අම්මිලාගේ "ළමා අපචාර" සහ අධ්‍යාපන මාමිලාගේ මරිමෝල් වැඩ


දිනෙන් දිනම ශ්‍රී ලංකාවේ ආශ්චර්යමත් දේ සිදුවෙමින් පවතී. මිනිසුන් ගහ කොළ සතා සීපාවා සේම වැස්‌ස වළාහක දෙවියෝද ආශ්චර්යම පාති. විටෙක රතු වැස්‌සකි. තවත් විටෙක කහ වැස්‌සකි. තව තැනෙක මාළු වැස්‌සකි. වෙනදා ඈත දියඹට පිහිනා යන මසුන් දහස්‌ ගණනින් මග වැරදී ගොඩටම පිහිනා එති. වනයේ සද්දන්තයෝ කාපට්‌ පාරවල් දිගේ නගරයට එති. කොහොඹ ගසක කිරි එරෙන්නේද මේනිසාය. ඒ අතරම වාරි මාර්ග බලධාරීන්ද, සුනාමි මවා අහිංසකයෝ නන්නත්තාර කරති. මේ සියලු කාරණාවෝ සිදුවන අපේ රටේ අද කොතැන බැලුවත් සිදුවෙන්නේම ආශ්චර්යමත් දේය. වරදක්‌ නැත. අපේ ඉලක්‌කය ලෝකයටම ආශ්චර්යය පෙන්වීමය. මේ අප ඉන්නේ ආසියාවේ ආශ්චර්යය කරා යන ගමන් මාවතේය.

පසුගියදාක රූපවාහිනි ප්‍රවෘත්ති නරඹන විට ලියුම්කරු දුටුවේ ලෝකයේ කිසිම රටක දක්‌නට නොලැබෙන අතිශයින් දුර්ලභ ආශ්චර්යමත් සිද්ධි පෙළකි.

අලුත් පාසල් වාරය ආරම්භ කෙරුණදා ලංකාවේ ප්‍රදේශ කිහිපයක බහුතරයක්‌ වූ අම්මිලා හය හතර නොදන්නා පුංචි දරු පැටවුන්ද සමග රටේ ප්‍රධාන මාර්ග හරස්‌ කරමින් පෑ උද්ඝෝෂණ මාලාවයි ඒ.

පළමු වසරේ හා පැටවුන්, අම්මිලා කරන දේ බලාගෙන අතපය විසිකරමින් කෑමොර දෙන්නේ තමන් කියන්නේ මොනවද, කරන්නේ මොනවාද කියාවත් නොදැනය. ඒ අතර අම්මිලා මහ හඬින් කෑ මොර දෙන්නෙත්, තම තමන්ගේ මිතුරු මිතුරියන් යටිගිරියෙන් බෙරිහන් දෙන්නේත්, කුමක්‌ හෝ බය හිතෙන දෙයක්‌ සිදුවීමට යන නිසා කියා හෝ එසේද නැතිනම් ඒ අය හා සමග හරි හරියටම සටන් පාඨ කීමට නොදන්නා අසරණකම නිසා හෝ ඇතැම් අහිංසක සමනොල පැටව් කළේ මහ හඬින් හැŽමය. මේ සියලු විසූක දර්ශන අප දුටුවේ මේ රටේ සියලුම විද්යුත් මාධ්‍ය හරහාය.

මෙම ඊනියා විරෝධතාවන් පසුබිමේ, විවිධ සාධාරණ අරමුණු අනන්තවත් තිබෙන්නට ඇත. එහෙත් එකී අරමුණු ඉටුකර ගැනීම අරබයා ඔවුන් විසින් අනුගමනය කළ ක්‍රමවේදය අතිශයින් අනර්ථකාරීය. කොටින්ම ලියුම්කරු විශ්වාස කරන ආකාරයට මේ හයහතර නොදන්නා කුඩා දරුවන් මෙබඳු අවිචාරවත් ක්‍රියාවකට පෙළඹීම සම්බන්ධයෙන් ඊට උරදුන් අම්මිලාටත් අනිත් වැඩිහිටියන්ටත් "ළමා අපචාර" චෝදනා එල්ල කිරීම යුක්‌ති යුක්‌ත සේ ලියුම්කරු දකී. සැබැවින්ම රටේ අනාගත පරපුරේම කොටසක්‌ වූ මේ අහිංසක මල් කැකුළුවල පිරිසිදු සිත් කිළිටි කළ මේ සියලුම වැඩිහිටියන් දරුවන්ගේ අලුත් පාසල් වාරය ආරම්භ කළ පළමු දවස මේ අයුරින් විනාශකර දැමීම වනාහී කිසිම අයුරකින් සමාව දිය නොහැකි බරපතළ විෂමාචාර ක්‍රියාවකි.

කුඩා දරුවන්ගේ සුන්දර සිහින ලස්‌සන කරන්නේ මුළු රටේම අනාගතයයි. දිනෙන් දිනම නරුම වැඩිහිටියන් කරන්නේ මේ පිවිතුරු සොඳුරු සිහින දරුවන්ගෙන් උදුරා ගැනීමය. වැඩිහිටියන්ගේ ප්‍රශ්න වැඩිහිටි මට්‌ටමින් විස¹ ගැනීම වෙනුවට දැන් ඒ සඳහා අහිංසක දරුවන්ගේ අසිරිමත් ළමා ලෝකය ප්‍රාණ ඇපයට ගැනීම කොයි තරම් මරිමෝල් ක්‍රියාවක්‌ද? මේ අම්මිලා සහ තාත්තිලා හය හතර නොතේරෙන දරුවන්ද සමග මහ පාර හරස්‌කොට, සෙසු මහජනතාව පීඩාවට පත්වන අයුරින් විරෝධතා දැක්‌වීම හරහා බලාපොරොත්තු වන්නේ පාසල් අධ්‍යාපනය තුළින් විනයගරුක දූ දරු පිරිසක්‌ රටට බිහිකිරීමේ උතුම් පරමාර්ථයද? නොඑසේනම් සැහැසිකමේ නපුරුකමේ විෂ බීජය ඒ හරහා මේ නොදරුවන්ගේ සිත් තුළට ඇතුළු කිරීමෙන් සියලුම සමාජ හර පද්ධතීන් විනාශකර දැමීමේ අඩිතාලම සකස්‌ කරදීමද? යන්න මෙම අවාසනාවන්ත තත්ත්වය ඔඩු දිවීමට පෙර මුළු රටම ඉහඳ තැබීමට පෙර ඉතා පැහැදිලිවම අප විසින් තෝරා බේරාගත යුතුය.

පහේ ශිෂ්‍යත්ව තරග විභාග ක්‍රමය හරහා දැනටමත් රටට සිදුවී ඇති විනාශය සුළු පටුනොවේ. අතිශයින් කුහක ආත්මාර්ථකාමී සමාජ රැල්ලකට අපි සැවොම හසුවී සිටින්නේ මේ ශිෂ්‍යත්ව ක්‍රමයේ ඇති අතිධාවනකාරී තරග රටාවේම ගොදුරු බවට පත්වීම නිසාය. එකිනෙකාට උදව් නොකරන, තනිවම ලෝකය ජය ගැනීමට වෙර දරන සහතික කොළ ගොඩ මිස මනුස්‌සකම ගැවීලාවත් නැති කඳුළක ලුණු රසය නොහඳුනන බහුතර අමන පරපුරක්‌ මේ රටට බෝකළේ පහේ ශිෂ්‍යත්වය තරගයත් ඊට සමගාමීව දිවෙන, අ.පො.ස. (සා.පෙළ), උ.පෙ. හා ඉන් එහාට වූ අනන්තවත් දේශීය විදේශීය විභාග කන්දරාව හරහාය. මේ රිලා පරපුරට ඉනිමං හැදුවේ 77 විවෘත ආර්ථික රටාවය. අධ්‍යාපනය ලැබීම, උගත්කම් වැඩි වර්ධනය කර ගැනීම මූලික මිනිස්‌ අයිතියකි. අපි සෑම සියලු දෙනාම ඊට ගරු කළ යුතුය. එහෙත් අවාසනාව වන්නේ අපේ රටේ මේ දේවල් සිදුවන ආකාරයයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේද හරහා මිනිසාගේ ප්‍රඥව වැඩි වර්ධනය කිරීමට ක්‍රමයක්‌ සකස්‌වී නොතිබීමය.

රටේ උගතුන් ඇත. බුද්ධිමතුන්ද ඇත. එහෙත් ප්‍රඥවන්තයින් හිඟය. බෙහෙවින්ම හිඟය. මනුස්‌සකම අධ්‍යාපනයට ඇතුලු නොවීම ඊට හේතුවයි. එකිනෙකා පරයා මහා කඳු මෙන් උස්‌වී සිටීමට වෙර දරන මිනිසුන් සෑම සමාජ තලයකම අපට දක්‌නට ලැබෙන්නේ රටේ අධ්‍යාපනයට මනුස්‌සකම කම ගෑවිලාවත් නැති නිසාය. මේ අවාසනාව කල්තියා දුටු ගුණදාස කපුගේ නම් අසිරිමත් සංගීතවේදියා.

"සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැඟෙන,

සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙනවා.

යනුවෙන් ගී ගයා ජනතා සිත් සතන් අවදි කරවීමට වෙර දැරුවේද ඒ නිසාය. එහෙත් මේ කිසිවක්‌ නෑසූ කන් ඇතිව මිනිසුන්ද ගැහැණුන්ද මේ මහා තරගයට එක්‌වී හති වැටී, ඇද වැටි මිය පරළොව යන තෙක්‌ම සැබෑ ලෝකය නොදැක, සැබෑ ජීවිතයේ රස නොවිඳ, කිසිදාක ජීවිතය විඳින්නේ නැතිව, ජීවිතයම විඳවමින් සිට අවසන් හුස්‌ම පොද හෙළති ඔවුහු. ගසක කොළයක්‌ සුළඟට වැටුණාක්‌ සේම නොසිතූ නොපැතූ මොහොතක වැටී මහ පොළවට පස්‌වී යති.

මිනිස්‌ ආත්මයක්‌ ලැබ උතුම් වූ මිනිස්‌ ගුණදම් වඩවාගෙන ඒ උතුම් මිනිස්‌ ගති ගුණ බාල පරපුර වෙත දායාද කොටදී රටට සේම ලොවටද වැඩදායී මිනිසෙකු ලෙස අවසන් හුස්‌ම පොද හෙළන්නට ලැබී ඇති මේ වාසනාවේ ඉඩහසර නූතන මිනිසා හරසුන් දේම බදා වැළඳ ජීවත්වීම තුළින් නැතිකර ගැනීම කෙතරම් අභාග්‍යසම්පන්නද?

අලුත් වසරක්‌ අපට උදාවී ඇත්තේය. 2012 දී ලෝකය විනාශ වේ යෑයි සිතමින්, තමන් දිවි නොතකා ධර්මයෙන් හෝ අධර්මයෙන් රැස්‌කළ මහා ධනස්‌කන්ධයට කුමක්‌ සිදුවේදැයි ලතැවෙමින්, හදවතින් වැළැපෙමින් පසුවූ මිනිසුන්ට ඒ සිතුවිල්ලම හරිමගට යොමුකර ගැනීමට, ලෝකය තවත් වසරක්‌ දී තිබේ. ලෝක විනාශය සිදුවීම, කියා කියා සිදුවන දෙයක්‌ නම් නොවේ. එය ස්‌වභාව ධර්මය විසින් හෝ මිනිසා විසින් හෝ මතු දිනෙක ඉටුකරදීම අනිවාර්යයි. ලෝකයේ මහා බලවතුන් රැස්‌කරගෙන සිටින න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක වූ සැණින් විනාඩි කිහිපයකින් මුළු ලොව සුන්නද්දූලි වී යැම කාට නම් නැවතිය හැකිද?

සුනාමි, භූ චලන සුළි කුණාටු ඕනෑම මොහොතක මහා පරිමාණ විනාශයන් තරාතිරම නොබලාම ලෝකයේම මිනිසුන් විපතට හෙළන්නේද, අසුරු සැණින්ය.

මේ අප ජීවත්වන ලෝකයේ සැබෑ ස්‌වරූපයයි. මෙබඳු අවිනිශ්චිත පරිසරයක්‌ තුළ ජීවත්වන අප, අපගේ මේ උමතු හැසිරීම් රටා ගැන මීට වඩා බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාලය දැන් දැන් අප සැම වෙතට ළඟාවී තිබේ.

වෛරය වෙනුවට මෛත්‍රියත්, ඊර්ෂ්‍යාව වෙනුවට සහෝදරත්වයත්, කුහකකම වෙනුවට සහජීවනයත් එකිනෙකා අතරේ බෙදාහදා ගෙන ජීවත්විය යුතු කාලය දැන් අපගේ දොරකඩටම ඇවිල්ලාය. අවශ්‍ය වන්නේ ගෙයි දොර විවෘත කිරීමය. ඔබගේ හදවත විවෘත කිරීමය. අද අපට දිනා ගැනීමට ලෝකයක්‌ ඉතිරි වී නැත. එහෙත් සොයා ගැනීමට හා බෙදාගැනීම කොහේ හෝ කොතැනක හෝ ශේෂවී ඇති මනුස්‌සකම හඹායැමට, අපට අපගේ ගමන් මඟ වෙනස්‌කර ගැනීම උදෙසා දැන් කාලය පැමිණ තිබේ. නැතිනම් අපගේ ලෝක විනාශය ඉතා ඉක්‌මනින්ම සිදුකරගන්නා තැනට අපි සැවොම තල්ලුවී යැම කිසිවෙකුටවත් නතර කළ නොහැකි වනු ඇත. වැඩිහිටියන් වශයෙන් මවුපියන් වශයෙන් අප මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්න හමුවේ අපි කිසිසේත්ම අපේ දරුවන් ප්‍රාණ ඇපයට ගතයුතු නැත.

නව වසරේ අලුත් පාසල් වාරයේ අලුත් පාසල් නිල ඇඳුමින් සැරසී, අලුත් පොත් අතින් ගෙන හදපිරි සොම්නසින් පාසලේ අකුරු කියන්නට ආ නොදරුවන්ට, උන්ගේ සුන්දර සිනහ මැද ජීවිතයට උදාවූ ලස්‌සනම දවසක, අසිරිය විඳින්නට ඉඩ නොදී, එදා මේ අම්මලා සහ ඇතැම් තාත්තිලාද නැටූ නාඩගම බඳු කරුමයන් තවදුරටත් අපට දකින්නට නොලැබේවායි ලියුම්කරු ප්‍රාර්ථනා කරයි.

දිනකට නූපන් දරුවන් 800ක්‌ ගබ්සා කොට මරාදමන රටක, බහතෝරන වියේ පසුවන දරුවාගේ සිට යන්තම් හය හතර නොතේරෙන දරු සිඟිත්තාට පවා අනුකම්පාවක්‌ නොදක්‌වන තරමට වැඩිහිටියා බොළඳ වී තිබේ. දරුණු වී තිබේ. අඳබාල වී තිබේ. ඒ සියල්ල සිදුවන්නේ නූතන වැඩිහිටියා ප්‍රඥසම්පන්න නොවීම නිසාය. ප්‍රඥසම්පන්න නොවූ මිනිසා තුළ සංයමයක්‌ නැත. විනයක්‌ නැත. ගුණ ගරුක බවක්‌ නැත. නීති ගරුක බවක්‌ නැත. කොටින්ම ප්‍රඥවක්‌ නැති මේ උගත්කමෙන් කාටවත් ඇති වැඩක්‌ද නැත.

මෙහිදී මෙබඳු අවාසනාවන්ත සිදුවීම් පෙළගැස්‌වීමට කටයුතු කරන අමන අධ්‍යාපන මාමිලා ගැනද වචනයක්‌ කිව යුතුය. මහ එකාට ලකුණු දමා ගැනීමට ඉඩහසර සලසාදීම තමන්ගේ එකම වගකීම සහ යුතුකම යෑයි සිතා කටයුතු කරන රාජ්‍ය නිලධාරි පැලැන්තියක්‌ කොයි කවරදාටත් වඩා රටේ සෑම රාජ්‍ය ආයතනයකම දක්‌නට ලැබේ. තම අංශ ප්‍රධානියාගේ අතින් ලබාගත යුතු පත්වීමේ ලිපිය පවා රජ ගෙදරින් ලබාගන්නා අපගේ බොහෝ රාජ්‍ය නිලධාරීන්, (ඉහළ තනතුරු නොව සාමාන්‍ය තනතුරු පවා) සැමවිටම කල්පනා කරන්නේ තමාගේ ඉහළ නිලධාරියාට නොව, තමන්ට සෘජුව හෝ අනියමින් සම්බන්ධ දේශපාලන බලවතාගේ හිතසුව පිණිස කටයුතු කිරීම යනු රාජ්‍ය සේවය කියාය. මේ නිසා ඕනෑම ගොං වැඩක්‌ "එහෙමයි සර්" කියා කරබාගෙන කිරීමට වර්තමාන රාජ්‍ය නිලධාරීන් සේම සාමාන්‍ය සේවකයන්ද පෙළඹී සිටීම රටේ ප්‍රශ්න බෙහෙවින් අවුල්වීමට තුඩුදුන් ප්‍රධාන කාරණාවය. රාජ්‍ය සේවකයා වගකිවයුත්තේ මේ රටේ බදුගෙවන ජනතාවට මිස රටේ දේශපාලකයන්ට නොවේය යන්න අපේ රාජ්‍ය සේවකයා නොදන්නා කාරණාවය. මේ නිසා සාකච්ඡාව, සම්මන්ත්‍රණය හා සම්මුතිය හරහා ප්‍රශ්න තේරුම් බේරුම් කරගැනීම වෙනුවට, දේශපාලන බලවතාගේ ඕනෑ එපාකම් අනුව රාජ්‍ය පරිපාලන කටයුතු කරන්නට අපේ බොහොමයක්‌ රාජ්‍ය ආයතනවල කාර්ය මණ්‌ඩල දැන් දැන් පෙළැඹී සිටී. මේ තත්ත්වයේ ඇති අවදානම මුළු රටටමය. රටම අරාජිත වෙමින් පවතී.

අධ්‍යාපනය වූ කලී රටේ අනාගතයට සෘජුවම බලපාන එක්‌ තීරණාත්මක සාධකයකි. එහෙත් මේ රටේ අධ්‍යාපන බලධාරීන් ගන්නා ඇතැම් තීන්දු තීරණ හරහා පසුගිය කාලය පුරාවටම අපට දක්‌නට ලැබුණේ කිසිසේත්ම සතුටට පත්විය හැකි කරුණු කාරණා නොවේ. සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධති සේම, පහළ බාලාංශය දක්‌වාම වැළඳී ඇත්තේ එකම එක රෝගයකි. ඒ දේශපාලන භීතිකාවය.

දෙමාපියන්, ගුරුවරුන් අධ්‍යාපන විශේෂඥයන් සහ සමාජ විද්‍යාඥයන් හා සමග වරින් වර සාකච්ඡා කොට නිසි අවබෝධයකින් යුක්‌තව, නිසි සැලැස්‌මක්‌ අනුව කටයුතු කිරීමෙන් පසු අධ්‍යාපන නියෝග ක්‍රියාත්මක කරනවා වෙනුවට, හිටි අඩියේම ගන්නා හදිස්‌සි තීන්දු තීරණ නිසා ඉන් පීඩාවට පත්වන මිනිසුන් ආවේගශීලීව හැසිරීම අරුමයක්‌ නොවේ. සැබැවින්ම මිනිසුන්ගේ මෙබඳු ආවේගයන් ඇතැම් විටෙක මහා සුනාමියකට වඩා දරුණු වීමටද ඉඩ තිබේ. එබඳු හැසිරීම් ගැන ලෝකය පුරාම අපට අසන්නට ලැබේ. ඒ නිසා මිනිස්‌ හැසිරීම් ගැන මීට වඩා අවබෝධයෙන් යුතුව සිතා, හැම අතින්ම හෙම්බත්වී සිටින මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ගැන මීට වඩා සැලකිලිමත්ව නිලධාරීන්සේම බලධාරීන්ද කටයුතු කිරීම දැන් රටටම ඕනෑ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ අදාළ පුද්ගලයන්ගේ ආකල්පමය වෙනසය. හරිදේට හරිය කීමටත්, වැරදි දේට වැරදිය කියා කීමටත් රාජ්‍ය නිලධාරීන්ට, කොන්දක්‌ ලබාදිය යුතුය. ප්‍රඥවන්ත රාජ්‍ය නිලධාරීන් අපේ රටේ ඕනෑ තරම් ඇත. අධ්‍යාපන බලධාරීන් අතරේද ඕනෑ තරම් සිටී. එහෙත් අවාසනාව වන්නේ මේ ප්‍රඥවන්තයන්ට කොන්දක්‌ නොමැතිවීමය. ඊට හේතුව කොන්ද ශක්‌තිමත් කරගැනීම වනාහී තමා විසින් තමාගේම සැප සම්පත් අහිමිකර ගැනීම බව ඒ අය සහසුද්දෙන්ම දන්නා නිසාය.

ජයන්ත විඡේසිංහ

Post a Comment

0 Comments