උපන් දා සිට කරපු පව් නැත වරක්‌ වැන්දොත් කැලණියේ


මෙය සිංහල බෞද්ධ අපි කවුරුත් අසා ඇති ඒ වගේම අපිට හුරු පුරුදු කියමනකි. මෙයින් කියෑවෙන්නේ කැලණි විහාරය වරක්‌ වැඳ ගැනීමට ලැබීම ඉමහත් වාසනාවක්‌ මෙන්ම පින්කමක්‌ බවයි. මේ අවසාන කවි පදයෙන් කියෑවෙන්නේ කැලණි විහාරය එතරම්ම වන්දනීය පින් බිමක්‌ බවයි. කැලණි විහාරය වරක්‌ වැන්දොත් උපන් දා සිට කරපු පව් දුරුවන බවත් මින් කියවෙතත් එය එසේ සිදුවේද? මේ කවියාට අවශ්‍ය වූයේ කැලණි විහාරයේ බලමහිමය කියා පෑමටය.

කැලණිය වරක්‌ වැන්දොත් උපන් දා සිට කරපු පව් දුරුවේද? මෙය බොහෝ දෙනාගේ කතා බහට ලක්‌ වන කරුණකි. වරක්‌ යනු එක්‌ වරක්‌ය, වරක්‌ යනු වසරක්‌ය යනු මේ මතයද බොහෝ දෙනා අතර පවතී. නමුත් මේ ඉහත කී දෙවිදියම නොවන බවද, එසේ වැඳිය යුතු පිළිවෙළ නම් බුදුකෙනෙක්‌, රහතන්වහන්සේ කෙනෙක්‌ හා දෙවිකෙනෙක්‌ ඉදිරියේ කැලණිය වැඳීමෙන් පමණක්‌ උපන් දා සිට කරපු පව් දුරුවන බව තවත් සමහර බෞද්ධයන්ගේ මතයයි.

එම අවස්‌ථාව කවරදාක කා හට උදාවේද? මේ ගැන විමසා බැලීමේදී අප බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පන්සිය නමක්‌ සමග කැලණියට වැඩි අවස්‌ථාවේ සුමන සමන් දෙවිඳු ප්‍රමුඛ දෙවිවරු බොහෝ සංඛ්‍යාවක්‌ එහි පැමිණ සිටියහ. මණි අක්‌ත නා රජතුමා ප්‍රමුඛ නා පිරිසට එදින මේ අති දුර්ලභ අවස්‌ථාව උදා වූයේද?

කැලණිය තරම් පැරණි ඉතිහාසයක්‌ ඇති නගරයක්‌ ලංකාවේ නොමැති තරම්ය. පන්සිය පනස්‌ ජාතක පොතේ "වලාහස්‌ස ජාතක" කතාවේ කැලණිය සඳහන් වීමෙන් හැඟê යන්නේ කැලණිය කෙතරම් පැරණි නගරයක්‌ද යන්නය. එනම් අප බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරණ අවධිය දක්‌වාම දිවයන්නකි.

පුරාණයේ කැලණිය තම රාජධානිය කර ගත්තේ විභීෂණය. රාමායනයේ සඳහන් වන පරිදි රාම - රාවණා යුද්ධයේදී සිය සොයුරු රාවණ කළ ආසාධාරණයට එරෙහිව, රාමාට පක්‍ෂව කටයුතු කළ විභීෂණට කෘතෝපකාර වශයෙන් රාම රජු විසින් විභීෂණයන් ලංකේෂයන් වශයෙන් අභිෂේක කොට ඔහුට ලංකා රාජ්‍යය පවරා දුන්නේය. එතැන් සිට කැලණිය තම රාජධානිය කොට ගත් විභීෂණ ලංකාව පාලනය කළ නරපතිව සිටි බව අපේ රාමායනයේ සඳහන්ව ඇත.

විභීෂණ යුගයෙන් පසු කැලණි රාජධානියේ අධිපතිව සිටියේ මණිඅක්‌ත නම් නාග රජතුමාය. එතුමා බුදුන්වහන්සේ නාගදීපයට වැඩි අවස්‌ථාවේ එහිදී උන්වහන්සේගෙන් බණ අසා පැහැදී ඔහුගේ කැලණි රාජධානියටද වැඩම කරන ලෙස ආරාධනා කළේය.

එම ආරාධනය අනුව බුදුන්වහන්සේ සම්බුදු පදවි ලබා අටවසරක්‌ සපිරුණු වෙසක්‌ පුන් පොහෝදා උන්වහන්සේගේ අග්‍රගණ්‍යයේ මහ රහතන්වහන්සේලා ඇතුළු පන්සියයක්‌ පමණ වූ රහතන්වහන්සේලා ද සමග කැලණියට වැඩම කළහ. බුදුන්වහන්සේ මහරහතන් වහන්සේලා සමග වැඩ හිඳ දන් වළඳා දහම් දෙසූ තැන මණිඅක්‌ත නා රජතුමා විසින් එම මැණික්‌ මණ්‌ඩපය නිධන් කොට කැලණි චෛත්‍යය ගොඩ නැඟුවේය. කුඩාවට ඉදි කළ එම චෛත්‍යය සැටරියන් උස්‌කොට ක්‍රි. පූ. 3 වන සියවසේදී යඨාලතිස්‌ස රජතුමා ඉදි කළ බව සාසනික ඉතිහාසය සඳහන් කරයි.

බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්‌ථාවේ කැලණි ගඟේ ජලස්‌නානය කළ බවක්‌ අපේ වංශ කතාවල සඳහන් ය. උන්වහන්සේ එම අවස්‌ථාවේ හැඳ සිටි "ජලසාටකය" නොහොත් "අඳනකඩය" තැන්පත් කොට තැනූ "සිවුරු දාගැබ" කිත්සිරි මෙවන් විහාරයේ අදත් දක්‌නට ඇත. මෙය කැලණි ගඟින් එතෙර පිහිටා ඇත.

කැලණිතිස්‌ස රාජ්‍ය සමය කැලණි ඉතිහාසයේ අද්භූත මෙන්ම වැදගත් සිදුවීම් වලින්ද සමන් විතය. කැලණිතිස්‌ස රජතුමාගේ දේවිය යුව රජ වූ උත්තිය කුමාරයා හා අනියම් පෙමක පැටලීම හේතුකොට ගෙන නිවැරදි කැලණිතිස්‌ස රහතන්වහන්සේ උණු තෙල් සැලක බහා මැරවීම. ඒ හේතුව නිසා කෝප වූ දෙවි දේවතාවෝ මහ මුහුද ගොඩ ගල්වා කැලණිතිස්‌ස රාජධානිය වැනසීම, කැලණිතිස්‌ස දූ කුමරිය වූ " දේවී කුමාරිය මහ මුහුදට බිලිදීම, ඒ කුමාරිකාව දකුණු වෙරළ ඔස්‌සේ පාවී ගොස්‌ කාවන්තිස්‌ස රජතුමාට හමුවීම, ඔවුන්ට දාව ගැමුණු කුමරු හා තිස්‌ස කුමාරයා ලැබීම, පසු කලෙක දුටුගැමුණු කුමාරයා ලක්‌දිව එක්‌සේසත් කිරීම යනාදී සිදුවීම් කැලණිය පසුබිම් කරගෙන සිදු වූ සිද්ධීන්ය.

දේවානම්පියතිස්‌ස රජතුමාගේ පටන් අපේ අවසාන රජතුමා දක්‌වාම බොහෝ රජවරු කැලණි විහාරය කෙරෙහි භක්‌තියෙන් කටයුතු කර ඇත. අනුරාධපුර රාජ්‍ය විචාල කණිෂ්ඨ තිස්‌ස රජතුමා කැලණි විහාරයට අඩුපාඩුවක්‌ව පැවැති උපෝෂථාගාරයක්‌ කරවූ බව සඳහන් ය. ක්‍රි.ව. 214 -236 රාජ්‍ය විචාල වෝහාරතිස්‌ස රජතුමා කැලණි චෛත්‍ය මුදුනෙහි ඡත්‍රයත් කරවීය. නිශ්ශංකමල්ල රජතුමා නිතර නිතර කැලණි විහාරය වන්දනාවට පැමිණි බව ගල්පොත් නම් සෙල්ලිපිය කියයි. ක්‍රි. ව. 1250-1285 කාලයේ දඹදෙණි රාජ්‍ය විචාල දෙවන පරාක්‍රමබාහු රජතුමා කැලණි විහාරයේ පස්‌මහල් පාය, ඔත් පිළිම ගෙය, තිවංක පිළිම ගෙය යන ස්‌ථානයන් ප්‍රතිසංස්‌කරණය කර සතරැස්‌ මහ මලුව කළුගල් අතුරා සමතලා කර එහි මණ්‌ඩපයක්‌ද කරවීය. තවද එතුමා කැලණි විහාරයේ පහන් පූජාව සඳහා වෙනම පොල් උයනක්‌ ද කරවා පූජා කළේය.

කෝට්‌ටේ යුගය ආරම්භයේ සිටම එහි රජවරු කැලණි විහාරය හා සමීප සබඳතාවකින් කටයුතු කර ඇත. ක්‍රි. ව. 1412-1467 දක්‌වා කෝට්‌ටේ රජකම් කළ සතර වන ශ්‍රී පරාක්‍රමබාහු රජතුමා කැලණි විහාරයේ වල්බිහිවී තිබුණ විහාරාංග රැසක්‌ ප්‍රතිසංස්‌කරණය කරවීය.

ක්‍රි.ව. 1470-1478 රාජ්‍ය විචාල සයවැනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේදී කැලණි විහාරයේ කීර්ති නාමය දේශ දේශාන්තරවලද පැතිරී තිබිණි. ක්‍රි.ව. 1476 දී බුරුම රටේ ධම්මෙච්තිය රජතුමා බුරුම භික්‌ෂූන් වහන්සේලා 45 නමකට කැලණි විහාරයේ අවිච්චින්නව පැවති උපසම්පදාව ලබා දුන්නේය. එය කැලණි විහාරය ඉදිරිපිට කැලණි ගඟේ බුදුන්වහන්සේ ජලස්‌නානය කළ ස්‌ථානයේදී සිදු කළේය. මෙසේ රජවරුන්ගේ නිරන්තර අනුග්‍රහය කැලණි විහාරයට ලැබීම නිසාම රජමහා විහාරයක්‌ වශයෙන් හඳුන්වනු ලබයි.

කැලණි විහාරයේ නවෝද ආරම්භ වූයේ ක්‍රි. ව. 1888 දීය. එය හෙලේනා විඡේවර්ධන මැතිනියගේ දායකත්වයෙන් මෙන්ම එතුමියගේ ධන පරිත්‍යාගයෙන් ඇරඹිණි. එතුමියගේ ප්‍රධානත්වයෙන් අලුත් විහාර මන්දිරයේ කර්මාන්ත ආරම්භ විය.

කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැර ද කැලණි විහාරය මෙන්ම ප්‍රසිද්ධය. එය දෙවැනි වන්නේ මහනුවර ඇසළ පෙරහැරට පමණය. කැලණි පෙරහැර දෙස්‌ විදෙස්‌වල ප්‍රසිද්ධ මහා සංස්‌කෘතික සංදර්ශනයක්‌ වශයෙන් හඳුන්වයි.

කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැර නිල වශයෙන් ආරම්භ වූයේ වර්ෂ 1927 දීය. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයත්, කැලණි විහාරයේ නව බුදු මැඳුරේ නව කර්මාන්ත ඇරඹීමත් හේතුකොට ගෙන එදා ආරම්භ කළ මහා පෙරහැර අද දක්‌වාත් සෑම වසරකම දුරුතු මස පැවැත්වෙයි.

කැලණි විහාරයේ දැනට පවතින දියුණු තත්ත්වය ආරම්භ වූයේ එහි අධිපතිත්වයට පත් භික්‍ෂූන්වහන්සේලා නිසාය. මේ අධිපතිත්ව අතර මාපිටිගම ධම්මරක්‌ත හිමි, විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්‌ඛිත හිමි, සහ වර්තමාන නායක්‌තය දරන මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ඛිත හිමිද, උන්වහන්සේගේ ශිෂ්‍ය, දෙණියායේ පඤ්ඤාලෝක හිමි යන නාමයන් අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතු අතර, වර්තමානයේ අපි දකින දියුණුවට මග සැලසුවේ වර්තමාන අධිපතීන් වහන්සේය.

කැලණියේ, සුසන්ත ජයමාන්න

Post a Comment

0 Comments