පාප්තුමාටශ්‍රී ලංකාවෙන් අභියෝගයක්‌

මෙතෙක්‌ කතාව - තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණෝ 15 වන සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගණ්‍ය පඬිරුවනකි. උන්වහන්සේ ත්‍රිපිටක වාගීෂ්වර, සකල කලා සර්වඥ සහ ෂඩ් භාෂා පරමේශ්වර යනාදී ගෞරව නාමවලින් පුද ලැබූහ. උන්වහන්සේට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව හසල දැනුමක්‌ තිබූ අතර ප්‍රබල ඖෂධ පිළිබඳ දැනුමක්‌ ද විය. 6 වැනි පරාක්‍රමබාහු රජ විසින් පුත්‍ර තනතුරෙහි හදාවඩාගත් උන්වහන්සේ පසුව සපුමල් කුමරු විසින් රජතුමාගේ ඇවෑමෙන් රජ වූ මුණුපුරා මරා දැමූ හෙයින් ගාලු දිස්‌ත්‍රික්‌කයේ "අම්බන නමැති ගමෙහි හුදකලාව තම අවසන් කාලය ගෙවීය. අපවත්වන්නට මොහොතකට කලින් රාහුල හිමි "සිදු අළු රසය" නම් බලගතු ඖෂධයන් පානය කළ බවත් එයින් සිරුර දින දශ ලක්‍ෂයක්‌ නරක්‌ නොවී තබාගත හැකි බවත් ජනප්‍රවාදයේ එන කරුණකි. සපුමල් කුමරු ජයබාහු කුමරා මරා දැමීමට තුන්වරක්‌ පැමිණියද එය වළක්‌වාලූයේ රහල් හිමිය. උන්වහන්සේගේ දකුණු බාහුවේ එය සඳහන් කවි දෙකක්‌ කොටා තිබී ඇත. අද ශාන්ත සේවියර්ගේ යෑයි පවසන සිරුරේ (ගෝවෙහි තබා ඇති) දකුණු අත නොමැති වීම අභිරහසකි. සිංහලයන් පවසන්නේ එම සිරුර රාහුල හිමිගේ යෑයි හඳුනාගත හැකි හෙයින් කතෝලිකයන් විසින් දකුණු අත කපා ඉවත්කර ඇති බවයි. කතෝලිකයන් පවසන්නේ එම අත කපා කොටස්‌ කොට විවිධ පල්ලිවලට නිල වශයෙන් යෑවූ බවයි. ශාන් සේවියර් යනු ස්‌පාඤ්ඤ ජාතිකයෙක්‌ වන අතර පාප් වහන්සේ විසින් ආගම පතුරුවා හැරීම සඳහා නැගෙනහිර ආසියාවට පිටත් කර යෑවූ අයෙකි. ඔහු චීනයට යන අතරමග "සැන්ක්‌සන්" නම් වූ දූපතෙහි මිය යන ලද බවත් පසුව මලක්‌කාවට ගෙන යැමට ගොඩගන්නා විට දේහය නරක්‌ නොවී තිබූ බවත් කතෝලිකයන් පවසති. සේවියර් පියතුමාගේ උස අඩි 5 1/2 වන අතර දැනට තිබෙන සිරුරේ දිග ඊට වඩා බෙහෙවින් අඩු හෙයින් සිංහලයෝ මෙය සේවියර්ගේ සිරුර නොවේ යෑයි පවසති. තවද මෙම සිරුරේ තුවාල ගණනාවක්‌ තිබෙන අතර සාන්තුවරයෙක්‌ගේ සිරුරේ තුවාල තිබෙන්නේ කෙසේදැයි අසන සිංහලයෝ රාහුල දේහයට තුවාල සිදුවූයේ පෘතුගීසීන් එම දේහය අම්බන ගමෙන් ඉවත් කිරීමට සැරසෙද්දී ගම්මු විසින් එය නවතාලීමට කළ සටනේදී බව පවසයි. තවත් කරුණු මෙතැන් සිට.....


ආචාර්ය ඒ. එච්. උභයසේකරයන් විසින් රචිත "ශ්‍රී ලංකාද්වීප වර්ණනා නම් පොතෙහි (1934) සඳහන් ඉතිරි කරුණු මෙසේය.

(ඈ) "වීදිය බණ්‌ඩාර" නම් පොතෙහි 58 වැනි පිටුවේ රාහුල හිමිගේ දේහය ශාන්ත සේවියර්ගේ යෑයි හඟවා "එම්බ්‍රොසියා වයිගරා" නමැති නෞකාවෙන් ගෝවේ වෙත ගෙන යන ලදැයි සඳහන් වේ. (මෙම පොත පිළිබඳ වැඩි විස්‌තරයක්‌ එහි සඳහන්ව නොමැත).

(ඉ) ශාන්ත සේවියර්ගේ ජීවිත කතා පොතේ 142 පිටුවෙහි වර්ෂ 1554 දී සේවියර්ගේ දේහය මලක්‌කාවේ සිට ලෝපස්‌ මොරොන්හෝගේ නෞකාවෙන් ලංකාවට ගෙන එන අතරතුර ගල්පරවල හැපී විනාශ වූ බවත්, සේවියර්ගේ ඇටකටුවලින් කොටසක්‌ ගොඩ බිමට ගෙනැවිත් ජයවර්ධනපුර පල්ලියක්‌ අසල භූමදාන කළ බවත් සඳහන් වෙයි.

(ඊ) අටවන අර්බත් පාප් වහන්සේ, සේවියර් පූජකතුමා ශාන්තුවරයෙක්‌ ලෙස ප්‍රකාශයට පත් කළ ලියවිල්ලෙහි කොතැනකවත් ශාන්තුවරයාගේ "සුරක්‍ෂිත වූ සිරුරක්‌" ගැන සඳහන් කොට නැත. එයිනුත් සනාථ වන්නේ එම පාප් වහන්සේ මෙම දේහය ශාන්ත සේවියර්ගේ නොවන බව දැනගෙන සිටින නිසා එවැනි සාවද්‍ය ප්‍රකාශයක්‌ කිරීමෙන් තමන්ටද අගෞරවයක්‌ ඇති නොවීමටය.

(උ) මෙම කාලවකවානුව තුළ බොහෝ ඉතිහාස කෘතීන් එළිදක්‌වා ඇත. බාරොස්‌ගේ ඉතිහාස පොත වර්ෂ 1551-1554 දී පෘතුගීසීන්ගේ කාලවකවානුවේදී මුද්‍රණය කොට ඇත. එහි බොහෝ වැදගත් ඓතිහාසික කරුණු අඩංගුව ඇති අතර එහි කොතැනකවත් ශාන්ත සේවියර්තුමෙකුගේ "සිරුරක්‌" ගැන සඳහනක්‌ නොමැත. කරුණු ඔවුන් පවසන අයුරින් සිදුවූයේ නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් යම්කිසි දෙයක්‌ කාලීන ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වීම වැළැක්‌විය නොහේ.

දැනට ඉන්දියාවේ ගෝවේ නුවර පල්ලියක තබා ඇති "දේහය" ශාන්ත සේවියර්ගේය සහ ශ්‍රී රාහුල හිමිගේය යන්න පිළිබඳව පිළිවෙළින් කතෝලිකයන් සහ සිංහල බෞද්ධයන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු ඉහත අයුරින් ඉදිරිපත් කළෙමු. ලංකාව තුළ මෙම දේහය රාහුල හිමිගේය යන්න සනාථ කිරීමට ලිත සාක්‍ෂි තවම හමුව නැතත් රට තුළ පවතින, පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ මුවින් මුව ගලා ආ ජනප්‍රවාද සහ ජන කවිවලින් එම දේහය "ගෝවේ" රටට ගෙන ගිය බැව් කියෑවෙයි.

තවද මීට දශක ගණනාවකට පෙර සිංහල බෞද්ධයෝ විසින් ඉතාම ප්‍රබලව මේ පිළිබඳව කතිකාවක්‌ ගොඩනඟා ඇති අතර මෙම දේහය රාහුල හිමිගේම යෑයි සාධක පෙන්වා ඉන්දියානු රජයට ලිපි පවා යවා ඇත. කාලයාගේ ඇවෑමෙන් ඒ පිළිබඳව උනන්දුව ද ක්‍රම ක්‍රමයෙන් ගිලිහී ගොස්‌ තිබේ.

මීට දශක 9 කට පමණ පෙර සමස්‌ත ලංකා ආර්යශීල මහා සම්මේලන සභාවේ සභාපති ඩී. ඇස්‌. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මහා සභාවේදී ශ්‍රී ලංකා බෞද්ධ සමිති සම්මේලනයේ ලේකම්වර ටී. යූ. ද සිල්වා මහතා මෙම දේහය පිළිබඳව රෝමයේ පාප් වහන්සේට ලියා ඇති ලිපිය මෙසේය.

"දැනට කතෝලිකයන්ගේ ගෞරව සම්මානයට භාජන වෙමින් තිබෙන ප්‍රැන්සිස්‌ සේවියර්තුමාගේ යෑයි ඔවුන් විශ්වාස කරන ශ්‍රී දේහය ආසියා ජාතිකයකුගේ ද, නැතහොත් යුරෝපා ජාතිකයකුගේ ද යන්න "ඇක්‌ස්‌රේ" පරීක්‍ෂණයකට භාජන කර මනුෂ්‍ය ජාතිය පිළිබඳ විද්‍යාව දත් කොමිටියක්‌ මගින් තීරණය කොට ලෝකයට සත්‍යය හෙළි කරන ලෙස පාප්වහන්සේට දන්වනු කැමැත්තෙමි."

මීට දශක නවයකට පෙර වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු නොවූ අවධියක "එක්‌ස්‌රේ" පරීක්‍ෂණයෙන් මෙම ගැටලුව නිරාකරණය කර ගත හැකියි ඔවුන් සිතා ඇති බව මෙයින් වැටහේ. නමුත් වර්තමානයේ ඩී. එන්. ඒ. පරීක්‍ෂණයෙන් මෙම ගැටලුව කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ හැකි බව අපි දනිමු.

මෙම දේහය පිළිබඳ ගැටලුව, එනම් එය රාහුල හිමිගේමද යන්න සනාථ කිරීමට එම කාලය තුළ රට තුළ තිබූ දේශපාලනික තත්ත්වය ද වටහා ගැනීම උචිත වේ. එනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීම පිළිබඳව අපගේ අවධානය යොමු කිරීම වටී.

(අ) මෙවන් අගනා "වස්‌තුවක්‌" එනම් රාහුල දේහය, පෘතුගීසීන්ට ඉතා පහසුවෙන් රටින් පිටමං කිරීමට හැකියාවක්‌ තිබුණේද?

(ආ) එවකට රටෙහි තිබූ දේශපාලනික තත්ත්වය තුළ එවන් දෙයක්‌ කිරීමට පහසුවෙන් හැකියාවක්‌ තිබුණේද?

(ඈ) එකල ලංකාවේ සිට ගෝවේවලට නිතර යැමට ඊමට ගමන් පහසුකම් තිබුණාද? (නෞකා, වරාය යනාදිය)

(ඈ) පෘතුගීසීන්ගේ හැසිරීම්/ ආකල්පයන් ගැන කල්පනා කරන විට මෙවන් අසාධාරණ, අශීලාචාර, සදාචාර නොවන කෲර දෙයක්‌ ඔවුන් විසින් කරන ලදැයි පිළිගත හැකිද?

රියර් අද්මිරාල් (ආචාර්ය) 
සරත් වීරසේකර

Post a Comment

0 Comments