පරිණත වූ මනුෂ්‍යයකු ලොවට පහළ වීම ඉතා ශ්‍රේෂ්ඨ වූ වාසනාවන්ත මහිමයකි. අංග සම්පූර්ණ වූ දේහයක්, යහපත් සිහියක් හා දිවි පැවැත්මක් සහිතව උත්පත්තිය ලැබීම බෞද්ධයන් වශයෙන් අප සිතන්නේ පිනට පහළවන්නක් ලෙස ය. කාලානුරූපීව තම ජීවිතය හැඩගස්සා ගැනීම මේ සුවිශේෂී වූ මනුෂ්‍යයාගේ යුතුකමක් වේ. කිසිදු දුර්වලකමකින් තොරව දීප්තිමත් නෙත් යුගලක්, පැහැදිලි ශ්‍රවණය ගෙන දෙන සවන් යුගලක්ද, නිරෝගී මනසක් හා ශක්තිමත් අත් පා ද අපට ලැබී ඇත්තේ පෙර කළ කුසල කර්මයන්ගේ ප්‍රතිඵල වලිනි. විසි එක්වන සියවසට පා තබන මිනිස් සංහතියෙන් කීයෙන් කී දෙනාද මේ පරිණත දේහයෙන් උපරිම ප්‍රයෝජන රැගෙන නිවැරදි මාර්ගයෙන් ජීවිතය ගත කරන්නේ.
අද බැලූ බැලු අත මිනිස් ඝාතන, තම ලෙයින් උපන් දූ දරුවන් ගෙල මිරිකා මරා දැමීම, සොර මැරකම්, මංකොල්ලකෑම්, ගිනි තැබීම්, පළි ගැනීම්, සොර ජාවාරම්, මත්ද්‍රව්‍ය භාවිතය, අල්ලස් ගැනීම හා ලිංගික දූෂණය ආදී අපචාරී ක්‍රියා මොහොතින් මොහොත වැඩිවෙමින් පවතී. මේවාට මූලික හේතුව ලෙස බුදු දහමේ දක්වා ඇත්තේ තෘෂ්ණාවයි. අද සමාජය දෙස බලන කල පැහැදිලිව පෙනෙන කරුණක් නම් ජීවිතය ගෙන යැමට මුදල් අත්‍යවශ්‍ය වී තිබීමයි. එම නිසා ආර්ථික දුබලකම් ඉස්මතු වීමට පටන් ගැනීමේදී ඒවාට මුහුණදීමට මිනිසා කළ හැකි සෑම දෙයක්ම කිරීමට පෙළඹේ. කෙසේ හෝ ජීවිකාව ගෙන යැමටත් තම අඹු දරුවන් රැක ගැනීමටත්, සමාජයේ යහතින් ජීවත් වීමටත් අවශ්‍ය නිසා කුමන ක්‍රමයකින් හෝ මුදල් සෙවීමට මිනිසා පෙළඹේ. මෙහිදී රට ජාතිය ආගම තම සංස්කෘතිය හා සෙසු අය අමතක කොට තම අවශ්‍යතාවට පමණක් මුල්තැන දී ක්‍රියාකිරීමට ද සිදුවේ.
මෙවැනි පසුබිමක් ඇතිවීමට බලපාන කරුණු කෙරෙහි දෙමව්පියන්, ගුරුවරුන්, රාජ්‍ය පාලකයින් හා පරිපාලන නායකයන්ද වගකිව යුතු යි. ළමයකුගේ ජීවිතයේ මූලික අඩිතාලම වැටෙන්නේ දෙමව්පිය සහෝදර සහෝදරියන් ගෙනි. ඔවුන් කරනු ලබන ක්‍රියාකලාපයන් කුඩා දරුවා අනුගමනය කරයි. හොඳ නරක දෙකෙහිම ආභාසය ළමයාට එලෙසම ලැබේ. ඉක්බිති පාසලින් ලබන ගුරුහරුකම් පමණක් නොව වැඩිහිටියන්ගෙන් ලද ආභාසය අනුව ක්‍රියාකිරීමට ළමයා පෙළඹේ. මෙහිදී රටක පාලන තන්ත්රයේ බලපෑම ද මහත් සේ බලපානු ඇත. පරිපාලනයේ නියුක්තියන්ගේ මත හා අදහස් ද එලෙස ම බලපානු ඇත. මේ සියල්ලන්ගේ ම සංඝටකයන් උපයෝගී වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් මනස හොඳ නරක දෙපැත්තටම ගමන් කරන මාර්ගය ද සෑදී ඒ අනුව තමන් කරනු ලබන ක්‍රියා පිළිවෙළ ද සකස් වේ. අද සමාජයේ ජනගහනයෙන් වැඩි පිරිසක් අවස්ථාවාදී ආත්මාර්ථකාමී බවින් පිරිපුන්, තම මතයේ පමණක් එල්බ සිටින ගුණදම් කෙරෙහි භක්තියක් නැති පිරිසක් හැටියට දැක්විය හැකිය.
මිනිස් සිත එක තැන නොරැඳේ. සෑම තැනකටම පියඹා යයි. එම නිසා කෙනකු අවස්ථාවෙන් අවස්ථාව කරනු ලබන දේවල් වෙනස් වේ. ඇතැමෙක් තම මතයට අනුවම වැඩ කරති. කෙනෙක් සොයා බලා හරි වැටහීමකින් නිවැරදි දේ නොකරති. මෙයට හේතුව ඔවුන්ගේ පදනමේ ඇති දුර්වලතාවයයි. කුඩා පැළයකට හරිහැටි සාත්තු කළොත් එය අපට අවශ්‍ය පරිදි සකසා ගත හැකි සේම, කුඩා කල ළමයාට ද නිසි අවබෝධය ලබාදීම මගින් යහමගට යොමු කළ හැක. ගුණධර්ම සරු ,වැඩිහිටියන්ට ගරුකරන, ඉගෙනීමෙන් ඵල ලබන අයකු බවට වර්ධනය කරගත හැකි වේ. මෙහි ප්‍රතිඵලය වනුයේ සාධාරණ, යුක්ති ගරුක, පිsරිසිදු සමාජයක් බිහි වීමයි.
අද සමාජයේ විවිධ ගතිගුණ හා විවිධ සිතුම් පැතුම් ඇති පුද්ගලයෝ සිටිති. සතා සර්පයා නම් හඳුනාගත හැක. එහෙත් මිනිස් සතා හඳුනා ගැනීම අති දුෂ්කරය. නොහඳුනන කෙනෙක් සිනාසුණොත් ඒ සිනාසුණේ ඇයි දැයි කියා දෙවරක් සිතා බැලිය යුතුය. එකට සිටින එක බත් පත බුදින මිතුරා හඳුනා ගත නොහැකි තත්ත්වයක් අද උදාවී තිබේ. එකට රැකියාවේ යෙදී සිටින සහෝදරයන් සේ වෙස් මුහුණු දමා සිටින අය අනන්තවත් ඇත. පොරොන්දු කඩකරන පිරිස්, යටි උගුල් අටවන හා රැවටීමෙන් ජීවත් වන පිරිස අති මහත්ය. මොහොතින් මොහොත කියූ වදන් වෙනස් කරන මුළා කරන කොටස් ද බොහෝය.
අතීතයේ තමනට හිතවාදීව සිටි මිතුරන් අමතක කොට යම්කිසි ඉහළ තලයකට පැමිණි පසු වෙනස්ම වූ පුද්ගලයන් බවට පත්වේ. කළගුණ නොදත් අවස්ථාවාදී ව්‍යාජ බවින් ජීවත් වන පුද්ගලයන්ට කවදා හෝ දිනක කරන ලද අකටයුතු කම්වලට ප්‍රතිඵල ගෙන දෙනවා ඇත. ස්වභාව ධර්මයාට පිටුපාන්නට කිසිවකුට බැරිය.
පරිපාලන නායකයන් ඔවුන්ගේ අතකොලු බවට හරවාගත් පුද්ගලයන් නිසා වරප්‍රසාද ලත් පංති බිහිවේ. ඒ නිසා සම අයිතීන් බිඳීමෙන් ඔවුන්ගේ සුරක්ෂිත භාවයටත් දියුණුවටත් සරිලන පුද්ගල කොටසක් පමණක් සමාජයට බිහි වේ. එහිදී වරප්‍රසාද නොලත් අහිංසක සේවක ජනතාව ගන්නා පියවර කුමක්ද? ඔවුන් සමාජය දෙස බලන්නේ වපරැසින් නොවේද? මෙසේ සම අයිතීන් කා හටත් නොලැබීමෙන් ඇතිවන ප්‍රශ්න, දරිද්‍රතාව අති විශාලය. මීට අමතරව දේශපාලන ඇඟිලි ගැසීම් නිසා තවත් නොයෙකුත් ගැටලු ඉස්මතු වේ.
ලෝකයේ වෙසෙන සියලුම සත්ත්ව කොට්ඨාසයන්ට මේ පෘථිවි තලය අයිතිය. මුදලේ බලය පදනම් කොට ගෙන කොටස් කර මැන ගැනීම නිසාම අද ඇතැම් රටවල නොයෙකුත් අවුල් වියවුල් තත්ත්ව පැන නැගී ඇත. ඇතැම් රටවල් කෑලි කෑලිවලට කැඩීගොස් ඇත. යකඩ වැටවල්, ගේට්ටු, තාප්ප දමා, දේශ සීමා වෙන්කරගෙන සිටින රටවල් ද තිබේ. වර්ගය, ජාතිය, ආගම හා කුල ආදී වශයෙන් බෙදී ගිය ලෝකයකි අද ඇත්තේ. ප්‍රාන්ත රාජ්‍ය කියා කොටසකි. පළාත් වශයෙන් වෙන් කර ගෙන අවුල් ජාලවල පැටලී කුලල් කා ගන්නා මහජනතාව එමටය. මොකක් ද මේ සටන, වසර 80 ක පමණ ආයු කාලයක් භූක්ති විඳ මේ සියලු සැප සම්පත්, අඹු දරුවන් වස්තු සම්භාරයන් සියල්ල කෙළවර කර ගන්නා බව බොහෝ අයට නොපෙනේ. ජීවත්ව සිටින ටික කාලයේදී සිනහව නිතර මුවග රඳාගෙන ආචාර ධර්මයන් රැකගෙන ජීවිකාව ගෙනයන්නේ අල්ප වූ පිරිසකි.
ගැටලුවක් මතුවන විට එයට හේතු සාධක සොයා විගසම පිළිතුරක් ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. "කල් ඇරීමෙන්" " පස්සෙ බලමු" හා ප්‍රශ්න ඇද ඇද සිටීමෙන් කවදාවත් එයට නිසි විසඳුම් ලබාදිය නොහැක. අවසානයේ එය අරගලයක් බවට පත්වේ. අද මේ රටේ ඇති වී තිබෙන්නේ එය නොවේද?
මනුෂ්‍යයාගේ වයස මුහුකුරායත්ම සිතුම් පැතුම්, අදහස් හා සිsරිත් විරිත් විවිධ වේ. පාසලින් අස් වී ඉහළ විභාග සමත් වී රැකියාවට ගිය පසු පාසල් කාලයේ සිටි මිතුරන් අමතක වේ. මිනිස් වර්ගයාගෙන් වැඩි පිsරිසක් මේ තත්ත්වයට නිතැතින්ම පත්වේ. කෙනෙක් රැකියාව නිසා ආඩම්බර තත්ත්වයක් මවා ගනිති. එය ඔවුන්ගේ පරිහානියයි. පෙර කළ කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් ඔවුහු ඉතා යෙහෙන් වැජඹෙමින් සුකුමාර ජීවිත ගත කරති. ඔවුන්ට ඇබැද්දියක් වූ විට ඒ සඳහා පිහිට වීමට අවශ්‍ය කරන පුද්ගලයන් සියල්ල මුදලින් ලබා ගැනීමට සිදුවේ. ඔවුන්ගේ ජීවිත පවතින්නේ මුදල මතය. ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් ඉතා උනන්දුවෙන් භක්තියකින් තම ආගම් අදහති. ඒ අනුව හැසිරෙති. එහෙත් එය ඇතැම් අවස්ථාවලට පමණක් සීමා කර ගනිති. පන්සල, පල්ලිය හා කෝවිල දොරටුවෙන් පියමං වුණාට පසු සියල්ල අමතක වේ. ඉන්පසු ආත්මාර්ථකාමී, බව, වැරැදි ක්‍රියා හා අනිසි ප්රකෝපකාරී වැඩ කිරීමට පෙළඹෙති.
මේ සඳහා ඇති ප්රතිකර්මය වනුයේ සන්සුන් මනසකින් යුතුව තම ජීවිකාව කරගෙන යැමට සෑමදෙනාගෙන් උදව් උපකාර ලැබීමත්, ආචාර ධර්මවලට එකඟව නීත්‍යානුකූල මඟෙහි ගමන් කිරීමත්ය. එමෙන්ම සාධාරණත්වයට හා සම අයිතීන් සියලු දෙනාටම භුක්ති විඳිය හැකි වාතාවරණයක් ඇතිවීමත් අවශ්‍යය. මෙහිදී ජිවත් වීමට යම් ආදායම් මාර්ගයක් සලස්වා ගැනීමට අවකාශ දීම පාලක පක්ෂය සතු වගකීමකි.
තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස නොපිsරිහෙලා ඉටුකිරීමත් අන් අයට කරදරයක් නොවන සේ ජීවත් වීමත් අපතේ යන කාලය ඵලයක් ලැබෙන දෙයකට යොමුවීමත් ආගමානුකූලව හා නීතිගරුකව ජීවිතය හැඩගසා ගැනීමත් ය. මානුෂික අයිතිවාසිකම් සමව ලැබීමත් මගින් මානුෂික ප්‍රශ්න තරමක් දුරට හෝ වළක්වා ගත හැකිය.
වර්තමාන මනුෂ්‍යයා ජීවත් වන්නේ සදාකාලික මිනිසුන් ය යන සංකල්පයෙහි පිහිටා ය. ඔවුහු අමරණීය පුද්ගලයන් ලෙස වැඩ කටයුතු කරති. පරාර්ථකාමීත්වය ගැන හැඟêමක්වත් නැත. පින් දහම් කිරීමට මැලිකමක් දක්වති. දෙමාපිය, වැඩිහිටි, හා ගුරුවරුන් කෙරෙහි විය යුතු භක්තිය සිඳී බිඳී ගොස්ය. රටේ පවතින කලහකාරී දේශපාලන තත්ත්වය, අසමානතාවයෙන් සැලකීම, ජාතික හා ආගමිකවාදී ගැටුම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හා බලලෝභීකම මේවාට හේතු වශයෙන් දැකිය හැකිය.
ආර්ථික තත්ත්වය තවත් හේතුවකි. ජීවත්වීමට සරිලන වැටුපක් නොමැති වීම හා ආදායම් මාර්ග කීප දෙනකු අතරේ බෙදීගොස් තිබීම හා වරප්‍රසාද ලත් කොටසක් පමණක් බිහි වී තිබීම තවත් හේතුවකි. තරගකාරීත්වයට මුහුණ දීමට නොහැකි බැවින් මිනිස්සු නොයෙක් අපචාරී ක්‍රියාවලට යොමුවෙති. සියල්ල සිදුවන්නේ හොඳට බව සිතා කටයුතු කිරීම මේ ප්‍රශ්නවලට විසඳුමක් නොවන්නේය.
සමහර මිනිසුන් මුල් අවධියේ ඉතා අමාරුවෙන් නොකා නොබී දුක් ජීවිත ගතකරමින් යම්කිසි ඉගෙනුම් මට්ටමකට පත් වී පසුව යම් කාලයක රැකියාවක් ලබාගෙන වැඩිදුර ඉගෙනීම ලබා ඉහළ තලවලට ගොස් රැකියාවේදී තම සේවක පක්ෂයට සලකන්නේ ඉතාම අශිෂ්ට වූ පහත් ගති හා වෛරයෙන් මුසපත්වය. එසේ වන්නේ තමා අතීතයේ කරන ලද දුක් කම්කටොලු අනික් අයටත් විඳීමට සැලැස්වීමෙනි.
තමාගේ ජීවන පරිසරයෙන්, මාපිය ආරයෙන් විඳපු දුක් කරදරත් නිසා ඉතා කෲර වූ අධම පුද්ගලයන් බවට පත්වේ. අද රටේ වැඩි ආයතනවල පාලක පිරිස් මේ තත්ත්වයට පත්ව ඇත. මෙයට විසඳුම තමා කරන කටයුතු ඔබ ඔබගෙන් ම විමසීමෙන් යහපත් බවට පත් කිරීමයි.
නිතරම මුවග සිනහව රඳවන්න
පිවිතුරු වදන් සැමවිට පවසන්න
කාටත් සමව බැතියෙන් සලකන්න
දෙවරක් සිතා මිනිසත් බව රැකගන්න
ඊ. එල්. ඒ. කේ. ලියනගේ
0 Comments