ලොව අභිමානවත් යුග පුරුෂයා - හියුගෝ චාවේස්‌



වසර 14 ක්‌ තිස්‌සේ වෙනිසියුලාව පාලනය කළ ජනාධිපති හියුගෝ චාවේස්‌ පෙරේදා සවස අභාවප්‍රාප්ත විය. වසරකට අධික කාලයක්‌ තිස්‌සේ පිළිකා රෝගයෙන් පෙලුණු චාවේස්‌ට කියුබාවේදී ශල්‍යකර්ම 4 ක්‌ සිදුකර තිබේ. ඔහුගේ අවසන් කටයුතු සිකුරාදා සිදුකෙරෙනු ඇතැයි වාර්තාවේ. 

වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස හියුගෝ චාවේස්‌ මුළු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හමුවේ දන නැමුවේ නැත. ඔහුගේ රජය කුමන්ත්‍රණකාරී ක්‍රියාවලින් පෙරළාදැමීමට සීඅයිඒ සංවිධානය කීප විටක්‌ම උත්සාහ කළ බවද වාර්තා විය.

2011 වසරේදී චාවේස්‌ට පිළිකා රෝගය වැළඳී තිබූ බවට අනාවරණය විය. මේ සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරින්ට චෝදනා එල්ල විය. මේ පිළිකා රෝගය රහසිගත එන්තක්‌ මගින් චාවේස්‌ගේ සිරුරට ඇතුළු කර ඇති බවටද වෙනිසියුලානු ජනතාව අතර ප්‍රචාරයක්‌ද දියත් විය. එහෙත් ඇමරිකාව එකී චෝදනාව මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කළේය.

චාවේස්‌ තමාට වැළඳී ඇති පිළිකා රෝගය ඇමරිකානු කුමන්ත්‍රණයක්‌ යෑයි සැක කළේය. මේ අතර නියෝජ්‍ය ජනාධිපති නිකලොස්‌ මදුරෝ පැවසුවේ වෙනිසියුලාවට එරෙහිව සතුරන් විසින් කුමන්ත්‍රණයක්‌ දියත් කළ තිබූ බවයි. යම් දිනක චාවේස්‌ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක කොමිසමක්‌ මගින් පරීක්‌ෂණයක්‌ පවත්වන බවද හෙතෙම කියා සිටියේය. මෙයට සති කීපයකට පෙර වැනිසියුලාවේ හමුදාව සම්බන්ධව ඔත්තුබැලූ ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනකු රටින් පිටකළ බවද නියෝජ්‍ය ජනාධිපතිවරයා තවදුරටත් හෙළි කළේය.

ජනාධිපති චාවේස්‌ගේ අභාවයත් සමගම රටේ ආරක්‌ෂක හමුදාව සීරුවෙන් තබා ඇත. මේ අතර වෙනිසියුලාව අභියෝගාත්මක වාතාවරණයකට මුහුණපා ඇතැයි කියති. ඊට හේතුවී ඇත්තේ ඇමරිකානු රජය චාවේස්‌ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කිරීමයි. ධවල මන්දිරය චාවේස්‌ගේ අභාවය සම්බන්ධයෙන් මෙලෙස පවසා ඇත. වෙනිසියුලාව සිය ඉතිහාසය තුළ නව පරිච්ඡේදයක්‌ ආරම්භ කර ඇත. වෙනිසියුලාවේ මානවහිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ නීතිගරුක භාවයට අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කැපවීමට එක්‌සත් ජනපදය ක්‍රියාකරනු ඇත.

මේ ප්‍රකාශයෙන් සනාථ වන්නේ වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ අභාවයත් සමගම ඇමරිකානු මැදිහත්වීමක්‌ සිදුවීමට ඉඩඇති බවයි. එසේම හියුගෝ චාවේස්‌ගේ අභාවය දකුණු ඇමරිකාවේ වාමාංශික ආණ්‌ඩුවලට එල්ල වූ බරපතල පහරක්‌ යෑයි කිව හැකිය.

1998 දී වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස පත් වූ චාවේස්‌ 2012 ඔක්‌තෝබර් මාසයේදී තවත් වසර 6 කට ජනාධිපති ධූරටය පත්විය. හිටපු හමුදා පැරචූට්‌ භයකු වූ චාවේස්‌ 2011 දී සහ 2012 දී පිළිකා රෝගය සම්බන්ධයෙන් ශෛල්‍ය කර්මවලට මුහුණ පෑවේය. කියුබාවේදී ඔහුට ශෛලකර්ම කරනු ලැබුවත් ඉන් සුවයක්‌ අත් වී නැතැයි පසුව වාර්තා වීය.

වික්‌ටර් චාවේස්‌ගේ අභාවය වෙනිසියුලාව මුහුණ පෑ බරපතලම ප්‍රශ්නයක්‌ යෑයි කිව හැක. ඇමරිකාවට එරෙහිව බිය නැතිව ක්‍රියා කළ එකම දේශපාලනය නායකයා ඔහුය. තමා ජෝ- බුෂ්ටත් බරක්‌ ඔබාමාටත් අවශ්‍ය ලෙස නැටීමට සූදානම් නැතැයි හෙතෙම ප්‍රසිද්ධියේ කියා සිටියේය. එසේම වෙනිසියුලාවේ තෙල් සම්පත ඇමරිකානු සමාගම්වලට ලබාදීමට ප්‍රතික්‌ෂේප කළේය. හියුගෝ චාවේස්‌ව මර්ධනය කිරීමේ අරමුණින් ඇමරිකාව විවිධ සම්බාධක පැනවුවත් ඔහු ඒ සම්බන්ධයෙන් තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. වෙනිසියුලාව පාලනය වන්නේ වෙනිසියුලාවේ ජනතාවට අවශ්‍ය ලෙස මිස ඇමරිකානු න්‍යාය පත්‍රය අනුව නොවේ යෑයි හෙතෙම අවධාරණයෙන් කියා සිsටියේය.චාවේස්‌ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ඇමරිකාව විසින් එල්ල කරද්දී ඊට ප්‍රතිචාරය දැක්‌වූ චාවේස්‌ පැවසුවේ ලෝකයේ බිහිසුනුම මානව හිමිකම් උල්ලංඝනය කරන්නා ඇමරිකාව බවයි. ඇමරිකාවට පාඩමක්‌ ඉගැන්වීමේ අරමුණින් හෙතෙම ඇමරිකානු තෙල් සමාගම්වලට වඩා ඉතා අඩු මිලට තෙල් දකුණු ඇමරිකාවේ රටවල්වටල අළෙවි කළේය. මේ නිසා එම රටවල ආර්ථිකයටද වෙනිසියුලාවේ ලාබ තෙල් බලපෑවේය.

එහෙත් චාවේස්‌ගෙන් පසු ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇතැයි අපේක්‌ෂා කරන නිකොලොස්‌ මදුරෝ ප්‍රබල නායකයකු නොවේ. ඔහුට චාවේස්‌ට තරම් ශක්‌තියක්‌ නැතැයිද කියති. චාවේස්‌ගේ අභිමානවත් ක්‍රියාදාමයන් හා සසඳන කළ මාදුරෝට එවැනි හැකියාවක්‌ නැතැයිද වෙනිසියුලානු ආරංචි මාර්ග සඳහන් කර ඇත.

කෙසේ වෙතත් හියුගෝ චාවේස්‌ අභාවයට පත්වූයේ ඔහු වෙනිසියුලාවට අවශ්‍යව ඇති සමයකයි. ඔහු වැනි අභිමානවත් ප්‍රබල නායකයකු මින් පසු වෙනිසියුලාවෙන් බිහිවේද? මේ අතර ඇමරිකානු බලධාරීන් චාවේස්‌ගේ අභාවයත් සමගම සිය රහසිගත ක්‍රියාදාමයන් දකුණු ඇමරිකාව වෙත වර්ධනය කරනු ඇතැයි කිව හැක.

වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ අභාවයත් සමගම වඩාත් කම්පනයට පත්වූයේ ඉක්‌වදොaරයයි. එසේම ආජන්ටිනානු ජනාධිපතිනි ක්‍රිස්‌ටිනා µර්නැන්ඩස්‌ සියලුම කටයුතු නතරකර දමා චාවේස්‌ගේ අභාවය මුළු රට වෙතම හෙළි කළාය. වෙනිසියුලාවේ සමීපතම හිතවතා වූයේද කියුබාවයි. කියුබාවේ අසහාය නායක පිදෙල් කස්‌ත්‍රොaගේ ක්‍රියාදාමය අනුගමනය කළ චාවේස්‌ ප්‍රශ්න රැසක්‌ හමුවේ සැලුනේ නැත. ඔහු ඉතා බලවත් සීඅයිඒ සංවිධානයේ කටයුතු හමුවේ නිර්භවය ක්‍රියා කළේය. මිය යැමට සති කීපයකට පෙර ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනකු පිටුවහල් කිරීමේ සිද්ධියෙන් පෙනීයන්නේ ඇමරිකානු බලධාරීන් වෙනිසියුලානු හමුදා නිලධාරීන් පිරිසක්‌ තමන්ගේ ග්‍රහනයට ගැනීමට උත්සාහ කළ බවයි. මේ ඇමරිකානු තානාපති නිලධාරීන්ද පිටුවහල් කිරීමේ සිද්ධියද ඇමරිකාව වසන් කළේය. එහෙත් නියෝජ්‍ය ජනාධිපති නිකොලොස්‌ මාදුරෝ එකී සිද්ධිය රටේ ජනතාවට හෙළි කළේය. චාවේස්‌ට එරෙහි චෝදනා නගන බටහිර බලවේගවලට ඔහු කීප විටක්‌ම ප්‍රතිචාර දැක්‌වීය. තමා අසල්වැසි රටවල්වලට තෙල් ලාබෙට විකුණා සහනාධාර ක්‍රමයට ආහාර ලබාදීමත් ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවය ලබාදීමටත් ක්‍රියාකර ඇතැයි හෙතෙම කියා සිටියේය. මේ ක්‍රියාදාමයට ඇමරිකාව එපමණ කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ වෙනිසියුලාවේ තෙල් සම්පත දැහැගැනීමයි. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ දියත් වූ ප්‍රචාරයක්‌ නම් ඇමරිකාවට එරෙහි ලතින් ඇමරිකානු නායකයන් කීපදෙදෙනෙකටම පිළිකා රෝගය වැළඳී ඇති බවයි. ආජන්ටිනාවේ ජනාධිපතිනියටද පිළිකා රෝගය වැළඳී ඇතැයි පසුගියදා වාර්තා විය. මේ සම්බන්ධයෙන් ඇමරිකාවෙන් පළාගිය වෛද්‍යවරයෙක්‌ පැවසුවේ පිළිකා රෝගය ශරීරයට එන්නත් කළ හැකි විෂබීජයක්‌ ඇමරිකානු සීඅයිඒ සංවිධානය නිර්මාණය කර තිබෙන බවයි. එහෙත් මේ චෝදනාව මුළුමනින්ම බොරුවක්‌ යෑයි ඇමරිකානු බලධාරීහු පළ කළහ. එහෙත් ඇමරිකානු සීඅයිඒ සංවිධානය රටක රජ්‍ය නායකයන්ගේ ඩීඑන්ඒ ලේ පටල පවා විවිධ මාර්ගවලින් ලබාගන්නා බව පසුගියදා හෙළිවිය. සීඅයිඒ සංවිධානය 21 වතාවක්‌ කියුබානු නායක කස්‌ත්‍රොaව ඝාතනය කිරීමට උත්සාහ කළේය. අවසානයේදී නිව්යෝක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්‌වීමටකට පැමිණි අවස්‌ථාවේ කස්‌ත්‍රොaගේ සුරුට්‌ටුවට වස දමා ඔහුව ඝාතනය කිරීමේ උත්සාහයක්‌ද දියත් කර තිබුණි.මේ තත්ත්වය මැද හියුගෝ චාවේස්‌ට පිළිකා රෝගය වැළඳීමේ සිද්ධිය අභිරහසකි. ඔහු පිළිකා රෝගයෙන් පෙළෙන බව දැනගෙන ඇත්තේ 2011 වසරේදීය. එතෙක්‌ ඒ බවට අනාවරණය වී නොතිබුණි. සෑම සතියකම රූපවාහිනිය හමුවේ පෙනී සිටින මේ චාවේස්‌ නැමැති යුග පුරුෂයා අමුත්තන් සමග සාකච්ඡා කරමින් ගී ගයමින් නැටීය. මේ නිසා ඔහුව හඳුන්වනු ලැබුවේ ජනතාවගේ ජනාධිපතිවරයා ලෙසය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාව චාවේස්‌ කෙරෙහි දැඩි විරෝධතාවයක්‌ දැක්‌වූවත් ඇමරිකානු බලධාරීන්ට අභියෝගයක්‌ එල්ල කළ එකම දකුණු ඇමරිකානු ජනාධිපතිවරයා චාවේස්‌ය. ඔහු වරක්‌ වෙනිසියුලානු රූපවාහිනිය අමතමින් පැවසුවේ වෙනිසියුලාව ක්‍රියාකරන්නේ ඔබාමාලගේ පදයට අනුව නොව ජනතාවගේ හදගැස්‌ම මතයි. 2012 ජනාධිපතිවරණයේදී චාවේස්‌ ජය ලැබුවේ ඒ හේතුවෙනි. මේ නිසා ඇමරිකාව ඔහු ඡන්ද දූෂණවල යෙදුණු බවට චෝදනා කළේය. මේ චෝදනාව ගැන ඔහු තැකීමක්‌ කළේ නැත. වෙනිසියුලාවේ දේශපාලනය ජාතික ජාතික ආරක්‌ෂාවත් තීරණය කරන්නේ රටේ ආණ්‌ඩුවයි. එසේ නැතිව බරක්‌ ඔබාමා නොවේ යෑයි හෙතෙම කියා සිටියේය.

චාවේස්‌ගේ අභාවය ලතින් ඇමරිකාවේ වාමාංශික දේශපාලනයේ පසුබෑමක්‌ යෑයි කිව හැක. ඊට හේතුව නම් එකී දේශපාලනයට උරදීමට ශක්‌තිමත් තැනැත්තකු නොසිටීමයි. එහෙත් යම් දිනක ශක්‌තිමත් නායකයකු බිහිවීමට ඉඩ ඇතැයි අපේක්‌ෂා කළ හැක.

හියුගෝ චාවේස්‌ යුග පුරුෂයෙකි. ඔහු යුග පුරුෂයෙක්‌ වන්නේ බලගතු ඇමරිකානු අධිරාජ්‍යවාදයට දන නොගැසීමෙනි. මානව හිමිකම් මුවාවෙන් වෙනිසියුලාව දන්ගෙඩියට ගෙනයැමට ඇමරිකාව දැරූ උත්සාහයට හෙතෙම කිසිලෙසකින් ඉඩ දුන්නේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

Post a Comment

0 Comments