බස්‌ රථවලදී සිදුවන හිංසනය පිටු දකිමු


ජගත් කාන්තා දිනය ප්‍රකාශයට පත් වී සියවසක්‌ ඉක්‌ම ගියද, බොහෝ රටවල කාන්තාවන් පිළිබඳව අදටත් කතා කිරීමට ඇත්තේ ඔවුන් ලබා ඇති ජයග්‍රහණයන්ට, නිදහසට වඩා ඔවුන් ලක්‌වන හිංසාවන් පීඩාවන් ගැනය.

මේ කාරණය අපේ රටටත් පොදුය. ශ්‍රී ලංකාව, ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කිරීමේ ගෞරවයට හිමිකම් කීවද, මෙරට ජනාධිපති, අග්‍ර විනිශ්චයකාර පදවියන් කාන්තාවන් විසින් දරනු ලැබූවද බහුතර කාන්තාවන් අදටත් විවිධාකාර වූ හිංසනයන්ට, අසාධාරණයන්ට මෙන්ම ඇතැම් අවස්‌ථාවලදී මරණයට පවා ලක්‌ වෙමින් සිටී.

මෙවැනි පසුබිමක අපේ රටේ කාන්තාවන් හිංසනයට, අපහසුතාවට පත් වන සුලබම ස්‌ථානයක්‌ වන්නේ පොදු මගී ප්‍රවාහන බස්‌ රථයන් ය. බස්‌ රථවල ගමන් ගන්නා කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ කුමන හෝ ආකාරයකින් අතවරයකට ලක්‌වන බව නිරන්තරයෙන් වාර්තා වේ.

බස්‌ රථ තුළ දී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වළක්‌වා ගැනීමට ඒ ඒ පාර්ශවයන්ට හැකි උපරිමයෙන් දායක වීම සාමාජයීය වගකීමකි. බස්‌ රථයක්‌ තුළ හිංසනයට ලක්‌ වන කාන්තාව, යම් අයෙකුගේ මව, බිරිඳ, සොහොයුරිය හෝ දියණියයි. මිනිසුන් ලෙස සමාජයේ ජීවත් වන අප සියලු දෙනා වටා මෙයින් එක්‌ චරිතයක්‌ හෝ වැඩි ප්‍රමාණයක්‌ සිටී. එසේ නම් අප, අපගේ ඉහත කී පාර්ශවයන් අතවරයකට ලක්‌ වනු කිසිවිටෙකත් නොඉවසයි.

එසේම බස්‌ රථයක්‌ තුළ දී අතවරයකට ලක්‌වන කාන්තාව ඒ මොහොතේ විඳින පීඩාවෙන් පමණක්‌ එය නොනවතී. එය එතනින් නික්‌ම ඇය වෙනත් කාර්යයක නිරත වන අවස්‌ථාවේදී ද මනසට පීඩා ගෙන දිය හැකිය. උදාහරණයක්‌ ලෙස විභාගයකට පෙනී සිටීමට යන පාසල් දැරියක්‌ බස්‌ රථයේදී මෙවැනි හිංසනයකට ලක්‌ වුවහොත් ඇය විභාග මධ්‍යස්‌ථානයට ගොස්‌ ප්‍රශ්න පත්‍රය ලියන අවස්‌ථාවේදීත් එම සිද්ධිය මනසට වද දෙනු ලැබුවොත් හොඳ මානසිකත්වයකින් විභාගයට මුහුණ දීමට නොලැබීම තුළ ඇයගේ අනාගතයම කණපිට පෙරළීමට හැකිය.

එහෙත් මෙවැනි හිංසනයක්‌ තුළින් ලබන මානසික පීඩා ගණනය කිරීමට මිනුම් දණ්‌ඩක්‌ නොමැත. ඊට වන්දියක්‌ නියම කළ නොහැක.

එබැවින් බස්‌ රථ තුළදී සිදුවන කාන්තා හිංසනය සුළුවෙන් බැහැර කළ යුතු නොවේ.

පොදු ප්‍රවාහන සේවා නියාමනයේ යෙදෙන නිලධාරීන් මෙන්ම සේවා සැපයීම සඳහා සෘජුව හා වක්‍රව දායකව සිටින සියලුම පාර්ශවයන් බස්‌ රථ තුළ දී සිදු වන මෙම කාන්තා හිංසනයන් පිටු දැකීමට ක්‍රියා කිරීම අවශ්‍යය.

බස්‌ රථවල ඨඡී උපකරණ සහිතව 3ඨ කැමරා සවිකිරීම තුළින් ධාවනය වන පොදු මගී බස්‌ රථ ඇතුළත සිදුවන කාන්තා හා ළමා අපචාරයන් හසු කර ගැනීමේ වැඩි හැකියාවක්‌ පවතී. එමගින් හිංසනය සිදු කරන්නාට ද "නෑ, බෑ" කීමේ අවස්‌ථාව ඇහිරී යනු සේම ඉතාම පහසුවෙන් ඔවුන්ට නීතියේ රැහැනට හසු කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

බස්‌ රථවලට ජීපීඑස්‌ තාක්‍ෂණය හා කැමරා සවි කිරීම ක්‍රියාත්මක කිරීමට සාපේක්‌ෂව කාන්තාවන්ට සිදුවන හිංසනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේද අඩුවක්‌ දක්‌නට ලැබීම ජයග්‍රහණයක්‌ යෑයි කිව හැකිය.

අවාසනාවකට බස්‌ රථවල රියෑදුරන්, කොන්දොස්‌තරවරුන් බහුතරයක්‌ සේම ඇතැම් අවස්‌ථාවලදී බස්‌ හිමියන්ද පටු වාසී අරමුණු කරගනිමින් මෙලෙස ඨඡී තාක්‍ෂණය සම්බන්ධ කර ගෙන බස්‌ රථ නිරීක්‍ෂණය කිරීම පිළිබඳ අකමැත්තක්‌ දක්‌වයි.

බස්‌ ධාවනයේදී රියදුරන්, කොන්දොස්‌තරවරුන් සිදු කරන වැරදි එමගින් හසු වන නිසා ඔවුන් මීට අකමැති වුවද, ඔවුන් සිදු කරන වැරැදි ආවරණය කර ගැනීම ඉක්‌මවා ගිය තම මගියා සුරක්‍ෂිත කරගැනීමේ සමාජ වගකීම ද තමා සතු බව ඔවුන්ට නොවැටහීම කනගාටුවට කරුණකි.

කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරෙන අද දිනයේදී අපගේ බස්‌ රථයේ ගමන් ගන්නා කාන්තාවන් රැකගැනීමට, ලොවට මාතෘත්වය දායාද කරන ඇයගේ ගෞරවය ආරක්‍ෂා කිරීමට අවධානය යොමු කරන බවට අධිෂ්ඨානයක්‌ ඇති කරගන්නැයි පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු බස්‌ රථ රියෑදුරන්ගෙන්, කොන්දොස්‌තරවරුන්ගෙන් හා බස්‌ හිමියන්ගෙන් මම ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමි.

රොෂාන් ගුණවර්ධන
සභාපති
ජාතික ගමනාගමන කොමිෂන් සභාව

Post a Comment

0 Comments