියුණු වුවත් මිරිස් ඇඹරිම හා පොල් ගැසිම අපේ ජන සමාජය හා බැදිපවතින සාම්ප්‍රදායික විදික් ක්‍රමයක්. මීට සමාන දේවල් වෙනත් රටවලත් සිදුවෙනවා. විශේෂයෙන් බලි ඇදිම ගැන කියන්න පුළුවන්. මේ තුලින් ඇතමුන් යහපතක් බලාපොරොත්තු වෙනවා. මිරිස් අඹරන්නේ තමන්ට අසාධාරණයක් වු විට නැතිනම් යුක්තිය ඉෂ්ඨ නොවු විට මේ දේවල් කරන්න ජනතාව පෙලඹී සිටිනවා. විශේෂයෙන් යම් කිසි අයකුට අසාධාරණයක් වු විට යුක්තිය ඉටු නොවු විට මේ අය මානසික පිඩාවට ලක්වෙනවා. මේ නිසා තමා ගැන සමාජය ගැන කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම වෛරයක් බවට පත්වෙනවා. වෛරය පිට කිරීම සදහා සමාජ සම්මත ක්‍රමයක් විදියට පොල් ගැසීම හා මිරිස් ඇඹරීම කරණවා. මේ අය ප්රචන්ඩ අයුරින් මේක කරන්නේ නැතිව නොපෙනෙන දෙවි කෙනෙකුට මේ බව කියනවා. යුක්තිය සාධාරණත්වට ඉෂ්ඨ නොවි ප්‍රබල සමාජ බලවේගයක ගොදුරක් වු විට තමන්ගේ අසරණ කම කියන්න කාගෙන්වත් සරණක් නැති නිසා නොපෙනෙන බලවේගයක පිහිට පතනවා. විවිධ ප්‍රශ්න නිසා මානසික පිඩාවන්ට හා මානසික ආතතියට ලක්වු අය මේ වගේ දේවල් කරණවා. ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට තමයි මේ වගේ දේවල් කරන්නේ පොල් ගෙඩියක් ගහලා මේ වගේ දේවල් කරණවා. නමුත් මේ තුල විද්‍යාත්මක පදනමක් නැහැ. නමුත් ජනතාව තුල විශ්වාසයක් මතයක් තියෙනවා. පොල් ගැසීමෙන් මිරිස් ඇඹරීමෙන් යම් කිසි සහනයක් ලබා ගන්න පුළුවන් කියලා. කණ්ඩයාමක් වශයෙන් විශේෂයෙන් දේශපාලනඥයින් තම දේශපාලන පණිඩුඩය ගෙන යන්න ඒ තුලින් ප්‍රචාරයක් ගන්න පොල් ගසනවා ....
ගාල්ල ලලිත් චාමින්ද
0 Comments