වසර 3000ක අතීතයක්‌ ඇලහැරින් දිගහැරේ


ඇලහැර කියූ පමණින් අපේ රටේ බොහෝ දෙනාගේ මතකයට නැඟෙනුයේ අගනා මිණිකැට මතුවන බිමක්‌ ලෙසටය.

රටට බත සපයන පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ මහ ගොවි ජනපද ව්‍යාපාර අතුරින් ඇලහැර ගොවි ජනපදයද ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී. 

මේ සියලු වටිනාකම් අභිබවා මේ දිනවල "ඇලහැර" ඓතිහාසික පුරාවෘත්තයකට හිමිකම් කියනු ලබයි. එනම් මෙයට වසර 3000 ක්‌ පමණ 

පැරැණි සොහොන් බිමක්‌ ඇලහැර, බකමූණ ප්‍රදේශයෙන් හමුවීමයි. බකමූණ, සිරිකඳුයාය, කටුව නමැති ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉපැරැණි සොහොන් බිම පිළිබඳව මූලික පර්යේෂණ සිදුකළ මධ්‍යම සංස්‌කෘතික අරමුදල එය මූලික කෘෂිකාර්මික යුගයට අයත් එකක්‌ බව නිගමනය කොට ඇත.

පොලොන්නරුවේ ඉපැරැණි රාජධානියෙන් බැහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශයකින් හමුවූ මෙම මෙගලිතික සුසාන භූමිය රාජධානි සමයට වඩා ඈතට දිවෙන්නක්‌ බවට හඳුනාගෙන තිබේ. මූලික කෘෂිකාර්මික අවධිය යනු ඉතාමත් දියුණු සංස්‌කෘතික සමාජයක ජීවත්වූ මානව වර්ගයක්‌ පිළිබඳ ඉතිහාස කතාන්තරයක දිග හැරුමක්‌ බවත්, ඔවුන්ගේ ජීවන තත්ත්වයන් සහ ආර්ථික දියුණුව පිළිබඳව පුරා සාධක එම ඉපැරැණි සොහොන් බිමෙන් මේ වන විට හමුවී ඇතැයි මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. 

බකමූණ, සිරිකඳුයාය, කටුව ප්‍රදේශයේ තිබෙන මෙම ඉපැරැණි සොහොන් බිම පිහිටා තිබෙන්නේ ආර්. එච්. ආරියරත්න නමැති ගොවි මහතාට අයත් ඉඩමේය. එම ගොවි මහතා විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා සිය ඉඩම සංවර්ධනය කිරීමේදී මෑතක හමුවූ ඉපැරැණි වළං කැබලි ආදිය පුරාවිද්‍යා නිලධාරීන්ගේ අවධානයට ලක්‌වීමෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදල පියවර ගෙන තිබුණි. මෙය වසර 3000 ක්‌ පමණ 

පැරැණි මෙගලිතික (ෂිප්ට්‌) සොහොන් බිමක්‌ බව මූලික ගවේෂණ, විමර්ශනවලින් අනාවරණය කරගනු ලබන්නේ ඒ අනුවය. එවකට එහි විසූ මානවයා ඔවුන්ගේ පවුල්වල ඥතීන් මියයැමෙන් අනතුරුව ඔවුන්ගේ භෂ්මාවශේෂ මැටි බරණිවල බහා ගලින් ආවරණය කරන ලද සොහොන් කුටිවල තැන්පත් කිරීමේ ක්‍රමයක්‌ එකල පැවතී ඇති බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනයන් පෙන්වා දෙයි. මෙවැනි සොහොන් කුටි 20 ක්‌ පමණ මෙම ස්‌ථානයේ දක්‌නට තිබෙන බවද මහාචාර්යවරයා කීය.

"යම්කිසි කෙනෙක්‌ මියගියාම ඔහුගේ හෝ ඇයගේ භෂ්මාවශේෂ මැටි බරණියක දමලා කළුගල් පතුරු හතරක්‌ හතර පැත්තට කියලා අර මැටි බරණිය ඊට මැදි කරලා තැන්පත් කරනවා. මතුපිටත් ශිලා ඵලකයක්‌ තැන්පත් කිරීමයි කරන්නේ. මියගිය පුද්ගලයාගේ මාල, පබළු, ආභරණ යනාදියත් මේ ආකාරයටම බරණිවල තැන්පත් කරලා එම සොහොන් කුටිවල බහා තැබීමයි කරන්නේ.

මෙය අවුරුදු තුන්දාහකට පමණ පෙර පැවති ඉතාමත් දියුණු සංස්‌කෘතික සමාජයක්‌ තුළ සිදු වන්නක්‌. දඹුල්ල, ඉබ්බන්කටුවේ ඉපැරැණි මෙගලිතික සොහොන් බිමේ හමුවුණු සොහොන් කුටිවලට සමානකමක්‌ දක්‌වනවා මේ බකමූණ, සිරිකඳුයාය, කටුව කියන ගම්මානයේ හමුවූ ඉපැරැණි සොහොන් ගැබ්. කෙසේ නමුත් මේ පිළිබඳව තවදුරටත් විධිමත් පුරාවිද්‍යා කැණීමක්‌, විද්‍යාත්මක පර්යේෂණයක්‌ සිදුකළ යුතුව තිබෙනවා. මෙය පොලොන්නරු ඉතිහාසය පිළිබඳව අප මෙතෙක්‌ දැන සිටි රාජධානි යුගවලට වඩා බොහෝ ඈතට දිවෙන පුරවෘත්තයක්‌ මේ තුළින් මතුවන බව නිසැකයි. තවත් විශේෂිත කාරණයක්‌ කියන්නට ඕන. මූලික කෘෂිකාර්මික යුගයේ පැවැති ජනාවාසයක්‌ බවට අනුමාන කළ හැකි පුරා සාධක මෙහි මතුවී තිබෙනවා. මෙහි විසූ මානවයා කුඩා වැව්, අමුණු ආදිය නිර්මාණය කර ගනිමින් මූලික කෘෂිකාර්මික යුගය ගතකොට තිබෙන්නේ එහි පැවැති දියුණු සංස්‌කෘතිය, ඔවුන්ගේ ජීවන රටාවන්, ආර්ථිකය ආදී සියල්ල පිළිබඳව හැදෑරීමට අපට ඉදිරි කාලයේ සිදු කිරීමට බලාපොරොත්තු වන විද්‍යාත්මක පුරාවිද්‍යා ගවේෂණ, කැණීම් සහ පර්යේෂණ තුළින් හැකියාව ලැබේවි. රජවරුන් විසින් පවා පසුව වැඩිදියුණු කරන්නට ඇත්තේ මෙම මානව ජනාවාසවල එදා වසර තුන් දහසකට පමණ පෙර කුඩා වැව් අමුණුවල ආභාෂය ලබාගෙන විය හැකියි. කෙසේ නමුත් පොලොන්නරුව පිළිබඳව අප මෙතෙක්‌ දැන සිටි ඓතිහාසික කරුණු කාරණාවලට වඩා අපූර්ව ඉතිහාස කතාවක්‌ හෙළිදරව් කරගන්නට පුළුවන්කම ලැබේවි යෑයිද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය. 

අපේ ජාතික උරුමයන්හි මං සලකුණු සොයා යන ගමනේදී මෙයට වසර තුන්දහසකට ඉහත මෙහි පැවති දියුණු සංස්‌කෘතික අවධියක රිද්මය හඳුනා ගැනීමට හැකිවීම විශිෂ්ට කාරණයකි. මෙතෙක්‌ අප දැන හැඳින සිටින පුරාවිද්‍යා උරුම ස්‌ථාන, ස්‌මාරකවලින් බැහැරව මතුකර ගන්නා මෙවැනි පුරා පාදක තුළින් මෙරට ඉතිහාසයේ මෙතෙක්‌ අසන්නට නොලැබුණු අලුත් කතාන්තරයක්‌ නිර්මාණය වීමද අපේ අභිමානය දෙගුණ, තෙගුණ කරවන්නක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. අප රටේ රාජධානි යුගවලටත් ඈත සියවස්‌ ගණනාවකට පෙර මෙහි පැවැති ජනාවාස, ජන ජිවිත සශ්‍රීක වී ඇත්තේ ජල ප්‍රභවයන් ඉවහල් කරගත් මූලික කෘෂිකර්මාන්තයෙන් බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනයෙන් අපට සිහිපත් කර දෙයි. පෙර රජදරුවන් විශ්මිත වාරි කර්මාන්ත දියුණු කිරීම සඳහා මංපෙත් විවර කොටගෙන ඇත්තේද ඒ අනුව යමින් විය හැකි යෑයි අපටද අනුමාන කළ හැකිය. මක්‌නිසාද යත් අඹන් ගඟ, ඇලහැර අමුණ, යෝධ ඇළ යනාදිය මෙරට වාරි කර්මාන්තයේ සුවිශේෂී අක්‌මුල් වන බැවිනි. ඇලහැර අමුණ, යෝධ ඇළ නොමැති වාරි වික්‍රමයන් ගැන අදටද අපට සිතා ගැනීමට පවා නොහැකි තරම්ය. එහෙයින් ඇලහැරින් මතුවී මතු දිනෙක ලියෑවෙන අපගේ පුරා උරුමයන් පිළිබඳ වංශ කතාවේ නව පරිච්ඡේදය ජාතික අභිමානය වඩවන්නක්‌ වනු නොඅනුමානය.

කරුණාරත්න ගමගේ

Post a Comment

0 Comments