චන්ද්‍රාට සිපිරි ගෙය උරුම කළ පෙම්වතාගේ තිළිණය


චන්ද්‍රා ඇගේ දෙමාපියන් සහ වැඩිමහල් සොහොයුරිය සමඟ ජීවත්වූයේ වෙරළාසන්නව ඉදි වූ නිවසකයි. ඇගේ පියා චාර්ලිස්‌ වන අතර මව මේරි නමින් හඳුන්වමු. මේ දකුණු වෙරළ හා නැගෙනහිර වෙරළ ද සංචාරක ව්‍යාපාරයට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් පැවති වකවානුවයි.

ඒ කාලයේ මුහුදු තීරය අවට සංචාරක හෝටල් කඩිමුඩියේ ඉදිවිය. සංචාරකයන්ගේ පැමිණීම හෝටල් ඉදිකිරීමේ වේගයටත් වඩා අධික විය. යුරෝපීය සංචාරකයන් බොහෝ දෙනා වඩාත් ප්‍රිය කළේ දකුණු වෙරළට වඩා නැගෙනහිර වෙරළටය.

මේ නිසා හෝටල් පිරී ඉතිරී යන විට ඒ අවට නිවෙස්‌ සංචාරක ව්‍යාපාරයට කැපවීම සාමාන්‍ය සිද්ධියක්‌ විය. එසේම සංචාරකයෝ වඩාත්ම කැමැති වූයේ පුංචි නිවසක කාමරයක්‌ කුලියට ගෙන වැඩිපුර කාලයක්‌ මුහුදු වෙරළේ ගතකිරීමටය. හෝටල්වල අයකරන අධික ගාස්‌තු මඟහැරීමට එය රුකුලක්‌ ද විය.

චන්ද්‍රාගේ පියා වන චාර්ලිස්‌ ද තම නිවසේ සංචාරකයන් සඳහා කාමර දෙකක්‌ වෙන් කළේය. ඔහුගේ බිරිඳ මේරි ඉවුම් පිහුම් කටයුතු සඳහා තම කාලය පූර්ණ වශයෙන් මිඩංගු කළාය. ඇගේ දැතින් සැකසුණු ආහාර පාන සංචාරකයන් තලු මරමින් රස වින්දාය.

කිසිම දවසක ඉංග්‍රීසි වචනයක්‌වත් දැන නොසිටි මේරි "යර්ස්‌", "නෝ" කියන්ට පටන් ගත්තාය. කාලයත් සමඟම ඇය කැඩිච්ච ඉංග්‍රීසියෙන් නොයෙක්‌ දේ කියන්නට ඉක්‌මනින්ම පුරුදු විය.

චාර්ලිස්‌ගේත්, මේරිගේත් තරුණ වියේ පසු වූ දියණියන් දෙදෙනා ද තම නිවසට අමතර ආදායමක්‌ රැස්‌ කළ සංචාරක ව්‍යාපාරයට අනුග්‍රහය දැක්‌වූහ. මේ කාලය වන විට පවුලේ බාල දියණිය වූ චන්ද්‍රා වැඩිහිටියන්ගේ කැමැත්ත ඇතිව එඩ්වඩ් නම් වූ තරුණයෙක්‌ හා පෙමින් වෙළී සිටියාය. තව වසරකින් ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුකිරීමට නියමිතව තිබිණි. ඇගේ නිවසේ සංචාරකයන් පවත්වා ගැනීම පිළිබඳව එඩ්වඩ් තුළ එතරම් කැමැත්තක්‌ නොතිබුණි.

"චන්ද්‍රා ඔයාහේම උන්ට උපස්‌ථාන කරන්න යන්න එපා. හොඳද?" එඩ්වඩ් තම අකමැත්ත කල්තියාම ප්‍රකාශ කළේය. "අපෝ නැහැ එඩ්වඩ්. අක්‌කා තමයි උන් ආවාම ඉස්‌සරහට ගිහින් උන්ට සලකන්නේ. මම දැන් කුස්‌සිය පැත්තට වෙලා ඉන්නවා."

ටික දිනකින් ඔවුන්ගේ නිවසේ ආර්ථික තත්ත්වයේ පිබිදීමක්‌ ඇති විය. කාමර කුලිය හා ආහාරපානවල ගාස්‌තු සියල්ල එකතු වී ආදායම් තත්ත්වය දිනෙන් දින වඩාත් යහපත් විය. චන්ද්‍රාගේ පියා වූ චාර්ලිස්‌ අත වෙනදාට වඩා මිල මුදල් බෙහෙවින් ගැවසෙන්නට විය.

හවස්‌ වන විට ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමට පටන් ගත්තේය. මේ නිසා නිවසේ පාලනය හා සංචාරකයන්ගේ ඕනෑ එපාකම් ඉටු කළේ මේරි විසිනි. ඇයට උදව්වට සිටියේ පවුලේ වැඩිමහල් දියණිය වූ කමලාය.

මේ අතර කාලයත් සමඟම එඩ්වඩ්ගේ මිතුරන් විසින් චන්ද්‍රාගේ නම සංචාරකයන් හා ඈ¹ නොයෙක්‌ කතා ගොතා කියමින් ඔහුට කේන්ති ගැස්‌සීම පුරුද්දක්‌ කර ගත්හ.

"චන්ද්‍රා මට ඉවසන්න බැරි මගේ යහළුවෝ ඔයා ගැන කියන කතාවලට."

"ඉතින් මම මොනවා කරන්නද එඩ්වඩ්. අපි දෙන්නා ඉක්‌මනට බැඳලා මෙහෙන් යමු. එතකොට ඉවරයි නේ."

"ඔව් චන්ද්‍රා, මමත් කල්පනා කළේ ඒකම තමයි. මම ඉක්‌මනට එම කටයුතු ලෑස්‌ති කරන්නම්කෝ."

එක්‌ දිනක්‌ මැදියම් රැයෙහි චන්ද්‍රා අවදි විය. තමන් සමඟ නිදා සිටි අක්‌කා කාමරයේ නැත. ඇය නැඟිට ගොස්‌ විපරම් කර බැලුවාය. අම්මා ද කාමරයේ නැත. තාත්තා ගොරවමින් තද නින්දේ පසුවෙයි. ඉදිරිපස කාමරවලින් කසුකුසු හඬ සමඟ සිනහ හඬ ඇසේ.

සිදු වී ඇති දේ තේරුම් ගැනීමට චන්ද්‍රාට එතරම් වේලාවක්‌ ගතවූයේ නැත. ලැඡ්ජාවෙන්, පිළිකුලෙන් හා බියෙන් ඇගේ හදවත සසල විය. තමා තවත් මේ නිවසේ ජීවත් වීමෙන් තමන්ව ද අපකීර්තියට පත්වන බව ඇය පසක්‌ කරගත්තාය.

චන්ද්‍රාට ගැනීමට ඇත්තේ එකම එක තීරණයක්‌ පමණි. ඒ ඉතා ඉක්‌මනින් එඩ්වඩ් හා විවාහ වී මේ නිවසින් නික්‌ම යැමය. දහසකුත් එකක්‌ සිතුවිලි අතර අතරමංව සිටි චන්ද්‍රා වෙත නිදි දෙව් දුව ඇය සොයා පැමිණියේ නැත. ඇය තද නින්දේ පසුවන බව අඟවමින් නිදි යහනේ අවදිවම සිටියාය.

හෝරා කීපයකට පසු තම අක්‌කා කාමරයට පැමිණියාය. ඇගෙන් අප්‍රසන්න දහදිය ගඳක්‌ වහනය වෙතැයි චන්ද්‍රාට දැනුණි. එදායින් පසු ඇය රාත්‍රි කාලය ගතකළේ ඉතාමත් ප්‍රවේශමෙන් හා බොහෝ විට අවදියෙන්ය.

තමන්ගේ අම්මාත්, අක්‌කාත් එදින කළේ කෝඩුකාර දෙයක්‌ නොවන බව ඇය පහසුවෙන්ම වටහා ගත්තාය. එදායින් පසු අකමැත්තෙන් හා අප්‍රසන්න බවින් තම නිවසේ ගත කළ ඇය තම විවාහය කඩිනම් කරන ලෙස බොහෝ විට එඩ්වඩ්ට යෝජනා කළාය. එහෙත් ඔහු දැන් දැන් විවාහය ගැන එතරම් සැලකිල්ලක්‌ නොදක්‌වන බව චන්ද්‍රාට ඉවෙන් මෙන් වැටහුණි.

එක්‌තරා අවාසනාවන්ත දිනෙක සැන්දැවකි. එඩ්වඩ් හති දාගෙන පැමිණියේ චන්ද්‍රා හමුවන්ටය. ඔහුට මොකක්‌ හෝ කරදරයක්‌දැයි ඇයට සිතුණි.

"ඇයි මේ කලබලේ. ඔයාට මොකක්‌ හරි කරදරයක්‌ද?"

"කතාකර කර ඉන්න වෙලාවක්‌ නැහැ චන්ද්‍රා. මේක පරිස්‌සමට අරං තියන්න. මම පස්‌සේ ඇවිත් අරගන්නම්"

එසේ කිව් එඩ්වඩ් කුඩා පාර්සලයක්‌ චන්ද්‍රා අත තබා, සරමත් කැහැපට ගසාගෙන එක පිම්මේ පලා ගියේය. මේ කිසිම දෙයක්‌ පිළිබඳව අදහාගත නොහැකිව ඇය, ඔහු දුන් පාර්සලය ද අතැතිව ඔහු ගිය ඉසව්ව දෙස අන්දමන්දව බලා සිටියාය.

මොහොතක්‌ ගතවීමට පෙර චන්ද්‍රා අබියස දිස්‌වූයේ පොලිස්‌ නිලධාරීන් කීපදෙනෙකි. ඔවුන් ඇගෙන් විමසුවේ ප්‍රශ්න තුනකි.

"කෝ එඩ්වඩ්"? "මං දන්නේ නැහැ"

"කොහෙටද ගියේ"

"මට මේක දීලා අර පැත්තට දිව්වා." "ඕකේ මොනවද තියෙන්නේ?" 

"මං දන්නේ නැහැ"

චන්ද්‍රා අත තිබුණ කුඩා පාර්සලය ද සමඟ ඇයව අත්අඩංගුවට ගැනිණ. මත්කුඩු ජාවාරම්කාරියක වශයෙන් හංවඩු ගසනු ලැබූ ඇය පොලිසිය දුන් සාක්‍ෂි මත අධිකරණය ඉදිරියේ වරදකාරියක වී සිපිරිගෙට ආවාය.

පසු විපරම

පොලිසියට ලැබුණු ඔත්තුව අනුව ඔවුන් පැන්නුවේ මත්ද්‍රව්‍ය ජාවාරම කළ එඩ්වඩ් පසුපසයි. උසස්‌වීම් බලාපොරොත්තුවෙන් සිටින සමහර පොලිස්‌ නිලධාරීන් අතින් මේ සමාජයේ සිටින බොහෝ කාන්තාවන්ට අසාධාරණකම් සිදුවන බව රහසක්‌ නොවේ. එහෙත් ඔවුන්ට කාගෙන් ගැලවුණත් තම හෘදසාක්‍ෂියෙන් ගැලවීමට නොලැබේ. ඕනෑම කෙනෙක්‌ තමන්ගේ වාසිය තකා අසාධාරණකම් කළොත් මේ ආත්මයේදීම දඬුවම් පලදී දුක්‌ විඳීමට සිදුවනවා ඒකාන්තය. එඩ්වඩ් කළ වරදට මහ උළුගෙදර ලගින්නට සිදුවූයේ ඔහුගේ පෙම්වතිය වූ චන්ද්‍රාටය.

(සත්‍ය කතාවකි. මෙහි සියලු නම් ගම් මනඃකල්පිතයි)
මාලා වජිරා පෙරේරා

Post a Comment

0 Comments