අඳුරු සෙවනැල්ලේ දිවි ගෙවන දේශීය කුරුල්ලෝ


පරිසරයේ සුන්දරත්වයත් සමතුලිතතාවයත් ආරක්‍ෂා කර අඛණ්‌ඩව පවත්වාගෙන යැම සඳහා ස්‌වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයකැයි සැලකෙන පක්‍ෂීන් සම්පතක්‌ මෙන්ම නැතිවම බැරි සත්ත්ව විශේෂයකි. විටකදී පක්‍ෂීන් ලෙසිනුත් විටදී කුරුල්ලන් ලෙසිනුත් විටකදී සියතුන් ලෙසිනුත් හඳුන්වනු ලබන ලොව සුප්‍රකට ජෛව විවිධත්වයේ හදවත බඳු මේ ලක්‌ දෙරණේ වෙසෙන පක්‍ෂීන් සංඛ්‍යාව 464 කට අධිකය. සංචාරක පක්‍ෂීන් හැරුණු කොට පක්‍ෂි විශේෂ 229 ක්‌ ශ්‍රී ලංකාව තුළ ස්‌ථිර වශයෙන්ම දිවි ගෙවන අතර 33 දෙනකු ලංකාවට ආවේනික මෙන්ම මෙතෙක්‌ ලොව වෙන කිසිදු රටකින් වාර්තා වී නොතිබීමත් සුවිශේෂී ලක්‍ෂණයකි.

ශ්‍රී ලංකාවේ භාවිතා කරන මුදල් නෝට්‌ටුවල පවා ලංකාවට ආවේනික පක්‍ෂීන් හයදෙනකුගේ ඡායාරූප සලකුණු කර ඇත. රු. 5000 නෝට්‌ටුවේ ලංකා පීතකන් කොන්ඩයා  රු. 1000 නෝට්‌ටුවේ ලංකා ගිරා මලිත්තා, රු. 500 නෝට්‌ටුවේ අළු ගිරවා  රු. 100 නෝට්‌ටුවේ රතු දෙමළිච්චා , රු. 50 නෝට්‌ටුවේ අඳුරු නිල්මැසිමාරා , රු. 20 නෝට්‌ටුවේ පඬුවන් බස්‌සා ද වේ. ලංකාවේ වාර්තා වන ආවේනික පක්‍ෂි විශේෂ 33 අතරින් විශේෂ 33 දෙනාම වෙසෙන එකම වනාන්තරය ලෙස සිංහරාජ අඩවිය වැදගත් වේ.

විවිධාකාර වූ හේතූන් හේතුකොටගෙන ලංකාවේ වෙසෙන පක්‍ෂීන් වඳ වී යැමේ තර්ජනයට මුහුණපාමින් සිටී. ලංකාවේ වාර්තා වන පක්‍ෂි විශේෂ අතරින් පක්‍ෂි විශේෂ 46 ක්‌ වඳ වී යැමේ තර්ජනයට ලක්‌වී ඇති අතර ඉන් 10 දෙනකු වඳවී යැමේ දැඩි තර්ජනයට ලක්‌වී ඇත. මෙලෙස දැඩි ලෙස වඳ වී යැමේ තර්ජනයට ලක්‌වී ඇති පක්‍ෂි විශේෂ 10 අතරින් ශ්‍රී ලංකාවට ආවේනික පක්‍ෂි විශේෂ දෙදෙනකු ද අයත් වේ. ඒ පඬුවන් බස්‌සා , හා ලංකා අරංගයා ය. වඳ වී යැමේ තර්ජනයට ලක්‌වී ඇති පක්‍ෂි විශේෂ අතර වළිකුකුළා, කැහිබෙල්ලා, හබන් කුකළා, ලංකා ගිරා මලිත්තා, ලංකා පීතකන් කොන්ඩයා, වත රතු මල් කොහා ද ආවේනික පක්‍ෂීන් අතර වෙති.

බොහෝ පක්‍ෂීන්ගේ වාසස්‌ථාන වී තිබෙන්නේ අප රට තුළ පිහිටි වගුරු බිම්ය. එහෙත් මේ වන විට සංවර්ධන ව්‍යාපෘති සඳහා වගුරු බිම් ගොඩකිරීම නිසා වගුරු බිම් මූලික කරගෙන ජීවත්වන පක්‍ෂීන්ට මෙම අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඔවුන්ගේ වාසභූමි අහිමිවීමට පටන්ගෙන ඇත. මීට අමතරව වන විනාශය ප්‍රධාන තැනක්‌ ගනී. ජෛව සංචිතයක්‌ ලෙසින් ද වැදගත් වන වනාන්තර අද විවිධාකාර වූ හේතූන් නිසා හෙළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස වනාන්තර හුදකලා වීම කැබැලි වීම නිසා පක්‍ෂීන් අති බහුතරයකගේ වාසභූමි සපයන වනාන්තර කැබලි වී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 20%-18% ත් දක්‌වා ප්‍රතිශතයකට සීමාවීම පක්‍ෂි සම්පත වඳවීම කෙරෙහි තදින්ම බලපා ඇත. එසේම මොවුන් ජීවත්වන පරිසරයන් අවට ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරන කෘෂි රසායනික ද්‍රව්‍ය ද කෘෂි භූමි සඳහා යොදන අධි සාන්ද්‍රන කෘෂි රසායන ද්‍රව්‍ය නිසා කුඩා කෘමීන් පනුවන් අල්ලා ආහාර කොට ගැනීම ද පක්‍ෂීන් කෙරෙහි තර්ජන එල්ල කර තිබේ.

තවද තම වර්ගයා බෝකිරීමට සුදුසු පරිසර පද්ධති විනාශ වී යැම අතරට ආක්‍රමණශීලී ශාක අධික ලෙස ව්‍යාප්ත වීම ද හැඳින්විය හැකිය. පක්‍ෂීන් තම වර්ගයා බෝ කිරීමට හැඩ ගැසී ඇති දේශීය ශාක අභිබවා ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තවීම නිසා පක්‍ෂීන්ට තම වර්ගයා බෝකර ගැනීමට සුදුසු පරිසරය හැඩ නොගැසීම හා මෙම වර්ගයාට අයත් ශාක අධික ලෙස ව්‍යාප්ත වීම නිසා පක්‍ෂීන්ගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ද සීමාවීම ද සිදුවී ඇත.

එසේම නියං කාලවලදී හටගන්නා ගිනි ගැනීම හේතුවෙන් ද පක්‍ෂීන් වඳවී යැම කෙරෙහි තදින්ම බලපා ඇත. විශේෂයෙන්ම නකල්ස්‌, රාවණාඇල්ල වැනි රක්‍ෂිත ප්‍රදේශ නිතරම ගිනි ගැනීම්වලට තුඩු දෙන අතර එම ප්‍රදේශවල වෙසෙන පක්‍ෂි විශේෂ අතරින් වඳවීමේ තර්ජනයට මුහුණපාමින් සිටින පක්‍ෂීන් බහුතරයක්‌ මෙම රක්‍ෂිත ප්‍රදේශවල ජීවත් වේ. සුළු ගින්නකදී පවා ගිනි අක්‌කර ගණනාවකට ව්‍යාප්ත වීමෙන් පසු පක්‍ෂි සම්පත ද ගින්නට ගොදුරුවීම ගැන අමුතුවෙන් කිව යුතු නැත.

තෙත් බිම් මුල්කර ගනිමින් ජීවත්වන පක්‍ෂීන් කෙරෙහි තෙත් බිම් ගොඩ කිරීම හේතුවෙන් තර්ජන එල්ල වෙමින් පවතී. තෙත් බිම් රැසක්‌ ගොඩබිම් බවට පරිවර්තනය වීම නිසා තෙත් බිම් මුල් කර ගනිමින් වෙසෙන පක්‍ෂීන්ට වාසස්‌ථාන අහිමිවීම ආහාර සොයාගැනීමට නොහැකිවීම ද කූඩු තනා ගැනීමට ඇති පරිසරය අහිමිවීම ද මේ හේතුවෙන් බලපා ඇත.

තවද නාගරීකරණය, දේශගුණික විපර්යාස මේ වන විටත් සිදුවන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ද පක්‍ෂි සම්පත වඳවීම කෙරෙහි තදින්ම බලපා ඇති අතර අදාළ බලධාරීන් වෙත මේ පිළිබඳව කෙතරම් දැනුවත් කළත් මේ සඳහා ඇහුම්කන් නොදීමත් රට සංවර්ධනය කරන මුවාවෙන් වන සම්පත උදුරා ගැනීමත්, තම හිතුමතේට පක්‍ෂීන් ආරක්‍ෂා කිරීමට ඇති වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥ පනත සංශෝධනය කිරීමත් ගැන අවසාන වශයෙන් කනගාටුවෙන් හෝ කිව යුතුය. මෙවන් තත්ත්වයක්‌ තුළ අද පක්‍ෂීන්ට ඇති වී තිබෙන තර්ජනය හෙට දවසේදී කුමන ආකාරයෙන් සිදුවේ දැයි අපට කිව නොහැක.

අතීක්‌ නසීර්
දේශීය වනාන්තර සුරැකීමේ සංගමය

- ඡායාරූප වාසල සේනාරත්න

Post a Comment

0 Comments