හේරත් හාමිගේ රජිත බණ්‌ඩාර අනුරාධපුරය ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. හරිහමන් රැකියාවක් නොමැති රජිත ජීවත් වීම සඳහා නොයෙක් රැකියාවල නිරත වූහ. විටෙක අනුරාධපුර පූජා භූමියේ නෙළුම් මල් විකුණන රජිත තවත් විටෙක රියෑදුරකු ලෙස කටයුතු කරයි. එම රැකියාවටද ආයුබෝවන් කියන ඔහු යළි ගඩොල් කපන වැඩපළක වැඩ කරයි.
කුමන රැකියාවක නිරත වුවත් එක දිගට එය කරගෙන යැමේ වුවමනාවක් ඔහුට නොතිබුණි. සමහර විට මාසයක් ඇතුළත ඔහු රැකියා තුන හතරක් මාරු කළේය. මෙම තත්ත්වය මත ආර්ථික වශයෙන් ස්‌ථාවර වීමටත් රජිතට නොහැකි විය. කුමන හෝ ක්‍රමයකින් සල්ලි සොයා ගැනීම ඔහුගේ එකම අරමුණ විය.
මේ අතර කාලය තුළ රජිත තමා දන්නා හඳුනන තරුණියක් සමඟ විවාහ විය. විවාහයෙන් පසු මුල් මාස කිහිපය මෙම ජෝඩුව ජීවත් වූයේ කිරි පැණි මෙනි. ආර්ථික අමාරුකම් ආදී කිසි ප්‍රශ්නයක් ගැන ඔවුහු එතරම් නොතැකූහ. කෙසේ හෝ එදා වේල සොයා ගැනීම මොවුන්ගේ මූලික අරමුණ විය.
කැදැල්ල තුළ ආර්ථික ප්‍රශ්න වැඩිවීමත් සමඟ දෙදෙනාගේ ආදරය පෑළදොරෙන් පැන ගියේය. මුල් කාලයේ වචනවලට පමණක් සීමාවූ ආරවුල් පසුකාලීනව ගුටි බැට දක්‌වා වර්ධනය විය. මේ අතර ආර්ථික අපහසුතාවලින් හෙම්බත්ව සිටි රජිත එයින් ජය ගැනීම සඳහා නීති විරෝධී අයුරින් මත්පැන් පෙරුවේය. එයද වැඩි කලක් කරගෙන යැමට නොහැකි වූයේ පොලිසියට හසුවීම නිසාය.
අවසානයේ රජිතට තම බිරිඳව පෙනුණේ මහත් කරදරයක් ලෙසිනි. දෙන්නාට එක වහලක් යට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදාවිය. වැඩිහිටියන් කොතරම් අවවාද කළත් ඒවාද ගඟට කැපූ ඉනි මෙන් විය. අවසානයේ කිසිවකුටත් කරන්නට කිසිම දෙයක් ඉතිරි නොකර දෙදෙනා දික්‌කසාද වූහ.
දික්‌කසාදයෙන් පසු නැවතත් රජිත තනිකඩ ජීවිතයක් ගත කළේය. කුමන හෝ රැකියාවක් කර සල්ලි ටිකක් සොයා ගන්නා ඔහු සවසට මත්පැන් ටිකක් තොල ගෑවේ පාළුව මකා ගැනීමට වුවද ක්‍රමයෙන් එය පුරුද්දක් බවට පත් විය. රජිතගේ අරමුණක් නැති ජීවිතය එලෙසින් ගෙවී ගියේය.
මොනදේ කළත් රජිතගේ ජීවිතයේ එක පුරුද්දක් තිබුණි. ඒ දිනපතාම පාහේ ලොතරැයි කිහිපයක් මිලදී ගැනීමයිs. අතේ වැඩිපුර මුදල් ගැවසුණ දිනවල ලොතරැයි දහයක් පහළොවක් රජිත මිලදී ගත්තේ ඉක්‌මනින් ලක්‍ෂපතියකු හෝ කෝටිපතියකු වීමේ අදහසිනි. නමුත් කිසි දිනක ඔහු රුපියල් දහසකට නොවැඩි මුදලක් ජයග්‍රහණය කර නොතිබුණි. මේ අතර රජිතගේ සිත නැවත වරක් තරුණියක් ළඟ නතර වූවේය. එම තරුණිය රජිතට අවංකව ආදරය කළාය. ඇයට වුවමනා වූයේ රජිතව ඉක්‌මනින් කසාද බැඳ සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමටයි. දෙවැනි වරටත් රජිත විවාහ දිවියට ඇතුළු වූයේ වැඩිහිටියන්ගේ ආශීර්වාද ලබමින්ය.
කාලය වේගයෙන් ගෙවී ගියේය. රජිතගේ නව කැදැල්ලට දරු පැටව් දෙදෙනෙක් ද එකතු වූහ. ඒ සමග ම රජිතගේ වගකීම් ද වැඩි විය. නමුත් කලක් යද්දී රජිත පරණ ජීවිතයටම හුරු පුරුදු විය. ජීවිතය දෛවයට භාර දුන් ඔහු අරමුණක් නැති පුද්ගලයකු ලෙස ජීවත් විය. මත්පැන් ටිකක් පානය කිරීමත් ලොතරැයි කිහිපයක් මිලදී ගැනීමත් ඔහු නොකඩවාම සිදු කළේය. රජිතගේ බිරිඳ ධෛර්යවන්ත ගැහැනියක වූවාය. ඇයට වුවමනා වූයේ රජිතව හොඳ මිනිසකු කර දරු දෙදෙනා සමග සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමටය. ඒ සඳහා ඇය නොවිඳිනා දුක් වින්දාය. ඇතැම් අවස්‌ථාවල රජිතගෙන් ගුටි පවා කෑවාය.
හරිහමන් රැකියාවක් නොමැති රජිතට ජීවිතය එපා වී තිබුණි. කිහිපවරක් ජීවිතයෙන් පවා සමු ගැනීමට ඔහු තීරණය කළේය. නමුත් තම දරු දෙදෙනා ගැන සිතා එය අත් හැරියේය. ජැන්ඩියට ඇඳ පැළඳ යන තරුණයකු දුටු විට රජිතගේ හිතට ඔහු ගැන සියුම් ඊර්ෂ්‍යාවක් නැඟුණේ තමාටත් එසේ ඇඳ පැළඳ යන්න ඇත්නම් කියාය. රජිත යළි අනුරාධපුර පූජා භූමියේ නෙළුම් මල් විකුණුවේය. එදින සිකුරාදා දවසකි. වෙනදාට වඩා රජිත නෙළුම් මල් විකුණා සැලකිය යුතු මුදලක් සොයාගෙන තිබුණි. තමාගේ ජීවිතයේ වාසනාවන්ත දිනය අද බව ඔහු නිකමට හිතුවේය. එසේ සිතා වෙනදාත් වඩා ලොතරැයි පත් ප්‍රමාණයක් ඔහු මිලදී ගත්තේය. එදින එම ලොතරැයි පත්වල පළමු ජයග්‍රාහී මුදල රුපියල් කෝටිපහකි.
එදින රුපියල් කෝටි පහේ ජයග්‍රාහී මුදල ඇදී තිබුණේ අනුරාධපුර නගරයටය. ලොතරැයිපත් දස දහස් ප්‍රමාණයක් විකිණෙන එම පූජා නගරයේ ජයග්‍රාහකයා කවුරු දැයි කිසිවෙක්a එදින දැන සිටියේ නැත.
පසුදින රජිත සුපුරුදු පරිදි රැකියාවට ගියේය. පූජා නගරයට පය ගහපු ගමන් රජිතට දැනගන්න ලැබුණේ කෝටි පහේ දිනුම අනුරාධපුර නගරයට ඇදී ඇති බවයි. තම කමිස සාක්‌කුවට අත දැමූ රසික පෙරදින මිලදී ගත් ලොතරැයිපත් රැගෙන අහල තිබූ ලොතරැයි කූඩුව වෙත පියනැඟුවේය.
ජයග්‍රාහී අංක බලා තම ලොතරැයි පත් පිළිවෙළින් පිළිවෙළට නිරීක්‍ෂණය කළ ඔහු අවසානයේ එක් තැනකින් නතර විය. නැවතත් ජයග්‍රාහී අංක දෙසත් තම ලොතරැයිපතේ අංක දෙසත් බැලුවේය. අංක සියල්ල සමානය. නැවත නැවතත් ඔහු එදෙස බැලුවේය. අංක සියල්ල සමානය.
මෙය නම් මහ පුදුමයකි. එදින වාසනාව කැරකී තිබුණේ රජිතටය. කෝටි පහේ ජයග්‍රාහකයා ඔහුය. පිම්මේ ගෙදර දිවගිය ඔහු සිය බිරිඳ ඇතුළු පවුලේ හිත මිතුරන් සමග සතුට බෙදා ගත්තේය. එදින ඔහුට නිදි නැති රැයක් විය. තමා දැන් කෝටිපතියකු බව සිතා ඔහු ආඩම්බර විය. ජයග්‍රාහී රුපියල් කෝටි පහ ලබා ගැනීමත් සමග රජිත එහෙන් පිටින්ම වෙනස් විය. දැන් තමා කෝටිපතියෙකි. එමනිසා තමාට ඕන දෙයක් කළ හැකි බවය. ඔහු සිතා සිටිය. වෙනදා කතා නොකරන ව්‍යාපාරිකයෝ පවා ඔහු සමග සුහදව කතා කළහ. එයින් ඔළුව උදුම්මාගත් රජිත සිsටියේ පොළොවට අඩි ගණනක් උඩින්ය. වෙනදා නැති යහළුවෝ රජිතව සොයාගෙන ඇවිත් මිතුදම් ඇති කර ගත්තෝය. ඉඩම් අක්‌කර කිහිපයක් සහ වෑන් රථයක් මිලදී ගත් රජිත පවුලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයේ නිවසක් තැනීමටද කටයුතු කළේය. දැන් රජිත ගෙවන්නේ සුපිරි ජීවිතයකි. වාසනාවට ලැබුණ මුදල් අත දිග හැර වියදම් කළේ ඉදිරිය ගැන නොසිතමිනි. වෙනදා මල් විකුණන යහළුවන් සමග ගල් අරක්‌කු ටිකක් පානය කරන රජිත සල්ලි ලැබීමත් සමග ඉස්‌තරම් වර්ගයේ විදේශීය මත්පැන් පානය කිරීමට පුරුදු වූවේය. ඔහු වටා නොහඳුනන යහළුවෝ විශාල ප්‍රමාණයක් එකතු වූහ. ඒ සියලු දෙනාට අතදිග හැර වියදම් කිරීමට රජිත මැළි නොවූහ. සමහර දිනවල යහළුවෝ සමග මාසයක් පමණ කොළඹ නැවතී විනෝද වූහ.
බිරිඳ නිතරම පැවසුවේ යහළුවන් සමග නිස්‌කාරණයේ මුදල් වියදම් නොකරන ලෙසයි. නමුත් එය බීරි අලින්ට වැයූ වීණා මෙන් විය. අවසානයේ බිරිඳ රජිතගෙන් බලෙන් මෙන් මුදල් ප්‍රමාණයක් ගෙන තමාගේ බැංකු ගිණුමට දමා ගත්තේ වෙන්න යන විනාශය දුර තියා දුටු නිසාය.
මේ කාලය තුළ රජිතගේ බේබදු යහළුවෝ ගංජා සහ හොරොයින් පානය කරවීමටත් රජිත ඇබ්බැහි කරගෙන සිටියහ. දිනපතාම රජිත යහළුවෝ සමග ගංජා සහ හෙරොයින් පානය කළේය. බිරිඳ ඇතුළු වැඩිහිටියන් එලෙස නොකරන ලෙස නොවඳිනා වැඳුම් වැඳ රජිතට කිව්වත් එය ඔහු සතපහකටවත් ගණන් ගත්තේ නැත. මත්ද්‍රව්‍යවලට කොතරම් ඔහු ඇබ්බැහිව තිබුණ ද කියතොත් තම නිවසේ ඉතිරි වැඩ කටයුතු කර ගැනීමටවත් ඔහුට නොහැකි විය. වසර දෙකක් පමණ එලෙස නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පානය කළ රජිත හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් අසූවක් සමග පසුගිය 29 වැනිදා උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ පුරාවස්‌තු ආරක්‍ෂණ නිලධාරීන්ට හසු විය. එම අවස්‌ථාවේ රජිත එම හෙරොයින් ප්‍රමාණය ඊයම් කඩදාසියක ඔතා මුඛයේ රඳවා ගෙන සිට ඇත. මීට මාස තුනකට පෙර ගංජා කිලෝ එකක ප්‍රමාණයක් ළඟ තබාගැනීමේ වරදට වරදකරු වී රිමාන්ඩ් බන්ධනාගාර ගත වී ඇප පිට පැමිණ ඇත.
නරක මිතුරන් ඇසුරට පත්වී හෙරොයින් වැනි භයානක මත්ද්‍රව්‍ය පානය කරමින් රජිත දැන් තම මුදල් සහ ජීවිතය ද නැතිs කර ගෙන ඇත. මෙතරම් විශාල මුදලක් ලැබී පවුලේ අය සමග ජීවිතය සතුටින් ගෙන යැමට රජිතට නොහැකි වී ඇත්තේ ඔහුගේ වාසනාවට වඩා වැඩි කාලකණ්‌ණිකමක් ජීවිතයට එකතුවී ඇති නිසාද? එම කාලකණ්‌ණිකම ඔහු ජීවිතයට ඕනෑකමින් ගෙන ආ දෙයකි.
පුරාවස්‌තු ආරක්‍ෂණ ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජීව කුමාර, කුලතිස්‌ස (23279), බණ්‌ඩාර (10854), බණ්‌ඩාර (57357), බස්‌නායක (39980), නිශ්ශංක (65151), ධම්මික (4018) යන නිලධාරීහු මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
ගයාන් සමරසිංහ
0 Comments