කාන්තා හිංසනයෙන් තොර රටක්‌ උදෙසා


"දස මසක්‌ කුසෙහි හොවා සිව් වසක්‌ ඇකයේ හොවා ජීවිත කාලය පුරාවටම හදවතෙහි ර¹ තබා ගන්නී." ඇය අප කෙසේ හඳුන්වන්නේද? ඇය අම්මාය. මේ ලොව නිර්මාණය වී තිබෙන්නේ  හිරුගේ හිරු රශ්මියෙන් හා මවකගේ රුධිරය හැරවූ කිරි වලින්" බව වරෙක මැක්‌සිම් ගෝර්කි පවසා ඇත. ලෝකයේ සියලු මිනිස්‌ ජීවීන්ගේ ආරම්භය, ආදරයේ උල්පත වෙනකකු නොව අම්මාය. කුටුම්භයක එකතුව, ඉදිරි පැවැත්ම තීරණය වන්නේ අම්මාගේ ස්‌නේහය පදනම් කරගෙනය. කාන්තාවකගේ ජීවිතයේ උත්තරීතරම පදවිය මාතෘත්වයයි. මේ පදවිය පූජනීය, වන්දනීය වන්නේ සමාජ කුටුම්භයේ ආදරය ගෞරවය මතය. 

කෙසේ වෙතත් අද වන විට කාන්තාවගේ ස්‌වාධීනත්වය, නිදහස පරම අයිතිවාසිකම් නැති වෙමින් හා නැති කරමින් පවතින කාල පරාසයකයි අප ජීවත් වන්නේ. මේ පිළිබඳ විමර්ශනය කිරීමේදී කාන්තා හිංසනය, අතවර හා ප්‍රචණ්‌ඩත්වය ඇතිවීමට මූලික හේතු කාරණා සොයාබැලිය යුතු වේ. ගුණධර්ම පිරිහුණු සමාජයක්‌ බිඳ වැටීම මූලිකම මග බවට විවාදයක්‌ නැත. යහපත පරයමින් අයහපත ඉදිරියට එන කල ගුණධර්ම ආදියට වටිනාකමක්‌ හිමි වන්නේ නැත. එවන් සමාජයක්‌, සදාචාරවත් සමාජයක්‌ ලෙස හැඳින්විය නොහැකිය. කාන්තා හිංසනය, අතවර හා ප්‍රචණ්‌ඩත්වය ආදී සමාජ ව්‍යසන ඇතිවන්නේ මෙවන් සමාජයක්‌ තුළය. බොහෝ සමාජ ව්‍යසනයන් ඇති කළ හැකි අයහපතක්‌ම පමණි. සාරධර්ම පිරිහී ගිය සමාජයක්‌ ප්‍රචණ්‌ඩත්වය, දූෂණය වැනි සමාජ ව්‍යසන වලට පහසුවෙන්ම ගොදුරු වන බව පැවසෙන්නේ මේ නිසාය. වත්මන් සමාජය මුහුණ දී තිබෙන්නා වූ අර්බුදය මෙයයි. 

ඉතිහාසය දෙස විමසිලි ඇසින් බැලූ කල අපට අසල්වැසි ඉන්දියාවේ ප්‍රශ්චාත් වෙධික කාන්තාවට හිමි සමාජ තත්ත්වය කෙසේ ලබාදී ඇත්ද? ඇය පිරිමියා හා කෙසේ ගනුදෙනු කර ඇත්ද? යන්න තොරතුරු ලබාගත හැක. වින්ටර්නිට්‌ස්‌ මහතා අදහස්‌ දක්‌වන්නේ  මංගල උත්සව වලට නාටක වලට හා වෙනත් වැදගත් සමාජ උත්සව වලට කිසිදු තහනමක්‌ නැතුව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට කාන්තාවන්ට පුළුවන් වූ බව සෘග් වේද සුක්‌තවල සඳහන් වන බවයි. සමහර පුද්ගලයන්ගේ අදහස්‌ වලට අනුව නාටක ස්‌ත්‍රීන් යෑයි හඳුන්වා ඇත්තේ වෙසඟනන්ය. සෘග් වේදයේ ඔවුන් හඳුන්වා ඇත්තේ සොහොයුරන් නැති යෝනන් යනුවෙනි. මෙබඳු අය වෙසඟනන් ලෙස සැලකීම යුක්‌ති සහගත නොවන බව ඔහු පවසයි." මේ ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ වසර දහස්‌ ගණනකට පෙරත් කාන්තාව සමතාවකින් පිරිමියාත් සමඟ කටයුතු කළ අයුරුත් ඇයගෙන් සතුටු වන පිරිමින් අවසාන  සොහොයුරන් නැති යෝනන් යනුවෙන්" හංවඩු ගැසීම සිදු කළ ඇති බවත්ය. නූතනයේදී පමණක්‌ නොව අතීතයේදී ද කාන්තාව පහත් කොට සලකා ඇති අයුරුත් පෙනෙන කරුණකි. 

බුදුදහම තුළින් කාන්තාවට හිමි අයිතිවාසිකම් මනාව පෙන්නුම් කරයි. සංයුක්‌ත නිකායෙහි සෝමා තෙරණිය මාරයාත් සමඟ කළ සංවාදය කදිම උදාහරණයකි. මාරයා පවසන අන්දමට  ඇඟිලි දෙකේ නුවණ ඇති කාන්තාවට සෘසිවරුන් ලබන ධ්‍යාන කෙසේ ලබම්ද? යනුවෙන් අසයි. එයට පිළිතුරු දෙන සෝමා තෙරණිය  ගුණධර්මවලින් යුක්‌තව සිත දියුණු කළ පසු එම තත්ත්වයට පත්වීමට ස්‌ත්‍රී භාවය බාධාවක්‌ නොවන බව පෙන්වයි." මෙම කරුණු නූතන සමාජය තුළ අධ්‍යනයට භාජන කළ යුතු වෙයි. සෑම ආගමක්‌ තුළින්ම මෙම යහගුණයන්ගේ වටිනාකම නොයෙක්‌ ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ. එම සෑම දහමකම මූලික හරය, අභිප්‍රාය වන්නේ උතුම් මිනිසුන් සමාජගත කිරීමයි.

විසි එක්‌වැනි සියවස මුල් භාගයේදී ලෝකය තාක්‌ෂණික විපර්යාසයකට ලක්‌ වූ අයුරින්ම, විසිවැනි සියවස ආරම්භයේදී ලෝකය වෙනත් සියවස්‌වල නොතිබූ ලෙස කැලඹිලිs හා සැහැසිකම්වලට ගොදුරු වූ බව අසත්‍යයක්‌ නොවේ. එසේ වීමට ප්‍රධාන හේතුවක්‌ වුයේ, භෞතික සමාජයේ දියුණුවත් සමඟ මිනිසා උසස්‌ ආචාර ධර්ම නොසලකා හැරීමයි. මෙයින් කලකට ඉහත ජාතීන් හා පුද්ගලයන් ඔවුන්ගේ සාර්ථකත්වය මැනීමට යොදාගනු ලැබුවේ සමාජ සාරධර්මයි. නමුත් නූතන සමාජය තුළ ජාතීන් ඔවුන්ගේ සාර්ථකත්වය මැනීම සඳහා යොදාගනු ලබන්නේ මුළුමනින්ම ආර්ථික වත්කම මිනුමයි. මෙම කාරණය හේතුවෙන් මුදල් පසුපස හඹා යන මිනිස්‌ රැලක්‌ විනා තම නැගණියට, සහෝදරියට, අම්මාට ගැහැනියට සලකන මිනිසෙක්‌ දැකීම කලාතුරකින් දැකිය හැකි ඇසිය හැකි පුවතකි. මේ නිසා මිනිසුන්ගේ ගුණධර්ම වල ඉතා පැහැදිලි වෙනසක්‌ දක්‌නට ලැබේ. 

කලකට ඉහතදී සදාචාරාත්මක සමාජයේදී කාන්තාවන් සහ පුරුෂයන් විවාහ වී එකට ජීවත්වීම සැලකුයේ අතිශය පාරිශුද්ධ, භක්‌තිමත් දෙයක්‌ ලෙසිනි. විවාහ නොවී දරුවන් ලැබීම, සමලිංගික සබඳතා ආදිය සමාජ විරෝධී ක්‍රියාවක්‌ ලෙස පිළිගැනිණි. බොහෝ දෙනෙක්‌ ගබ්සාව හා දික්‌කසාදය යන ක්‍රියාවන් හෙළා දැක්‌කාහ. එවන් ක්‍රියාවන් ඔවුහු සදාචාරාත්මක සමාජය සැණෙන් පුපුරුවා හැරීමට සමත් දුර බලවේගයන් බව සැලකූහ. නමුත් වත්මන් සමාජ ක්‍රමය තුළ එවන් විරෝධතා පැන නගින්නේ නැත. මෙයට හේතුව මේ සිද්ධීන් නිතර දැක අසා සාමාන්‍යකරණයට පත්ව සමාජගත වී ඇති හෙයිනි. යහපත හා අයහපත දෙකම කැන්දන් ආ විවෘත ආර්ථික ක්‍රියාවලියද මෙයට බලපෑ එක්‌ හේතුවක්‌ ලෙස සැලකීමට ද පුළුවන. පියවරුන් තම රුධිරයෙන් බිහිවූ දියණියන් මව්වරු ඉදිරියේ අපයෝජනයට පත් කරන පුවත්, රුපවාහිනි, අන්තර්ජාලය ඔස්‌සේ දිග හැරේ. පුවත් මවන්නෝද එය රස මුසුකොට නාට්‍යානුසාරයෙන් දිගහැරීමට පසුබට වන්නේ නැත. මෙය සමාජ ව්‍යසනයකි. අධාර්මික සමාජය පිළිබඳ සවිඥානික මිනිසුන්ට පවා ඉහත ප්‍රවාහයෙන් මිදී ධාර්මික මගක්‌ ගැනීමට සැබෑ අවශ්‍යතාවක්‌ නොමැති අයුරකි. සියල්ලෝ අඳුරට ශාප කරමින් අඳුරේම සිටිති.එසේ වුවද අඳුරේම ගුලි වී සිට සාරධර්ම පිරිහෙන බවට මැසිවිලි නගති. 

අතීතයේ මව්වරු සිය දරුවන් පාසලට යවා පාසල ඇරී එන තුරු බලා සිටින්නේ ඔවුන්ට කුසගිනි ඇති යෑයි සිතමිනි. වුන් ආ විගස සිප සනසවා බත් කටක්‌ කවා ගැනීම මිළඟ අරමුණ විය. එහෙත් අද එසේ නැත. දරුවා පාසල් වෑන් රියට නංවා පාන්දරින්ම නිවසින් පිටත් කොට දහවල නගරයට යන්නේ දරුවා රැගෙන ඒමටයි. පාසල ඇරෙනතුරු ගත කරන්නේ අලුත් සමාජ පරිසරයකය. සමහරක්‌ මවුවරු තම දරුවා අමතක කොට අනියම් සබඳතාවකට මුල පුරයි. මෙයින් පැන නගින අර්බුදය පවුල් පරිසරයම අගාධයකට ඇද දමන්නේ කාටත් නොදැනුවත්මය.

මේ සියල්ලටම බලපාන යම් කිසි හේතුවක්‌ වේ යෑයි මට සිතේ. සැබවින්ම මෙම සමාජ ක්‍රමය පිළිබඳ නිසි අවබෝධයක්‌ ලබාගැනීම කාන්තාවක්‌ සතු වගකීමකි. එය නිවසින් ලබාදිය යුතුම පණිවිඩයකි. දහම් පාසල් අධ්‍යාපනය හා පාසල් අධ්‍යාපනය කෙතරම් වටිනා අවස්‌ථාවක්‌ද යන්න නැවතත් සිතිය යුක්‌තකි. 

යම්තම් බහ තේරෙන වියේදී ඇඟලුම් කර්මාන්තවලට හෝ ප්‍රධාන පෙළේ සමාගමකට යොමුකරන්නේ යෑයි පවසමින් ධනවාදී ලෝකයේ සටකපට පුද්ගලයන් ඔවුන් දක්‌කන් එන්නේ හිතේ ඇතිවූ දයානුකම්පාවකටද එසේත් නොමැති නම්.....නගරයේ පිරී ඇත්තේ මුදල් පසු පස හඹා යන, රාගී ලොවින් මත් වුණ ගිජුලිහිණියන්ගෙනි. ඔවුන්ගේ රැහැනට අසුවෙන මෙම අසරණ දැරියන් හෝ කාන්තාවන් තම පිරිසිදු ජීවිතය අවසාන ඒ මහා නරුමයන්ට මුදලට දී සමාජයටද නිවසටද මුහුණ දී ගත නොහැකිව සියදිවි නසා ගැනීමට පවා පෙළඹෙන අවස්‌ථා එමටය. දෙමාපියන් වශයෙන් දරුවාගේ නිසි වයස්‌ සීමාව තුළ කෙතරම් මුදල් අඩුපාඩුකම් තිබුණද අධ්‍යාපනය ලබා දී නිසි මඟ යෑවිය යුතු නොවන්නේද? 

විදේශගත වන කාන්තාවකට එහිදී සිදුවන අකටයුතු අද නිතර අසන්නට දකින්නට ලැබෙන දෙයකි. පවුලේ දුක්‌ කරදර නිවා දමන්නට මැදපෙරදිග බලා යන ඇය අවසන පටාචාරාවක්‌ වී නැවත දේශයට පැමිණෙයි. එහෙමත් නැතිනම් විදේශ හාම්පුතුන්ගේ අතකොලු බවට ඇයව පත් කර ගනියි. නිවසේ ස්‌වාමිපුරුෂයා, දරුවන් තම මෑණියන් එවනා මුදල නිකරුනේ විනාශ කරන්නේ ඇය විඳිනා දුක්‌ගැහැට නොසිතමිනි. පවුලේ බර සියතට ගන්නා ඇය විදේශ වලදී තම ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවෙන අවස්‌ථා වත්මන ඇසීමට දැක ගැනීමට ලැබිණි. පාලකයන්ගේ ඇස්‌ ඇරෙන්නේ ජීවිතයක්‌ දෙකක්‌ වා තලයට මුදා හැරුනායින් පසුවය. නීති රෙගුලාසිවල ලිහිල්තාවය, වයස්‌ සීමාවල අඩුපාඩුකම්, මුදලම පමණක්‌ අරමුණු වීම යනාදී කාරණා මෙම සිද්ධීන් වලට මුල් නොවන්නේද? ආගමන හා විගමන පාලන ක්‍ෂේaත්‍රයේ නීති රෙගුලාසි, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ, ප්‍රවර්ධන හා සුබසාධන අංශ මෙම කරුණු වලට මැදිහත් නොවුණහොත් රට වළ පල්ලට යැම ඈතක නොවනු ඇත. 

ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය සාකච්ඡා කළ යුතුම මාතෘකාවකි. නාගරික පරිසරයට අමතරව ග්‍රාමීය සංස්‌කෘතිය තුළද කාන්තාව පුරුෂයාගේ බැල මෙහෙවර කම් කරන තැනැත්තියක්‌ බවට පත්ව ඇත. විශේෂයෙන්ම වතුකරයේ කාන්තාව විඳින දුක්‌ ගැහැට සියෑසින් දැකගැනීමට හැකි විය. සොච්චම් වේතනයට ශ්‍රමය කැප කරනා දිරිය කාන්තාවන්ට අවසන පියෙකු නැති දරුවෙකුද හිමිවේ. එය එසේ වෙද්දී එම මොළකැටි දරුවනට නිසි පෝෂණය නොලැබීමෙන් මන්දපෝෂණයට හා මන්දබුද්ධික දරුවෙකු ලෙස සමාජගත වෙයි. ඉතා ප්‍රාථමික සංස්‌කෘතියක්‌ (එයින් නැගී සිටුවීමට කවරෙකු මැදිහත් වම්ද?) තවමත් ජීවිකාව කරගත් වතුකර ජනතාව ලැබෙනා සොච්චම් මුදල්ද මත් ද්‍රව්‍ය සඳහා කැප කරයි. එසේ කනමද පුරුෂයන් රාත්‍රි යාමයේ ලයිම් කාමර වල හැසිරෙන විලාශය අහිංසක කාන්තාවන්ට ලබාදෙන හිරිහැර හැදෙන ළමයෙකුට නොගැළපෙන දසුනකි. යම් කලෙක ඔවුන්ද එම මගම ගනු ඇත. මොහුන් මෙම අගාධයෙන් ගොඩ ගැනීම අප සැමගේ යුතුකමකි. 

ස්‌ත්‍රියට ගරු කිරීම නිවසින් පුරුදු පුහුණු කළ යුතුය. බෞද්ධ සමාජයක්‌ තුළ කාන්තාවට ඉහළම සමාජ තලයක්‌ නිර්මාණය කර දී ඇති පසු බිමෙක අපට එය අපහසු වන්නේද නැත. කාන්තාවක්‌ ලෙස ඇයද ආදර්ශවත් විය යුතුය. එවන් කාන්තාවකට මුළු සමාජයෙන්ම ගරු බුහුමන් සිදුකළ යුතුය. දරුවෙකු කුස දරා සිටින මවක්‌ පොදු මගී රථයකට ගොඩ වූ පසු අසුනක්‌ ලබා නොදෙන්නේනම් එවන් සමාජයක්‌ පිළිකුල් කළ යුතුමය. 

එක්‌ රටක පමණක්‌ නොව ලෝකයේම කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්‌ඩත්ව ක්‍රියා අඩුවක්‌ නොමැත්තේය.ජගත් කාන්තා දිනයේදීද කාන්තා අපචාර,හිංසන පැහැරගෙන යැම්,මෙහෙකාර සේවයේ බලහත්කාරයෙන් යෙදවීම පමණක්‌ නොව මිනීමැරුම් පවා සිදුවීම් කනගාටුවට කරුණකි. 

අප කළ යුත්තේ මූලික වශයෙන් කාන්තාවකගේ වටිනාකම මුළු මහත් සමාජ ස්‌ථරයටම විවිධ ක්‍රියාකාරකම් ඔස්‌සේ අවබෝධ කර දීමය. මේ සඳහා මාධ්‍ය භාවිතය වැදගත්ය. 

එසේම කාන්තා හිංසනය, අපචාර හා මෙහෙකාර සේවය තහනම් කරන, වාරණය කරන දැඩි නීති රීති හඳුන්වා දිය යුතුය. ක්‍රියාත්මක කළ යුතුය. අධික්‌ෂණය කළ යුතුය. අපයෝජනයට ප්‍රචණ්‌ඩත්වයට ලක්‌ වන කාන්තාවන්ට පුනරුත්ථාපනය කිරීමට, සමාජානුයෝජනය කිරීමට,යහපත් පුරවැසියන් බවට පත් කිරීමට පුනරුත්ථාපන හෝ ප්‍රතිසංවිධාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය. ස්‌ත්‍රී දූෂකයන්ට එරෙහිව දැඩි නීති රීති රැගෙන ඒමත් ක්‍රියාවට නැගීමත් සිදු කළ යුත්තකි. 

මෙවන් වූ සුවිශාල ක්‍රියාමාර්ගයන් තුළින් ලාංකේය පමණක්‌ නොව මුළු මහත් ලෝකයේම කාන්තාවගේ අනාගතය සුරක්‌ෂිත කළ යුතුය. එයින් සිදුවන්නේ වෙනකක්‌ නොව රටේ අනාගතය සුරක්‌ෂිත වීමය. එහෙයින් අප ක්‍රමයෙන් කාන්තා හිංසනය, අතවර හා ප්‍රචණ්‌ඩත්වය පිටු දැක ලාංකේය අනාගතයත් ලෝක කාන්තාවගේ සුරක්‌ෂිතතාවත් සුබවාදී කර ගනිමු. කාන්තාවට ගරු කරමු, 

සමීර පුෂ්පකුමාර ගුණසේකර

Post a Comment

0 Comments