එකක් දෙකක් හැරෙන්නට, මහ පොළොව මත හටගත් හැම අභිරහසක්‌ම විසඳන්නට මනුෂ්‍ය වර්ගයා සමත් වී තිබේ. මෙයට වසර 15000 කට පෙර මහ පොළොව මතින් සදහටම අතුරුදන් වූ අත්ලාන්තිස් දිවයින සහ එම ශිෂ්ටාචාරය එම ඉරණමට මුහුණ පෑවේ මක්‌නිසාද යන කාරණය අදටත් හරියාකාරව හෙළිවී නැත. ක්‍රි.පූ. 400 දී පමණ ප්ලේටෝ ඉපදෙන තුරු අත්ලාන්තසයක් ගැන තිබුණේ උගතුන් විසින් විශ්වාස කරනු ලැබීමට නොකැමැති වූ කටකතා සමූහයක් පමණි. ක්‍රි.පූ. 350 දී ප්ලෝටෝ විසින් සංවාද ස්‌වරූපයෙන් ලියූ Timaeus නමැති ග්‍රන්ථයෙහි අත්ලාන්තිසය ගැන සඳහන්ය. ඉතාලියේ ලෝර්ඩ් නගරයේ ජීවත්වූ ටයිමියොස් හැරුණු විට සොක්‍රටිස්, හර්මොක්‍රේටිස්, කයිටියාස් යනාදීහුද මෙම සංවාදයට සහභාගි වූහ. ඉන්පසු ප්ලේටෝ ලියූ Critias සහවාද ග්‍රන්ථයෙහිද අත්ලාන්තිසය ගැන සඳහන්ය. මෙයට වසර 15000 කට පෙර ලෝකයෙන් අර්ධයක් පාලනය කළ අත්ලාන්තිස ශිෂ්ටාචාරය ජීවත්වූ භූමිය වර්ග සැතපුම් 154000 ක් විශාල විය. එවකට එහි සිටි ජනගහනය කෝටි 2 කි. එය අර්ධ සර්ව කලාපීය මහාද්වීපයකි. එහි උතුරුකරයේ වූ කඳුකරයෙහි දෙවියන් ජීවත් වූ බව අත්ලාන්තිසවරුන්ගේ මතය විය. ගිම්හාන කාලයේදී එම කඳුවලින් උණුසුම් දිය ඇලි ගලා ගියේය. එහි වූ වනාන්තරයෙහි අලි ඇත්තුද අප්‍රිකානු වනාන්තරවලට ආවේණික සත්තුද වූහ. මෙහිද මහ කන්නය සහ යල කන්නය හා සමාන වගා කන්න දෙකක් විය.
මේ කන්න දෙක වගා කෙරුණේ මෝසම් වැසි වලින් හටගත් ජලය ගබඩා කෙරුණු ජලාශ (වැව්) වල සිට කපන ලද ඇළ මාර්ග මගින් ප්‍රවාහනය කළ ජලයෙනි. අගනුවර මධ්‍යයෙහි Poseidon (පොසෙයිඩන්) නමැති සිද්ධස්‌ථානයක් විය. ලෝකඩ ආලේප කෙරුණු විශාල තාප්පයක් ඒ වටා විය. නගරයෙහි වූ සෙසු සිද්ධස්‌ථාන සහ මාළිගා රන් සහ රිදියෙන් හැඩ ගන්වා තිබිණ. එය මධ්‍යධරණී සාගරයෙහි පිහිටි අධිරාජ්‍යයකි. ඊජිප්තුව සහ ඉතාලිය අතර පිහිටි මේ භූමිය විසින් ශිෂ්ටාචාරයේ හොඳම කොටස අතීත ලෝකයට හඳුන්වා දෙන ලද බව ප්ලේටෝ විශ්වාස කළේය. "එහෙත් පසු කාලයේදී ඔවුහු පරිහානියට පත්වූහ..."යි ප්ලේටෝ ලිවීය. "ඔවුහු බලයට කෑදර වී භෞතික දේවලට ලොල් කරන්නට වූහ. අනතුරුව මුළුමහත් මධ්‍යධරණි පෙදෙසම තම අත යටට ගන්නට කල්පනා කළහ. එහෙත් ගී්‍රකයන්ගේ එකල සිටි (වසර 15000 කට පෙර) මුතුන් මිත්තෝ අත්ලාන්තිසයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කර පරදවාලූහ..." ප්ලේටෝ තවදුරටත් ලීවේය.
ප්ලේටෝ කියන පරිදි මේ පරාජයෙන් පසු කාලය ගතවීගෙන යද්දී එක් බියකරු දවසක් උදාවිය. එදා ගතවූ පැය 24 ක කාලය තුළ අත්ලාන්තිසය මහ සාගරයෙහි මුළුමනින්ම ගිලී ගියේය. ප්ලේටෝ එය විස්‌තර කරන්aනේ "එක් බියකරු දිවා කාලයක් සහ බියකරු රාත්‍රි කාලයක්" ලෙසය. ප්ලේටෝ මියගිය පසු අත්ලාන්තිසය වෙනුවෙන් කතා කරන්නට උගතුන් නොවූ බැවින් එය අමතකව ගිය අතර මිථ්‍යා කතාවක්‌ය යන මතය පැතිරෙන්නට විය. එහෙත් ඉතිහාසය සහ අරුම පුදුම කතන්දර ගැන උනන්දුවක් දැක්‌වූ විද්‍යාර්ථින් ඒ ගැන සෙවීම අත්හැරියේ නැත. අත්ලාන්තිසය පිහිටියේ ස්‌වීඩනය, දකුණු අප්‍රිකාව, බහමාස් හෝ ශ්‍රී ලංකාවට යාබදව බවට මතයක් ගොඩනැඟී තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය අලි ඇතුන් දිය ඇලි, යල මහ දෙකන්නය, වාරි සංස්‌කෘතිය, සිංහරාජ අඩවියේ සිටින අප්‍රිකානු වන සතුන්ට සමාන සතුන් සහ අත්ලාන්තිසය ගැන පෞරාණික කතන්දරවල එන විස්‌තර අතර සැසඳීමක් ඇත. Otto Heinrich Muck නමැති ලේඛකයා විසින් ලියන ලද The Secret of Atlantis යන පොතෙහි මේ කරුණු සම්පූර්ණ වශයෙන් සාකච්ඡා කෙරෙයි. Muck යන්න උච්චාරණය කරන්නේ "මුක්" ලෙසය.
Otto Heinerich Muck ඔස්‌ටි්‍රයාවේ වියානා නුවර උපන් අතර නව නිෂ්පාදන 2000 ක් සොයාගෙන ඒවා සඳහා පේටන්ට් බලපත්‍ර ලබාගත් ඉංජිනේරුවෙකි. දෙවන ලෝක යුද සමයේදී ඔහු විසින් නිපදවන ලද උපකරණයක් නිසා ජර්මන් හමුදාවලට ජයග්‍රහණ සමූහයක් අත්විය. මේ උපකරණය නිසා සම්මැරීනයට එක දිගට මාසයකට වැඩි කාලයක් ජලය තුළ රැඳී සිටීමට හැකි විය. ලෝකයේ පළමුවන මිසයිල වූ VI සහ VII සාදන ලද්දේ ඔහුය. ඉංජිනේරු දැනුම, ඓතිහාසික දැනුම, මිල මුදල් යන සියල්ල යොදවා ඔහු කළ පර්යේෂණ ලේඛන සමූහය 1976 දීල එනම් ඔහුගේ මරණයෙන් වසර 20 කට පසු මුද්‍රණද්වාරයෙන් පළවූ පෙරකී The Secret of Atlantis ග්‍රන්ථයයි. ඔහුගේ න්‍යායයන් සහ නිර්නායකයන් නූතන විද්වතුන් තුළ මතභේදයට ලක්‌ව තිබේ. එහෙත් ඒවා අදටත් බැහැර නොකෙරෙන අතර The Secret of Atlantis ග්‍රන්ථය එතෙක් මෙතෙක් ලොව වැඩිම අලෙවියක් තිබූ පොත් දහයෙන් එකකි.
Muck (මූක්) සිය කෘතිය ආරම්භ කරන්නේ ප්ලේටෝ යනු විශ්වසනීය විද්‍යාර්ථියකුය යන තැන සිටය (කිසියම් පරමාදර්ශී පුද්ගලයකුගේ මතයක් සම්බන්ධයෙන් කටයුතු කරන විට ඔහුගේ පරමාර්ථය බොහෝදුරට නිවැරැදි බව ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමට සිදුවෙයි. නැත්නම් එම කටයුත්ත ඉදිරියට ගෙන යා නොහැක.). අත්ලාන්තිසය, හර්කියුලිස් සමුද්‍ර සන්ධිය නමැති සාමුද්‍රික ප්‍රදේශයක පිහිටි බව Muck ගේ මතයය. ප්ලේටෝ මේ කියන්නේ Gibraltar සමුද්‍ර සන්ධිය (ජිබ්‍රොaල්ටා) ගැන බව Muck කියයි. යුරෝපයේ බටහිරට වන්නට Azores (ඇසොරෙන්) නමැති දූපත් සමූහයක් තිබේ. මෙහි දූපත් 750 ක් ඇත. Gibraltar ව මේ දූපත් ආසන්නයේ තිබෙන අතර අත්ලාන්තිසය පිහිටියේ ඒ කිට්‌ටුව බව Muck ගේ මතයය. මෙයට වසර 15000 කට පෙර යුරෝපයේ දූපත් අ තළුවක (Atoll) දියුණු සංස්‌කෘතියක් තිබූ බවටත් ඒ සංස්‌කෘතිය කොලනි හෙවත් යටත් විජිතවලින් සමන්විත බවත් පුරා විද්‍යාඥයන්ගේ මතයකි. මේ කොලනි අත්ලාන්තිසයන්ගේ කොලනි විය හැකිය. මානව විද්‍යාඥයන් කියන්නේ මේ යුගයේදී "නියෑන්ඩර්තාල්" මානවයාගෙන් එහාට දියුණු වූ මනුෂ්‍ය කොට්‌ඨාසයක් නොවූ බවයි. එවිට ඒ දියුණු මානව විශේෂය ක්‍රෝ මැග්නන් (Cro Magnon) මානවයා බව Muck කියයි. ක්‍රෝ මැග්නන් යනු මෙයවසර 15000 කට පෙර යුරෝපයේ ගාමක බලවේගය වූ මනුෂ්‍ය වර්ගයයි. ඉතා විශාල ශක්‌ති සම්පන්න ශරීර තිබූ මේ මිනිස්‌සු නූතන මානවයාගේ මොළයට වඩා විශාල මොළයකින් සමන්විත වූහ. ක්‍රෝ මැග්නන් මොළයේ පරිමාව ඝන සෙන්ටි මීටර් 1600 කි. මේ මිනිස්‌සු නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශයේදී මෙයට වසර දෙලක්‍ෂයකට පෙර බිහිවී පරිණාමය වූහ. ලොව පළමුවැනි ගුහා චිත්‍ර (ප්‍රංශයේ Lascaux ලෙන) අඳින ලද්දේ ක්‍රෝ මැග්නන් මානවයාය. කෙසේ වුවද පසු කාලයේදී මේ මානව වර්ගය වෙනත් මානව වර්ග (නියෑන්ඩර්තාල්) සමග මිශ්‍ර වී අතුරුදන් වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ක්‍රෝ මැග්නන්වරු ලෝක ඉතිහාසයේ විසූ වඩාත්ම කඩවසම් මිනිස්‌සුය. ඔවුන්ගේ ජවි වර්ණය රත් පැහැය. ඔවුන්ගේ ආයුධ සහ ආභරණ නියෑන්ඩර්තාල් මානවයාගේ එම ද්‍රව්‍යයන්ට වඩා දියුණුය. සුමටය. Muck තරයේම කියා සිටින්නේ ක්‍රෝ මැග්නන්වරු, අත්ලාන්තිසයන් බවය.
අත්ලාන්තිසයන් විසූ කාලය වූ කලී මැමත් සතුන් පවා සිටි හිම යුගයයි. යුරෝපයෙන් වැඩි කොටසක් මෙකල හිමෙන් වැසී තිබිණ. යුරෝපීය සාගර හරහා ඇදී යන ගල්ෆ් දියවැල නමැති උණුසුම් දියවැලක් තිබේ. යුරෝපය අදටත් උණුසුම් වන්නේ මේ දියවැල මගින් ප්‍රවාහනය කෙරෙන තාපය නිසාය. අත්ලාන්තිස්‌වරු කිසියම් ආකාරයකින් මේ දියවැල තම මහාද්වීපය වටා යවන්නට ඇති බවත් එමගින් තම ජැටියේ කාලගුණය පාලනය කරගන්නට ඔවුනට හැකිවූ බවත් Muck කියයි. මෙහිදී දියවැල මහාද්වීපයක් වටා යෑවීම යන කාරණයට වඩා මහාද්වීපය මැදින් ඇළවල් කපා එම උණුසුම් දිය දහර රට හරහා ප්‍රවාහනය කළ බව සිතීම වඩාත් ප්‍රායෝගිකය.
ප්ලේටෝ කියන පරිදි අත්ලාන්තිසය විනාශ වුණේ කෝපයටපත් තාරුකා නිසාය. Muck කියන්නේ ඒවා තාරුකා නොව උල්කාපාත සහ වල්ගාතරු බවය. එය Adoinis තරු පොකුරට අයත් උල්කාපාතයක් බව Muck ගේ අදහසය. පෙර කී තරු පොකුරට අයත් උල්කාපාත ඉතා හිතුවක්‌කාර ලෙසත් වෙනත් ග්‍රහ ලෝකවලට හානි ඇති කරන ලෙසත් අපේ සෞරග්‍රහ මණ්‌ඩලය වටා ගමන් කරයි. අත්ලාන්තික් මහාද්වීපය තිබූ තැන සාගර පත්ලෙහි අද විශාල ආවාට සමූහයක් තිබේ. ඒ අනුව මේ උල්කාපාතය අඩුම ගණනේ සැතපුම් 6 ක විෂ්කම්භයක් සහිත බව Muck කියයි. පෘථිවියට සැතපුම් 250 ක් උඩ සිටම එය ගිනි දලු පිට කරන හයිඩ්‍රජන් ගුලියක් බවට පත්විය. එය ගමන් කළ වේගය අනුව සැතපුම් 30 ක් දිග ගිනි ජාලාවක් එය පසුපස ඇදී ආවේය. එය උල්කාපාතයක් වුවද පෙනුමෙන් රතු පැහැති වල්ගා තරුවක් හා සම විය. විනාඩි 2 ක් තුළ සැතපුම් 250 පසු කළ එය පෘථිවි වායු ගෝලයට ඇතුළුව පුපුරා ගියේය. එයින් ටොන් බිලියන කිහිපය බැගින් බර කැබලි දෙකක් සාගරයට ඇද වැටී සාගර පත්ලෙහි විශාල ආවාට දෙකක් ඇති කළේය. එවිට පොළොව සිදුරු වූ අතර ඒවායින් උතුරන ලාවා සමුදුරු ජලය දෙබෑ කරගෙන අහසට විදින්නට විය. ඇස්‌ටරොයිඩ වල කඩා වැටීම කොතරම් ප්‍රබලද යත් එමගින් ලොව පුරා භූමිකම්පා ඇති විය. ඒ පෘථිවියේ කබොලු බඳ ප්‍රධාන භූ ස්‌ථරවලට එමගින් හානිවූ නිසාය. මේ අනුව පැය 24 ක් තුළ අත්ලන්තිසය මහ සයුරට ගිලා බැස්‌සේය. එය එක්‌තරා ආකාරයක ලෝක විනාශයකි.
ක්‍රි.පූ. 4000 දී මනුෂ්‍යයා නැවත වතාවක් සභ්‍යත්වය කරා පිය නඟන විට අත්ලාන්තිකය යනු නමක් පමණි. ඒ අත්ලාන්තික් සභ්‍යත්වය සතුව තිබූ සියලු ආකාරයේ විද්‍යා, කලා, භාෂා ශාස්‌ත්‍ර ඒ වන විට අතුරුදන්ය. මෙබඳු සභ්‍යත්ත්වයක් ලොව තිබූ බව විද්‍යාත්මකව දැන ගැනීමට මිනිසාට තව වසර 6000 ක් ගතවිය. එහෙත් ක්‍රි.පූ. 350 දී ප්ලේටෝ එය දැනගත්තේ කෙසේද?
Otto Heinrich Muck ලියූ The Secret of Atlantis නමැති ලේඛන සංග්‍රහයේ උපුටනයකි.
0 Comments