අහස පොළොව නුහුලන මෙම කඳුළු කතාව ආරම්භ වන්නේ බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ දිගහැරුණු අපරාධ නඩු විභාගයකිනි. මෙම සිද්ධියේ කථානායිකාව වන්නේ බණ්‌ඩාරවෙල උපත ලබා තම වෙර වීරියෙන් සරසවියට පා නැගූ සරසවි ශිෂ්‍යාවකගෙනි. ඇය සහ සොහොයුරන් දෙදෙනකු ඇගේ පවුලේ සාමාජිකයන්ය. ඇගේ පියා ඇයට යාන්තමින් දස වසර පිරෙද්දී ජීවිතයෙන් සමුගනී.
ඉන්පසුව උදා වූයේ කටුක දිවියකි. ඇයගේ මව පවුලේ බර කරට ගත්තීය. ඇය අසීරුතාවෙන් වුව ජීවිතයට මුහුණ දුන්නීය. මේ අභාග්‍යසම්පන්න ඉරණමට ඇය මුහුණ දෙන්නේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව සිය උපාධියේ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට සබරගමුව විශ්වවිද්‍යාලයේ සිට කොළඹට පැමිණි මොහොතේය.
කටුනායක 'ස්‌ටාර්ගාමන්ට්' ඇඟලුම් කම්හලේ ව්‍යාපාර පරිපාලනය පුහුණුවීම සඳහා ඇයට අවස්‌ථාවක් ලැබිණි. පුහුණුවීමේ කාලය සඳහා ජා-ඇල තුඩැල්ලේ තාවකාලිකව නවාතැන්පොළක් සොයා ගැනීමට ඇයට හැකි විය. ඇයට මෙම කරුමක්‌කාර ඉරණමට මුහුණ දීමට සිදුවන්නේ ඒ වකවානුවේදීය. මේ වන විට ඇයට වයස අවුරුදු 24 ක් සපිරුණා පමණි. ඇය නිවාඩු දින හතර සිය අසරණ මව සමඟ වෙසක් පොහොයට පන්සලට යාමට සහ මවගේ ආදරය මැද නිවසේ ගත කිරීමට ලකලැහැස්‌ති වූවාය. තුඩැල්ලෙන් හිමිදිරියෙන් කොළඹට ගිය හොත් ඇයට උදැසනම බණ්‌ඩාරවෙල බසය ලබාගත හැකි බැවින් පෙර දිනයේ ඇය රෑ නිදිවර්ජිතව ගත කොට එළිවෙන යාමයේ උදැසන 4.05 ට පමණ කොළඹට යාම සඳහා තුඩැල්ලේ සාමාන්‍යයෙන් බස් නවතන ස්‌ථානයට ඇය පැමිණියාය.
ඇය තුඩැල්ල බස් නැවතුම්පළේ හුදකලාව සිටියදී ඇය පසුකර ඉදිරියට ගියේ කළු පැහැති ඩිෙµන්ඩර් රථයකි. මඳ දුරක් ඉදිරියට ගිය ඩිෙµන්ඩර් රථය, ආපසු ඇය සිටින ස්‌ථානයට ඇදී එයි. එයින් බසින්නේ හැඩි දැඩි කාමාතුර මාරයාය. ඔහු පොලිස් නිලධාරියකු සැකකටයුතු අයකුගෙන් ප්‍රශ්න කරන ආකාරයෙන් මුවැත්තියක් මෙන් ගැහෙමින් සිටින සරසවි ශිෂ්‍යාවගෙන් දිගක් හරක් නැතිව ප්‍රශ්න කරයි.
තමා ඔහු හඳුන්වන්නේ ජා-ඇල පොලිසියේ ඕ. අයි. සී. ලෙසටය. ඇය තමාගේ විස්‌තර ඔහුට පවසන්නේ ඒ නිසාය. ඔහුගේ පිළිතුර වූයේ තමා ජා-ඇල පොලිසියෙන් ලබාදෙන දන්සලට අවශ්‍ය බඩුගෙන ඒමට කොළඹට යන බවත් ඇයව කොළඹ බස් නැවතුම්පළට ඇරලවීම පහසු කරුණක් බවත් වෙසක් පුන් පොහෝ දිනක මෙවැනි උපකාරයක් කිරීම පිං අතේ වැඩක් බවත්ය.
කුඩා සිරුරක් ඇති සරසවි ශිෂ්‍යාව ඔහුගේ ජීප් රථයේ නැගීමට අකමැත්තක් දැක්‌වුවත් ඔහු ඇයට කතා කළ තර්ජනාත්මක ආකාරය නිසා ඇය අකමැත්තෙන් ඔහු ජීප් රථයට නැංගාය.
කොළඹ දක්‌වා ධාවනය වන ජීප් රථය වත්තලට ආසන්න වද්දී ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට පිවිස වත්තල හැඳල ප්‍රීතිපුර මුහුදට ආසන්නව සංචාරක හෝටල් පිහිටි ප්‍රදේශයට ධාවනය විය. දැන් යාන්තමින් අරුණලු වැටී ඇත. ශිෂ්‍යාව දැඩි චකිතයට පත් වේ. එහෙත් නොනවත්වා ධාවනය කරන ජීප් රථය නවතනු ලබන්නේ සංචාරක ලැගුම් හලක් ඉදිරියේය. ඉන්පසු සිදුවන්නේ ඔබත් මමත් කිසිදිනක නොඇසිය යුතු කතාවකි. කාමාතුරයාගේ පහත් ආශාවන් ඉටුකර ගැනීමෙන් පසුව මේ බව කාටවත් නොකියන ලෙසට මරණීය තර්ජනය කර සරසවි සිසුවිය කොළඹ ප්‍රධාන බස් නැවතුම්පළේ දමා යයි. ඇය දැඩි තැතිගැන්මකින් සහ බයෙන් ලැඡ්ජාවෙන් යුතුව බණ්‌ඩාරවෙල බස් රථයට ගොඩවී කෙළවරේ වූ අසුනක වාඩිවී දෙකොපුලෙන් වැගිරෙන කඳුළින් යුතුව තමා අද අලුයම මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම පිළිබඳව දැඩි පිළිකුලෙන් යුතුව ආවර්ජනය කරයි.
ඇයට බසයේ යමින් සිටියදී ඇයට සිහිවන්නේ තමාට හොඳ නරක කියාදී දෙවියෙක් ලෙස උදව් කළ තමාගේ ගුරුතුමකු වන බණ්‌ඩාරවෙල ආර්. එම්. දයානන්ද මහතාමය. ඇය බස් රථයේ සිට කෙඳිරිගාමින් තම ගුරුතුමාට කීවේ "මාව විනාශ කළා" කියාය. පසුව ඉතා කෙටියෙන් එම අවාසනාවන්ත ඉරණම පිළිබඳව දැනගත් ගුරුතුමා වහා නීතිමය උපදෙස් ලබාගැනීම සඳහා බණ්‌ඩාරවෙල පොලිසිය කරා යයි. එහිදී එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් උපදෙස් ලැබෙන්නේ එම ශිෂ්‍යාව වහාම ළඟම ඇති රෝහලකට ඇතුළු වන ලෙසටය. එම පණිවුඩය ගුරුවරයා විසින් සරසවි සිසුවියට කළ දැනුම් දීම මත ඇය එම බසයෙන් අවිස්‌සාවේල්ලේදී බැස වහා අවිස්‌සාවේල්ල රජයේ රෝහලට ඇතුළත් වෙයි. එහිදී ඇය පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌වෙයි.
පසුව කෙරුණු පොලිස් පරීක්‍ෂණවලදී මෙම දූෂණ සිද්ධියට අදාළව වත්තල හුණුපිටිය වේවැල්දූව පාර අංක 339 හි පදිංචි හේවාන්දිගේ නුවන් ජනක නමැති 24 හැවිරිදි කෝටිපති පුතා අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවක් සඳහා ඔහු රිමාන්ඩ් භාරයට පමුණුවයි. හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවේදී අතවරයට පත් ශිෂ්‍යාව එම කෝටිපති පුතා සහ සුද්දෙක් හඳුනා ගනී, ඇයට වූ අකරතැබ්බය අධිකරණයට හෙළිකරයි.
2010 මැයි වෙසක් සඳ මෝදුවන දිනක කළ පවක "දිට්‌ඨධම්ම වේදනීය" කර්මය ඒ අනුව පලදුන්නේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. ඔහුට එරෙහිව නඩු තීන්දුව ප්‍රකාශකරමින් මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය පැවසුවේ විත්තිකරුට එරෙහිව තිබූ අධිචෝදනා තුන සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත් විත්තිකරු මෙම නිහීන ක්‍රියාවට යොමුවී ඇත්තේ ඔහුගේ බලය සහ ධන බලය පෙරටු කරගෙන බවත්, රට ජාතිය දීප්තිමත් කිරීමට අවශ්‍ය මෙවැනි උගත් සරසවි සිසුවියන් සෙල්ලම් බඩුවක් ලෙස පාගා පොඩිකර විනාශ කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට මෙම ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත් ඔහු අනුකම්පාව නොපැතිය යුතු බවත් පැවසුවාය. මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් සිදුකරනවුන් සමාජයෙන් ඈත් කර තැබිය යුතු බවත් මොහුට දෙන දඬුවම සමාජයට ද ආදර්ශයක් ගත හැකි ලෙස පමුණුවන ලෙසය.
නඩු විභාගයේ ඉදිරිපත්වූ සාක්‍ෂි සහ දේශන අනුව සරසවි සිසුවිය පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනා තුනට විත්තිකරු වරදකරු බවට නිගමනය කළ බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් විත්තිකරුට වසර 37 ක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් සහ රුපියල් 45,000 ක දඩ නියම කරන ලදී. ඊට අමතරව විත්තිකරු විසින් දූෂණය කළ සරසවි ශිෂ්‍යාවට රුපියල් ලක්‍ෂ 27 ක වන්දියක් ගෙවීමට ද වැඩිදුරටත් නියෝග කළාය.
මීගමුව විමල් කීර්ති
0 Comments