ශතකයක් නික්‌ම ගොසිනි. නැත. තවත් වසර තුනක්‌ද ඒ සමඟ ඉක්‌ම ගොසිනි. මාර්තු 08 ට එළඹෙන්නේ 103 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි. සුපුරුදු පරිදි සෑම වසරකම මාර්තු 08 වන දින මෙන්ම මෙවරද කාන්තා දිනය වෙනුවෙන් කේක් ප්‍රදර්ශන, මල් ප්‍රදර්ශන, ඇඳුම් මෝස්‌තර, බලු ප්‍රදර්ශන පැවැත්වීමට සුදානම් බව රජයේ මෙන්ම රාජ්‍ය නොවන කාන්තා සංවිධාන විසින් විවිධ පුවත්පත්, විද්යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කර අවසන්ය.
එහෙත් ජාත්‍යන්තර කාන්තා දිනයක්, නම් කළේ කේක් ප්‍රදර්ශන, මල් ප්‍රදර්ශන, ඇඳුම් මෝස්‌තර පැවැත්වීමටද? එහි සැබෑ අරුත කුමක්‌ද? ගැහැනු පිරිමි ජීවත් වන ලොවක් තුළ කාන්තාවන් වෙනුවෙන් වෙනම දිනයක් වෙන්කළේ ඇයිද? එහි අරමුණ ඉටුවීද යන්න නිවැරදිව අප තේරුම් ගත යුතුය. ඒ වගේම අපේ රටේ සියලු කතුන්ට ඒ සම්බන්ධව අබෝධය ලබා දීමද අනිවාර්ය කාර්යයක් ලෙස පවතී.
ඒ නිසාම අදින් වසර 103 කට පෙර, එනම් 1910 වකවානුව දෙස හැරී බැලීම උචිතය. එදා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ සමාජවාදී කාන්තාවන්ගේ දෙවන අන්තර් ජාතික සමුළුවට එහි ලේකම් ලෙස තේරී පත්වූ ජර්මන් ජාතික සමාජවාදිනියක වන ක්‌ලාරා සෙට්‌කින් විසින් ජාත්‍යන්තර කාන්තා දිනයක් නම් කිරීමේ යෝජනාවක් ගෙන එන ලදී. ඒ 1908 දී කර්මාන්ත ශාලාවල වැඩ කළද, තමන්ගේ අයිතිවාසිකම් නොලැබූ කතුන්, කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාගැනීමට කාර්මික නගරයක් වූ මෑන්හැට්‌න් හි රුට්‌ගාර්ස් චතුරස්‍රයේදී දැවැන්ත කාන්තා සහභාගිත්වයකින් කර්මාන්ත හිමියන්ටත් පාලකයන්ටත් විරුද්ධව පැවැත්වූ බලපෑම් සහගත උද්ඝෝෂණය සැමරීම අරමුණු කරගනිමින්ය.
ඒ අනුව සෑම වසරකම මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය වන්නේ නිකම්ම නිකං කාගේ හෝ හිතලුවකට නොවේ. මිනිස් දියණියක ලෙස ඉපිද මියන තෙක් ජීවත්වීම සඳහා තමන්ගේ අවම මූලික අයිතීන් හා බඩවියත රැකගැනීමට ඒ සඳහා ඉඩ නොමැති වටපිටාවකය. තමන්ගේ ජීවිතය නොතකා අනාගත කාන්තා පරපුර වෙනුවෙන් කළ තවත් එක් දුෂ්කර ශ්‍රේෂ්ඨ කැපකිරීමක් සිදුකිරීමටය. එම ශ්‍රේෂ්ඨ කැපකිරීමක් මල් ප්‍රදර්ශනයකට, ඇඳුම් ප්‍රදර්ශනයකට සීමා කළ හැකිද? එසේම වසර සියයකටත් එපිට කළ එම කැපකිරීම්වලට වර්තමානය තුළ සාධාරණයක් ඉටුවීද?
නැත. එම අරමුණුවල දශමයකට හෝ අප ළඟා වී නැත. සමාජ, ආර්ථික, දේශපාලන සෑම ආකාරයෙන්ම ඇය ගොදුරු බවට පත්වී ඇත. පෙරටත් වඩා භයානක ඉතාම ම්ලේච්ඡ තත්ත්වයකට ඇයට මුහුණ දීමට සිදුව ඇත. කෝටි 700 ක් වූ ලෝක ජනගහනයෙන් භාගයකගේ තත්ත්වය මෙයයි. අප රටේ දිනපතා ප්‍රවෘත්ති දෙස බැලීමේදී එය මනාව තහවුරු වේ. කාන්තාවන්, ළමුන් විවිධ වධ හිංසාවලට, ඝාතනයන්ට, දූෂණයන්ට ලක්‌වීම සාමන්‍යකරණය වී ඇත. ආසියාවේ කාන්තාවන් හිංසනයට පත්වීම වර්ධනය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. සෑම මොහොතකම කොතැනක හෝ කාන්තාවක් හිංසනයට පත් වේ. ළදැරියන් අපයෝජනයට ලක්‌වේ. මෙයට වගකිව යුත්තේ කවුරුන්ද?
විවිධ පාටවලින් චින්තනයන්ගෙන් වසර 65 ක් බලයට පත් ධනපති දේශපාලන පක්‍ෂවල වැරැදි ආර්ථික, සාමාජයීය, සංස්‌කෘතික ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵල මෙයට සෘජුවම බලපා ඇත. බහුතරයකට ජීවත් වීම අහිමි කළ විවෘත ආර්ථිකය තුළ කාන්තාවන් වහල් මෙහෙයට විදේශ රටවලට තල්ලු වේ. එසේ යන රටවැසියන් මිලියන 1.7 කි. ඉන් 2/3 ක්‌ම කාන්තාවන් බව වාර්තා වේ. ඔවුන්ගෙන් සෑම 1/4 ක්‌ම ශාරීරික අඩන්තේට්‌ටම්වලට ලක්‌වන බවද සඳහන්ය. වසරක් තුළ 500 ක් පමණ මරා දමා හෝ මිය ගොස්‌ය. කුමන හෝ අත්වැරදීම් නිසා ගෙල සිඳ මරා දමන අප නොදන්නා රිසානා චරිතයන් කොතෙක් ඇත්ද? අරාබිකරයෙන් පමණක් වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 3 ක් වහල් මෙහෙයෙන් රජය උපයද්දී එම රටවල්හි අපා දුක් විඳින, ජීවිත අහිමි වන කතුන් ගැන පාලකයින් මුනිවත රකී.
රටේ ජනාධිපතිගේ ආශිර්වාදය ලබන දේශපාලකයින්, කුඩා දැරියන්, කාන්තාවන් දූෂණය කර සියය සැමරීමට මහ ඉහළින් උත්සව පවත්වයි. හිංසනයත්, කාන්තා දූෂණයත් පිටුපස සිටින්නේ බහුතරයක් පාලක පන්තියේ වගකිවයුත්තන්ය. එහෙත් නීතිය ක්‍රියාත්මක නැත.
පාලකයින් විසින්ම කාන්තාවන් දංගෙඩියට දක්‌කන මොහොතක 103 වන ජාත්‍යන්තර කාන්තා දිනයේදී කාන්තාවන්ට මෙවන් අභියෝග ගණනාවකට මුහුණදීමට සිදුවී තිබේ.
වැරැදි ආර්ථිකයක් කරපින්නාගත්, අධිරාජ්‍යවාදයට දොහොත් මුදුන් දී වඳින, ඒකාධිපති පවුල් පාලනය මේ සියල්ලට වගකිව යුතුව ඇත. තව දුරටත් කාන්තාවන් හා ළමුන්ගේ අයිතිවාසිකම් ධනපති පාලකයන්ගෙන් බලාපොරොත්තු වීම විහිළුවකි. අවමානයකි. එවැනි බොරු රැවටිලිවලට නොරැවටෙන ලෙසත් කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන හිංසනය, දූෂණය, පීඩනය පිටුදැකීමට ඊට එරෙහිව කාන්තාව දැඩි ආත්මශක්‌තියෙන්ද නිවැරැදි දෘෂ්ටියකින් යුතුවද මැදිහත් විය යුතුය, අරගල කළ යුතුය. ඒ සඳහා සංවිධානය විය යුතුය. ජයග්‍රහණය තෙක් සියලු අගතීන්ට එරෙහිව අවබෝධයෙන් අරගල කළ යුතු පසුබිමක් කාන්තාවන් ඉදිරියට පැමිණ තිබේ. ඒ සඳහා ඔබ සැමට ශක්‌තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමු.
සමන්මලී ගුණසිංහ
ජාතික සංවිධායක
සමාජවාදී කාන්තා සංගමය
0 Comments