ඉංගී්‍රසි පාලනය සෙල වූ කොළඹ කරත්තකරුවෝ


1906 සිංහල, දෙමළ හා මුස්‌ලිම් ජාතිකයන්ගෙන් සමන්විත වූ කොළඹ නගරයේ කරත්කරුවෝ එම යුගයේ ප්‍ර්‍රධාන ප්‍රවාහන කටයුතුවල නිරත පිරිස විය. එඩිතර ආකල්පයක්‌ හා සටන්කාමී ජීවයක්‌ ඇති අයවලුන් පිරිසක්‌ ලෙස පෙනී සිටි මේ පිරිස නිතර ගමනේ යෙදීම හා වෙනත් කම්කරු කණ්‌ඩායම් සමග ආශ්‍රය කිරීම ඇතුළත් සිය වෘත්තීමය ස්‌වරූපය නිසා අභීත වූත් ස්‌වාධීන වූත් අධිකාරි බලයට විරුද්ධව නැඟී සිටීමට වුවත් සූදානම් පිරිසක්‌ විය.

1906 දී මෙම කරත්තකරුවන් සියලුදෙනා වර්ජනයක යෙදෙමින් ඉංගී්‍රසි ආණ්‌ඩුකාරයා වෙත සිය දුක්‌ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා පෙත්සමක්‌ රැගෙන ගියහ. 800 ක්‌ පමණ වූ මෙම පිරිස කරත්තවල වියගස මත නැඟ අසභ්‍ය සින්දු කියමින් හා විවිධ රැඟුම් පාමින් සුරුට්‌ටු බොමින් පොලිසියට සමච්චල් කරමින් කොළඹ නගරය පුරා සංචාරය කළේය. බඩු ප්‍රවාහනය කිරීමට කිසිවකුට ඉඩ නොදුන් ඔවුහු එසේ කළ කරත්ත පෙරළා දැමීය. ගොනුන් කරත්තෙන් ලිහා මුදා හැරියහ. මේ පිළිබඳව "සරසවි සඳරැස" එකල මෙසේ වාර්තා කළේය.

"... නාගරික සභාව තුළ 5000 ක්‌ පමණ රැස්‌වී සිටියහ. බදාදා කොළඹ ජනයා ද සිංහල ගැටව් ද මහත් සේ කිපී සිටියේය. ඉඳහිටලා කරත්තයක්‌ ගියේ නම් එය අල්ලා හරකුන් ලිහා කරත්තය පෙරළා දැමීය. කොටුවේ ප්‍රධාන සාප්පුවක ඉංගී්‍රසි මැනේජර්වරයකු බඩු පටවා ගත් කරත්තයක්‌ කොටුවේ දුම්රියපළට ගෙනාවිට මල්වත්ත අසලදී කණ්‌ඩායමක්‌ කරත්තය නැවැත්විය. ඉංගී්‍රසිකාරයා පිස්‌තෝලයක්‌ ඇතිව ඉදිරියට පැන්නේය. වෙඩි වැදුණත් නොබියව සිංහලයකු ඉදිරියට පැන ඔහුට ගැසූ අතුල් පහරක්‌ නිසා පිස්‌තෝලය බිමදමා ඔහු ක්‍රිස්‌තියානි සංගමයේ පොත්ගුලට රිංගුවේය. එවිට සිය ගණනක්‌ ඔහු වට කරගෙන පොත් ගුලට ද ගසා වීදුරු ජනෙල් පොඩි කරන ලදී. කරත්තකරුවා ද පැන ගියේය. හරක්‌ දෙන්නා කොටුව පිටකොටුව වීදිවල දිව්වෝය. කොල්ලෝ ගොනුන් පස්‌සේ පන්නමින් ගොනුන්ගේ භීතිය වැඩි කළේය. කරත්තය පාරේ පැත්තකට පෙරළන ලදි. මේ නිසා කොළඹ මරක්‌කල, හම්බකඩ සියල්ල වසා දැමුණි. මැරයෝ කඩවලට පැන බඩු කොල්ල කෑහ. නැතිනම් විසිකර දැමූහ. මේ නිසා තොටළඟට යන ට්‍රැම් කාර් හවස දිවීම නවත්වන ලදී. යුරෝපීයයෝ බොහෝ බිය විය. උතුමාණන් වහන්සේ පවා මන්ත්‍රණ සභාවට පැමිණියේ වෙනදා මෙන් ඇරපු රථයක නොව වසන ලද රථයකිනි. මේ තරම් විශාල සෙනඟක්‌ කොහෙන් ආවාදැයි පුදුම සිතේ....." මෙම කරත්තකරුවන්ගේ සටන කරත්ත අයිතිකරුවන්ට විරුද්ධව නොවන නිසා ඔවුන්ගේ සහය කරත්තකරුවන්ට ලැබිණි. නාගරික නිලධාරීන්ගේ හා පොලිසියේ අණපනත් හා නියෝගවලට විරුද්ධ වූ මේ සටනට සහය දුන් ප්‍රධාන ප්‍රභූවරයා ජෝන් කොතලාවල මහතාය. (ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ පියා) ඔහු කරත්තකරුවන් මත පනවන ලද අලුත් කොන්දේසි හා රෙගුලාසි අසාධාරණ බවත් අල්ලස්‌ ගැනීමට පොලිසිය තව තවත් මේ නිසා පෙළැඹෙන බවත් දන්වා විජිත ලේකම්ට සන්දේශයක්‌ යෑවූ අතර කරත්තකරුවන් හා කොන්ත්‍රාත්කරුවන්ගේ මහා රැස්‌වීමක්‌ සංවිධානය කර එහි මුලසුන ගත්තේය. ඒමගින් කරත්තකරුවන්ගේ සංගමයක්‌ පිහිටුවනු ලැබූ අතර සාමාජික මුදල ශත 50 යෑයි ද කොන්ත්‍රාත්කරුවන් මුදලින් මේ සඳහා ආධාර කළ යුතු යෑයි ද තීරණය විය. මෙලෙස කොළඹ කරත්තකරුවන් එක්‌ දිනකදී ඉංගී්‍රසි ආණ්‌ඩුව සලිත කළේය.

(ශ්‍රී ලංකාවේ කම්කරු පංති ඉතිහාස ඇසුරිනි)
බණ්‌ඩාරගම - සමරසේන මුදලිගේ

Post a Comment

0 Comments