ලංකාවේ ඉතිහාසය ලියෑවෙන්නටත් එපිට, පෙරදිග ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියක සිට විචිත්‍ර ආගමික සංකල්ප මුල් කරගනිමින් ඉපදුන අඛණ්‌ඩ වන්දනා ගමනක තවත් එක් කාර්තුවක් මේ පොහොය දිනයත් සමග ආරම්භ වන්නට නියමිතය. ඒ සමනල ගිරිහිස තරණය කරමින් කරන සිරිපා වන්දනාවය.
දැන් මේ පූජනීය බිම්පෙත අපේය. එය ලෝකවාසී බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු පුදබිමක් වන්නේය. එහෙත් බුදුන් වහන්සේ ලොව පහළ වන්නටත් පෙර වකවානුවකදීත් විවිධ බැතිමත්හු ආගමික බැතිය මුල්කොටගෙන සමනොල තරණය කළ බව කියෑවිය හැකි අනුමානයන් බොහෝය. මේ පුදබිම විශ්ව ආගමික මධ්‍යස්‌ථානයක්‌ව පැවති බවට ඉතිහාසයේ කොතෙකුත් සාධක පැනේ. මහා ඇලෙක්‌සැන්ඩරයන් සිව් වන සියවසේදී ලංකාවට පැමිණ සිරිපා තරණය කළාහුයෑයි කියෑවිනි. රට වට වූ තොටමුණු ඇසුරෙහි ගොඩනැගුණ අතීත වෙළෙඳ නගර වල වෙළෙඳ කටයුතුවලින් ඉසුරුමත් වූ විදේශික බැතිමත්හු ස්‌වකීය ආගමික සංකල්ප මත පිහිටා සමනොල තරණය කළහ. සිංහලය බෞද්ධ වෙත්ම බහු සංස්‌කෘතික හා ආගමික කේන්ද්‍රස්‌ථානයක් වූ සමනොල කන්ද නව අරුත්ගැන්වීමක් සහිතව බෞද්ධ සංස්‌කෘතිය තුළ ස්‌ථාපිත වූ ආකාරය ගැන වන විද්වත් සංවාද කලක් තිස්‌සේම පැනේ. එය වෙනම කතා කළයුතු බරසාර සංවාදයකි. විචිත්‍රත්වය වන්නේ ඒ ශාස්‌ත්‍රිය ගැඹුරෙහි නොවේ. කුමණ හෝ ආගමික පදනමක් සහිතව පුරා වසර දෙදහස් පන්සියයකටත් එපිට කාලයක සිට මේ දක්‌වා ආගමික වන්දනාවක් කරනු රිසිව මිනිසුන් විසින් පා ගමනින් මේ මහා ගිරිහිස තරණය කිරීමය.
ඒ උත්තර මානුෂීය වන්දනාව මේ වසරේ ආරම්භ වන්නට තෙසතියකට පෙර පුදුම එළවන සුළු කතාවක් රට පුරා පැතිර ගියේය. ඒ සොළොස්‌මස්‌ථානයෙන් එකක් වූ, එහෙත් වසර දහස් ගණනක් අප්‍රකටව පැවති සිංහල බෞද්ධයන්ගේ වන්දනීය පුදබිමක් වන දිවාගුහාව පහළ වීමය. වසර දෙදහස් පන්සිය අනූ තුනකට පසු දිවාගුහාව මෙසේ පහළ වී තිබුණේ ශ්‍රී පාද මළුවේ සිට මීටර සියයක් පමණ පහළින් ඇහැලේකණුව ප්‍රදේශයෙනි. සමහර මාධ්‍ය කීවේ ශ්‍රී පාදස්‌ථානයට නුදුරින් දිවාගුහාව පිහිටා ඇති බවට කාලාන්තරයක් තිස්‌සේ පැවති මතවාද අනුව යමින් හමුදාව කළ විශේෂ ගවේෂණයකදී මෙම ලෙන සොයාගත හැකිවූ බවය.
පුරාවිද්‍යා නිලධාරීන් විසින් දිවාගුහාව සම්බන්ධව තවමත් නියත තොරතුරක් සොයමින් සිටින බව කියද්දී එම පුදබිම ස්‌ථිර ලෙසම සොයාගත් බව ශ්‍රීපාදස්‌ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ. උන්වහන්සේ ස්‌ථීර ලෙසම දිවාගුහාව සොයාගෙන ඇත. උන්වහන්සේ සිය කරුණු දැක්‌වීම කරන්නේ සහේතුකවය. ලොකු හාමුදුරුවන් වහන්සේ වදාරන පරිදි ශ්‍රී පාද අඩවියෙන් සොයාගත් මේ ස්‌ථානය දිවාගුහාව නොවේ යෑයි පුවත්පත් වල ලිපි පළවන්නේ අන්‍යාගමික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසය. එසේ ලියන පත්තරකාරයෝ ඒ අන්‍යාගමික කුමන්ත්‍රණකාරයින්ගේ මුදලට යටවී ඇත්තාහ. සබරගමුව සමන් දේවාලයේ බස්‌නායක නිලමේ තැන්පත් සරත් වීරසේකරයන්ට අනුව පුරාවිද්‍යා සටහන්වල මෙතැන භගවාලෙන ලෙස ලියෑවී ඇත. භගවා ලෙන යනු භාග්‍යවතුන්වහන්සේ වැඩසිටි ලෙනය. එම ලෙන අන් කිසිවක් නොව, දිවා ගුහාවය.
ශ්‍රී පාද වන්දනාවාරය පටන්ගැනීමත් සමග ශ්‍රී පාද අඩවියෙන් සොයාගත් බව කියනා දිවාගුහාව ගැන සංවාදය දැන් රට තුළ කතිකාවක් නිර්මාණය කර ඇත්තේ ඒ ආකාරයටය. එවන් මොහොතක මේ සටහන තබන්නේ පිරී ඉතිරීයන බැතිසිත් සහිත බැතිමතුන්ගේ ශ්‍රද්ධාව විමසීම ස`දහා නොවේ. එබ`දු සැදැහැ සිත් ග`දකිළි කොට බුදුහු වැඩ වසති. දිවා විහරණය කළ දිවාගුහාව පහළ වූවද නොවූවද ඔවුහු දිවාගුහාව චිත්තරූප කොට සොළොස්‌මස්‌ථාන වන්දනා කරති. මේ කෙටි සටහන එවැනි ශ්‍රද්ධා බුද්ධිමත් බැතිමතුන්ටත් බුද්ධියෙන් විමසීම ස`දහාය.
දිවාගුහාව පිළිබ`ද බෞද්ධ විශ්වාසය
බෞද්ධ සාහිත්‍යයේ පැනෙනා පරිදි බුදුහු තෙවරක් ලංකාවට වැඩම කළහ. ඒ තෙවන ලංකා ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනා ප්‍රකාරව ශ්‍රී පාදස්‌ථානයට වැඩමකොට දිවා විහරණය කළ ලෙන දිවා ගුහාව විය. මේ දිවාගුහාව සොයා නොගැනීම සැදැහැවතුන්ට ගැටලුවක් නොවීය. එය මිනිස් ඇසට හසුනොවන සේ ස`ගවා දෙවියන් විසින් රක්‌ෂා කරනු ලැබ ඇතැයි ඔවුහු විශ්වාස කළහ. දිවා ගුහාව සොයා යැමෙන් අතුරු අන්තරා සිදුවෙතැයිද එය කිසිදා සොයා ගත නොහැකි වනු ඇතැයිද ඔවුහු ඇදහූහ. මේ විචිත්‍ර සංකල්පනා අතර ජීවත් වූ ගැමියන්ට දිවා ගුහාව සොයා පිරිසි`ද දැනගැනීමේ අවශ්‍යතාවයක් කවදාවත් තිබුණේ නැත. චිත්තරූප මවා ගැනීමේ අපූරු බුහුටිකමක් මේ මිනිස්‌සු දිවාගුහාව නමින් විචිත්‍ර සංකල්පයක් මවා එය සොළොස්‌මස්‌ථානයන්ගෙන් එකක් කොට ගෙන යුග ගණනාවක් තිස්‌සේ එය වන්දනා කළහ.
දිවාගුහාව පිළිබ`ද අදහස මහාවංශයේ මහාවංශ ප්‍රකාරව බුදුන්වහන්සේ සමන්තකූටයට වැඩමකොට ගිරග මත සිරිපා ලකුණ සටහන් කර පරිවාර මහා සංඝයා හා සමග දිවා විහරණය ස`දහා ක`දු ශිඛරය පා මුල වූ ගුහාවකට වැඩමකොට තිබේ. පූජාවලියට අනුව සමනොල ශ්‍රී පාදය ඔබා එගල් පා විට භගවත් නම් ලෙන වැඩ හි`ද සමවත් සුවයෙන් දිවා විහරණය කොට ඇත. වේදේහ හිමියෝ ස්‌වකීය සමන්තකූට වර්ණනාවෙන් දිවාගුහාව සමන්තකූටය පාමුළ වෙතැයි පැවසූහ. මේ ඓතිහාසික ලේඛනවලින් පැණෙනුයේ දිවාගුහාව සිරිපා ක`දු පාමුල පිහිටි, පරිවාර මහා සංඝයා හා සමග වැඩවාසය කළ හැකි විසල් ලෙනක් වූ බවය.
දිවාගුහාව පිළිබ`ද මතවාද
දිවාගුහාව සම්බන්ධව විවිධ මතවාද කාලාන්තරයක් තිස්‌සේ පැවතිනි. එහෙත් මීට දශක හතරකට පමණ පෙර සබරගමුවේ පැරණි ලියෑවිලි කෘතිය සම්පාදනය කළ මහා පාණ්‌ඩිත්‍යයෙන් හෙබි සුපේශල හිමිනමක් වූ කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණෝ ස්‌වකීය සබරගමුවේ පැරණි ලියෑවිලි කෘතියෙන් දිවාගුහාව විය හැකි යෑයි උපකල්පිත, මිනිසුන් විසින් භගවා ලෙන යෑයි වහරණ ලෙනක් ගැන ස`දහන් කළහ. ලෙණ පිහිටා තිබුණේ උඩ මළුවට මීටර සියයක පහළින් ප්‍රධාන මාර්ගය අසල බව එතුමො කීහ. අඩි අටහමාරක් උස අඩි විසිපහක් දිග එම ලෙනේ ලෙන් ලිපි දෙකක් විය. එක් ලිපියක් පේළි හතකින් යුතුය. ඊට දකුණු පසින් වන දෙවන ලිපිය පේළි දාහතරකින් යුක්‌තය. ලෙණ කටාරම් කොටා තිබිණි. එම ලිපි දෙකම නිශ්ශංක මල්ල රජ දවසට අයත් විය. ලිපි සමග රේඛාමය රූ සටහනක් දැක්‌විනි.
නිශ්ශංකමල්ල රජ සිරිපා වන්දනා කළ ආකාරයත්, එතුමා රට එක්‌සේසත් කළ ආකාරය හා සිරිපා පුදබිමට කළ පූජාත් අඩංගු එම ලේඛන හා සටහන් පිළිබ`ද විස්‌තරයක් වර්ෂ 1967 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළේය. එහි වූ රේඛාමය රූ සටහනින් නිශ්ශංකමල්ල රජතුමා (ක්‍රිස්‌තු වර්ෂ 1187) සිරිපා වැ`දි ආකාරය දැක්‌විනි. ලෙන් ලිපි වල ස`දහන් වනුයේ ද නිශ්ශංකමල්ල රජතුමා සිරිපා වන්දනා කළ ආකාරයය. එහි කිසිම තැනක මෙම ලෙන භගවා ලෙන වූයේ යෑයි ස`දහන්ව තිබුණේ නැත. මේ ලිපි ගැන පැහැදිළි විස්‌තරයක් ෂබිජරසචඑසදබ ධෙ හකදබ සෙල් ලිපි සංග්‍රයේ ඪෂ වන වෙළුමේ පිටු අංක 130 සිට පිටු අංක 160 දක්‌වා පළවූයේය. එම වෙළුම සංගෘහිත කර ප්‍රකාශයට පත්වන්නේ වර්ෂ 2007 දීය.
විද්වත් සංවාදයන් අනුව යමින් හමුදාවේ ගවේෂණයක ප්‍රතිඵල ලෙස වර්ෂ 2593 කට පසු හදිස්‌සියේ පහළ කරගත්තා යෑයි කියන දිවාගුහාව මේ ලෙනය. මෙම ලෙන හදිසියේ පහළවීමේ කතාව පුරාවිද්‍යා නිලධාරීන් අපට කියන්නේ මෙසේය.
පුරාවිද්‍යා නිලධාරීන් විසින් කියනු ලබනා විස්‌තරය.
ඒ කතාව පුරාවිද්‍යා නිලධාරියෙක් අපට කීවේ මෙසේය.
මේ ලෙන සම්බන්ධව වාර්තා වන්නේ මීට දශක ගණනකට කලින්. මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ සිරිපා අඩවිය ආශ්‍රිතව අප ගවේෂණයක් කළා. මේ වනතුරුත් ශ්‍රී පාදය ආශ්‍රිත පූජාභූමියෙ පුරාවස්‌තු හ`දුනාගෙන ගැසට් කරලා තිබුණෙ නෑ. අදියර දෙකකින් යුක්‌තවුණ මේ ගවේෂණයේ පරමාර්ථය වුනේ මෙතෙක් ගැසට් නොකළ පුරාවිද්‍යා ස්‌ථාන ගැසට් කරන්න කටයුතු කිරීම. මුලින්ම හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් සිරිපා ව`දින්න යන මාර්ගයෙ ගවේෂණය කළා. ඒ වනවිට නිශ්ශංකමල්ල රජ කාලයෙ සෙල් ලිපි සහිත මේ ලෙන ජරාවාස වෙලා තිබුණෙ. මිනිස්‌සු වැසිකිළි යන්නත් ලෙන පාවිච්චි කළා. මේක කටාරම් කොටපු ලෙනක්. නිශ්ශංක මල්ල රජතුමාගෙ කාලෙට අයත් සෙල් ලිපියක් හා රූප සටහනක් තියනවා. ඒ හින්දා මේ ලෙන ගැසට් කරන්න කටයුතු කරන අතරෙම අපි යෝජනා කළා එවකට සිරිපා මළුවෙ වැඩවාසය කළ හාමුදුරුවන්වහන්සේට මේ ලෙන සුද්ද පවිත්‍ර කරලා පිරිසිදු කරලා මහජන ප්‍රදර්ශනයට යොමු කරමු කියලා. ඒ ස`දහා සංරක්‌ෂණ යෝජනාවක් හදලා සෙල් ලිපි වල ආරක්‌ෂාවට වැටවල් ගහලා සකසන ආකාරය ගැන සැලැස්‌මක් සබරගමුව පළාත් කාර්යාලයට යොමු කළා. ඒ අතරෙයි දිවාගුහාව ස්‌ථීර වශයෙන්ම සොයාගත් බව කියෑවෙන කතාව මතුවෙන්නෙ. එය කියන්න අප නොවෙයි. අපට එහෙම පුළුවන්කමක් නෑ. එහෙම කතාවක් අප කියන්න ඕන සාධක සහිතව.
පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ගෙන් මේ පිළිබ`දව අපි යළිත් විමසීමු. හේ මෙසේ පවසයි.
මේ ලෙනේ දොළොස්‌වන සියවසට අයත් නිශ්ශංක මල්ල රජතුමාගේ කාලයේ සෙල්ලිපි දෙකක් තියනවා. එහෙත් ඒ ලිපි වල කොතැනකවත් මේ ලෙන භගවා ලෙන කියලා නම් කරලා නෑ. නිශ්ශංකමල්ල කියන්නෙ තමුන්ගෙ ආත්ම වර්ණනාව උත්කර්ෂව නන්වපු කෙනෙක්. මෙය දිවාගුහාව නම් ඔහු සිය සෙල්ලිපි වල ඒ වග ස`දහන් නොකර ඉන්නෙ නෑ. මහාවංශයෙ දිවාගුහාව ගැන කියන්නෙ බුදුන්වහන්සේ අහසින් වැඩමකර සිරිපතුල පිහිටුවා කන්ද පාමුල ඇති ස්‌ථානයක දිවා විහරණය කළා කියලා. ඒ නිසා තමයි අප කියන්නෙ මේ ලෙන දිවාගුහාව කියලා ස්‌ථීර ලෙසම කියන්න බෑ කියලා. නමුත් පුළුල් ශාස්‌ත්‍රීය පර්යේෂණයකින් තොරව මේ ලෙණ දිවාගුහාව නොවෙයි කියලා ප්‍රකාශ නිකුත් කරන්නත් අප ඉක්‌මන් වන්නේ නෑ. මේ ලෙන දිවාගු=හාව නොවෙයි කියන්නත් මීටත් වඩා පුළුල් ශාස්‌ත්‍රීය, සාධාරණ සාධක තිබිය යුතුයි.
නිශ්ශංකමල්ල රජතුමා සිරිපා වන්දනාවෙ එන්නෙ ක්‍රිස්‌තුවර්ෂ 1187 පමණ කාලෙදි. බුදුන්ගේ ලංකාගමන සිදුවීනම් එසේ වන්නේ ක්‍රිස්‌තුපූර්ව පස්‌වන සියවසේ. ඒ කියන්නෙ නිශ්ශංකමල්ල රජ සිරිපා වන්දනාවට එන්නත් අවුරුදු එක්‌දහස් හත්සියයකට කලින්. එසේ පැමිණෙන නිශ්ශංකමල්ල ස්‌වකීය පූජාවන් ගැන ස`දහන් සටහනක් ලෙනක තැබූ පමණින් එය දිවාගුහාව ලෙස පිළිගැනීමට ඉක්‌මන්විය යුතු නෑ. සෙනරත් දිසානායකයෝ කියති.
බෞද්ධ සාහිත්‍යය ප්‍රකාරව බුදුන් ලංකාවට වැඩියේ ක්‍රිස්‌තු පූර්ව පස්‌වන සියවසේය. නිශ්ශංකමල්ල සිරිපා ව`දින්නට යන්නේ බුදුන් ලංකාවට වැඩම කළා යෑයි කියන වකවානුව පසුවී අවුරුදු එක්‌දහස් හත්සියයක් ගතවූ පසුය. හරියටම කියනවා නම් ඒ කාලය අද සිට නිශ්ශංකමල්ලගේ රාජ්‍ය කාලය දක්‌වා වූ වසර අටසිය විසිපහට වඩා දෙගුණයකටත් මදක් වැඩිය.
අද අප දිවාගුහාව ගැන කතා කරන්නේ මීට අවුරුදු අටසිය විසිපහකට පෙර සිරිපා ව`දින්නට ගිය නිශ්ශංකමල්ල සිය සරතැස නිවාගත්තේ යෑයි කියනා ලෙනක ලියු සෙල් ලිපියක් මුල්කරගෙනය. විශේෂත්වය වන්නේ එහි කිසිම තැනක භගවා ලෙන හෝ දිවාගුහාව යන වචනවත් නොතිබීමය. මෙම ලෙනට භගවාලෙන යෑයි කියා තිබුණේ නිශ්ශංකමල්ල නොව, ඊට බොහෝ කාලයකට පසු සිරිපා කරුණා කරන ලද ගැමියෝය. එය ජනවහරේ පැමිණි හ`දුනාගැනීමකි. එය දිවාගුහාව විය හැකි බව යන්තමින් හෝ කියන්නේ මීට දශක හතරකට පෙර සබරගමුවේ පැරණි ලේඛන ලියූ අතිපූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල නාහිමිපාණන්ය. එයත් උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන්නේ සිය අදහසක් වශයෙනි. දිවාගුහාව හිටිඅඩියේ පහළකරගැනීම බුද්ධියෙන් විමසිය යුතු වන්නේ එබැවිනි.
ඒ සමගම මේ වග සටහන් කළයුතුව තිබේ. ගැමි බෞද්ධයන් වෙනුවෙන් අමුතු ආශ්චර්යයන් ඇවැසි නොවේ. මුලින් කී පරිදිම ඒ සරල මනුෂ්‍යයෝ දිවාගුහාව සොයා නොවෙහෙසෙති. ඔවුන්ගේ මනස්‌ගැබෙහි දිවාගුහාව පිළිබ`ද වන සංකල්පයම කිසිවෙකුට ලංවිය නොහැකි ආශ්චර්යයකි. අනුපමේය වන්දනාවට පාත්‍රවන්නාවූ පුණ්‍ය භූමියකි. ඒ සංකල්පමය පාරිශුද්ධත්වයට සමපාත කරවන්නට තතනනා ආශ්චර්යයන් බෙහෙවින්ම ලාභය. අප මේ බලා සිටින්නේ ඒ ලාභ කවටකම් දෙසය.
ජානක ලියනආරච්චි
0 Comments