ගණිකාවකගේ අතීත කතාව


කොටුව ස්‌ටේෂන් එක ඉස්‌සරහ පොඩි කාලේ ඉඳන් කළේ විදේශිකයන්ට මාල (කෘත්‍රිම) විකුණපු එක. අම්මයි තාත්තයි නැති නිසා ඉස්‌කෝලේ ගියෙත් නැහැ. වයස අවුරුදු 14 දී හඳුනාගත්ත කෙනෙක්‌ එක්‌ක එකට ජීවත් වුණා. එයා මැරුණම පස්‌සේ යන එන අයට ලිංගික ශ්‍රමය අලෙවි කරලා කන්න බොන්න මුදල් හොයා ගත්තා. යෑයි දැනට 78 හැවිරිදි වියෙහි පසුවන මිත්තණියක වන දයාවතී පවසන්නීය.

දරුවන් පස්‌ දෙනකුගේ මවක්‌ මෙන්ම මුණුබුරු මිණිබිරියන් රැසකගේ මිත්තණියකද වන දයාවතී තවමත් එදා වේල පිරිමසා ගැනීම සඳහා මුදල් සොයා ගනුයේ ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙනි. ඇයගෙන් ලිංගික ශ්‍රමය මිල දී ගැනීම සඳහා පාසල් සිසුන් මෙන්ම තරුණයන්ද පැමිණෙන බව ඇය කීවාය.

"දිවයින ඉරිදා සංග්‍රහයෙහි" පළ වන "අබිසරු ලියකගේ අතීත කතාව" විශේෂාංගය සඳහා සිය ජීවිත කතාව පැවැසීමට පැමිණි ඇය මෙසේ දොඩමළු වූවාය.

"අම්මයි තාත්තයි ගැන මතකයක්‌ නැහැ. පොඩි කාලේ ඉඳන්ම කොටුව ස්‌ටේෂම ළඟ තිබෙන බාර් එකක්‌ ඉස්‌සරහ විදේශිකයන්ට මාල විකුණපු එක තමයි කළේ. වයස අවුරුදු 14 වන විට ස්‌ටේෂම ළඟදී හඳුනගත්ත තරුණයෙකු හා එකට ජීවත් වුණා. ඔහුගෙන් ළමයි පස්‌ දෙනකු ලැබුණ. ඉන්න හිටින්නට තැනක්‌ තිබුණේ නැති නිසා පදික වේදිකාව තමයි වාසස්‌ථානය වුණේ. ළමයි හැදුනෙත් පදික වේදිකාවේමයි" දයාවතී කීවාය.

පිරිමි දරුවන් තිදෙනකුගේත් ගැහැනු දරුවන් දෙදෙනකුගේත් මවුපියන් වූ දයාවතී හා විවාහ නොවීත් සැමියා ලෙස සැලකූ තරුණයා පවුල නඩත්තු කරන ලද්දේ විදේශිකයන්ට මාල අලෙවි කිරීමෙනි. එයින් ලැබුණු ආදායම ඇතැම් දිනවල ඔවුන්ට ආහාර පාන මිලදී ගැනීමටත් ප්‍රමාණවත් වී නොමැත.

බාලම දරුවාට වයස මාස දෙකක්‌ පිරෙන විට හදිසියේ දයාවතීගේ සැමියා මිය ගියේ දරුවන්ගේ සියලු කටයුතු දයාවතීගේ කර පිට පටවමිනි. සැමියාගේ මරණය නිසා දරුවන් පස්‌ දෙනකු හදාවඩා ගැනීමේ වගකීම කර පිට පැටවීම නිසා ප්‍රමාණවත් ආදායමක්‌ උපයා ගැනීම දයාවතීට සිහිනයක්‌ම වූවාය. මාල විකිණීමෙන් ලද ආදායම සැමියා සිටින විටද පවුල නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවීය.

මනා රූ සපුවකින් පසු වීම නිසා ඒ වන විටද ඇයත් දරුවනුත් රැඳී සිටි පදික වේදිකාව අසලින් යන පිරිමින්ගේ උකුසු ඇසට දයාවතී ගොදුරුව සිටියාය. එහි ප්‍රතිඵලය වූයේ දරුවන් නඩත්තු කිරීම සඳහා මුදල් සොයා ගැනීම සඳහා ඇය ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට පෙළඹීමයි.

දයාවතීගේ දරුවන්ද කුඩා කාලයේ සිටම දැක ඇත්තේ පිරිමින්ට ලිංගිකශ්‍රමය අලෙවි කරන තම මවයි. පාසල් පවා නොගිය දයාවතීගේ දරුවන් පස්‌ දෙනාම වැඩි වියට පත්වත්ම දයාවතීගෙන් වෙන්ව ගොස්‌ ඇඳුම් විකිණීම වැනි සුළු රැකියාවල්වල නිරත වන්නට විය. තම මව විසින් ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් උපයා ගත් මුදලෙන් හැදී වැඩුණු දයාවතීගේ දරුවන් වැඩිවියට පත් වූ පසු මවගෙන් වෙන්ව ගියේ ඇයට සැලකීමටත් උනන්දුවක්‌ නොදක්‌වාය.

දයාවතීගේ වැඩිමල් දියණිය දැනට කොළඹ නගරයට යාබද ජනාකීර්ණ ප්‍රදේශයක නිවසක ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන්නීය. දයාවතී දැනට නැවතී සිටින්නේද එම නිවසෙහි කුඩා කාමරයකය. දිනපතාම උදෑසන කොටුවේ දුම්රිය ස්‌ථානයේ පහළ කොටසට පැමිණෙන ඇය තවමත් ලිංගික ශ්‍රමය අලෙවි කරමින් හා මාල විකුණමින් තම දිවිය ගැට ගසා ගැනීමට පෙළඹ සිටින්නීය.

" තරුණ කාලයේ තරුණයන් මෙන්ම වැඩිහිටි පිරිමින්ද ලිංගික ශ්‍රමය මිල දී ගත්තා. දැන් කොළඹ නගරයේ පාසල් සිසුන් මෙන්ම තරුණයන්ද ලිංගික ශ්‍රමය මිල දී ගැනීමට එනවා. එසේ පැමිණෙන ඇතැම් පාසල් සිසුන්ට තම වයසේ මිත්තණියෝද සිටිය හැකි වුවද ඔවුන්ට තමන්ගෙන් ලිංගික ශ්‍රමය මිල දී ගැනීම හැර මවක්‌, මිත්තණියක්‌ ලෙස තමාට සැළැකීමට අවශ්‍යතාවයක්‌ නොමැති බව දයාවතී සඳහන් කළාය.

පාසල් සිසුන් තම පාසල් නිල ඇඳුමෙන්ම තමා වෙත පැමිණෙන බව ඇය කීවාය.

පදික වේදිකාවේ කුඩා කාලයේ සිට හැදී වැඩී දරුවන්ද බිහි කළ දයාවතී තවමත් ලිංගික ශ්‍රමය අලෙවි කරනුයේ අප සමාජයේ පවතින අගනා සංස්‌කෘතික හරයන්ද ප්‍රශ්නාර්ථයට ලක්‌ කරමිනි.

මේ වන විට දරු මුණුබුරන් මධ්‍යයේ විවේකීව සිටිය යුතු වුවද ඇය තවමත් එදා වේල සොයා ගැනීම සඳහා ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් මුදල් උපයා ගනී. තරුණ කාලයේදී මෙන් ලොකු ආදායමක්‌ උපයා ගත නොහැකි වුවද ලිංගික ශ්‍රමය අලෙවි කිරීමෙන් උපයා ගන්නා රුපියල් 100 ක හෝ 200 ක මුදලද ඇයට මහ මෙරක්‌ වැනිය.

මේ වන විට දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැනි රෝගාබාධවලින් පෙළෙන ඇයට උපකාර කිරීමට ඇයව ජීවත් කර වීමට කවුරුන් හෝ ආධාර උපකාර කරන්නේ නම් ලිංගික ශ්‍රමය අලෙවි කිරීම නතර කිරීමට සූදානමින් සිටින්නීය. 

ඇය අදටත් එච්.අයි.වී/ඒඩ්ස්‌ තබා ලිංගික ශ්‍රමිකයන්ට වැළඳිය හැකි සමාජ රෝග පිළිබඳව කිසිවක්‌ නොදනී. ඒ කිසිවකු ඇය ඒ ගැන දැනුවත් කර නොමැති නිසාය.

කුඩා කල සිටම නිවසක වාසය නොකළ ඇය කුඩා නිවසක සිය සැඳෑ සමය හෝ ගත කිරීමට ආශාවකින් පසු වන අතර සුළු ස්‌වයං රැකියාවක්‌ කිරීමට පරිත්‍යාගශීලියෙකුගේ දායකත්වය බලාපොරොත්තු වන්නීය.

"ජීවිතය කටුකයි" දන්නා හඳුනන කාලයේ පටන් හැදුනේ වැඩුනේ පදික වේදිකාවේ ළමයිනුත් එහෙමයි. අඩුම ගානේ මුණුබුරු මිණිබිරියන්වත් නරක මගට යන්නැතිව හොඳින් හැදුනොත් සතුටුයි" දයාවතී අවසන් වශයෙන් ප්‍රකාශ කළාය.

ඒමන්ති මාරඹේ

Post a Comment

0 Comments