වඳවී යන ආවේණික කඵ වඳුරා රැකගමු


කළු වඳුරන්ගේ තවත් වර්ණ ප්‍රභේදයක්‌ ලෙසද සැලකෙන වඳුරන් කාණ්‌ඩයක්‌ විල්පත්තු, තන්තිරිමලේ, මඩු ප්‍රදේශවල වාසය කරයි. අනෙක්‌ උප විශේෂවල මෙන් දම් පැහැති මුහුණක්‌ තිබෙන මෙම වඳුරන්ගේ ශරීර වර්ණය රන්වන් දුඹුරු පැහැයක්‌ ගෙන ඇත. ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරන්, වඳවී යැමේ තර්ජනයට ලක්‌වීම සංරක්‍ෂණ ක්‌ෂේත්‍රයෙහි අවධානයට ලක්‌වී තිබෙන කරුණකි. මේ පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවීමද දැන් ඉතා වැදගත්ය.

Purple Faced - Leaf monkey ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන කළු වඳුරන්ගේ මුහුණ දම් පැහැතිය. මොවුන්ගේ ප්‍රධාන ආහාරය ශාකවල කොළ වර්ග නිසා කොළ වඳුරන් ලෙසද ව්‍යවහාර වෙයි. කළු පැහැති ශරීරයෙහි සුදු පැහැති ත්‍රිකෝණාකාර ලපයක්‌ ශරීරයෙහි පිටුපස පෙදෙසෙහි, පසු පස පාද දෙපස සහ වලිගය දක්‌වා පිහිටා ඇත. මෙම වඳුරන් රැක ගැනීම සඳහා වනාන්තර රැක ගැනීම පළමුව කළ යුතුය.

වනාන්තරවාසී කළු වඳුරන් රංචුවක සතුන් 5 -8 දක්‌වා ප්‍රමාණයක්‌ සිටින අතර, රංචුවට නායකත්වය ලබාදෙන එක්‌ පිරිමි සතෙකු සිටී. අනෙක්‌ සතුන් ගැහැනු සතුන් වන අතර පරිණතභාවයට පත් නොවූ පිsරිමි සතුන්ද සිටී. වසර දෙකකින් පමණ ලිංගික පරිණතභාවයට පත්වන කළු වඳුරකුගේ ආයු කාලය අවුරුදු 18 - 20 ක්‌ පමණ වෙයි. 

කළු වඳුරන්ගේ ආමාශයෙහි සිටින සහජීවී බැක්‌ටීරියා විශේෂයක්‌ මගින් ඌ ආහාරයට ගන්නා කොළ වර්ගවල සෙලියුලෝස්‌ අනු කැඩීම සිදුකිරීම නිසා (විභේදනය කිරීම) ආහාර ජීර්ණය වීම පහසුකරයි. මේ නිසා උදය වරුවේ කොළ වර්ග ආහාරයට ගන්නා වඳුරන් දිවා කාලයෙන් වැඩි වේලාවක්‌ තුරු අතර විවේකීව සිටී. උස්‌ ශාක අතු මත රාත්‍රි කාලය ගත කරන කළු වඳුරන් හිමිදිරි පාන්දර අවදි වන්නේ නායක වඳුරාගේ නාද කිරීමෙන්ය. තම රෑනේ සීමාව සලකුණු කිරීම පිණිසද මෙසේ නාද කරයි. වනාන්තරවාසී කළු වඳුරන් නිතරම ඉහළ වියනෙහි සිටින අතර පහළ මට්‌ටම්වලට කලාතුරකින් පැමිණෙයි. 

ශ්‍රී ලංකාව තුළ වානර විශේෂ පහක්‌ වාසය කරති.

01. ශ්‍රී ලංකා කළු වඳුරා - Purple - Faced leaf monkey ආවේණිකයි - උප විශේෂ හතරයි

02. ශ්‍රී ලංකා රිළවා Toque macaque ආවේණිකයි - 

උප විශේෂ තුනයි 

03. හැලි වඳුරා - Grey Langur 

04. අළු උණහපුළුවා - grey slender loris

05. ශ්‍රී ලංකා රත් උණහපුළුවා - Red slendor loris - ආවේණිකයි 

මුළු ලොවින්ම මෙරට පමණක්‌ ජීවත්වන කළු වඳුරන්ගේ උප විශේෂ තුනක්‌ තෙත් කලාපයෙහිද, එක්‌ උප විශේෂයක්‌ වියළි කලාපයෙහිද වාසය කරති.

තෙත් කලාපයෙහි වෙසෙන උප විශේෂ තුනෙහි පැවැත්ම මේ වන විට අවදානමට ලක්‌වී ඇත. එයට ප්‍රධාන හේතුව වනාන්තර විනාශ කිරීමයි.

මෙම උප විශේෂ හතර අතරින් බටහිර කළු වඳුරු උප විශේෂය Trachypithecus vetulus nestor වඳවී යැමේ තර්ජනයට ලක්‌වී තිබෙන බව වර්ෂ 2007 දී ප්‍රකාශිත IUCN රතු දත්ත වාර්තාවෙන් හෙළිදරව් විය.

මෙම උප විශේෂය බස්‌නාහිර පළාත තුළ බහුලව ව්‍යාප්ත වී සිටින අතර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයන්හි ඇතැම් ප්‍රදේශවලද පැතිරී සිටී. මෙම උප විශේෂයෙහි වඳුරන්ගේ සුදු පැහැති ශ්‍රොaණී ලපය තරමක්‌ අඩු තිව්‍රතාවයක්‌ පෙන්වයි. බස්‌නාහිර පළාතෙහි වනාන්තර ශීඝ්‍රයෙන් විනාශ කිරීම නිසා කළු වඳුරන්ගේ වාසස්‌ථාන සහ ආහාර හිඟවීම ප්‍රධාන ගැටලුවකි. මේ නිසා වඳුරන් ගම්මාන සහ නාගරික ප්‍රදේශ කරා පැමිණීමෙන් මිනිසුන්ගේ බෝගවලට සහ දේපළවලට අලාභහානි සිදුකිරීම නිතර වාර්තාවෙයි. මේ අයුරින් කළු වඳුරන් සහ මිනිසුන් අතර ගැටුම් ඇතිවීම දැන් සුලභවෙමින් පවතී.

මෙවැනි තත්ත්වයක්‌ මත වඳුරන් විවිධ අයුරින් අන්තරායට ලක්‌වී ඇත.

වඳුරන්ව මිනිසුන් විසින් හිංසා කිරීම සහ මරා දැමීම විවිධ ප්‍රදේශවල සිදුවන අතර, විදුලිසර වැදීම, මාර්ග අනතුරු, වස කැවීම ආදිය ප්‍රධාන තර්ජන වෙයි.

වඳුරන්ව ආරක්‍ෂා කිරීම සහ වඳුරු උවදුරු මැඬලීම පිණිස වඳුරන් වාසය කරන ස්‌වාභාවික වනාන්තර තිබෙන ප්‍රදේශ තෝරාගෙන සංරක්‍ෂණ කලාප ලෙස නම් කිරීම, සහ නීතිගත කිරීම, වඳුරන් පලවා හැරීමට සුදුසු වර්ණයෙන් යුත් (රතු වර්ණය) ඇඳුම් හිස්‌වැසුම් පැළඳු පුහුණු පලවා හරින්නන් යොදා ගැනීම, සුදුසු ආධාරක භාවිත කිරීම, රූපමය (කොටියාගේ රුව) සහ හඬවල් භාවිත කිරීම මෙන්ම වඳුරන්ගේ විසුම් බිම් ආසන්න ප්‍රදේශවල ආවරණ සහිත විදුලි රැහැන් භාවිතය සහ නාගරික හා ගම්බද ප්‍රදේශවල වන වගාව වැඩිකිරීම මගින් මෙම ගැටලුවට යම් අයුරකින් පිළියමක්‌ ලබාදිය හැකිවෙයි. වඳුරන් ආහාරයට ගන්නා ශාක වර්ග වැඩිපුර රෝපණය කිරීම මගින් ආහාර සුලභ වීම සහ වඳුරන්ට ගමන් කිරීමට තුරු මාර්ග සැපයීම සිදුවෙයි. එලෙසම ශේෂව පවතින වනපෙත් තුළ සහ අවටද වන වගාව වැඩිකිරීමෙන් වනාන්තරවල වෙසෙන වඳුරන් රැකගත හැකිවෙයි. එසේම විධිමත් ලෙස කසල බැහැර කිරීම මගින් වන සතුන්ගෙන් සිදුවන උවදුරු වළකාගත හැකිවෙයි. මහාචාර්ය සරත් කොටගම සහ ආචාර්ය ආර්. රුඩ්රන් (Dr. Rudran) යන විද්වතුන්ගේ උපදේශකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙහි සත්ව විද්‍යා අංශයෙහි දායකත්වයෙන් ක්‍රියාත්මක වන බටහිර කළු වඳුරු සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින්, වග ප්‍රදේශයෙහි පාසල් සිසුන් සහ මහජනයා දැනුවත් කිරීම හා රුක්‌ රෝපණ වැඩසටහන් ආරම්භ කර ඇත.

ඉහළ කඳුකරයෙහි දිවිගෙවන කඳුකර කළු වඳුරන්ද (පොදු ව්‍යවහාරනාමය - වලස්‌ වඳුරා) Trachypithecus Vetulus monticola වන විනාශය නිසා අවාසනාවන්ත ඉරණමකට ලක්‌වී ඇත. මෙම වඳුරන්ගේ සුදු පැහැති ශ්‍රොaණි ලපය පිහිටා නොමැති අතර ශරීරය වලසකුගේ මෙන් ඝන ලෝමවලින් පිරී ඇත. විවිධ වගාවන් සඳහා කැළෑ ප්‍රදේශ එළිපෙහෙළි කිරීම වලස්‌ වඳුරන්ට තිබෙන ප්‍රධාන තර්ජනය වෙයි. මොවුන් නුවරඑළිය, හෝටර්න්තැන්න, සිරිපා අඩවිය ඇතුළුව සීමිත ප්‍රදේශයක වාසය කරයි. උණහපුළුවන් පිළිබඳව පර්යේෂණවල නිරතව සිටින සමන් ගමගේ මහතා සහ චාමර හෙට්‌ටිආරච්චි මහතා භූමි තොරතුරු ක්‍රමවේදය භාවිතයෙන් වඳුරු සංරක්‍ෂණ කලාප හඳුනාගැනීම සිදුකර ඇත. ඔවුන් විසින් නුවරඑළිය, හග්ගල රක්‍ෂිතය අවට වන වගා ව්‍යාපෘති ඇරඹීම කඳුකර කළු වඳුරන්ගේ වාසභූමි වැඩිදියුණු කිරීම පිණිස ප්‍රයෝජනවත් වී ඇත.

ශරීරය පිටුපස පිහිටි සුදු පැහැති ශ්‍රොaණි ලපය දීප්තිමත්ව පිහිටා තිබෙන උප විශේෂය හමුවන්නේ දකුණු පළාතෙනි. මෙම දක්‍ෂිණ කළු වඳුරු උප විශේෂය Trachypithecus vetulus vetulus ගාල්ල, මාතර දිස්‌ත්‍රික්‌කවල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙහි ඇතැම් ප්‍රදේශවලද ව්‍යාප්ත වී ඇත.

වනාන්තර විනාශ කිරීම නිසා මෙම උප විශේෂයටද වාසස්‌ථාන සහ ආහාර හිඟවීමේ ගැටලුවට මුහුණ දී සිටී. 

දක්‍ෂිණ කළු වඳුරන්ගේ පැවැත්මට අහිතකරවන තත්ත්වයන් කෙරෙහි අවධානය යොමුකර, පිළියම් යෙදීම සඳහා මධුර ද සිල්වා මහතාගේ උපදේශකත්වයෙන් ගාල්ල වනජීවී සංරක්‍ෂණ සංගමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඔවුන් විසින් සුදු වඳුරන් කාණ්‌ඩයක්‌ සිංහරාජ වන්නාතරයෙන් සොයාගත් අතර, එම වඳුරන් දක්‍ෂිණ කළු වඳුරු උප විශේෂයෙහි වර්ණ ප්‍රභේදයක්‌ ලෙස සැලකෙයි.

වියළි කලාපයෙහි වාසය කරන කළු වඳුරු උප විශේෂය පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්‌වාත්, අනුරාධපුර, පොළොන්නරුව ඇතුළුව රට මැද විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වී සිටී.

Trachypithecus vetulus philbriki

මෙම උප විශේෂයට දැඩි තර්ජන නොමැති වුවද වනාන්තර විනාශ කිරීම තර්ජනයක්‌ වෙයි.

කළු වඳුරන්ගේ තවත් වර්ණ ප්‍රභේදයක්‌ ලෙසද සැලකෙන වඳුරන් කාණ්‌ඩයක්‌ විල්පත්තු, තන්තිරිමලේ, මඩු ප්‍රදේශවල වාසය කරයි. අනෙක්‌ උප විශේෂවල මෙන් දම් පැහැති මුහුණක්‌ තිබෙන මෙම වඳුරන්ගේ ශරීර වර්ණය රන්වන් දුඹුරු පැහැයක්‌ ගෙන ඇත. සත්ව විද්‍යාත්මක නාමය Trachypithecus vetulus harty උප විශේෂයක්‌ ලෙස තවම හඳුනාගෙන නැත. වාසය කරන ප්‍රදේශයද අනුව තම්මැන්නා කොළ වඳුරන් ලෙසද හැඳින්විය හැකිය. (මෙම වඳුරන් හඳුන්වන පොදු නාමයක්‌ නොමැත.) 

මෙම ප්‍රදේශවල සිදුවන මහ පරිමාණ වන විනාශය මෙම වඳුරු ප්‍රභේදයෙහි පැවැත්මට විශාල තර්ජනයක්‌ වී ඇත. වියළි කලාපීය කළු වඳුරු උප විශේෂය කෙරෙහි අවධානය යොමු කරමින් රිළා වඳුරු උවදුරු මැඬලීම පිණිස ජනතාව දැනුවත් කිරීම, විධිමත් ලෙස කසළ බැහැර කිරීම සඳහා ක්‍රියා මාර්ග ගැනීම මගින්, ස්‌මිත් සෝනියන් වානර විවිධත්ව සංරක්‍ෂණ සංවිධානය කටයුතු සිදුකරයි. මේ සඳහා ආචාර්ය Wolf Gang Dittus සහ පර්යේෂණ නිලධාරි සුනිල් ගුණතිලක යන මහතුන් උපදේශකත්වය ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වාසය කරන කළු වඳුරන් රැක ගැනීම උදෙසා විවිධ සංවිධාන සහ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම සුබවාදී කරුණකි. නමුත් වානරයන්ට සිදුවන උපද්‍රවවලින් ඔවුන්ව ආරක්‍ෂා කිරීම පිණිස ආවරණ සහිත විදුලි රැහැන් භාවිත කිරීම, වන සංහාරය නැවැත්වීම සහ වෙනත් ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම පිණිස ක්‍රියාකිරීම සඳහා රජයේ අවධානය යොමුවිය යුතුය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සතු උරුමයක්‌ වන වානර විශේෂ අතුරින් කළු වඳුරන් ජාතික වශයෙන් වැදගත් වන සත්වයෙකි. උන්ගේ හැසිරීම් රටා නිරීක්‍ෂණය කිරීමද ආකර්ෂණීය වෙයි. ශ්‍රී ලංකා කළු වඳුරන් සංචාරක ව්‍යාපාරයෙහි ආකර්ෂණීය සත්වයකු ලෙසද හැඳින්විය හැකිය. මේ නිසා අප රටට ආවේණික කළු වඳුරන් රැක ගැනීම සඳහා විධිමත් ලෙස ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙයි.

කල්යාන් කාරියවසම්

Post a Comment

0 Comments